ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ වැඩ වර්ජනය කරති

Non-academic university staff strike in Sri Lanka

By Panini Wijesiriwardane, 7 June 2012

වැටුප් විෂමතා ඉවත් කල යුතු බවට ගෙනගිය උද්ඝෝෂනයක කොටසක් ලෙස, විශ්ව විද්‍යාලවල දහස් ගනනක් අනධ්‍යන සේවකයෝ ජූනි මස 06 වෙනි දින රාජකාරියෙන් බැහර වෙමින්, සියයට 25ක ක්ෂනික වැටුප් වැඩිවිමක් ඉල්ලා අඛන්ඩ වැඩ වර්ජනයකට අවතීර්න වූහ. වැඩ වර්ජනය පැවැත්වෙන්නේ, උතුරු-නැගෙනහිර ද ඇතුලු දිවයින පුරා පිහිටි විශ්ව විද්‍යාල 13 ක හා ඒවාට අනුබද්ධ ආයතන 26ක අනධ්‍යන සේවකයින් සම්බන්ධ වූ, මැයි 22-23 පැවැති දින දෙකක වැඩ ඇනහිටවීමෙන් පසුවය.

06 වෙනිදා වැඩවර්ජනය කැඳවුම් කර තිබුනේ, අන්තර් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව (අවිවෘඒක) විසිනි. ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා එක්සත් ජාතික පක්ෂය (එජාප) යන විපක්ෂයේ පක්ෂවලට අනුබද්ධ වෘත්තීය සමිති මෙන්ම ඊනියා ස්වාධීන වෘත්තීය සමිති ගනනාවක් ද මෙයට ඇතුලත් ය. පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රීලනිප) අනුබද්ධ වෘත්තීය සමිතිය අවිවෘඒකට සම්බන්ධ වුව ද වැඩවර්ජනයට සහභාගී නොවේ.

Demonstrationවැඩි වැටුප් ඉල්ලීම මත පාගමනේ යෙදෙන මොරටුව විශ්වවිද්‍යාලයේ සේවකයෝ

ආන්ඩුවේ වාර්තාවකින් අනධ්‍යන සේවකයන්ගේ වැටුප් පරිමානයන් ක්‍රමානුබද්ධ කිරීමට යෝජනා කල 2004 වර්ෂයේ පටන් මෙම වැටුප් විෂමතා ඉවත් කිරීමේ ඉල්ලීම ඉදිරිපත්වී තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව උද්ධමනය උග්‍ර අතට පත්කරමින් මිල සහනාධාර කපා හැරීමේ තතු හමුවේ දැන් එය දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.

ආන්ඩුව හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම වෘත්තීය සමිති ඉල්ලීම් කෙරෙහි දක්වන්නේ සතුරු ආකල්පයකි. උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක අවිවෘඒක සමඟ ගිවිසගෙන තිබූ රැස්විම් කිහිප වතාවක්ම කල් දැමූ අතර අවසානයේදී සියලුම සාකච්ඡා අවලංගු කලේය.

අනධ්‍යන සේවකයන් ඔවුන්ගේ වැටුප් කැටිකිරීමකට මුහුනපා සිටින අතර පසුගිය අයවැය කතාවේදී පොරොන්දු වූ දීමනාව පවා ගෙවා නැත. එහෙත්, පසුගිය මාසයේ උද්ඝෝෂනයෙහි යෙදුනු කම්කරුවන් අමතා අවිවෘඒක සම-සභාපති ආර්.එම්. චන්ද්‍රපාල, "වැටුප් විෂමතා ඉවත් කිරීමට 2012 අයවැයෙන් මුදල් වෙන් කිරීම" පිලිබඳව ජනාධිපති රාජපක්ෂට ප්‍රශංසා කලේය.

දිගට ඇදෙන වැටුප් විෂමතා පිලිබඳව වෘත්තීය සමිති සෘජුවම වගකිව යුතුය. පසුගිය දශකය මුලුල්ලේ ඔවුන් එක අරගලයකට පසු තවෙකක් වශයෙන් පාවා දී තිබේ. 2003 වසරේ දින 22ක වැඩ වර්ජනයකින් අනතුරුව එවක පැවති එජාප ආන්ඩුව මෙම ප්‍රශ්නය විමර්ෂනය කිරීමට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයට (ස්ලිඩා) පැවරි ය. අනෙකුත් විශ්ව විද්‍යාල වැටුප් ක්‍රමයන්ට අනුකූලව අනධ්‍යන සේවකයන්ගේ වැටුප් ඉහල දැමිය යුතු බවට ස්ලිඩාව නිර්දේශ කල නමුත් ආන්ඩුව එම නිර්දේශ ප්‍රතික්ෂේප කලේ ය.

2004 වසරේ සැප්තැම්බරයේදී යලි වතාවක් අනධ්‍යන සේවක‍යෝ, නිර්දේශ සම්පූර්නයෙන් ක්‍රියාත්මක කරන තෙක් රුපියල් 2500ක මාසික දීමනාවක් ඉල්ලා වැඩවර්ජනයකට අවතිර්න වූහ. රුපියල් 1000ක දීමනාවක් ලැබීමෙන් අනතුරුව වෘත්තීය සමිති නිලධාරීහු වර්ජනය අතහැර දැමූහ. එවක ජවිපෙ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කරන ලද වෙලඳපොල-හිතැති ප්‍රතිව්‍යුහකරන ක්‍රියාවට නඟමින් සිටි ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ සන්ධාන ආන්ඩුවේ කොටස්කාරයෙක් විය.

එවැනිම ඉල්ලීම් මුල් කරගනිමින් 2005 වසරේ ජූලි මාසයේදී විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් මාසයක් තිස්සේ වැඩ නතර කර සිටි නමුත් ජවිපෙ නායකත්වය යටතේ ඇති අන්තර් විශ්වවිද්‍යාල සේවා වෘත්තීය සමිතිය ඔවුන්ගේ අරගලය කඩාකප්පල් කලේ ය. ජවිපෙ එවක කුමාරතුංගගේ ආන්ඩුවෙන් ඉවත්ව ගොස් දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) සමඟ සුනාමි සහන අරමුදල ඒකාබද්ධව කලමනාකරනය කිරීමට ආන්ඩුව ගෙන ආ පී-ටොම්ස් සැලසුමට එරෙහිව වර්ගවාදී උද්ඝෝෂනයක් දියත් කලේය. පී-ටොම්ස් ගිවිසුම කෙරෙහි විරෝධය තර කිරිම පිනිස වැඩවර්ජනය නිමා කරන්නැයි විශ්වවිද්‍යාල සේවා වෘත්තීය සමිතිය කම්කරුවන්ට බල කලේ ය.

2005 වසරේ ජනාධිපතිවරනයේදී රාජපක්ෂ ජයග්‍රහනය කරවීමට පිටුබලය දුන් ජවිපෙ, 2006 වසරේ එල්ටීටීඊයට විරුද්ධව දිග් ගැස්සුන සිවිල් යුද්ධය යලි ඇරඹීමට ඔහුගේ ආන්ඩුව ගත් තීන්දුවට එකහෙලාම සහය දුන්නේ ය. සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයම ආන්ඩුවේ යුද ව්‍යායාමයට කම්කරු පන්තිය යට කර දැමූහ.

"ආන්ඩුව මුහුනපා සිටින මූල්‍ය හා අනෙකුත් දුෂ්කරතාවන් සැලකිල්ලට ගන්නවා හැර" වෘත්තීය සමිතිවලට වෙනත් විකල්පයක් නොමැති” බව පවසමින් අවිවෘඒක සම-ලේකම් එච්.පී. ආරියපාල 2007 වසරේදී අනධ්‍යන සේවක මන්ඩලයේ තවත් වැඩවර්ජනයක් නවතා දැමීය. වෘත්තීය සමිති නායකයෝ ඊලඟ මාසයේ පැවැත්විමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය ද "රටේ පවත්නා තත්වය" යන එම නිදහසට කාරනයම ඉදිරිපත් කරමින් නතර කර දැමූහ.

"පවත්නා තත්වය" වූයේ රාජපක්ෂගේ වර්ගවාදී යුද්ධය යි. "මූල්‍ය දුෂ්කරතා" වලින් අදහස් කලේ, අධ්‍යාපනය, සෞඛ්‍යය හා සුභසාධන වැනි අත්‍යවශ්‍ය සේවාවන්හි වියද‍ෙමන් ආන්ඩුව කරන ලද දැවැන්ත මිලිටරි වියදම යි.

දස දහස් ගනනක් දෙමල සිවිල් වැසියන් මරා දැමූ හා ප්‍රජාතාන්ත්‍ර අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කල රාජපක්ෂ ආන්ඩුවේ යුද්ධය, 2009 වසරේ මැයි මස අගභාගයේදී එල්ටීටීඊයේ මිලිටරි පරාජ‍යෙන් අවසන් විය. සාමයේ හා සෞභාග්‍යයේ නව කාල පරිච්ඡේදයක් ආරම්භ විම කෙසේ වෙතත් ආන්ඩුව දැන් ඉල්ලා සිටින්නේ "ආර්ථික සංවර්ධනය" හා "ජාතිය ගොඩනැගීම" සඳහා කැප කරන ලෙස යි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේදී ආන්ඩුව, විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ කේන්ද්‍රීය අංශ විදේශීය හා දේශීය ආයෝජකයන්ට විවෘත කර දෙමින්, පෞද්ගලීකරනය පෙරට ගෙන යයි. මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ කොටසක් ලෙස, විශ්ව විද්‍යාලවල ආරක්ෂක සේවය, උද්‍යාන පවත්වාගෙන යාම හා ප්‍රවාහනය ඇතුලු අනධ්‍යන අංශ දැනටමත් පාර්ශවීය වසයෙන් පිටතට දි ඇත. විශ්‍රාමික කම්කරුවන්ගේ පුරප්පාඩු නොපිරවී‍මෙන්, පසුගිය වසර තුන මුලුල්ලේ, සමස්ත සේවක සංඛ්‍යාව 13,000 සිට 10,000 දක්වා පහල දමා තිබේ.

අනධ්‍යන කම්කරු වැටුප් කප්පාදු හා වැඩ ප්‍රමානය වැඩි කිරීම ආන්ඩුවේ වෙලඳපොල-හිතැති න්‍යාය පත්‍රය සමඟ බැඳී ඇත. ලෝක ධනවාදී අර්බුදයේ බර කප්පාදු පිලිවෙත් හරහා වැඩකරන ජනතාව මත පැටවිය යුතු බවට මූල්‍ය වෙලඳපොලවලින් කෙරෙන නිර්දේශ යුරෝපයේ හා ලෝකය පුරා සිදු වන ආකාරයටම රාජපක්ෂ විසින් ද ක්‍රියාවට නඟමින් සිටියි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනධ්‍යන සේවකයින්ගේ වැඩ වර්ජනයට මුලුමනින්ම සහය පල කරන නමුත් වෘත්තීය සමිති මෙම අරගලය පාවා දෙනු ඇති බවට එය කම්කරුවන්ට අනතුරු අඟවයි. වෘත්තීය සමිති හා ඒවා අනුබද්ධව සිටින දේශපාලන පක්ෂවලට ආන්ඩුවේ පිලිවෙත් සමඟ මූලික මතභේදයක් ‍නමැති අතර බලපැම් දැමීමෙන් රාජපක්ෂ වෙතින් සහන දිනා ගත හැකිය යන මිත්‍යාව ඔවුහු තොරොම්බල් කරති.

ආන්ඩුවට හා එය විසින් ආරක්ෂා කරන ලාභ පද්ධතියට එරෙහි දේශපාලන අරගලයක් ගෙන යනවා වෙනුවට අතපල්ලෙන් වැටෙන දෙයක් ලබා ගැනීමට ජනාධිපති ලඟ හිඟමන් යැදීමේ වැඩපිලිවෙල කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කල යුතුය. මෙය කල හැක්කේ සමිති වලින් මුලුමනින්ම කැඩී වෙන්වීමෙන් පමනි. සෑම විශ්ව විද්‍යාලයකම ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතු අතර ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව මෙම ප්‍රහාරවලටම මුහුන දෙන කම්කරුවන්ගේ අනෙකුත් කොටස් වෙතට හැරීමක් ගත යුතුය.

පෞද්ගලික ලාභ සඳහා නොව සමාජ අවශ්‍යතා වෙනුවෙන් කැප කරන පරිදි ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකින් ධනපති පාලනය විස්ථාපනය කරන සමාජවාදී වැඩපිලිවෙලකින් කම්කරු පංතිය සන්නද්ධ විය යුතු ය. සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් ධනපති පන්තියේ සියලුම කොටස්වලින් ස්වාධීනව සමස්ත කලාපය පුරා හා ජාත්‍යන්තරව ඔවුන්ගේ පන්ති සහෝදරයින් හා සහෝදරියන් සමඟ ඒකාබද්ධ වීමක් මේ මගින් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ හා දකුනු ආසියාවේ කම්කරු පංතිය තුල මෙම වැඩපිලිවෙල සඳහා සටන් වදින එකම පක්ෂය සසප පමනි. දකුනු ආසියාව හා ජාත්‍යන්තරව සමාජවාදය උදෙසා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා අපි කැඳවුම් කරන්නෙමු. අපගේ වැඩපිලිවෙල බැරෑරුම් ලෙස හදාරන ලෙසත් කම්කරු පන්තියේ අරගල මෙහෙයවීමට අවශ්‍ය නව මහජන විප්ලවවාදී පක්ෂය වසයෙන් සසප ගොඩ නැඟීමට ඒකාබද්ධ වෙන ලෙසත් වැඩ වර්ජනයේ යෙදෙන කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටින්නෙමු.

Share this article: