ගුරු-විදුහල්පති නියෝජිත සමුලුව : ගුරු විරෝධය දියකර හැරීමේ වේදිකාවක්

By Teachers section of the SEP , 24 june 2012

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් කිහිපයක් පදනම් කර ගනිමින් අරගලයක් සංවිධානය කිරීමේ ප‍්‍රකාශිත අරමුන මත ලංකා ගුරු සංගමය (ලංගුස) ඇතුලු ගුරු ක්ෂේත‍්‍රයේ තවත් වෘත්තීය සමිති කිහිපයක මූලිකත්වයෙන් පසුගිය 13 දා කොලඹ මහවැලි කේන්ද්‍රයේ දී නියෝජිත සමුලුවක් පැවැත්වින. අතුරු වැටුප් යෝජනාව හිඟ වැටුප් සහිතව ක‍්‍රියාත්මක කිරීම හා ගුරු විදුහල්පති ව්‍යවස්ථා සංශෝධනය පස්ස දොරෙන් ක‍්‍රියාවට දැමීම හා පාසල් කාලය දීර්ඝ කිරීම නතර කිරීම යන මූලික ඉල්ලීම් මත, ‘ගැටලු විසඳීම සඳහා ආන්ඩුවට බල කරන ගුරු විදුහල්පති නියෝජිත සමුලුව’ යන ශීර්ෂයෙන් පැවැත්වූ මෙම සමුලුවට දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලින් ගුරුවරු 250 ක් පමන සහභාගි වූහ.

සමුලුව පැවැතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත රුපියල අඛන්ඩව අවප‍්‍රමානය වීමට ඉඩ හරිමින්, ඉන්ධන හා විදුලිය සඳහා වූ සහන ඉවත් කරමින්, අත්‍යවශ්‍ය භාන්ඩ සඳහා රාජ්‍ය වියදම් කපා හරිමින් සහ රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය කරමින් රාජපක්ෂ ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාරයන්ට එරෙහිව රාජ්‍ය හා පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ හා ගම්බද දිලිඳු ජනතාවගේ වෛරය වර්ධනය වන තතු යටතේ ය.

ඉහල යන ජීවන වියදම් හමුවේ එක තැන පල්වන ගුරු වැටුප් ඇතුලු සමස්ත අධ්‍යාපනය ක්ෂේත‍්‍රය පුරා දිග හැරී ඇති අර්බූදයට මුහුන දී සිටින ගුරුවරුන්ගේ හා ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් රාජපක්ෂ ආන්ඩුවේ මෙම ආර්ථික හා සමාජ සුබසාධන කප්පාදු පිලිවෙත සමග සෘජුව ගැටෙයි.

ලංකාව තුල පමනක් නොව ලෝකය පුරාම කම්කරුවන් මුහුන දී සිටින්නේ එක හා සමාන ප‍්‍රහාරවලට ය. සෑම රටකම ධනපති පාලක පන්තීහු ගෝලීය ආර්ථික අර්බූදයේ බර කම්කරු පන්තිය මතට කඩා පාත් කිරීමේ උත්සාහයක නිරතව සිටිති. එහෙයින් සෑම රටකම කම්කරුවන් මුහුන දී සිටින්නේ සිය මූලික සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් විනාශ කරන ධනපති පාලක පන්තීන් විසින් සූදානම් කරනු ලබන සමාජ ප‍්‍රති විප්ලවයකට ය. ආන්ඩුවේ ප‍්‍රහාර පරාජය කිරීමට නම් ඊට එරෙහිව කම්කරු පන්තියේ දේශපාලන අරගලයක් සූදානම් කල යුතු ය.

ලංගුස ඇතුලු සියලු ගුරු-විදුහල්පති සංගම් එවන් අරගලයකට දක්වන දැවැන්ත සතුරුභාවය සමුලුව පුරා බලගතු ලෙස විශද විය. අරගලය සඳහා අත්‍යවශ්‍ය කම්කරු පන්තික දේශපාලනික කි‍්‍රයා මාර්ගයක් පිලිබඳ සාකච්ඡාව වැලැක්වීම සඳහා සමිති නිලධරය එකාවන්ව පෙල ගැසින.

සමුලුව ඇරඹීමට මොහොතකට පෙර, ලංගුස තුල කි‍්‍රයාත්මක සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ගුරු කන්ඩායම වෙත පැමිනි ලංගුස ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ලංගුස නියෝජනය කරමින් සමුලුව තුල මැදිහත් වන්නේ නම් ලංගුස නිලධරයේ අදහස හැර වෙනත් අදහසක් ඉදිරිපත් කිරීමට ඉඩ නොදෙන බවට තර්ජනය කලේ ය.

සමුලුවේ මූලාසනය දැරූ සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ ලේකම් සංගමයේ සභාපති යලේවෙල පඤ්ඤාසේකර සමුලුව ආරම්භ කරමින් ප‍්‍රකාශ කලේ "මෙය සංවිධානය කල වෘත්තීය සමිති කිසිම දේශපාලන සංවිධානයකට අයත් නොවන” බව හා "මෙහි කිසිම දේශපාලනික අරමුනක් නොමැති” බවයි.

සසප ගුරු කන්ඩායම විසින් සමුලුවට පැමින සිටි ගුරුවරුන් අතර බෙදා හරින ලද, ‘ගුරු විදුහල්පති වැටුප් අරගලයට සමාජවාදී වැඩපිලිවෙලක්’ නම් වූ සිය ප‍්‍රකාශය මගින් මතු කර තිබු දේශපාලන ප‍්‍රශ්න සියල්ල යට ගසමින් සමුලුව ඇමතු සමිති නායකයෝ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ආන්ඩුවට බලපෑම් දැමීම තුල සිරකර තැබීම සඳහා විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කලහ.

සසප ප‍්‍රකාශයෙන් පැහැදිලි කරන ලද ආන්ඩුවේ අධ්‍යාපන කප්පාදුවේ මූලය වන ලෝක ධනවාදයේ අර්බූදය දැනුවත්ව වසන් කල සියලු සමිති නායකයෝ ඒ වෙනුවට ‘අහංකාර, උද්ධච්ච, නිලබලවාදී’ අධ්‍යාපන බලධාරීන්ගේ ක‍්‍රියාකලාපය නතර කල හොත් අධ්‍යාපන ගැටලු විසඳාගත හැකි බවට වූ මිථ්‍යාවන් වගා දිගා කලහ.

"ගුරුවරුන් අතර රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව කෝපය සහ අතෘප්තිය වර්ධනය වන තතු තුල පලල් සමිති පෙරමුනක හා වමේ පොදු පෙරමුනක් තුල ඔවුන් සිර කොට දේශපාලනිකව නොමග යවා ධනපති ආන්ඩුවේ ප‍්‍රහාරවලට යටත් කිරීමට ගුරු සමිති නායකයෝ දැන් තැත් කරති” යනුවෙන් සසප ප‍්‍රකාශයෙන් කල අනතුරු ඇඟවුම සනාථ කරමින් ස්ටාලින් මෙසේ පැවසීය: "ගුරු සංගම් වෙන වෙනම ක‍්‍රියාමාර්ග ගත්තා. ඒවා බංකොලොත්. දැන් ගුරු විදුහල්පති සමිති එකතු වෙලා දේශපාලන පක්ෂවලට ගැති නොවු සමිතියක් අපි දැන් ගොඩනගලා තියෙනවා.” ඉල්ලීම් ඉටු කිරීම සඳහා මේ මස 30 දා දක්වා ආන්ඩුවට කල් ලබා දෙන බවත් එසේ නොවුනහොත් "දැඩි” වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට ගමන් කරන බවත් එය කුමන ස්වරූපයක් ගන්නේ ද යන්න "පසුව දැනුම් දෙන” බවත් ස්ටාලින් වැඩිදුරටත් ප‍්‍රකාශ කලේ ය.

අවසානයේ දී සමුලුවේ ශීර්ෂයටම ගැලපෙන අයුරින්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මුහුන දෙන ගැටලු 13 කට අදාල ඉල්ලීම් ‘රජයට ඉදිරිපත් කර ක‍්‍රියාවට නගන ලෙස බල කෙරෙන යෝජනා’ නිලධරය විසින් සමුලුවට ඉදිරිපත් කරන ලදී.

සමිති නිලධරයේ මෙම "දැඩි ක‍්‍රියාමාර්ගවල” අතීත ශේෂ පත‍්‍රය දැන් කැඳවුම් කරන බව පවසන "දැඩි ක‍්‍රියාමාර්ග” පිලිබඳ බලගතු සාක්ෂියකි.

2007 වර්ෂයේ දී පැන නැගි ගුරු වැටුප් අරගලයේ දී සිංහල ස්වෝතමවාදී ජනතා විමුක්ති පෙරමුනේ ලංකා ගුරු සේවා සංගමය ඇතුලු මෙම වෘත්තිය සමිති සියල්ල රාජපක්ෂගේ යුද්ධයේ වියදම් කම්කරු පන්තියේ කර මතින් යෑවීමට ඉඩ සැලසූහ. සමිති නායකත්වය හා ජනාධිපති රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවක දී යුද්ධය නවතා වැටුප් වැඩි කරන්න දැයි රාජපක්ෂ ඇසු ප‍්‍රශ්නයට කට පියාගත් සමිති නායකත්වය පසුව ගුරු වර්ජනය නවතා දැමුවේ ය.

ගුරු සංගම්වල පාවා දීමෙන් අත ශක්තිමත් කර ගත් ආන්ඩුව, 2008 ජුනි මස දින දෙකක් පැවති ගුරු වර්ජනය නවතා දැමීමට ආන්ඩුව ශ්‍රේෂ්ඨාධිකරන නියෝගයකින් තහනම් කොට ගුරුවරුන්ට එරෙහි දඩයමක් දියත් කලේ ය.

අලුතින් ගොඩනගා ඇත්තේ කිසිදු පක්ෂයකට අයත් නොවන සමිතියක් යන ස්ටාලින්ගේ ප‍්‍රකාශය සෑම අතින්ම ප‍්‍රලාපයකි. ලගුස එක් අතකින් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති පෙරමුන තුල ගාල්වී සිටි අතර අනෙක් අතින් රාජපක්ෂ ආන්ඩුවේ වර්ගවාදී යුද්ධයට උඩගෙඩි දෙමින් කම්කරු පන්තියේ අරගලවලට වල කැපූ ජවිපෙන් බිඳුන පෙරටුගාමී සමාජවාදී පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂය හා දෙමල ධනපති පක්ෂ සමග පෙරමුනු ගත වී සිටින අවස්ථාවාදී නව සම සමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂයත් සමග පෙල ගැසී සිටී. මෙම පක්ෂ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වයට හතුරු ධනපති පන්තියේ අත්ගෙඩි ය. කම්කරු පන්තියට උගුල් ඇටවීම සම්බන්ධයෙන් කුප‍්‍රකට ය.

ගුරුවරුන් මෙන්ම වැටුප් හා සේවා ඉල්ලීම් මත අරගලයට එලඹ සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හා අනධ්‍යන සේවකයන්ගේ ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කර එම අරගල තලා දැමීමේ තැතක ආන්ඩුව යෙදී සිටී. සෑම අංශයකම සමිති නිලධරය පැන නැග ඇති අරගල හුදකලා නිෂ්ඵල බල කිරීමේ උද්ඝෝෂනවල සිර කොට කම්කරු පන්තිය අවමංගත කිරීමේ වැඩෙහි නිරතව සිටින්නේ තමන් ධනපති පන්තියේ කොටස්කරුවන් බව වසන් කිරීම සඳහා යහමින් භාවිතා කරන "ස්වාධීන සමිති” වෙස් මුහුනට මුවා වෙමිනි.

ගුරුවරු ගුරු සංගම්වල මෙම බංකොලොත් හා ප‍්‍රතිගාමී ක‍්‍රියාමාර්ග ප‍්‍රතික්ෂේප කල යුතු ය. නිදහස් අධ්‍යාපනය රැක ගනිමින් ගුරුවරුන්ට තම වැටුප් හා සේවා කොන්දේසි පිලිබඳ අයිතීන් තහවුරු කර ගත හැක්කේ අතලොස්සක් ධනපතියන්ගේ හා ජාත්‍යන්තර බැංකු කරුවන්ගේ ලාභ පොදි රැක දීමට පේවී සිටින රාජපක්ෂ ආන්ඩුව පලවා හැර සමාජයේ බහුතරයකගේ සමාජ අවශ්‍යතාවයන් සම්පූර්න කල හැකි ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙලක් ක‍්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම මගින් පමනි.

මෙම අරගලය වර්ධනය කිරීම සඳහා ගුරුවරු ප‍්‍රතිගාමී වෘත්තීය සමිතිවලින් හා ධනපති හා අවස්ථාවාදී පක්ෂවලින් ස්වාධීනව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමට මූලිකත්වය ගත යුතු ය. ඒ සඳහා නව සංවිධාන රූප අවශ්‍යය. ගුරු ක‍්‍රියාකාරී කමිටු සෑම පාසලක් තුලම පිහිටුවා ගනිමින් ඒ වටා දෙමව්පියන්, ශිෂ්‍යයන් හා අරගලයේ නියුතු විශ්වවිද්‍යාල ආචාර්යවරු හා අනධ්‍යයන සේවකයින් බලමුලුගන්වා ගනිමින් ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහි බලගතු අරගලයක් සංවිධානය කිරීමට මූලිකත්වය ගත යුතු ය. මෙම වැඩපිලිවෙල සඳහා සටන් වදින්නේ සසප සහ එහි ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ පමනි. සසප ට බැඳෙමින් එම ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙලට සටන් වදින ලෙස සසප ගුරු කන්ඩායම සියලු ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.

Share this article: