බංග්ලාදේශ ආන්ඩුව විරුද්ධ පක්ෂයේ රැලිය මතට කඩා පනියි

Bangladeshi government cracks down on opposition rally

By Sarath Kumara and Wimal Perera, 17 March 2012

අවාමි ලීගය විසින් මෙහෙයවනු ලබන පරිපාලනය සමග ඇති මහජන අසංතුෂ්ටිය ගසා කමින් පසුගිය සඳුදා අගනුවර වන ඩකා නුවර බංග්ලාදේශ ජාතික පක්ෂය (බංජාප) විසින් මෙහෙයවනු ලබන විරුද්ධ පක්ෂය විසින් කැඳවුම් කරන ලද විරෝධතා රැලියට ආන්ඩුවේ කඩා පැනීම නොතකමින් දසදහස් සංඛ්‍යාත මහජනයා සහභාගි වූහ.

පසුගිය වසරේ මැතිවරන අධීක්ෂනය කිරීමේ අපක්ෂපාතී භාරකාර මන්ඩලය ඉවත් කිරීමේ ආන්ඩුවේ තීරනය මගින් කුපිත වූ 100,000 පමන ජනයා විරෝධතාවට සහභාගි වූ බව පොලීසිය තක්සේරු කලේය. ආන්ඩුවට ඉවත් වන ලෙසටත් භාරකාර මන්ඩලය යටතේ නව මැතිවරනයක් පවත්වන ලෙසටත් බල කරමිනි දක්ෂිනාංශික බංජාප සහ ඉස්ලාම් මූලධර්මවාදී ජමාට් ඉ ඉස්ලාමි විසින් මාස ගනනාවක් පුරා මෙම රැලිය සංවිධානය කරනු ලැබ තිබින. 2014 වසර වන තෙක් මැතිවරන නොපැවැත්වෙයි.

විශාල වශයෙන් ආරක්ෂක හමුදාව බලමුලු ගන්වන ලදී. හෙලිකොප්ටර් යානා හයක් උඩු ගුවනේ සිට නිරීක්ෂන මෙහෙයවීම්වල යෙදුනු අතර අපකීර්තිමත් ක්ෂනික කි‍්‍රයාකාරී බලඇනියේ 25,000 ක් මුර සේවයේ යොදවා තිබින. සමූහ අත්අඩංගුවට ගැනීම් බලාපොරොත්තුවෙන් ආන්ඩුව ජංගම අධිකරන 10 ක් සංවිධානය කලේය.

"අපි ඩකාවලට යමු” රැලියට අගනුවරින් පිටත ජනතාව සහභාගි වීම වැලැක්වීම සඳහා ආන්ඩුව සුවිශේෂිත පියවර ගත්තේය. ඩේලි ස්ටාර් පුවත්පතට අනුව විරුද්ධ පක්ෂයේ ක‍්‍රියාධරයින් අත් අඩංගුවට ගැනීමටත් ඔවුන්ගේ වාහන රඳවා ගැනීමටත් පොලිස් අධිකාරින්ට නියෝග කරන කරුනු 19 සහිත උපදෙස් ලැබුනි.

මාර්තු මස 8 සහ 10 අතර 6,500 පමන පිරිසක් අත් අඩංගුවට ගන්නා ලදී. අමුත්තන් සොයමින් පොලුවලින් සන්නද්ධ අවාමි ලීග් මැරවරයෝ සමහර ප‍්‍රද්ශවල නිවෙස් පරික්ෂා කලහ.

කිසිදු අමුත්තකු භාර නොගන්නා ලෙසට හෝටල්වලට නියෝග කරනු ලැබීය.

ඩකා නුවරට ඇති මහාමාර්ග සහ ගංගා මාර්ග ඔස්සේ ඇතුලුවීමේ ස්ථාන වසා දමන ලද අතර ආන්ඩු ගැති ප‍්‍රවාහන වෘත්තීය සමිති දුරස්ථ සේවා බස් ධාවනය නතර කලහ. දස දහස් සංඛ්‍යාත සාමාන්‍ය ජනයා අතරමං කරමින් තොටුපලවල බෝට්ටු නැංගුරම් ගැනීම වලක්වනු ලැබින. මෙම බලහත්කාරී නැවැත්වීම් නොතකා ක‍්‍රියා කලවුන්ට පහර දෙන ලදී.

එක් අවාමි ලීග් මන්ත‍්‍රිවරයකු ඩේලි ස්ටාර් ඉරිදා පුවත්පතට පැවසුවේ: "බංජාප නැවැත්වීම සඳහා අපගේ පලාත්වල සියලුම මාවත් හා අතුරු මාවත්වල සූදානම්ව සිට්න්නෙමු” යනුවෙනි. පසුගිය ඉරිදා අවාමි ලීග් ප‍්‍රධාන ලේකම් සයිඩ් අග‍්‍රෆුල් ඉස්ලම් රැලියක් අමතමින් බංජාප විරෝධතාවන් "කුමන්ත‍්‍රනකාරී සහ පෙරලිකාරී” ක‍්‍රියාවන් ලෙස හංවඩු ගැසුවේ ය.

සත්‍ය වශයෙන් ම 2008 දෙසැම්බරයේ ආසන 260 න් 231 වැනි අති විශාල ජයග‍්‍රහනයකින් බලයට පත් වී වසර තුනක් ඉක්ම වුවද පැතිර පවතින මහජන නොසංසුන්තාවය හමුවේ අවාමි ලීග් මෙහෙයවන සංධානය ප‍්‍රචන්ඩ කි‍්‍රයාවලට යොමු වී ඇත.

ගෙවල් කුලී, ප‍්‍රවාහන ගාස්තු, රෙදි පිලි මිල සහ නිවෙස්වල වියදම් මෙන්ම සහල්, ධාන්‍ය, මාලු, බිත්තර, පලතුරු, කෑමට ගන්නා තෙල් සහ අසුරන ලද කිරිපිටි ඇතුලු අත්‍යවශ්‍ය භාන්ඩ මිල ඉහල යමින් උද්ධමනය ඉලක්කම් දෙකක මට්ටමකට නැග ඇත. විදුලි බිල් වැඩිවී ඇති අතර සහනාධාර කැපීම ජන ජීවිතය අසීරු තත්වයට පත් කර තිබේ. පසුගිය වසරේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ටකා මුදල සියයට 21 න් අවප‍්‍රමානය වූ අතර උද්ධමනය ඉහල ගොස් ඇත.

විදේශ ආයෝජන ආකර්ශනය කිරීම සඳහා වෙලඳපොල ගැති ප‍්‍රතිසංස්කරන මගින් විශේෂයයෙන් ඇඟලුම් කර්මාන්ත ක්ෂේත‍්‍රයේ කර්මාන්ත වර්ධනය කිරීමට ආන්ඩුව බලාපොරොත්තු විය. එහෙත් දිගටම පැවැති භූගෝලීය ආර්ථික බිඳවැටීම මගින් මෙම මූලෝපායට වල කැපින. යුරෝපීය කලාපයේ නය අර්බුදය මුලු අපනයනවලින් සියයට 80 වන ඇඟලුම් අපනයන වෙත පහර වැදුනු අතර අපනයන පෙර මාසයට සාපේක්ෂව පෙබරවාරි මස සියයට 8 කින් පහත වැටින.

අවාමි ලීග් සහ බංග්ලාදේශ් ජාතික පක්ෂය අතර ගැටුම ආර්ථික ප‍්‍රශ්න උග‍්‍ර කරනු ඇතැයි ව්‍යාපාරික නායකයෝ කනස්සල්ලට පත් වී ඇත.

බංග්ලාදේශ වානිජ සහ කර්මාන්ත මන්ඩල සම්මේලනයේ (එෆ්බීසීසීඅයි) උප සභාපති ජෂිම් උදින් සෙනසුරාදා ද නිව් නේෂන් පුවත්පතට අනතුරු ඇඟවූයේ, "දේශපාලන කැලඹීම රටපුරා පැතිරී ගියහොත් ජාතික ආර්ථිකය බරපතල පසු බැසීමකට පත්වනු ඇත” යනුවෙනි.

බංග්ලාදේශ අපනයන සංගමයේ සභාපති අබ්දුස් ස්ලාම් මුර්ෂෙඞ් ප‍්‍රධාන දේශපාලන පක්ෂ අතර ප‍්‍රබල සහයෝගීතාවයක් සඳහා කැඳවීම් කලේය. විදේශීය ආයෝජකයින්ගේ කර්මාන්ත මන්ඩලයේ හිටපු කෘත්‍යාධිකාරී සාමාජිකයකු වූ සරියා සදික් පැවසුවේ: ”ආතති සහගත තත්වය ආර්ථිකය මත නරක බලපෑමක් ඇතිකරමින් සිටින අතර විදේශ ආයෝජකයින් ගේ විශ්වාසය විනාශ කරනු ඇත” යනුවෙනි.

ආන්ඩුව දුබල තත්වයක සිටින බව දැනගත් බංජාප මාර්තු 29 දින රටපුරා මහවැඩ වර්ජනයක් කැඳවීය. සඳුඳා රැලිය අමතමින් බංජාප යේ නායක කලීඩා සියා පැවසුවේ ජුනි මස වන විට ආන්ඩුව මැතිවරන කාල සීමාව තුල රට අධීක්ෂනය කිරීම සඳහා භාරකාර මන්ඩලය යලි නොපිහිටුවහොත් "අපි රට පුරා විරෝධතා මාලාවක් ප‍්‍රකාශයට පත්” කරන බවය. විදේශ ප‍්‍රතිපත්තිය මත ආන්ඩුව සහ විරුද්ධ පක්ෂය අතර මතභේද තීව‍්‍රවෙමින් පවතී. අවාමි ලීගය ඉන්දියානු උපමහාද්වීපය සහ අග්නිදිග ආසියාව අතර ගොඩ බිමින් ප‍්‍රවේශ වීම සඳහා පහසුකම් සපයමින් ගාස්තු එකතු කිරීම මගින් ආදායම වැඩිකර ගැනීමට වෙර දරයි. ඒ කෙසේ වෙතත් ඉන්දියානු ආන්ඩුව, බංග්ලාදේශයට ඇතුලු වීමට පෙරාතුව බටහිර බෙංගාල ඉන්දියානු ප‍්‍රාන්තය හරහා ගලාබසින තීස්ටා ග‍ෙඟහි ජලය බෙදීමට ඉන්දියාව එරෙහි විය.

නව දිල්ලිය සමග සිදු කෙරෙන ඕනෑම ගිවිසුමක් ජාතිය පාවාදීමක් ලෙස හුවා දක්වමින් ඉන්දියාව සමග ආන්ඩුවේ සමීප සබඳතා ජාත්‍යොත්තමවාදි පදවලින් බංජාප විවේචනය කලේය.

පකිස්ථානයෙන් භේද වූ 1971 යුද සමයේ සිදු කරන ලද යුද අපරාධවලට එරෙහිව ආන්ඩුව විසින් නඩු මාර්ගයට බැස ඇති නිසා ඉස්ලාම් මූලධර්මවාදියෝ කෝපාවිෂ්ට වී සිටිති. පකිස්ථාන හමුදාවට සහය දෙමින් ජන ඝාතන දියත් කල බවට ඉස්ලාම් මූලධර්මවාදී ජමාට් ඉ ඉස්ලාම් හිටපු නායක ගොලම් අසම් හා අනෙකුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

දක්ෂිනාංශික බංජාප සහ ඉස්ලාම්වාදීන් ප‍්‍රයත්න දරන්නේ ආන්ඩුවට එරෙහිව වර්ධනයවෙමින් පවතින කලකිරීම ගසා කෑමටත් එය ප‍්‍රතිගාමී ජාතිකවාදී මාවතක් වෙතට යොමු කිරීමටත් ය.

විරෝධතා උද්ඝෝෂන මතට කඩා පැනීම වැඩ කරන ජනතාවට බරපතල අනතුරු ඇඟවීමකි. අවාමි ලීග් සහ බංග්ලාදේශ් ජාතික පක්ෂය අතර තියුනු කා කොටා ගැනීම් පැවතිය ද කම්කරු පන්තියේත් දුගීන්ගේත් වියදමෙන් වෙලඳපොල ගැති ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශවය ම එකඟ ය. යහපත් ජීවන තත්වයක් සහ මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සඳහා කම්කරු පන්තියෙන් නැගෙන කුමන හෝ ව්‍යාපාරයකට වඩාත් කුරිරු හිංසනයකට මුහුන දීමට සිදුවෙයි.

Share this article: