ඕස්ට්‍රේලියානු අගමැතිනිය කෙවින් රඩ්ගේ අභියෝගය පරාජය කරයි

Australian prime minister defeats challenge from Kevin Rudd

By Patrick O’Connor, 27 February 2012

ඕස්ට්‍රේලියානු අගමැතිනි ජූලියා ගිලාඩ්, 27දා උදේ පැවති ලේබර් පක්ෂ නායකත්වයේ ඡන්දයේ දී ඇගේ පූර්වගාමියා හා හිටපු විදේශ අමාත්‍ය කෙවින් රඩ් පැරදවූවා ය. ඇගේ පාර්ලිමේන්තු සගයන් 71කු ඇයට පක්ෂව ඡන්දය දුන් අතර, ඇයට එරෙහිව 31දෙනෙක් රඩ්ට ඡන්දය දුන්හ. ආන්ඩුව පෙලන අර්බුදය ජය ගැනීම කෙසේ වෙතත්, ලේබර් පක්ෂය තුල පවතින කාකොටාගැනීම් යටින් පවතින ප්‍රධාන ප්‍රතිපත්තිමය ප්‍රශ්න කිසිවක් නායකත්වයේ ඡන්දය මගින් විසඳා ඇත්තේ නැත.

මෑත දිනවල කෙවින් රඩ් හා ඔහුගේ සගයින් තදබල ලෙස ගිලාඩ්ට පහර දී ඇත. හිටපු නීතිපති රොබට් මැක්ලෙලාන්ඩ් ඇයට ඊලඟ මැතිවරනය ජයගත නොහැකි යයි ප්‍රකාශ කල අතර, නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ආන්ඩු පක්ෂ නායක ඇන්තනි අල්බනෙස්, ප්‍රධාන කාරනය 2010 ජූනියේ දී රඩ්ට එරෙහිව සිදුකල “අසාධාරන” හා “වැරදි” කුමන්ත්‍රනය බව අවධාරනය කලේ ය. තුනෙන් එකක් දැනට සිටින අගමැතිවරියට මේ ආකාරයෙන් විවෘතව විරුද්ධත්වය පෑම ආන්තික අර්බුදයක් ඇඟවුම් කරයි. කෙසේ නමුත්, ආන්ඩුව තුල තමන් “ විශාල” සහයෝගයක් ලබන බවත් “නායකත්වයේ ප්‍රශ්නය දැන් තීරනය වී ඇති අතර... මෙම දේශපාලන නාටකය අවසන්” බවත් ගිලාඩ් ප්‍රකාශ කලා ය.

“අපි එකමුතු කන්ඩායමක් ලෙස ඉදිරියට යා යුතු” යයි ගිලාඩ් කීවා ය. කෙසේ නමුත්, පශ්චාත් යුද කාලීන ඕස්ට්‍රේලියානු දේශපාලනයේ ලේබර් පක්ෂ නායකත්වය පිලිබඳ පෙර නොවූ විරූ වෛරී සහගත ප්‍රසිද්ධ විවාදය මගින් විවෘත වුන කටුක බෙදීමට පැලැස්තර දැමිය හැකි යයි, ඇගේ පක්ෂයේ හෝ සමස්තයක් ලෙස දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයේ කිසිවෙකු හෝ විශ්වාස කරන්නේ නැත.

ඡන්දය පරාජය වීමෙන් පසු රඩ්, “තීන්දුව තරගයකින් හා වෛරයකින් තොරව” පිලිගත් බව ප්‍රකාශ කලේ ය. කෙසේ නමුත් නැවත අගමැති තනතුරට පැමැනීමේ ඔහුගේ ව්‍යාපාරය ඉදිරියට යාම පිලිබඳව ඇත්තේ මඳ සැකයක් පමනි. තමන් තවත් නායකත්ව අභියෝගයක් “ආරම්භ” නොකරනු ඇතැයි රඩ් කියා සිටිය ද, අනෙකුත් මන්ත්‍රීවරු ගිලාඩ්ට විරුද්ධව ඔහුගේ නම යෝජනා කරනු ලැබීමේ බලාපොරොත්තු ප්‍රතික්ෂේප නොකලේ ය.

නායකත්වයට පත්විය හැකි පුද්ගලයින් පසුපෙල අසුන්වලට පසු බැස, පසමිතුරා යටපත් කිරීමට ක්‍රියාකාරීව වැඩ කිරීම නැතිනම්, වඩාත් වාසිදායක සංඛ්‍යාවන් රැස්කර ගැනීම පිනිස අවස්ථාව එලඹෙන තුරු බලා සිටීම යන දීර්ඝ කාලීන පාර්ලිමේන්තු සම්ප්‍රදායක් එහි පවතියි. රඩ්ට එරෙහිව අගමැතිනියගේ “කම්පනය හා තැතිගැන්ම” ගැබ්කරගත් ව්‍යාපාරය ලෙස දක්ෂ ලෙස විස්තර කෙරුනු තත්වය මගින් ගිලාඩ්ට ඡන්දය දුන් බොහෝ දෙනාට, එසේ කිරිමට බල කෙරුනු බව නිසැක ය. ගිලාඩ්ගේ හිතවත්තු අසාමාන්‍ය පදවලින් රඩ් ප්‍රතික්ෂේප කල අතර ඇගේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කීප දෙනෙක් ඔහු අගමැති වුවහොත් ඔහුගේ ඇමති මන්ඩලයේ සේවය නොකරන බව ප්‍රසිද්ධියේ කියා සිටියහ. භාන්ඩාගාරික වේන් ස්වෝන්, රඩ් අස්ථිර හා පාපිෂ්ඨයෙකු යයි ප්‍රකාශ කල අතර 2010 ආන්ඩුවේ මැතිවරනය කඩාකප්පල් කිරිම ගැන ඔහුට චෝදනා කර, “ඔහු කිසිදු කම්කරු පාක්ෂික වටිනාකමක්” නොදරන්නේ යයි අවධාරනය කලේ ය.

පාර්ලිමේන්තුව තුල නොවැදගත් සංඛ්‍යා, කල්ලිවාදී බෙදීම් හා පුද්ගලයන් සම්බන්ධ මාධ්‍ය ආවරනය, පැටලී ඇති සැබෑ දේශපාලන ප්‍රශ්න ආවරන කිරීමට තිමිර පටලයක් ලෙස උදව් වී ඇත.

22දා වොෂින්ටනයේ නිල කටයුතුවල නියැලී සිටිය දී රඩ්, විදේශ ඇමතිකමෙන් ඉල්ලා අස් විය. එහෙත් ඕස්ට්‍රේලියානු මාධ්‍යය ඔහුගේ ඉල්ලා අස්වීමට හා ගිලාඩ්ට එරෙහි උද්ඝෝෂනයට විදේශ ප්‍රතිපත්තිය සමග කිසිදු සම්බන්ධයක් නොවී යයි විකාර මවාපෑමක් පවත්වාගෙන ගොස් ඇත. සැබවින් ම, ඕස්ට්‍රෙලියාවේ පාලක ප්‍රභූව මුහුන දෙන ප්‍රධාන භූ මූලෝපායික ප්‍රශ්නය මත, එනම් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන මිලිටරි හා රාජ්‍යතාන්ත්‍රික මිතුරා වන එක්සත් ජනපදය හා දැන් ඕස්ට්‍රේලියාවේ ඉතා වැදගත් වානිජ්‍ය හවුල්කරු වන චීනය අතර තීව්‍ර වන ආතතියට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න මත රඩ්ට හා ගිලාඩ්ට ප්‍රකටව ම වෙනස් ආස්ථානයන් ඇත.

මෙම උභතෝකෝටිකය, රඩ්ට එරෙහිව 2010 කුමන්ත්‍රනය ගිනි ඇවිල වූ අතර ලේබර් පක්ෂයේ අඛන්ඩ දේශපාලන අර්බුදය සඳහා පාදක විය. නැගෙනහිර ආසියාව හා ශාන්තිකර කලාපය තුල වැඩෙන බීජිනයේ භූ මූලෝපායික බලපෑමට පටහැනිව ඔබාමා පරිපාලනයේ ප්‍රකෝපකාරී මැදිහත්වීම් සමග, ඕස්ට්‍රේලියානු විදේශ ප්‍රතිපත්තිය හා හමුදා පොදුකාර්ය ව්‍යුහය වඩා සමීපව පෙලගැස්වීම පිනිස ගිලාඩ් අගමැති වශයෙන් පදවි ප්‍රාප්ත කෙරුනි. අගමැති වශයෙන් රඩ්, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලවතුන් දෙදෙනාගේ විවෘත ගැටුමක් වලකාලමින් කලාපය තුල ඇමරිකානු හා චීන උත්සුකයන් සමහන් කිරීමට උත්සාහ කලේ ය. ඔහුගේ ස්ථාවරය කිසිසේත්ම, ආසියා-පැසිෆික් කලාපය තුල වොෂින්ටනයේ භූ මූලෝපායික තත්වය හෝ එක්සත් ජනපද-ඕස්ට්‍රේලියා මිත්‍රත්වය හෝ යටපත් කිරීමට එල්ල වූවක් නොවුන ද ප්‍රචන්ඩකාරී ලෙස චීනය සීමා කිරීමේ බැරැක් ඔබාමාගේ උත්සාහයට හරහට පිහිටියේ ය.

එක්සත් ජනපද ආරක්ෂක යාන්ත්‍රනය සමග කිට්ටු බැඳීම් සහිත ඔත්තු සේවා බුද්ධි මන්ඩලයක් වන ස්ට්‍රැට්ෆෝර් කාර්ය මන්ඩලය සඳහා 2009දී ලියන ලද අභ්‍යන්තර සටහනක්, ඇමරිකානු පාලක කවයන් තුල රඩ්ගේ දෘෂ්ටිය පිලිබඳව කෙරුනු සාකච්ඡා ඉස්මතු කලේ ය. “රඩ් පෙනී යන්නේ, සෑම කාරනයක් මත ම එක්සත් ජනපදයේ නායකත්වය අනුගමනය කිරීම මත පදනම් නොවී, වඩාත් ජාත්‍යන්තරව යොමු වූ මාවතක ඕස්ට්‍රේලියාව මෙහෙයවීමට උත්සාහ කල නායකයෙකු ලෙස” යයි විකීලීක්ස් විසින් අද උදේ ප්‍රකාශයට පත්කරන ලද ලියවිල්ලකින් විස්තර කලේ ය. “රඩ් චීනයට දැඩි ලෙස සහාය දක්වන අතර බීජීනය සමග හොඳ සම්බන්ධයක් පවත්වාගෙන යාමට උත්සාහ කර ඇත. මෙය වර්ධනය වන්නා වූ භූ දේශපාලනික ගතිකයේ ප්‍රතිඵලයක් වන අතර එය තුල චීනයේ අභිවෘද්ධිය, ඕස්ට්‍රේලියානු ආර්ථිකයට වාසිදායක වන නමුත් එක්සත් ජනපද ආර්ථික, දේශපාලනික හා ආරක්ෂක යන ක්ෂේත්‍රයන් සමග ඕස්ට්‍රේලියාවේ ආස්ථානය සමග එය තුලනය කල යුතු ය”.

විකීලීක්ස් කලින් ප්‍රසිද්ධ කල, කාන්දු වූ රාජ්‍ය තාන්ත්‍රික කේබල් පනිවුඩ, ගිලාඩ් අගමැති වශයෙන් පත්කෙරුනු කුමන්ත්‍රනයේ පෙරමුන ගත් වෘත්තීය සමිති නිලධරයේ හා කම්කරු පක්ෂ කන්ඩායම් තුල එක්සත් ජනපදයේ “අතකොලු” පිලිබඳ විස්තරයක් ඉදිරිපත් කලේ ය. මෙම කන්ඩායම් ගිලාඩ්ට පක්ෂපාතීව සිටියහ. රඩ් පලවා හැරීමේදී ඔවුන් ඉටුකල කාර්යභාරය පිලිබඳ මහජන විරෝධය ගැන දැනුවත්ව, මෑත කාල‍යේ දී ඔවුහු නිහඬව සිටියහ. එහෙත් ඇය අගමැති තනතු‍රේ සිටී‍මේ ප්‍රධාන කාරනය ඔවුන් ය. 2010 ජූනිවලට පසු ගිලාඩ්, උතුරු ‍දේශසීමා‍වේ එක්සත් ජනපද නාවික භටයන් දහස් ගනනක් රැඳවීම ඇතුළුව චීනය සමග වොෂින්ටනයේ වැ‍ඩෙන ගැටුම සමග ‍කොන්දේසි විරහිතව ඕස්‍‍ට්‍රේලියාව ‍පෙල ගැස්වීමට වහ වහා පියවර ගත්තා ය.

කුමන්ත්‍රන‍යේ පටන් ආසියා-ශාන්තිකර කලාපය තුල භූ මූ‍ලෝපායික ආතතිය තවදුරටත් තියුනු වී ඇත. චීනයට එ‍රෙහිව වියට්නාමය, පිලිපීනය හා අ‍නෙකුත් රටවල් ඉදිරිපත් කරන අයිතිවාසිකම් මත ‍පෙලඹවීම් කරමින් ඔබාමා පරිපාලනය, දකුනු චීන මුහු‍‍දේ ‍දේශ සීමා ආරවුල්වලට ප්‍රකෝපකාරීව ගිනි අවුලුවා ඇත. ඔබාමා පාලනය එක්සත් ජනපද අපනයන නැංවීමට හා චීනයට වල කැපීම සඳහා සැලැසුම් කල ආර්ථික කන්ඩායමක් වන අන්තර්-ශාන්තිකර සහ ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කරන අතර ම, කලාපය තුල සිය හමුදා ස්ථානගත කිරීම් සවිමත් කිරීමට මැදිහත් වී ඇත.

ඔබාමා පරිපාලන‍යේ ආස්ථානය පිලිබිඹු කරනුයේ, එහි පසමිතුරන්ට ඉහලින් වාසි අත්කර ගැනීමට හා එහි ආර්ථික බිඳවැටීම මග හැරීමට මිලිටරි බලය පාවිච්චි කිරීම සඳහා වන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මංමුලා සහගත තල්ලුව යි. ‍කෙ‍සේ නමුත්, චීනය සමග යුද්ධයක ඇඟවීම් පිලිබඳ උත්සුකයන් හා බීජීනය පිලිගැනීම සඳහා නැ‍ගෙනහිර ආසියා‍වේ සැලකිය යුතු බලවතුන්ගේ සම්මුතියක් ස්ථාපිත කල යුතු යයි ඉල්ලා සිටින සිබිග්නීව් බ්‍රෙසන්ස්කි හා හෙන්රි කීසින්ගර් ඇතුලත් පුද්ගලයින් නියෝජනය කෙරුනු මූලාංකූර වොෂින්ටනයේ වි‍දේශ ප්‍රතිපත්ති සංස්ථාපිතය තුල පවතියි. මෙම කොටස් ගිලාඩ්ට එ‍රෙහිව රඩ්ගේ ව්‍යාපාරය දිරිමත් කර තිබුනා විය හැක. අවසාන මොහො‍තේ රඩ් අනුක්‍රමයෙන් වි‍දේශ අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමට ‍ හේතු වූ තත්වය තුල පසුගිය සති‍යේදී ‍වොෂින්ටන‍යේ සැබෑවට ම සිදුවූ‍යේ කුමක් ද යන්න තවමත් නොපැහදිලි ය. ජාත්‍යන්තර සාමය සදහා වන කානගී ප්‍රතිපදානය නම් ආයතනයේ දී “ශාන්තිකර සාමය” යන විෂය යටතේ පැවත්වීමට සැලැසුම් කර තිබූ කතාවට පෙර ඔහු පලමුව රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් හා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා මුන ගැසී තිබුනි.

දේශීය ආර්ථික ප්‍රතිපත්තියේදී රඩ් හා ගිලාඩ් යන දෙදෙනා ම ආයාචනය කරන්නේ මහා ව්‍යාපාරයන්ට හා මූල්‍ය ප්‍රාග්ධනයට ය. සංගත මත එහි බලපෑම බාල්දු කරමින් කාබන් බද්ද සංශෝධනය කරන බව රඩ් පැවසූ අතර මෙම වසරේ දී අයවැය අතිරික්තයක් යලි ගොඩනැගීමට ඇය කැපවන බව ගිලාඩ් තරයේ කියා සිටියා ය. “කම්කරු පක්ෂයේ විශ්වසනීයත්වය නැවත ගොඩනැගීම අරමුනු කර ගත් දේශපාලන මූලෝපායික ප්‍රධාන දෙය” නම් “පිලිගත හැකි ” වියදම් කප්පාදුවක් මත පදනම් වූ අතිරික්තයක් ස්ථාපිත කිරීම බව අගමැතිනියට කිට්ටු පුද්ගලයන් පැවසූ බව ඕස්ට්‍රේලියන් ෆයිනෑන්ෂල් රිවීව් පත්‍රය අද වාර්තා කලේ ය. වෙනත් වචනවලින් කිවහොත්, නරක අතට හැරෙන ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ, ඕස්ට්‍රේලියානු ධනවාදයේ ජාත්‍යන්තර තරගකාරිත්වයට පිටුබලය දීම සඳහා රැකියා‚වැටුප් හා සේවා කොන්දේසි කැපීමේ වේගවත් කප්පාදු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මගින් පාලක ප්‍රභූවට තම වටිනාකම ඔප්පු කිරීමට ආන්ඩුව අධිෂ්ඨාන සහගතව සිටින බව යි.

කෙසේ නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා ගිලාඩ්ගේ හැකියාව පිලිබඳ සැක සාංකා පවතී. “ආන්ඩුව කෑලිවලට ඉරා දැමේ” යනුවෙන් ඕස්ට්‍රේලියන් ෆයිනෑන්ෂල් රිවීව් 27දා සැඩපරුෂ කතුවැකියක් ප්‍රකාශයට පත් කලේ ය, “මේ සතියේ අපි දුටු ව්‍යාකූල හා ද්වේෂ සහගත ජංජාලය ” සඳහා මහජනයා ඡන්දය දී නොතිබුනේ යයි එය ප්‍රකාශ කලේ ය. එය මෙසේ ද සඳහන් කලේය: “සුලුතරයේ කම්කරු පක්ෂ ආන්ඩුව පාලනය සඳහා එයට ඇති විශ්වසනීයත්වය හා අධිකාරය විනාශ කරගෙන ඇත. මහජනයා නිවරැදිව ඒ ගැන කලකිරී ඇති අතර මහ මැතිවරනයකින් එම අවුල නිදොස්කර ගැනීමේ අවස්ථාව ඔවුන්ට ලැබිය යුතු ය.”

ප්‍රධාන ජාතික දිනපතා ඕස්ට්‍රේලියන් පුවත්පත ඇතුලු මර්ඩොක්ගේ පුවත්පත් බොහොමයක් වේලාසනම මැතිවරනයක් ඉල්ලීමෙන් වැලකීම කැපී පෙනෙයි. විරුද්ධ පක්ෂ නායක ‍ටෝනි ඇබට් කෙරෙහි ඇත්තේ සුලු විශ්වාසයකි. විදේශ කටයුතු හා ආර්ථික ප්‍රතිපත්ති මත ලිබරල්-ජාතික යන පක්ෂ දෙක ම ගැඹුරු ‍බෙදීම්වලින් ඉරිතලා ඇත.

Share this article: