මාල දිවයින් කුමන්ත්‍රනයට පිටුබලය දීමේ දේශපාලන ගනුදෙනුවකට ඉන්දියාව තැරැව්කාරකම් කරයි

India brokers political deal to back coup in Maldives

By Wasantha Rupasinghe, 23 February 2012

බලයෙන් පහ කල ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගේ මාලදිවයින් ප්‍රජාතාන්ත්‍ර පක්ෂය (එම්පීඩී) ඇතුලු රටේ දේශපාලන පක්ෂ සමඟ ගනුදෙනුවක් සූදානම් කිරීමට පෙබරවාරි 15 වෙනි දින ඉන්දියානු විදෙස් ලේකම් රන්ජන් මාතායි මාලදිවයින් අගනුවර වන මාලේ වෙත පැමිනියේ ය.

මාලදිවයින් දේශපාලන පක්ෂවල එකඟතාව සහිතව මෙම අස්ථාවර ගනුදෙනුවේ දී එය, ජනාධිපති මැතිවරනය පෙරට ගෙන ආවේය. ඉන්දියන් සාගරයේ මූලෝපායාත්මකව පිහිටා තිබෙන දූපත් සමූහයක තම අවශ්‍යතා පෙරට ගැනීම පිනිස මාලදිවයින් අර්බුදය යොදා ගැනීමට නව දිල්ලිය දරන තවත් වෑයමකි මෙය.

පසුගිය පෙබරවාරි 7දා පොලිසිය හා මිලිටරිය කුමන්ත්‍රනයකින් ප්‍රථම වරට එහි පැවැති බහුපක්ෂ මැතිවරනයෙන් තේරීපත් වූ පලමු මාලදිවයින් ජනාධිපති නෂීඩ් බලයෙන් නෙරපා දැමීමෙන් අනතුරුව, දිවයින් සමූහය පුරාම විරෝධතා පැනනැඟුනි. විපක්ෂයට එක්වූ නෂීඩ්ගේ උප ජනාධිපති මොහොමඩ් වහීඩ් හසාන් නව ජනාධිපති ලෙස පත්කරනු ලැබිනි.

හසාන්ගේ ආන්ඩුවට වහාම සිය අනුමැතිය පල කල එක්සත් ජනපදය හා ඉන්දියාව, කුමන්ත්‍රනය අනුමත කලහ. නව තන්ත්‍රයට එරෙහිව නෂීඩ්ගේ එම්පීඩී ආධාරකරුවන් හා සාමාජිකයින් විසින් දියත් කල කැරැලි හා විරෝධතා වර්ධනය වීම මධ්‍යයේ මාලේ වෙත පැමිනි ඉන්දියානු හා එක්සත් ජනපද නියෝජිතයෝ "ජාතික එකමුතුවේ ආන්ඩුවක් " සඳහා ඔහු කැමැති කර ගැනීමට වෑයම් කල නමුත්, නෂීඩ් මෙය ප්‍රතික්ෂේප කලේය.

හසාන්, නෂීඩ් හා අනෙකුත් ‍ ප්‍රමුඛ පෙලේ නිලධාරීන් සමඟ මාතායි සාකච්ඡා පැවැත්වි ය. පෙබරවාරි 16දා මාලේහි පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ පැවැති පුවත්පත් සාකච්ඡාවක දී මතායි මෙසේ කීය: " ජාතික එකමුතුවේ ආන්ඩුව මෑත දිනයක දී මැතිවරනය පැවැත්වීමට අදාල සියලුම පක්ෂ සමඟ සාකච්ඡා පවත්වනු ඇති බවට... සැලකිල්ලට ගැනෙන සියලුම පක්ෂ එකඟ විය."

" ජාතික ඒකාබද්ධතාවේ ආන්ඩුව, අවශ්‍ය ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් ද සහිතව එවැනි මැතිවරනයක් පැවැත්වීම සඳහා කොන්දේසි සැකසීමට කටයුතු කරනු ඇතැ"යි මතායි තවදුරටත් කීවේ ය.

කුමන්ත්‍රනයෙන් බලයට පැමිනි බලවේගයන් කාලය මරමින් සිටීමේ තත්වය හමුවේ මේ දක්වා ම මැතිවරන දිනය පිලිබඳ එකඟතාවකට පැමින නැත. ''මැතිවරන දින සාකච්ඡා මඟින් තීන්දු කල හැකි"යැයි හසාන් හවීරු පුවත්පතට කීවේය.

ව්‍යවස්ථා විරෝධී ආකාරයකින් ජනාධිපති පදවියට ඔසවා තබනු ලැබුව ද හසාන් එම්පීඩියට පැවසුවේ "ඔවුන්ගේ හැසිරීම වඩා ශිෂ්ට" විය යුතු බවය. " මැතිවරනය පැවැත්විය යුතු ද නැද් ද යන විවාදයේදී ඔහු, ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට" අනුව මැතිවරනය පැවැත්විය යුතු බැව් නිර්ලජ්ජිත ලෙස පැවැසීය.

මතායි කපුකම් කල ගිවිසුමෙන් අනතුරුව නෂීඩ්, හසාන් වහාම ඉල්ලා අස්වී ඉක්මන් මැතිවරනයක් පැවැත්විය යුතුය යන සිය ඉල්ලීම් අකුලා ගත්තේ ය. එමෙන් ම ඉන්දියාව හසාන් ආන්ඩුවට පිටුබලය දීම පිලිබඳ ඔහුගේ විවේචන ද අකුලා ගත්තේ ය. මාතායිගේ පුවත්පත් සාකච්ඡාවෙන් අනතුරුව නෂීඩ් වාර්තාකරුවන්ට කීවේ, කුමන්ත්‍රනය කෙරේ නව දිල්ලියේ "යථාර්ථවත් ප්‍රවේශය" දැන් තමා අනුමත කරන බවයි.

නෂීඩ්ගේ උපාමාරු පෙන්නුම් කරන්නේ, ඉන්දියන් සාගරයේ පුපුරන සුලු මූලෝපායාත්මක පසමිතුරුකම් මාලදිවයිනේ ධනේශ්වර පක්ෂවල පිලිවෙත් නිර්නය කරන බව යි. මතායිගේ සංචාරයට කලින් දිනයේ දී ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා පත්‍රයට කතා කල නෂීඩ්, නව දිල්ලිය ඔහුගේ පක්ෂය හොඳින් “වටහා නොගත්තේ” යයි වැලපෙමින්, හසාන්ගේ පාලනය ය‍ටතේ ලීවරය චීනය අතට පත් වනු ඇතැයි ඉන්දියාවට අනතුරු ඇඟවුවේ ය.

2008 වසරේ දී නෂීඩ් විසින් පරාජයට පත් කල, හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයූම්ගේ දැනට විපක්ෂයේ සිටින මාලදිවයින් ප්‍රගතිශීලී පක්ෂය (පීපීඑම්) මෙන් නොව, ඔහුගේ එම්පීඩීය "දෘෂ්ටිමය වශයෙන් ඉන්දියානු හිතැති"යැයි පැවසීය. 2008 වසරේ දී නෂීඩ් බලයට පැමිනෙන විට චීනය සමඟ ආරක්ෂක ගිවිසුමක් පැවතී ඇති අතර එය 2009 වසරේ දී අලුත් කිරීමට නියමිතව තිබින. දැන් පීපීඑම් "එය අත්සන් කිරීමට ඉඩ තිබේ,"යැයි ඔහු පැවසී ය.

එක්සත් ජනපදය හා ඉන්දියාව පිටුබලය දුන් කුමන්ත්‍රනයට පීපීඑම්හි සම්බන්ධතා සැලකූ කල, කිසිම ආකාරයකින් ඇදහිය නොහැකි එවැනි ප්‍රකාශ පිලිබිඹු කරන්නේ නෂීඩ්ගේ බංකොලොත් දේශපාලනය යි: එක්සත් ජනපදය හා ඉන්දියාව වැනි ප්‍රමුඛ බලවතුන්ගේ සහය දිනා ගැනීමට වෑයම් කිරීම ඔහුගේ මූලෝපාය වන අතර, චීනයට එරෙහිව ඔවුන්ගේ මූලෝපායික අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින යෝග්‍යතම නියෝජිතයා තමන් බවට ඔහු තර්ක කරයි. කෙසේ නමුත්, මෙම මූලෝපායික කලාපයේ වැඩෙන ජාත්‍යන්තර ආතතීන් මධ්‍යයේ නව දිල්ලිය හා වොෂිංටනය ඔහුගේ ආයාචනා නොතකා හරියි.

එක්සත් ජනපදය, ඉන්දියාව කපුකම් කල ගනුදෙනුවට පිටුබලය සපයයි. පෙබරවාරි 17දා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා වික්ටෝරියා නූලැන්ඩ් සඳහන් කලේ, වොෂිංටනය "සාමකාමී ඉදිරි පිලිවෙතක් සොයා ගැනීමට පෙනී සිටින සියලු පාර්ශවයන්හි ප්‍රයත්න සාදරයෙන් පිලිගන්නා" බවයි.

එක්සත් ජනපදය, මාලදිවයින් ප්‍රශ්නය පිලිබඳව ''ඉන්දියාව සමඟ සමීප සහයෝගයෙන් වැඩකරමින්" සිටින බව සඳහන් කරමින් ඇය තවදුරටත් කියා සිටියේ, ''ප්‍රජාතාන්ත්‍රික, සාමකාමී ඉදිරි මාවතක් සඳහා ද එකමුතුව සඳහා ද කැඳවුම් කිරීමේ අදහසින් ඉන්දියාව සමග යහපත් සමීප සබඳතාවක් පවත්වා ගෙන යන බව අපගේ අදහස යි" යනුවෙනි.

"ප්‍රජාතාන්ත්‍රික, සාමකාමී පිලිවෙතක්" වසයෙන් නරුම ලෙස පින්තාරු කරමින් කුමන්ත්‍රනයට ඇමෙරිකානු අධිරාජ්‍යවාදය දුන් සහාය පිලිබිඹු කරන්නේ, ආසියාව තුල මූලෝපායික සහකරුවෙක් ලෙස, විශේෂයෙන් ම චීනයට ප්‍රතිතෝලනයක් ලෙස ඉන්දියාව පිහිටුවීමට දරන ප්‍රයත්නයන් ය. පෙන්ටගනයේ නව මූලෝපායික මාර්ගෝපදේශනය වන "එක්සත් ජනපද ගෝලීය නායකත්වය සුරක්ෂිත කර ගැනීම: 21 වන ශත වර්ෂය සඳහා ප්‍රමුඛතා," යන ලියවිල්ල, ඉන්දියාව "කලාපීය ආර්ථික නැංගුරමක් හා පුලුල් ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව සපයන්නා" වසයෙන් නම් කලේ ය.

මාලදිවයින් කුමන්ත්‍රනයේ සිට සතියකට ආසන්න කාලයක් පුරා ගෙන ගිය නිහඬතාව බිඳිමින් චීනය, හසාන්ගේ නව ආන්ඩුවට සිය සහය පල කල අතර, එයත් සමඟ එකට වැඩ කිරීමට ඇති සූදානම ප්‍රකාශ කලේ ය.

විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලියු වෙයිමින් බෙයිජිනයේ දී මාධ්‍යවේදීන් වෙත මෙසේ කීවේ ය: "[මාලදිවයින්] ජනතාවගේ ස්වාධීන තෝරාගැනීමට අප ගරු කරන අතර රට ඉක්මනින්ම ජාතික ස්ථාවරත්වය, සමාජ සහයෝගිතාව හා ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කර ගනු ඇතැයි අපි අවංකව ම විශ්වාස කරන්නෙමු." ඔහු තවදුරටත් සඳහන් කලේ, "චීනය මාලදිවයින් ආන්ඩුව සමග සමීපව කටයුතු කිරීමට කැමැති අතර ද්විපාර්ශවික සබඳතාවන්හි සෘජු, හොඳ හා සුමට වර්ධනයක් සඳහා බල කරන්නෙමු," යනුවෙනි.

චීනය හා මාලදිවයින් ප්‍රථම වරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කරගත් ‍1972 වසරේ සිට බෙයිජිනය, දූපත් රාජ්‍යය තුල සිය බලපෑම ක්‍රමිකව වර්ධනය කරගෙන තිබේ. ඉන්දියාව සමඟ හවුල් වීමට නෂීඩ් සිය අධිෂ්ඨානය පෙන්නුම් කර ඇති නමුත් චීනය, තමන්ට නිශ්චල දේපල හා නාවික අවශ්‍යතා ඇති මාලදිවයින තුල බලපෑම අඛන්ඩව ම වර්ධනය කර ගත්තේ ය.

වාර්තාවෙන අන්දමට චීනය ප්‍රති නැව්ගත කිරීමේ වරාය සහිත ඉහකා‍දූ හා මාරන්දූ දූපත් සංවර්ධනය කරමින් සිටින අතර හැනිමාදූ දූපතේ මාලදිවයින්හි දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඇතැම් ඉදිකිරීම් කටයුතු සිදු කරයි. "මෙම දූපත් ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට සමීපව පිහිටා තිබෙන බැවින් ඒවායේ ස්ථානගතවීම අවශ්‍යය" යැයි ටයිම්ස් ලිපියක් එක් චීන නිලධාරියෙකුගෙන් උපුටා දැක්වුවේ ය.

1192ක් වන කොරල් දූපත් සමූහයේ විශාලතම දූපතක් වන හා, මාලේ අගනුවරින් කිලෝ මීටර් 40ක් ඈතින් පිහිටි මාරෝ දූපතේ සබ්මැරීන් මධ්‍යස්ථානයක් පිහිටුවීමට බෙයිජිනය සැලසුම් කරන බව ඇතැම් වාර්තා සඳහන් කරයි.

තමන්ගේ පැත්තෙන් ගත් කල ඉන්දියාව මාලදිවයින තුල සිය බලපෑම වැඩි කර ගැනීමට වෑයම් කරයි. 2009 අග භාගයේ දී, මාලදිවයින් මූදු ප්‍රදේශ නිරීක්ෂනය කිරීමට වෙරලාරක්ෂක නැව් 26 ක් යෙදවීමට ඉන්දියාව කරන ලද ඉල්ලීමකට එරට අවසර දුන්නේ ය.ජකර්තා පෝස්ට් පත්‍රයට අනුව, “ඉන්දියානු වෙරලාරක්ෂකයින් හා නාවික යාත්‍රා මාලදිවයින් මුහුදු ප්‍රදේශයන්හි හා විශේෂ ආර්ථික කලාපයේ මුර සංචාරවල යෙදෙනු ඇත.” ඒ අතර පැරනි බ්‍රිතාන්‍ය ගැන් දූපතේ ගුවන් කඳවුර, ඉන්දියානු පිරික්සුම් හා ගුවන් යානා නිරීක්ෂන වෙනුවෙන් යොදා ගැනීම සඳහා ප්‍රතිසංස්කරනය කිරීමට පෞද්ගලික ඉන්දියානු සමාගමකට ලබා දී තිබේ.

Share this article: