හිලරි ක්ලින්ටන් සහ මැද පෙරදිග යුද අපරාධ

Hillary Clinton and Middle East war crimes

3 March 2012

සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද් "යුද අපරාධකරුවෙකු” ලෙස නම් කල හැකි යයි රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, අඟහරුවාදා සෙනෙට් කමිටුවක් ඉදිරියේ සාක්ෂි දෙමින්, කියා සිටියාය.

"යුද අපරාධකරුවා හා මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ පිලිබඳ අර්ථදැක්වීම් මත පාදකව, ඔහු (අසාද්) එම ප‍්‍රවර්ගයට ගැලපෙනු ඇති බවට තර්කයක් නැගිය හැකි” යයි ක්ලින්ටන් සෙනෙට් කමිටුවට පැවසුවාය.

වොෂිංටනයේ පූච්චානම් කතා උත්සන්න කිරීමේ එල්ලය වන්නේ, යලිත් වරක් මානව හිමිකම් සඳහා වූ ශුද්ධ වූ යුද්ධයක් ලෙස වෙස් ගැන්වූ තන්ත‍්‍ර-වෙනසක් සහිතව, මැද පෙරදිග තවත් අධිරාජ්‍යවාදී මැදිහත්වීමක් සඳහා මහජන සහයෝගය දිනාගැනීමයි. කෙසේවෙතත්, ක්ලින්ටන්ගේ ප‍්‍රකාශය ප‍්‍රශ්නයක් මතු කරයි: සිවිල් වැසියන්ට එරෙහි සන්නද්ධ ප‍්‍රචන්ඩත්වය යුද අපරාධයක් ලෙස සැලකෙන්නේ කොයි අවස්ථාවේ ද යන්න ඇය හරියටම තීන්දු කරන්නේ කෙසේද?

දෙවන ලෝක යුද්ධයෙන් පසුව, ජීවතුන් අතර සිටි ජර්මනියේ නාසි තන්ත‍්‍රයේ නායකයන් නඩු විභාගයන්ට ලක් කල නියුරම්බර්ග් අධිකරනය ස්ථාපිත කල සම්මුතියෙන් විශාල වසයෙන් උපුටා ගැනුනු ජාත්‍යන්තර අපරාධ අධිකරනය පිහිටු වූ පනත තුල මෙම අර්ථදැක්වීම දේහානුරූපව පවතී. එම ලියවිල්ල, ”කිසියම් සිවිල් ජනගහනයකට එරෙහිව එල්ල කෙරුනු පුලූල්ව පැතුරුනු හෝ ක‍්‍රමානුකූල ප‍්‍රහාරයක කොටසක් ලෙස . . . ” දැනුවත්ව සිදු කරන ලද -- මිනීමැරුම්, සමූල ඝාතන, වධබන්ධන, සිරගත කිරීම් සහ පුද්ගලයන් බලාත්කාරයෙන් අතුරුදහන් කිරීම් ඇතුලූ -- කි‍්‍රයාවන් ගනනාවක් ලෙස එවන් අපරාධ අර්ථදක්වයි.

සිරියානු තන්ත‍්‍රයට එරෙහිව යොදා ගනු පිනිස මෙම අර්ථදැක්වීම පිලිගැනීමට ක්ලින්ටන් සතුටු වුවත්, "එම ප‍්‍රවර්ගයට ගැලපෙන” බවට පැවසිය හැක්කේ කුමන් පුද්ගලයන් ද නැතහොත් ආන්ඩු ද යන්න පිලිබඳව අප‍්‍රකාශිත සීමාවක් පවතින බව පෙනෙයි. ඇමරිකානු දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය සම්බන්ධයෙන් ගත් කල, එක්සත් ජනපදය පෙරලා දැමීමට බලාපොරොත්තු වන තන්ත‍්‍රයක් විසින්, වොෂිංටනයේ සහයෝගය භුක්ති විඳින "කැරලිකරුවන්ට” හෝ "විරුද්ධවාදීන්ට” එරෙහිව යොදා ගනු ලැබෙන ප‍්‍රචන්ඩත්වය විස්තර කරන කල, යුද අපරාධ ලේබලය යොදා ගැනීම අගනේය.

කෙසේවෙතත්, ඇමරිකානු හමුදා විසින් ඔවුන්ගේ රට වාඩිලාගැනීමට විරුද්ධ වන ජනතාවට එරෙහිව එක්සත් ජනපදය විසින්ම ම ඊටත් වඩා දැවැන්ත ප‍්‍රචන්ඩත්වයක් මුදා හැරුනු කල, එම ප‍්‍රවර්ගය බැහැර කෙරෙයි.

සන්නද්ධ මිලීෂියා කන්ඩායම් විසින් අල්ලා ගනු ලැබ ඇති හොම්ස් නගරයේ බබා අමාර් නේවාසික ප‍්‍රදේශය දින 27ක් තිස්සේ වටලෑමට ලක්ව සිටින තතු තුල අසාද් යුද අපරාධකරුවකු ලෙස අර්ථදැක්වීම සඳහා යන තල්ලූව උත්සන්න කෙරුනි. නරගයේ සුන්නි නොවන වැසියන් පැහැරගෙන යාම හා ඝාතනය කිරීම එම මිලීෂියා කන්ඩායම්වල කි‍්‍රයාකාරකම්වලට ඇතුලත්ය. සිරියානු ආන්ඩුවේ හමුදාවල සුපිරි බලය හමුවේ තමන් ප‍්‍රදේශයෙන් ඉවත් වෙමින් සිටින බව මෙම එක්සත් ජනපද පිටුබලය ලබන "කැරලිකරුවෝ” අඟහරුවාදා නිවේදනය කලහ.

මාසයක් තිස්සේ පැවති වටලෑම තුල දී, නිරායුධ සිවිල් වැසියන් ද ඇතුලු සිය ගනනක් මිය ගිය බවට සැකයක් නැත. එහෙත්, මාධ්‍යවල හෙලාදැකීම්, එක්සත් ජාතීන්ගේ යෝජනා සහ වොෂිංටනය හා සෙසු බටහිර අගනගරවල සිට නිකුත් කෙරෙන කෝපාවිෂ්ට ප‍්‍රකාශ ප‍්‍රවාහය සලකා බැලූ කල, හොම්ස් වටලෑමේ සිට යන්තම් සැතැපුම් 400 දුරින් එමෙන් තුනෙක් පංගුවක කාලයක් පැවති අඩු ගනනේ සිවිල් වැසියන් එමෙන් 20 ගුනයක් සමූල ඝාතනය කෙරුනු සිද්ධියට එම මාධ්‍ය මූලාශ‍්‍ර සහ ආන්ඩු ම දැක්වූ නිහඬ නොතැකීම මතකයට නගා ගැනීම වටනේය.

එය සිදු වූයේ 2004 නොවැම්බරයේ දී ය. ජන ඝාතනය සිදු වූ ස්ථානය ඉරාකයේ ෆලූජා නගරයයි. එම ම්ලේච්ඡ වටලෑම තුල දී, එක්සත් ජනපද මැරයින් භටයෝ එම නගරයේ ජනයාට ඉවත් වන ලෙස අනතුරු ඇඟවීමෙන් පසුව, සමස්ත නගරය ම නිදහසේ වෙඩි තැබිය හැකි කලාපයක් බවට පරිවර්තනය කලහ. කෙසේවෙතත්, පිටවීමට උත්සාහ කල මිනිසුන් හා පිරිමි ලමුන් ආපසු හරවා යවන ලද අතර, ඔවුන්ට නාපලාම්, පොකුරු බෝම්බ, සුදු පොස්පරස් ෂෙල් වෙඩි හා සෙසු උන්ඩවලින් යුක්ත දැවැන්ත ප‍්‍රහාරයකට මුහුන දීමට සිදු විය. එය සිය ගොදුරු අලූ බවට පත් කල අතර ඔවුන්ගේ නිවාස ඔවුන් මතම බිමට සමතලා කලේය. එක්කො පලායාමට අකැමති වූ නැතිනම් පලා යාමට නොහැකි වූ 50,000ක් වූ ෆලූජා වැසියන්ගෙන් 6,000කට වඩා පිරිසකට සිය ජීවිත අහිමි විය. නගරයේ ගොඩනැගිලිවලින් මුලුමනින්ම සියයට 60ක් විනාශයට හෝ අලාභ හානිවලට ලක් විය.

වසර හතකට පසුවත්, ෆලූජා නගරයේ වැසියෝ ඔවුන්ට පනවන ලද සාමූහික දඬුවම වෙනුවෙන් තවමත් භයංකර මිලක් ගෙවමින් සිටිති. ඔවුහු නගරය මත හෙලන ලද විකිරනශීලිත්වය අඩු යුරේනියම් ෂෙල් සහ සෙසු බෝම්බ හේතු කොටගෙන හටගත් උප්පත්ති රෝග, ලමා පිලිකා සහ සෙසු රෝගාබාධා ආදී වංසගතයකින් පීඩා විඳිති.

ඉරාකයේ හා ඇෆ්ඝනිස්ථානයේ ජනයාට එරෙහි ප‍්‍රකුපිත නොකෙරුනු යුද්ධ තුල දී බුෂ් හා ඔබාමා යන පාලනාධිකාර දෙක යටතේ දී ම ෆලූජාහි එක්සත් ජනපද මිලිටරිය විසින් සිදු කරන ලද වඩා ලේවැකි කි‍්‍රයාවන් සහ අනේක විධ සෙසු ජනඝාතන "ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” තුල යුක්තියුක්ත පියවර ලෙස සැලකෙන සහ ඒ වෙනුවෙන් කිසිවකු මේ වන තෙක් වගවී නැති තතු යටතේ, හොම්ස් හි අසාද් තන්ත‍්‍රයේ කි‍්‍රයාවන් යුද අපරාධ පිලිබඳ "ප‍්‍රවර්ගයට ගැලපෙන” බව ප‍්‍රකාශයට පත් කරන්නේ කෙසේද?

ෆලූජා නගරය සුන්බුන් බවට පත් කරමින් බෝම්බ හෙලීමට පෙර, එක්සත් ජනපද මිලිටරිය කියාසිටියේ, එම නගරය ඉරාකය තුල අල් කයිඩා සංවිධානයේ මූලස්ථානය බවට පත්ව ඇති බැවින් එම ජනඝාතනය අවශ්‍ය බවයි. සත්තකින්ම, ඇෆ්ඝනිස්ථානය හා ඉරාකය යන දෙරටේම යුද්ධ ඇමරිකානු ජනතාව ඉදිරියේ යුක්තියුක්ත කෙරුනේ, අල් කයිඩා සංවිධානය විනාශ කිරීමේ ද එය "මහා ජනනාශක අවි” ලබා ගැනීමේ වැලැක්වීමේ ද යුද්ධ ලෙසය.

පසුගිය සතියේ දී, සිරියානු "කැරලිකරුවන්” සන්නද්ධ කිරීමට කල යෝජනා පිලිබඳ නැඟුනු ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර වසයෙන් කොංග‍්‍රස් කමිටුව ඉදිරියේ සාක්ෂි දීමේ දී සහ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවල දී, හිලරි ක්ලින්ටන් මීට සමාන වාග් පාඪයක් නැවතනැවතත් යොදා ගෙන තිබේ. ඇය මෙම ප‍්‍රශ්නය මතු කලාය: "අපි සිරියාව තුල අල් කයිඩා සංවිධානයට සහයෝගය දෙනවාද?”

අසාද් පෙරලා දැමීමට උත්සාහ කරන අයට අවි ආයුධ සැපයීම පිලිබඳව වොෂිංටනයට නොඑකඟතාවන් ඇති බවක් යෝජනා කරනු පිනිස මෙම කාරනාව පූච්චානම් රූපාකාරයෙන් ඉදිරිපත් කරන අතරම, යථා ලෝකය තුල අවි ආයුධ ඔවුන්ට යවන බවත් ඇගේ ප‍්‍රශ්නයට පිලිතුර "ඔව්, අපි එසේ කරනවා” යන්න බවත් ක්ලින්ටන් හොදින් හා මුලුමනින්ම දනී. ලිබියාවට එරෙහි යුද්ධය තුල දී මෙන්ම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සිරියාව තුල දී ද තමන් දිගු කලක් තිස්සේ ඇමරිකානු ජනතාවට පවත්නා ලොකුම තර්ජනය ලෙස නිරූපනය කල එම ඉස්ලාම්වාදී කොටස් සමග සමීපව වැඩ කරයි.

අධිරාජ්‍යවාදී ආක‍්‍රමනික යුද්ධ පිලිගැනීමට ඇමරිකානු ජනතාව ත‍්‍රස්ත කරනු පිනිස පහසු බිල්ලකු ලෙස යොදා ගන්නා අතරම, යථාර්ථය නම්, වොෂිංටනයත් 1980 ගනන්වල දී ඇෆ්ඝනිස්ථානයේ සෝවියට්-ගැති තන්ත‍්‍රයට එරෙහි එක්සත් ජනපද පිටුබලය ලද යුද්ධය තුල දී සීඅයිඒ සංවිධානයේ මූල්‍යාධාර සහ අවි ආයුධ ලද බලවේග විසින් පිහිටුවනු ලැබූ අල් කයිඩා සංවිධානයත් අතර සබදතාව, සෑම විටම සංකීර්න එකක් වීමයි.

1950 ගනන්වල සිට, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, සමාජවාදයට හා රැඩිකල් ජාතිකවාදයට ප‍්‍රතිභාරයක් ලෙස මැද පෙරදිග ප‍්‍රතිගාමී, බුද්ධිරෝධනවාදී ඉස්ලාම් සංවිධානවලට අවෘතව සහයෝගය දුනි. දැන්, කලාපයේ භූ-දේශපාලනික සිතියම යලි ඇඳීමේත් එහි දැවැන්ත බල ශක්ති සම්පත් වොෂිංටනයේ පාලනය යටතට ගෙන ඒමේත් ප‍්‍රයත්නයක් තුල යලිත් වරක් එය එම බලවේග ම යොදා ගනී.

ඇෆ්ඝනිස්ථානයේ හා ඉරාකයේ ආක‍්‍රමනවලට ඇමරිකානු ජනතාව ත‍්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීම සමග කිසිදු සබඳතාවක් නොතිබුනේ යම් සේ ද, එලෙසම, වොෂිංටනයේ යුද අපරාධකරුවන් විසින් හෙලනු ලබන කිඔුල් කඳුලූවලට පිටුපසින්, සිරියාවේ තන්ත‍්‍ර වෙනසක් සඳහා වන ඉල්ලීම්වලට මානව හිමිකම් සමග මොන යම් හෝ සබ‍ඳතාවක් නැත.

බිල් වෑන් ඕකන්

Share this article: