රිපබ්ලිකන් අපේක්ෂක සැන්ටෝරම් පලමුවන ව්‍යවස්ථා සංශෝධනයට පහර දෙයි

Republican candidate Santorum attacks the First Amendment

29 February 2012

දේශපාලනඥයන් සිනාවෙන් පිරි සිය වෙස්මුහුන ගලවා ඔවුන්ගේ සැබෑ සිතුවිලි සහ හැඟීම් එලිදරව් කරන්නේ දුර්ලබ අවස්ථාවලදී පමනි. රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති නාම යෝජනා සඳහා ප‍්‍රධාන තරගකරු වන රික් සැන්ටෝරම් පසු ගිය ඉරිදා රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවක දී වඩ වඩා කලහකාරී වීම සහ තමන් පාලනය කරගත නොහැකි තත්වයක අද්දරට ම පැමිනි විට එවන් එලිදරව්කාරී මොහොතක් උදාවිය.

කතෝලික පල්ලිය හා රාජ්‍යය ව්‍යවස්ථාමය වසයෙන් වෙන් කිරීම තහවුරු කරමින් ජනාධිපති අපේක්ෂක ජෝන් එෆ්. කෙනඩි විසින් 1960 දී කරන ලද ප‍්‍රසිද්ධ කතාව කියවීමෙන් තමන්ට ඔක්කාරය දැනුන බවට ඔහු කලින් කරන ලද ප‍්‍රකාශයක් ගැන ඒබීසි රේඩියෝවේ "දිස් වීක්” වැඩසටහනේ නිවේදක ජෝර්ජ් ස්ටෙප්නොපවුලොස් විසින් අසන ලද ප‍්‍රශ්නයකට ප‍්‍රතිචාර දක්වමින් සිටියේ ය.

සැන්ටෝරම් මෙසේ කියමින් ඔහුගේ ප‍්‍රකාශය ආරක්ෂා කලේය: "මක්නිසාදයත්, කතාවේ පලමු වාක්‍ය මෙසේ කියනව. ‘පල්ලිය හා රාජ්‍යය වෙන් කිරීම නිරපේක්ෂ වන ඇමරිකාවක් මම විස්වාස කරමි.’ පල්ලිය හා රාජ්‍යය වෙන් කිරීම නිරපේක්ෂ වන ඇමරිකාවක් මම විස්වාස නො කරමි. රාජ්‍යයේ මෙහෙයවීම තුල පල්ලියට බලපෑමක් හෝ මැදිහත්වීමක් කල නොහැකියි යන අදහස රටේ අරමුනුවලට හා දෘෂ්ටීන්ට පරම වසයෙන් ම ප‍්‍රතිවාදාත්මකය.”

ඝාතනය කරන ලද ජනාධිපතිවරයෙකු වන කෙනඩි සැන්ටෝරම් විසින් උමතුවෙන් මෙන් හෙලා දුටු අතර අයිතීන් පිලිබඳ පනත තුල තහවුරු කරන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුලධර්මවල මුර ගලක් කෙනඩි විසින් ආරක්ෂා කිරීමට එරෙහිව බැන වැදීම ඇමරිකානු සමුහාන්ඩුවේ අනාගමික පදනම් කෙරෙහි ඔහුගේ දුෂ්ට වෛරය පෙන්නුම් කරයි. කෙනඩිගේ ආස්ථානය "පිලිකුල් සහගත වූ නිරපේක්ෂවාදී ධර්මතාවක්” බව ඔහු එක අවස්ථාවක දී ප‍්‍රකාශ කලේ ය.

ආගමික ඉවසීම සහ නිදහස සඳහා කෙනඩිගේ ආයාචනය ආගමික ජනයා පීඩාවට පත් කිරීමේ උත්සාහයක් බව ප‍්‍රකාශ කරමින් කෙනඩිගේ කතාව ඔලුවෙන් සිටවීමට තරම් ඔහු ඉදිරියට ගියේ ය. කෙනඩි, "ආන්ඩුව කියන දේ ඔබ කරන්න යැයි ආගමික විශ්වාසය ඇති මිනිසුන්ට කීමට දැන් උත්සාහ කරන කෙනෙකුගේ දෘෂ්ටියේ කතුවරයෙකු වූයේ යැයි සැන්ටෝරම් අවධාරනය කලේය. ආගමික විශ්වාසයක් සහිත මිනිසුන් වූ විට, අඩුවසයෙන් ජෝන් කෙනඩිට අනුව මහජන චතුරශ‍්‍රය තුල භූමිකාවක් නැත.”

පලමුවන ව්‍යවස්ථා සංශෝධනය හෝ කෙනඩි විසින් එය ආරක්ෂා කිරීම මගින් ආගමික ජනයා දේශපාලනයට සහභාගි වීමෙන් වැලැක්වීමක් අදහස් කරන්නේ නැත. එය ඔවුන්ගේ පුද්ගලික විශ්වාසයන්ට මිනිසුන්ට ඇති අයිතිය සීමා නොකරයි. ඒ වෙනුවට, එය ප‍්‍රතිපත්ති සහ ආන්ඩුවේ කටයුතුවලට බාධා කිරීමට ආගමික ආයතනවලට පවතින අයිතිය ප‍්‍රතික්ෂේප කරයි.

හුස්ටන්හි පැවතී බැප්ටිස්ට් ඇමතිවරුන්ගේ සම්මේලනයක දී කරන ලද ඔහුගේ කතාවේ දී කෙනඩි මෙසේ ප‍්‍රකාශ කලේ ය. "පල්ලියට හෝ පල්ලිය විසින් මෙහෙයවන පාසැල්වලට කිසිදු මහජන අරමුදල් දීම හෝ විශේෂ දේශපාලන සැලකීම් නො කරන ඇමරිකාවක් මම විස්වාස කරමි. පාප් ගෙන්, පල්ලි පිලිබඳ ජාතික කවුන්සිලය හෝ ශුද්ධ වූ සභාවේ වෙනත් ඕනෑම මූලාශ‍්‍රයකින් රාජ්‍ය පිලිවෙත් ගැන රාජ්‍ය නිලධාරින් විසින් උපදේශ ඉල්ලා සිටින හෝ පිලි නො ගන්න, පොදු මහා ජනතාව මත හෝ එහි නිලධාරීන්ගේ මහජන ක‍්‍රිකාරකම් මත ඍජුව හෝ වක‍්‍රව එහි අභිමතය පැටවීමට ආගමික ආයතනයක් උත්සාහ නො කරන, නිල වසයෙන් කතෝලික, ප්‍රොතෙස්තන්ත හෝ යුදෙව් නොවන ඇමරිකාවක් මම විස්වාස කරමි...”

සැන්ටෝරම් සහයෝගය දෙන්නේ එහි ප‍්‍රතිවාදයට ය. ඔහු පෙනී සිටින්නේ උපත් පාලනය හා ගබ්සා කිරීමේ සිට අධ්‍යාපනය, මාධ්‍ය සහ කලාව දක්වා සමාජ ප‍්‍රශ්නවල සමස්ත පරාසයක් මත ප‍්‍රතිපත්ති පනවන සංවිධානාත්මක ආගමික බලය වෙනුවෙනි. ඔහුගේ දෘෂ්ටිය රාජ්‍ය නිලධාරීන් සඳහා ආගමික පරීක්ෂන සහ වෙනත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවරයන් රාශියක් ක‍්‍රියාත්මක කිරීම කරා මෙහෙයවෙනු ඇත. එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව මගින් තහවුරු කරන ලද මූලධර්මවලට වඩා ඔහුගේ දෘෂ්ටිය සමීප වන්නේ ස්පාඤ්ඤයේ ෆ‍්‍රැන්කෝ එකාධිපතිත්වයේ පූජක ෆැසිස්ට්වාදයට ය.

එහෙත් මෙම ආස්ථානයන් රිබ්ලිකන් පක්ෂයට මෙන්ම ඩිමොක‍්‍රටික් පක්ෂය හා සමස්ත දේශපාලන සහ මාධ්‍ය සංස්ථාපිතය දක්වා විහිදී ඇති මූලික සිවිල් අයිතීන් සඳහා වූ සහයෝගය පොදුවේ ඛාදනය වීමක වඩාත් ආන්තික ප‍්‍රකාශනයන් පමනි.

පලමු වන ව්‍යවස්ථා සංශෝධනය සහතික කලේ "ආගමෙන් නිදහස් වීම” නොව "ආගමේ නිදහස” බව අවධාරනය කරමින් ඩිමොක‍්‍රටික් පක්ෂයේ උප ජනාධිපති අපේක්ෂක ජෝසප් ලිබර්මාන් 2000 මැතිවරනයේ දී ව්‍යවස්ථාවේ අනාගමික පදනම්වලට අභියෝග කලේ ය.

පලමුවන ව්‍යවස්ථා සංශෝධනය තුල සංගෘහිත කෙරුන අනාගමිකවාදී මුලධර්ම අයිතීන් පිලිබඳ පනත තුල ප‍්‍රකාශයට පත්කල සියලු අයිතීන්ට පරම වසයෙන් ම කේන්ද්‍රීය වන්නේ ය. ආරම්භක නිර්මාතෘවරු කතා කිරීමේ හා රැස්වීමේ නිදහස ආරක්ෂා කිරීමේ වගන්තියක් තුල රාජ්‍යය හා පල්ලිය වෙන්කිරීම ප‍්‍රථම කරුන ලෙස සටහන් කිරීම අහම්බයක් නොවේ. පුර්ව පරම්පරාවන්ගේ ආගමික යුද්ධ මගින් ඇති වූ විනාසය හා සතුරු සංහාරය ජන ජීවිතය මත සංවිධානාත්මක ආගමේ මධ්‍යතන ආධිපත්‍යයේ ප‍්‍රතිවිපාකයක් බව බුද්ධිප‍්‍රබෝධයේ නියෝජිතයන් වූ ඔව්හු දුටුවෝ ය.

තෝමස් ජෙෆර්සන් පල්ලිය හා රාජ්‍ය අතර වෙන්කිරීමේ තාප්පයක් ඉල්ලා සිටියේ ය. "පොදු රජය තුල ආගමත් සමග පයිරුපාසානම් පැවැත්වීමේ අයිතියක සෙවනැල්ලක්වත් නැති” බව ජේම්ස් මැඩිසන් ප‍්‍රකාශ කලේ ය. මහජන අරමුදල්වලින් ආගම වෙනුවෙන් "පැන්ස තුනක්” වියදම් කිරීමට ඔහු ප‍්‍රසිද්ධියේ ම විරුද්ධ විය.

අධ්‍යාපනය ගැන ඔහු ගේ "දිස් වීක්” සම්මුඛ සාකච්ඡාවේ දී සැන්ටෝරම් කල ප‍්‍රකාශ ඊට වඩා අඩු ප‍්‍රතිගාමිත්වයකින් යුතු නො වීය. ඔහු කම්කරු පන්තික තරුනයන්ට ඉහල අධ්‍යාපනයක් ලබා දීමට එරෙහිව රුදුරු කෝපයක් ප‍්‍රකාශ කල අතර විශ්වවිද්‍යාල නිදහස් හා අනාගමික චින්තනයේ ආරක්ෂක මුර කුටි ලෙස හෙලා දැක්කේ ය.

අවම වසයෙන් එක අවුරුද්දක උසස් අධ්‍යාපනයක් හෝ පශ්චාත් ද්විතීය පාසල් පුහුනුවක් ලබා ගැනීමට තරුනයන් උනන්දු කරවීම සම්බන්ධයෙන් "බොරු උජාරු කාරයෙක්” ලෙස ඔබාමාව හංවඩු ගැසීමේ ඔහුගේ ප‍්‍රකාශය ආරක්ෂා කරමින් පෙන්සිල්වේනියාවේ හිටපු සෙනෙට් සභිකයා මෙසේ ප‍්‍රකාශ කලේ ය: "විද්‍යාල අධ්‍යාපනය ඇතුලත් නොවන වෙනස් නිපුනතාවයන්, අභිමතයන් හා සිහින සමූහයක් ඇති නිසා විද්‍යාලවලට යාමේ අභිමතය හෝ අභිප‍්‍රාය නැති බොහෝ මිනිසුන් මේ රටේ සිටිති.”

උසස් පාසල් අධ්‍යාපනයට අමතරව යම් මට්ටමක අධ්‍යාපනයක් හෝ පුහුනුවකින් තොරව අද හොඳ වැටුපක් සහිත රැකියාවක් ලබා ගැනීම මුලුමනින් ම වාගේ උගහට බව සැන්ටෝරම් නො දන්නවා සේ ය. එවැනි වැඩපිලිවෙලවල් සඳහා අරමුදල් තියුනු ලෙස කපාහැර ඇති බව හා එවැනි සියලුම වැඩ පිලිවෙලවල් සඳහා තව දුරටත් අරමුදල් අඩු කරන ලෙස ඉල්ලා සිටින බව නොතකා හරිමින් ඔහු කාර්මික විද්‍යාල හා වෘත්තීය පුහුනු කිරීම් ගැන වචන කිහිපයක් මිමිනුවේ ය.

ඔවුන්ගේ ම "නිවැරදි වාම මතවාදයක් කරගසාගත්” අපගේ විද්‍යාල සහ විශ්වවිද්‍යාල කොයිතරම් නිදහස් මතධාරී දැයි මැසිවිලි නැගූ ඔහු "වඩාත් තත්වාරක්ෂක මූලධර්ම විද්‍යාල පාඨමාලා තුල ද විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් තුල ද පිලිබිඹු වන” තත්වයක් තහවුරු කිරීමට පොරොන්දු විය.

ඔහුගේ ම දරුවන් නිවස තුල ම අධ්‍යාපන ගත කලයුතු යයි අවධාරනය කරන සැන්ටෝරම් මහජන අධ්‍යාපනයේ රුදුරු විරුද්ධවාදියෙකි. මෙම ක්ෂේත‍්‍රය තුල ද පල්ලියේ ආධිපත්‍යයට ඔහු සහයෝගය දෙයි.

කතෝලික පූජකයාගේ ඍජු බලපෑම යටතේ තේරී පත්වීමට නියමිත කතෝලික ජනාධිපති වරයෙකුගේ උත්සුකතාවයන්ට කතෝලිකයෙකු වූ කෙනඩිට පිලිතුරු දීමට සිදුවිය. 1960 දී එවන් පූර්වාදර්ශයක් නො වීය. ඔහු ජනාධිපතිකමට ඉදිරිපත් වූයේ ඇමරිකානු දේශපාලන ජීවිතය තුල පාප්ගේ බල පෑම ගැන බිය සමග සංකලනය වූ කතෝලික විරෝධී පුර්ව මතය තවමත් පවතින වක වානුවක ය.

දේශපාලන සංස්ථාපිතය තුල තවමත් පලල් සහයෝගයක් පැවති කාලයක, කෙනඩි පල්ලිය හා රාජ්‍යය වෙන්කිරීමට අපක්ෂපාතී මූලධර්මාත්මක ආරක්ෂාවක් සැපයී ය. කිසිසේත් ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පරමාදර්ශයක් නොවූ ඔහුගේ පරිපාලනය, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ උත්සුකතාවයන් නිර්දයව ආරක්ෂා කිරීමක් සමග විඤ්ඤානවාදයට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී විශ්වාසයන්ට ආයාචානා කිරීම ඒකාබද්ධ කලේය. එසේ වුවත්, අඩ සියවසකට පෙර ඔහුගේ පරිපාලනය වර්තමානයෙන් මුලුමනින්ම වෙනස් වූ යුගයක් නියෝජනය කලේ ය.

අතර මැද කාලය තුල කම්කරු පන්තිය මත පහර එල්ල කිරීම හා සමාජ අසමානතාවයේ වර්ධනය සමග එක පෙලට ප‍්‍රජාතන්ත‍්‍රවාදී සවිඥානකභාවයට නිරන්තරව පහර එල්ල කිරීමක් දකින්නට ලැබුනි. ගබ්සා කිරීම, උපත් පාලනය හා සමලිංගික විවාහ වැනි ඊනියා "සමාජ ප‍්‍රශ්න” ඉදිරියට දැමීම මගින් ජනගහනයේ වඩාත් පසුගාමී සහ ප‍්‍රතිගාමී කොටස් අතර ආධාරකයක් වගාකර ගැනීමට රිපබ්ලිකන්කාරයන්ගේ උත්සාහයත් සමග සමස්ත දේශපාලන සංස්ථාපිතය ම තියුනු ලෙස දකුනට ගමන් කර තිබේ.

ඔබාමාගේ යලි තේරී පත්වීමේ මැතිවරන ව්‍යාපාරය පිටුපස මහජන විරුද්ධත්වය අපසරනය කිරීමට, ද නේසන් සඟරාව හා සමාන වාම ලිබරල් ප‍්‍රකාශන, ඉන්ටර්නැෂනල් සෝසලිස්ට් ඔර්ගනයිසේෂන් වැනි ඔබාමා සහ ඩිමොක‍්‍රටික් කාරයන්ගේ ලිබරල් සහ ව්‍යාජ වාම ආධාරකරුවන් ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන්ට එරෙහි සැන්ටෝරම්ගේ වාග් ප‍්‍රහාර නිසැකව ම යොදා ගනු ඇත. එහෙත්, යථාර්ථය නම් ඔබාමා හෝ වෙනත් කිසිදු ප‍්‍රධාන ඩිමොක‍්‍රටික් නායකයෙක් හෝ පක්ෂ දෙකෙන් එකක වත් ජනාධිපති අපේක්ෂකයෙකු 1960 කෙනඩිගේ කතාව හා එතුල සංගෘහිත මුලධර්ම නිසැකව ආරක්ෂා කරනු නැත.

රාජ්‍යය හා පල්ලිය වෙන්කිරීම මත ප‍්‍රහාරය, හබයාස්කොපුස්, ප‍්‍රතික්ෂේප කිරීම හා ඔවුන්ගේ චෝදානාකරුවන්ට මුහුන දීමට චුදිතයන්ට ඇති අයිතිය සහ නියමිත කි‍්‍රයාවලියට තිබෙන පොදු අයිතිය ප‍්‍රතික්ෂේප කිරීම, වධ දීම්වලට එරෙහි නෛතික තහනම ඉවත දැමීම රාජ්‍ය ඝාතන හා දේශීය ඔත්තු බැලීම් ඇතුලු ඔබාමා යටතේ තීව‍්‍ර කර තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මත එල්ල කෙරෙන පලල් ප‍්‍රහාරයක කොටසකි.

ආක‍්‍රමනකාරී යුද්ධ හා මුල්‍ය වංශාධිපතීන් විසින් ජාතික ධනය කොල්ලකෑමේ රුපාකාරයෙන් කෙරෙන ඇමරිකානු පාලක පන්තියේ මෙහෙයුම්වල සාපරාධී ස්වභාවය වර්තමාන පරිපාලනය යටතේ වඩාත් නිරුවත් වී තිබේ. පාලනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනම් සියල්ල යටපත් කරමින් පොහොසතුන් හා දුප්පතුන් අතර සමාජ අගාධය වර්ධනය වී ඇත.

ඔවුන්ගේ සේවකයන්ට උපත් පාලනය සඳහා නිදහස් ප‍්‍රවේශයක් සම්පාදනය කරන ලෙස පල්ලියට සම්බන්ධ ආයතනවලින් ඉල්ලා සිටීමේ ඔබාමාගේ පිලිවෙත ආපස්සට ගැනීමෙන් වැඩකරන ජනතාවගේ අයිතීන් මත පල්ලිය සහ ආගමික අයිතීන් විසින් එල්ල කරන ප‍්‍රහාරය කෙරෙහි ඔබාමාගේ දෙබිඩි මුහුන සහ යටත් වීමේ ආකල්පය ප‍්‍රදර්ශනය වුයේ යන්තම් සති කීපයකට පෙර ය. මෙම යටත් වීම ආගමික විශ්්වාසය නිමිත්ත කර ගනිමින් කම්කරුවන් ගේ අයිතීන් මත දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට වේදිකාව සකසන්නේය.

ඔහුගේ යටත්වීම නිවේදනය කිරීමේ දී, තමන් පුරවැසියෙක් සහ කතෝලිකයෙක් ලෙස ක‍්‍රියා කරන බව ඔබාමා කීවේ ය. ව්‍යවස්ථාමය නීතිඥයෙකු ලෙස සැලකෙන ඔබාමා ඔහුගේ සමාජ පිලිවෙත සාධාරනීකරනය කිරීම සඳහා ඔහුගේ ආගමට ආයාචනා කිරීම අයිතීන් පිලිබඳ පනතේ මූලික මූලධර්ම දේශපාලන සංස්ථාපිතය තුල මල අකුරක් බවට පත්ව තිබෙන්නේ කෙසේ දැයි පෙන්නුම් කරයි.

බැරී ගේ‍්‍ර

Share this article: