මිලිටරි උසාවි හා මනුෂ්‍ය ඝාතනය

Military tribunals and assassination

7 March 2012

චිකාගෝහි වයඹ දිග නීති විද්‍යාලයේ පසුගිය 05දා පැවැත්වූ කථාවක දී නීතිපති එරික් හෝල්ඩර්, මිලිටරි උසාවි හා නීති විරෝධී ඝාතන, ඇමරිකානු නීති පද්ධතියේ ස්ථිර අංග බවට පත් කර, ඔබාමා පාලනය විසින් එක්සත් ජනපදයේ අනාගතය සඳහා සූදානම් කරන ඇඟ කිලිපොලායන චිත්‍රයක් සිතුවම් කරනු ලැබීය.

එක්සත් ජනපදයේ පුරවැසියන් ද ඇතුලු ඕනෑම පුද්ගලයෙකු වෙනුවෙන් කිසිදු ආකාරයක අධිකරන විමර්ෂනයකින් තොරව, රහසිගතව මරන වරෙන්තු අත්සන් තැබීමට ජනාධිපතිට බලය පැවරීම ද සමග, අර්ධ ආඥාදායක ජනාධිපති බලතල පිලිබඳ විස්තීර්න අවධාරනයක් හෝල්ඩර්ගේ කථාවට ඇතුලත්ව තිබුනි. ඕනෑම පුද්ගලයෙකු ලෝකයේ ඕනෑම තැනක දී පැහැරගෙන ගොස් සිරගත කිරීමටත්, ඔහුට මිලිටරි උසාවියක දී නඩු පැවරීමටත් නියෝග කිරීමට ජනාධිපතිට පැවරෙන බලතල ද හෝල්ඩර් විසින් ආරක්ෂා කලේය.

මෙම කථාව, පසුගිය වසරේදී එක්සත් ජනපද පුරවැසියන් තිදෙනෙක් ඇමරිකානු ඩ්‍රෝන් මිසයිල ප්‍රහාරයන් මගින් යේමනයේ දී මරාදැමීම සඳහා නීති තර්කයක් සම්පාදනය කිරීම වෙනුවෙන් ඔබාමා පාලනයට එල්ල වූ බලපෑමට ප්‍රතිචාරයක් ද විය. එම වසරේ සැප්තැම්බර් 30දා ඔබාමා පාලනය, අල් කයිඩා නායකයෙක් බවට චෝදනාවන්ට ලක්ව සිටි එක්සත් ජනපදයේ පුරවැසියෙක් වූ අන්වර් අල් අව්ලාකි, “මරන ලැයිස්තුවට” අතුලත් කිරීමෙන් පසුව, යේමනයේදී ඝාතනය කරන ලදී. (“අල් අව්ලාකි ඝාතනයේ නීතිමය ඇඟවුම්” යන ලිපිය බලන්න“) එක්සත් ජනපද මිසයිල් ප්‍රහාර මගින් මරා හෙලන ලද අනෙකුත් පුරවැසියන් වූයේ, සමීර් ඛාන් හා අන්වර් අල් අව්ලාකිගේ 16 හැවිරිදි පුත් අබ්දුල්රහමාන් අල් අව්ලාකි ය.

මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය හෝල්ඩර්ගේ කථාවට දැක්වූයේ පූර්න නොතකා හැරීමේ ආකල්පයකි. නිව් යෝර්ක් ටයිම්ස්, වෝල් ස්ට්‍රීට් ජර්නල් හා වොෂින්ටන් පෝස්ට් පුවත්පත්, කථාව පිලිබඳ ලිපි ඇතුල් පිටුවලට තල්ලු කර දැමූ අතර කිසිදු ජාලයක් සවස ප්‍රවෘති විකාශනයන්හි ඒ ගැන සඳහන් නොකලේය. ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් යන පක්ෂවල කිසිදු දේශපාලඥයෙක් හෝ ප්‍රසිද්ධ අයෙක් කථාව හෙලාදැකීමට ඉදිරිපත් වූයේ නැත. කිසිදු වාර්තාකරුවෙක් 06දා පැවති ඔබාමාගේ වසරෙහි පලමු මාධ්‍ය සමුලුවේ දී ඒ ගැන ප්‍රශ්න කලේ ද නැත.

මෙම ප්‍රතිචාරය තහවුරු කරන්නේ, ඇමරිකානු පාලක පන්තිය තුල මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් පිලිබඳව කිසිදු කැපවීමක් නොමැති බවයි.

ගුවන්තනාමෝ බේහි මිලිටරි උසාවි සාදෘෂ්‍යයක් ලෙස ඔසවා තබමින් හෝල්ඩර් තම කථාවේදී ඒවා වර්නනා කලේය. “මෙම ආකෘතිය තුල අපගේ මිලිටරි කොමිසම් පිලිබඳව මට විශ්වාසයක් ද පොරොන්දුවක් ද ඇත්තේ” යයි ඔහු පැවසී ය.

ඝාතනයන් පිලිබඳ ප්‍රශ්නය ගැන හෝල්ඩර් පැවසුවේ, “අපගේ ආන්ඩුවට මාරක බලයක් සහිතව එක්සත් ජනපදය ආරක්ෂා කිරීමේ නිශ්චිත බලයක් ඇත්තේය” එම බලය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිට කිසිදු “අධිකරනමය අනුමැතියක්” අවශ්‍ය නොවන්නේ යයි ඔහු නැවත නැවතත් තර්ක කලේය.

ඝාතනයන්ගේ ව්‍යවස්ථානුකූල භාවය වෙනුවෙන් තර්ක කරමින් හෝල්ඩර් “යුක්ති ධර්මයේ ක්‍රියාවලිය” හා “අධිකරන ක්‍රියාවලිය” අතර බෙදුම්කඩනයක් ඇන්දේය. “ව්‍යවස්ථාව යුක්ති ධර්මයේ ක්‍රියාවලිය සහතික කරන නමුත් අධිකරන ක්‍රියාවලිය සහතික නොකරයි.” මෙම සූත්‍රගත කිරීම එහි ඇඟවුම් සම්බන්ධයෙන් දැවැන්ත ය.

හිමිකම් ‍පනත ලෙස දන්නා, 1791 වසරේදී අනුමත කරන ලද එක්සත් ජනපද ව්‍යවස්ථාවේ පලමු සංශෝධන දහයට ඇතුලත් වන අධිකරන ක්‍රියාවලියේ විවිධ ප්‍රතිඥා අතර, ඉක්මන් හා ප්‍රසිද්ධ නඩු විභාගයක්, අපක්ෂපාතී ජූරි සභාවක්, නීතිඥවරයෙකුගේ සහාය ලබාගැනීම, වධ හිංසා හෝ අනෙකුත් නීති විරෝධී ක්‍රම තුලින් ලබාගත් සාක්ෂි බැහැර කිරීම, යමෙකුට චෝදනා නගන්නාගෙන් ප්‍රශ්න කිරීම, කුරිරු හා අසාමාන්‍ය දඬුවම්වලින් මිදීම පිලිබඳ අයිතීන් ද වේ.

පස්වන සංශෝධනයේ යුක්ති ධර්මය පිලිබඳ ක්‍රියාවලි‍යෙහි ප්‍රතිඥාව වන්නේම, “යුක්ති ධර්මයේ නීතියෙන් තොරව, කිසිදු පුද්ගලයෙකු......ජීවිතය, නිදහස හෝ දේපල අහිමි කිරීමකට, ලක් නොකල යුතුය” යන ඇමරිකානු ව්‍යවස්ථාමය පද්ධතියේ මුල්ගලය. එය සියවස් ගනනක් පැවතීගෙන විත් තිබේ. බැලූ බැල්මටම එමගින් නීති විරෝධී මනුෂ්‍ය ඝාතන තහනම් කර ඇති බව පැහැදිලිය.

මැග්නා කාටා (වසර 1215 දක්වා දිවයන දේශපාලන අයිතීන් හා නිදහස පිලිබඳ - බ්‍රිතාන්‍ය - වරපත්‍රය) අවධියේ දී හිමි කර ගත් අයිතියක් වන යුක්ති ධර්මයේ ක්‍රියාවලිය මත, අනෙකුත් සිවිල් අයිතීන් රඳා පවතියි.

යුක්තිධර්මයේ ක්‍රියාවලිය හා අධිකරනමය ක්‍රියාවලිය අතර බෙදුම් කඩනයක් ඇඳීමේ හෝල්ඩර්ගේ ව්‍යායාමය වනාහි, ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ඉරා දැමීම සඳහා ව්‍යාජ ව්‍යවස්ථාමය තර්කයක් ගොඩනැඟීමයි. එහි ඇඟවුම වන්නේ, යුක්ති ධර්මයේ ක්‍රියාවලියේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවය උල්ලංඝනය නොකර මිනිසුන් අල්ලා නඩු නොමැතිව අනියමිත කාලයකට ඔවුන් රඳවා තැබීම හෝ මරා දැමීමට රජයට හැකිය යන්නයි. මෙම ධර්මතාවට අනුව පොලිස් රාජ්‍යයක් පිහිටුවීම, ව්‍යවස්ථාවට අනුකූල වනු ඇත.

මේ සියල්ල සඳහා හෝල්ඩර්ගේ මූලික යුක්තිකරනය නම් ඊනියා “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයයි.” “අපි යුද්ධයට එලඹ සිටින ජාතියක් වන්නෙමු.” යයි ඔහු පැවසීය. එක්සත් ජනපදය සිටින්නේ “අනතුරේ පැයක්” තුලය.

“ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” බොරුකාර යුද්ධයකි. එය වනාහි, ඇමරිකානු මිලිටරිවාදයේ ඉමහත් ප්‍රසාරනයත්, ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට මූලික ප්‍රහාර එල්ල කිරීමත් යුක්ති යුක්ත කරන දේශපාලන, නීතිමය හා ප්‍රචාරක ප්‍රයෝගයකි. කොන්ග්‍රසය විසින් කිසි විටෙකත් ප්‍රකාශයට පත් නොකල එයට, නිශ්චිත අරමුනක් හෝ අවසානයක් නැත. එහි අර්ථය, “ජාතික ආරක්ෂාවේ” නාමයෙන් මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් සදහට ම මැඩලා තබාගැනීම යුක්තිසහගත කිරීම යි.

මිලිටරි උසාවි හා මනුෂ්‍ය ඝාතන වෙනුවෙන් කෙරෙන හෝල්ඩර්ගේ ප්‍රෝඩාකාරී නීතිමය තර්ක නාසි මීමාංසයට (නීතිය පිලිබඳ න්‍යාය හෝ දර්ශනය) නෑකම් කියනවාට වැඩි අර්ථභාරයක් දරා සිටියි. ඇමරිකානු නීතිවේදී ක්ෂේත්‍රයෙහි වැඩෙන උනන්දුවක් හා බලපෑමක් දිනාගෙන ඇති කාල් ස්ක්මිට් නමැති නාසි ජූරි සභිකයා විසින් වර්ධනය කරන ලද නීතිමය ධර්මතාවන් යටතේ, මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් අහෝසි කල හැකි, නීතියේ පාලනය අත්හිටුවිය හැකි හා විධායක අංශයට සුවිශේෂී බලතල පැවරිය හැකි කොන්දේසි හමුවේ ජාතික ආරක්ෂාව හා මිලිටරිමය හදිසි භාවය, “අති විශේෂ තත්වයක්” ලෙස යුක්තිසහගත කල හැකිය.

ඒ ආකාරයෙන්ම සියවස් ගනන් පැරනි ප්‍රජාතන්ත්‍ර නීතිමය ආරක්ෂාවන්ට එල්ල කෙරෙන පුලුල් වන ප්‍රහාරය යුක්තිසහගත කිරීම පිනිස “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” යොදාගනු ලැබ තිබේ. පසුගිය දශකය, ඝාතන, වධබන්ධන, රහසිගතව පැහරගෙන යාම්, නඩු නොමැතිව රඳවා තැබීම්, මිලිටරි උසාවි, ජනතාවන් සමීපව නිරීක්ෂනය කිරීම හා ඔත්තු බැලීම, රාජ්‍ය රහස්, අවසර නොලත් හා බලහත්කාරී සෝදිසි කිරීම්, පොලිසිය මිලිටරීකරනය, අදහස් පලකිරීමේ නිදහසට පහරදීම, යුද විරෝධී කන්ඩායම් මත කඩාපැනීම, ඔත්තු බැලීමේ ආයතන මෙහෙයුම් පුලුල් කිරීම, සංක්‍රමනිකයන්ට පහරදීම හා ජාත්‍යන්තර නීතියට එහැම පිටින්ම අවමන් කිරීම දැක ගැනීමට සමත් විය.

2001 සැප්තැම්බර් 11න් ඉක්බිත්තෙහි ආරම්භවුනු මානව අයිතීන්ට පහර ගැසීම, බලයට පත්වූයේ රිපබ්ලිකානුවන් ද ඩිමොක්‍රටිකයින් ද යන්න නොතකා කොන්ග්‍රස් සභා මැතිවරන තුනක් ද ජනාධිපතිවරන දෙකක් ද තුලින් ඉදිරියට ගොස් තිබේ. මෙයින් ‍ෙපන්නුම් කරන්නේ, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රයේ බිඳ වැටීම, ප්‍රගාඪ හා වෛෂයික ඓතිහාසික හා සමාජ ක්‍රියාවලීන් තුල මුල්බැස තිබෙන බවයි.

එය අතිමූලිකව, ඇමරිකානු ධනවාදයේ දිරාපත්වීම තුල මාධ්‍යගතව ඇති ලෝක ධනවාද‍ී අර්බුදයේ ප්‍රතිපලයයි. කාර්මික හා සමාජ යටිතල ව්‍යුහයේ දිරාපත්වීම, මූල්‍ය පරපුටු භාවයේ හා සමාජ අසමානතාවයේ වර්ධනය, කම්කරු පන්තියේ ජීවන තත්වයේ පිරිහීම තුල එක්සත් ජනපදයේ ගෝලීය ආර්ථික තත්වයෙහි දිග් ගැස්සුනු පරිහානිය රට තුල ප්‍රකාශයට පත් වෙයි. මේ සියල්ල 2008 සැප්තැම්බරයේ වෝල් වීදියෙහි කඩා වැටීමෙන් ආරම්භ ‍වුනු පද්ධතිමය බිඳ වැටීම මගින් උග්‍ර කෙරී තිබේ.

ඊජිප්තුවේ විප්ලවකාරී නැගිටීමේ ද ග්‍රීසියේ හා තවත් රටවල් බොහොමයක හටගත් වැඩවර්ජන හා විරෝධතාවන්ගේ ද පටන් පසුගිය වසරේ විස්කොන්සින්හි මහජන විරෝධතා හා වෝල් වීදිය වාඩිලාගනු ව්‍යාපාරය ද දක්වා ලෝකය සිසාරා ගිය මහජන විරුද්ධත්වය එක්සත් ජනපදයේ පාලක පන්තියට ඒත්තු ගන්වා ඇත්තේ, කම්කරු පන්තිය දුගී භාවයේ හෙලීම, තමන්ගේ සම්ප්‍රධායික පාලන රූපාකාරයන්ගේ සැකිල්ල තුලින් ඉදිරියට ගෙන ගිය නොහැකි බවයි. එය ආඥාදායකත්වය හා ජනතා මර්දනය වෙතට හැරවිය යුතුය. හෝල්ඩර් විසින් ආරක්ෂා කල ස්ථිර මිලිටරි උසාවි හා ජනාධිපති මරන වරෙන්තුවල සැබෑ එල්ලය අල්කයිඩාව නොව ඇමරිකානු කම්කරු පන්තියයි.

ඔබාමා පාලනය හා ඩිමොක්‍රටික් පක්ෂය විසින් පුලුල් කරනු ලැබ හා ආයතනික ගතකර ඇති මෙම පොලිස් රාජ්‍ය පියවර සලකුනු කරන්නේ, ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමට නම් ද්වි පක්ෂ ක්‍රමයෙන් බිඳී වෙන්වෙමින් හා කම්කරු පන්තියේ ස්වාධීන මහජන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වන බවයි.

ටොම් කාටර්

Share this article: