එක්සත් ජනපද මැතිවරන හා රැකියා අර්බුදය

The US elections and the jobs crisis

9 March 2012

එක්සත් ජනපදයේ එකම ප්‍රධාන දේශපාලන පක්ෂයකටවත් 2012 මැතිවරනයේදී සමූහ විරැකියාවට විසඳුම් සඳහා කිසිදු අර්ථවත් යෝජනාවක් නොමැතිකමෙන් සලකුනු කරන්නේ, මහා ව්‍යාපාරික පක්ෂ දෙකටම රැකියා විරහිතයින්ට කිසිවක් ඉදිරිපත්කල නොහැකි බවත්, ඔවුන්ගේ දුක්ගැනවිලි සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොමැති කමත් පිලිබඳ කාරනාවයි.

මින් කුමන පක්ෂයක හෝ දේශපාලඥයින් “රැකියා නිර්මානය” පිලිබඳ සැලසුම් ගැන කථාකරන විට ඉන් අදහස් කරන්නේ ආර්ථිකය තවදුරටත් බිඳ විසුරුවාලීම, බදු කපා හැරිම් හෝ සංගතවලට කෙලින්ම මුදල් පිරිනැමීමයි.

සතිය මුල ධවල මන්දිරයේ අනුමැතිය පලවීමෙන් පසුව, 08දා නියෝජිත මන්ත්‍රී මන්ඩලය 390ට 23ක් වශයෙන් සම්මත කල ඊනියා “රැකියා පනත” මගින් මෙම කාරනය විචිත්‍රවත් ලෙස ප්‍රකාශ කෙරේ. “අපගේ ව්‍යාපාර පිම්මකින් පනගැන්වීම” යන්නට සංකේත නාමයක් වන මෙම පනත, මිනිසුන් වැඩෙහි යෙදවීමේ පියවරක් වශයෙන් සංගතවලට තවත් වරදානයක් පිරිනැමීමේ උත්සාහයකි.

පනත මගින්, මිලියන 5ට අඩු සමාගම් සඳහා පමනක් බලපැවත්වූ සුරැකුම් හා හුවමාරු කොමිසමේ (එස්ඊසී) නියාමනයෙන් ඉවත් කිරීම, ඩොලර් මිලියන 50කට අඩු සමාගම් දක්වා දීර්ග කර ඇත. එස්ඊසීයේ ලියාපදිංචි වීමට පෙර බැංකුවකට හිමිකර ගත හැකි කොටස් හිමියන්ගේ සංඛ්‍යාව ද ඒ අනුව සිව් ගුනයකින් වැඩිවනු ඇත.

පනත ඒකඡන්දයෙන්ම වාගේ සම්මත වීම මෙන්ම ධවල මන්දිරය එය අනුමත කර තිබීම පෙන්නුම් කරන්නේ, ඇමරිකානු ජනතාවගේ දෑස් හමුවේ, දෙපක්ෂය ම එක්සත් ජනපදය වෙලාගත් අසාධ්‍ය තත්වයේ පසුවන සමූහ විරැකියාව පිලිබඳව යමක් කරන බව මවාපෑමේ අවශ්‍යතාවය යි. එහෙත් සැබවින්ම ඔවුන් කරන්නේ ඉහල විරැකියාවෙන් මඩි තර කරගත් එම සංගතයන් මත ම ඔට්ටු ඇල්ලීමයි.

එහි යෝජනා බොහොමයක් ඉදිරිපත්වූයේ ඔබාමාගේ රැකියා කවුන්සලයෙන් බව කියමින් ධවල මන්දිරය රිපබ්ලිකානුවන්ගේ පිටුබලය සහතිව ඉදිරිපත්වූ පියවරයන්හි වගකීම ගැනීමට ඉදිරිපත්විය. ඒ අතර ව්‍යවස්ථාදායකයේ ඩිමොක්‍රටිකයින් මැසිවිලි නගන්නේ, පනතෙහි කොටස් තමන්ම හඳුන්වා දීමට උත්සාහ කල පනත්වලින් ගෙන ඇති බවට ය.

මහා ව්‍යාපාරිකයට දොල පිදේනි දීම “රැකියා නිර්මානය” සමග සමාන කිරීම, කලෙකදී ප්‍රධාන කොටම රිපබ්ලිකානු දක්ෂිනාංශය සන්තක වස්තුවක් දැන් දෙපක්ෂයේ ම පොදු පිලිවෙත බවට පත්ව තිබෙන ආකාරය සලකුනු කරයි. මෙම මාරුවේ ඉහල ම ප්‍රකාශනය බවට පත්ව තිබෙන ඔබාමා පාලනය, මහා අවපාතයෙන් පසුව එලඹ තිබෙන මහා අර්බුදයට ප්‍රතිචාර දක්වන්නේ, ව්‍යාපාරිකයන්ට වාසි සැලසීම හා බදු කපාහැරීමෙනි.

ව්‍යාපාරික වටමේසය හමුවේ පෙනී සිටිමින් ඔබාමා 06දා ප්‍රකාශ කලේ, “ඔබ, ඇමරිකාවට යලි රැකියා ගෙන ඒම පිනිස උනන්දුවක් දක්වන ප්‍රධාන විධායක නිලධාරියෙක් නම්, ඔබගේ සාර්ථකත්වය වෙනුවෙන් කල හැකි සියල්ල කිරීමට අපට අවශ්‍ය ය. එහි අර්ථය අපගේ බදු ව්‍යුහය ප්‍රතිසංස්කරනය සඳහා එක්ව වැඩ කරමින් අපගේ බදු අනුපාතය කපාහැරීමට අපට හැකි බව සහතික වීමය.”

මෙම පිලිවෙත් ඔස්සේ ඔබාමා ව්‍යාපාරික බදු සියයට 35 සිට 28 දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වෙයි. නිෂ්පාදන කර්මාන්තයේ අනුපාතය ඊටත් වඩා අඩුවනු ඇත.

විරැකියා අර්බුදය පිලිබඳව ඩිමොක්‍රටිකයින්ගේ ප්‍රතිචාරය වනාහි, රිපබ්ලිකානුවන් තමන්ගේ අනන්‍යතාවය වෙනුවෙන් පොරකෑමට සලස්වා, රිපබ්ලිකානුවන් සම්ප්‍රදායිකව දරාගෙන සිටි ආස්ථානයන්ට ඔවුන් කරගසා ඇතැයි යන කාරනයේ එක් සුවිශේෂී ප්‍රකාශනයක් පමනි.

ව්‍යාපාරිකයින්ට වාසි සැලසීම “රැකියා නිර්මානය” සමග අනන්‍ය කරන ඩිමොක්‍රටික් පිලිවෙත ආන්ඩුවේ සෑම මට්ටමකට ම කාන්දු වී තිබේ. නිව් යෝර්ක්හි ඩිමොක්‍රටික් ආන්ඩුකාර ඇන්ඩෘ කියෝමෝ මෑතක දී සිය ඩොලර් බිලියන 15ක “නිව් යෝර්ක් වැඩ සටහන” ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ, “රැකියා, රැකියා හා රැකියා” යන්න එහි තේමාව වන බවයි. ඔහුට අනුව එය “ව්‍යවසායකත්වයේ ආන්ඩුවක්” හඳුන්වාදීම මගින් සංලක්ෂිත වන්නේය.

එම වැඩ සටහනෙන් ඉඩම් සංවර්ධනය කරන්නවුන්ට හා කොන්ත්‍රාත්කරුවන්ට, රාජ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ දී විශාල පාලනයක් අත්කර දෙන අතර රටේ විශාලතම කැසිනෝ මධ්‍යස්ථානය ක්වීන්ස්හි ඉදිකිරීමේ අයිතිය කැසිනෝ කාරයෙකුට හිමිකර ‍ෙදයි. එසේ ම කැසිනෝ ගොඩනැගීම පුලුල් කිරීම පිනිස ප්‍රාන්ත ව්‍යවස්ථාව ද සංශෝධනය කරනු ඇත.

පශ්චාත් යුද්ධ කාල පරිච්ඡේදයේ ඉහල ම විරැකියාව හමුවේ ආන්ඩුවේ ක්‍රියාකලාපය විය යුත්තේ, ව්‍යපාරයන්ට බදු සහන, බිඳ විසුරුවා හැරීමේ බලය හා පහත් වැටුප් යන පෙර නොවූ විරූ ඉමහත් වාසි සැලසීම මගින් රැකියාවන්ට බඳවාගැනීම පිනිස ව්‍යාපාර උනන්දු කිරීම බවට පක්ෂ දෙක ම එකඟත්වය පල කරති.

“රැකියා නිර්මානය” යන්නෙහි අර්ථය යම් තරමක් දුරට හෝ සමාජ අවශ්‍යතා පාදක කරගත් යටිතල සංවර්ධනයෙහි ලා ආන්ඩුවේ වියදම් වූ රූස්වෙල්ට්ගේ නව සම්මුතිය අවධියේ වැඩ සටහන හුවා දක්වන වචන, හර්බට් හූවර්ගේ වැඩසටහන ආවරනය කිරීම පිනිස යොදා ගනියි. එහිදී ව්‍යාපාරයන්ට පිරිනමන වාසි බඳවාගැනීම්වලට පරිවර්තනය වනු ඇතැයි සාවද්‍ය ලෙස කියාපාන ලදී.

ඇමරිකානු දේශපාලනයේ ඔර්වේලියානු ලෝකය, ව්‍යාපාර ලාභ පිම්බීමට හේතුවන ඕනෑම පියවරක් රැකියා හිතවාදී යයි කියා සිටින අතර ව්‍යාපාර ඉපැයුම්වලට හානිකර ඕනෑම දෙයක් “රැකියා වැනසීම” ලෙස හංවඩු ගසයි. ව්‍යාපාර සඳහා ඉහල බදු ප්‍රතිශත, පරිසර දූෂනයට එරෙහි නියාමන බලගැන්වීම, සුරැකුම් නීති හෝ සෞඛ්‍ය හා ආරක්ෂක නියාමන උල්ලංඝනය කිරීමට එරෙහි අධිකරන ක්‍රියාමාර්ග යන සියල්ල රැකියාවන්ට වලකපන්නේ යයි බැහැර කෙරේ.

දේශපාලන වාතාවරනය, වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන්ට පුලුල් ද්වි පාක්ෂික ප්‍රහාර සඳහා වේදිකාව සකසා තිබේ. පසුගිය මාසයේදී ඔබාමා පරිපාලනය හා රිපබ්ලිකානුවන්, දැඩි දුෂ්කරතාවන්ට මුහුනපා ඇති ප්‍රාන්තවල විරැකියා සහනයේ උපරිම කාලය සති 99 සිට සති 73 දක්වා ද බොහෝ ප්‍රාන්තවල එය 99 සිට 63 දක්වා ද කැපීම සඳහා ගිවිසුමකට එලඹුනහ.

මෙම වාර්තාව සලකුනු කරන්නේ, ඩිමොක්‍රටික් පක්ෂයේ එකදු කොටසක් හෝ මොන ක්‍රමයකින්වත් වැඩකරන ජනතාවගේ අවශ්‍යතා නියෝජනය නොකරන බවයි. අවශ්‍ය කෙරෙන්නේ ව්‍යාපාරයන්ගෙන් ස්වාධීන වූ හා සුපිරි ධනවතුන්ගේ සමාජ අවශ්‍යතාවන්ට අභියෝග කල හැකි නව දේශපාලන පක්ෂයකි.

සමාජ අවශ්‍යතා සන්තර්පනය කිරීම සංගතයන්ගේ, බැංකුවල හා ඒවා හිමිකරගෙන සිටින පාලක පන්තියේ ලාභයට කෙලින්ම සතුරුව පිහිටයි.

සැබෑ සමාජ අවශ්‍යතාවන්ගේ පරිමානය මත යෝධ පොදු වැඩසටහන් තුලින් විරැකියා අර්බුදය විසඳීම සඳහා, කඩා වැටෙන එක්සත් ජනපද යටිතල ව්‍යුහය යලි ගොඩනැඟීමට හා සමාජ අවශ්‍යතා සඳහා සෑම දෙනාගේ ම අයිතිය සුරක්ෂිත කිරීමට, ඩොලර් ට්‍රිලියන ගනනක් යෙදවිය යුතුය. මෙම කාරනයේ දී මාරක පිලිකාවක් ලෙසින් සමාජය මත ආධිපත්‍යය දරන ප්‍රධාන සංගත පොදු අයිතිය හා වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර පාලනය යටතේ තැබිය යුතු ය.

ඇන්ඩෘ ඩැමොන්

Share this article: