ඇෆ්ඝනිස්ථානයේ මයි ලායි

Afghanistan’s My Lai

13 March 2012

ලමුන් නවයක් ද ඇතුලුව, අඩු ගනනේ අහිංසක සිවිල් වැසියන් 18ක් ඝාතනය කරමින්, හඳුනා නොගත් එක්සත් ජනපද හමුදා කාර්ය මන්ඩල සාජන්වරයකු විසින් සිදු කරන ලද කි‍්‍රයාව, ඇෆ්ඝනිස්ථානය හා පකිස්ථානය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදී ආක‍්‍රමනික යුද්ධයේ ම්ලේච්ඡත්වයත් ගැඹුරු වන අර්බුදයත් පෙන්නුම් කරයි.

එහි භයංකරත්වය හා විභව දේශපාලන බලපෑම යන දෙකෙන්ම, මෙම ම්ලේච්ඡ ප‍්‍රචන්ඩ කි‍්‍රයාව මතකයට නංවන්නේ, වියට්නාම යුද්ධය තුල සිදු කෙරුනු මයි ලායි ජන ඝාතනයයි. එම සිද්ධිය, ඇමරිකානු ජනගහනයේ විශාල කොටසක්, විශේෂයෙන් ම තරුන ජනයා, හමුවේ අග්නිදිග ආසියාවේ යුද්ධයේ ම්ලේච්ඡත්වය පෙන්නුම් කල, වඩාත් පුලුල් මහා ජන ඝාතනයකි.

මයි ලායි ජන ඝාතනය මහජන අවධානයට මුලින්ම ගෙන ආවේ, එවකට නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රයේ විමර්ශන මාධ්‍යවේදියකු වූ සේමර් හර්ෂ් විසින් ලියන ලද ලිපි මගිනි. දෙවන ලුතිනන් විලියම් කැලේගේ අන යටතේ එක්සත් ජනපද සොල්දාදුවන් ඛන්ඩයක් විසින් වියට්නාම ගම් වැසියන් සිය ගනනක් මරා දමන ලද ආකාරය එම ලිපි මගින් විස්තර කෙරුනි.

2012 මාර්තු 12 දා සිද්ධීන් සහ 1968 මාර්තු 16 දා එනම්, ඊට වසර 44කට ඉහත දී, සිද්ධීන් අතර විස්තරාත්මකව ගත් කල පැහැදිලි වෙනස්කම් තිබේ. ඉරිදා ජන ඝාතනය හුදකලා තුවක්කුකරුවකුගේ වැඩක් බව පෙනී යයි. ප‍්‍රවෘත්ති වාර්තාවන්ට අනුව, ඔහු ඉරාකයේ හා ඇෆ්ඝනිස්ථානයේ යුද මෙහෙයුම් සඳහා හතර වතාවක් යොදවන ලදුව එම මෙහෙයුම් තුල දී හටගත් මානසික ගැටලුවලින් පීඩා විඳි අයෙකි. මයි ලායි හි දී, සොල්දාදුවන් 26 දෙනෙක් සිවිල් වැසියන් 504ක් ඝාතනය කිරීමට සහභාගි විය. ඔවුන් ඉටු කලේ, එහි සෑම නිවසක්ම ගිනිබත් කරමින්, එම ගම්මානය විනාශ කිරීමේ කර්තව්‍යය ඔවුන්ට පැවරූ එක්සත් ජනපද ඉහල අන දෙන මන්ඩලයේ ආඥාවන්ය. එය එම ගම්මානයේ සමස්ත ජනගහනය ම හඳුනාගෙන තිබුනේ වියට්නාම් ජාතිකවාදී කැරලිකරුවන් වූ ජාතික විමුක්ති පෙරමුනේ ආධාරකරුවන් ලෙස ය.

ඇමරිකානු අධිරාජ්‍යවාදය මෙතෙක් මුහුන දුන් දැවැන්තම පරාජය අත්විඳි වියට්නාමය පිලිබඳ ගඳ දැන් ඇෆ්ඝනිස්ථානයේ සමස්ත එක්සත් ජනපද-නැටෝ මැදිහත්වීමට ඉහලින් ලඹ දෙයි. කාබුල් හි රූකඩ තන්ත‍්‍රය, දකුනු වියට්නාමයේ එහි පූර්වගාමියා මෙන්, දේශීය ජනගහනයේ කිසිදු සැලකිය යුතු සහයෝගයකින් තොර, ඇමරිකානු හමුදාවල හා ඇමරිකානු ඩොලර්වල දැවැන්ත ප‍්‍රවාහයක නිර්මානයකි. තන්ත‍්‍රයේ මූලිකයෝ වඩාත්ම කෑදර හා අප‍්‍රතිපත්තික සමාජ තට්ටු වෙතින් පැමිනි අයයි. කිසිදු බලාපොරොත්තුවක් තබා ගත නොහැකි දෙයක් ලෙස ඔවුන් සලකන හා ඒ වෙනුවෙන් කිසිවක් පරදුවට තැබීමට ඔවුන් සූදානම් නැති යුද්ධයක් තුල දිගටම නිමග්නව සිටීමට වඩා ඔවුන් සිතන්නේ, සිය විදේශ බැංකු ගිනුම් තරකර ගැනීම ගැනයි.

කාබුල් බැංකුවේ කඩාවැටීමට සම්බන්ධිත සිද්ධියක් වන, ජනාධිපති හමිඩ් කර්සායිගේ ඇෆ්ඝන් ඥාතිමිත‍්‍රාදීන් විසින් ඇමරිකානු ආධාර බිලියන ගනනින් පුලුල් පරිමානයෙන් කොල්ලකෑම ද මෙම සොරකම් ගැන පරීක්ෂනයක් වලකාලීමට කර්සායිගේ ඉහල පෙලේ පුද්ගලික සහායකයන් මැදිහත්වීම ද පිලිබඳ එක්සත් ජනපද ප‍්‍රවෘත්ති වාර්තා පසුගිය සතියේ පල විය. පෙන්ටගනය විසින් නිර්මානය කරන ලද ඇෆ්ඝන් ගුවන් හමුදාව රට පුරා මත් ද්‍රව්‍ය හා නීති විරෝධී අවි ප‍්‍රවාහනය සඳහා යොදා ගෙන ඇති බවට නැගෙන චෝදනා විමර්ශනය කිරීමේ එක්සත් ජනපද නිලධාරින් දැන් යෙදී සිටින බව වෝල් ස්ටී‍්‍රට් ජර්නල් වාර්තා කලේය. ඇෆ්ඝනිස්ථානය ලෝකයේ ඔපියම්වලින් සියයට 90ක් නිපදවයි. වියට්නාම යුද්ධයේ ඉතිහාසය පිලිබඳ සමීප දැනුමක් ඇති ඕනෑම අයෙක් කඩාවැටීමට පෙරාතුව පවතින දූෂනයේ හා ඛාදනයේ කි‍්‍රයාදාමය හඳුනාගනු ඇත.

වියට්නාමයේ මෙන් ම, භාතෘඝාතනය ඇෆ්ඝනිස්ථානය වාඩිලාගෙන සිටින හමුදාවල මරනයන්ගේ මූලික හේතුවක් බවට පත්ව ඇත. වියට්නාමයේ දී, විශේෂයෙන් ම මෘග හා ඉවබවක් නැතිව කි‍්‍රයා කරන හමුදා නිලධාරින් නිදා සිටින විට, ග්‍රෙනේඩ ගසා ඔවුන්ව "කැබලිවලට ඉරා” දැම්මේ අනිවාර්ය යුද සේවයට බඳවා ගැනුනු අකැමැත්තෙන් සේවයේ යෙදී සිටි ඇමරිකානු සොල්දාදුවන්ය. ඇෆ්ඝනිස්ථානයේ දී, එක්සත් ජනපද පුහුනුව ලද ඇෆ්ඝන් පොලිස් භටයන් හා සොල්දාදුවන් ඔවුන්ගේ එක්සත් ජනපද හා නැටෝ "සගයන්” දුසිම් ගනනක් මරා දමා තිබේ. මිලිටරිය එම සිද්ධීන් මාලාව විස්තර කරන්නේ "නීලයන්ට එරෙහි හරිතයන්ගේ” ප‍්‍රහාර ලෙසයි. පසුගිය සතියේ දී, ඇෆ්ඝන් පොලිස් භටයෙක්, මුරපොලකට ඇතුලු වී එහි නිදා සිටි සිය සහෝදර පොලිස් භටයකු මරා දැමීමට තලිබාන් කැරලිකරුවන්ට ඉඩ දී පසුව ඔවුන් සමග පලා ගියේය.

පන්ජ්වායි සහ මයි ලායි අතර පවතින සමාන්තරය, ඇමරිකානු අධිරාජ්‍යවාදය "මානුෂීය” හේතු වෙනුවෙන් ලොව වටා මිලිටරි මැදිහත්වීම්වල යෙදී සිටින බවට පාලනාධිකාරය සහ සංගත-පාලිත මාධ්‍ය කරන අනවරත කියාපෑම් මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කිරීමකි. පලමුව ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යටතේ ද පසුව බරක් ඔබාමා යටතේ ද ඉරාකයේ, ඇෆ්ඝනිස්ථානයේ, පකිස්ථානයේ, යේමනයේ හා ලිබියාවේ ජනතාව මත එක්සත් ජනපද බෝම්බ හා මිසයිල වැසි වස්සවා ඇති අතර දැන් සිරියාව හා ඉරානය මත ද එවන් ප‍්‍රහාර එල්ල වීමේ විභවය පවතී.

සත්‍යය නම්, වියට්නාමයේ දී මෙන්ම, පසුගිය දශකය මුලුල්ලේ ඇමරිකානු යුදවාදයේ ඉස්මතුවීම මුලුමනින්ම සාපරාධී ස්වභාවයක් ගෙන ඇත යන්නයි. එක්සත් ජනනපද පාලක ප‍්‍රභූව 1960 ගනන්වලට වඩා නොඅඩු ලෙස මෘග හා ඉවබවක් නැතිව කි‍්‍රයා කරයි. එහි විධික‍්‍රම තාක්ෂනිකව වඩා සංකීර්න බවට පත්ව ඇති නම් -- එනම්, බී-52 යානා හා නාපාම් වෙනුවට කාර්යක්ෂම බෝම්බ හා ඩ්‍රෝන් යානා මගින් මෙහෙයවෙන මිසයිල් යෙදා ගන්නේ නම් -- ඉලක්ක කර ගැනෙන ජනතාව සම්බන්ධයෙන් පවත්නා අති මූලික අධිරාජ්‍යවාදී පිලිකුල හා උද්ධච්චකම එසේම පවතී. එය ඉරිදා උදයේ ම්ලේච්ඡ ලෙස කි‍්‍රයාවට නැගුනු ආකාරය තුල සිය අනිවාර්ය ප‍්‍රකාශනය ලබා ගති.

ඇෆ්ඝනිස්ථානය තුල, විශේෂයෙන්ම, එහි සිටින එක්සත් ජනපද භට සංඛ්‍යාව තුන් ගුනයක් කිරීමත් එම රටේ සෑම මුල්ලකට ම මෙන්ම දේශ සීමාව හරහා පකිස්ථානය තුලට ද යුද්ධය පුලුල් කිරීමත් මගින්, ප‍්‍රචන්ඩත්වය උත්සන්න කිරීමෙහිලා ඔබාමා මූලික කි‍්‍රයාකලාපය ඉටු කර තිබේ. ඉරාකයේ කැරලිකරුවන්ට එරෙහිව ඝාතන ව්‍යාපාරය මෙහෙය වූ ජෙනරල් ස්ටැන්ලි මැක්කි‍්‍රස්ටල්, ඇෆ්ඝනිස්ථානය තුල ද ඊට සමාන ව්‍යාපාරයකට නායකත්වය දෙනු පිනිස පත් කල ඔබාමා, සිවිල් වැසියන්ට එරෙහි වගවිභාගයක් නැතිව ගුවන් බලය යොදා ගැනීමට ඔහු මැලිකමක් ප‍්‍රකාශයට පත් කල විට ඔහු සේවයෙන් පහ කලේය.

මැක්කි‍්‍රස්ටල්ගේ පසුප‍්‍රාප්තික ජෙනරල් ඩේවිඩ් පෙටි‍්‍රයස් යටතේ, එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් හමුදාවන් රාතී‍්‍ර කාලීන ප‍්‍රහාර විශාල වසයෙන් ඉහල දැමූ අතර ඒවා ඇෆ්ඝන් ගම්මාන බොහෝ ගනනාවක් විනාශයට ලක් කර ඇත. මෙය වැඩෙන සාහසික කි‍්‍රයාවන් සමග ද සම්බන්ධිතව ඇත. මල සිරුරු මත මුත‍්‍රා කිරීම, ඝාතනය කරන ලද ඇෆ්ඝන් වැසියන්ගේ ඇඟිලි හා සෙසු ශරීර කොටස් "සිහිවටන” ලෙස කපා ගැනීම සහ බග‍්‍රාම් ගුවන් හමුදා කඳවුරේ දී කුරානයට ගිනි තැබීම වැනි මෙවන් කි‍්‍රයාවන්ගෙන් කිහිපයක් බොහෝ සෙයින් ප‍්‍රසිද්ධ වී ඇත.

ඉරාකයේ යුද්ධයට එරෙහි මහජන මනෝගතිය ඩිමොක‍්‍රැටික් පක්ෂයට සහ ඔබාමාගේ මැතිවරන ව්‍යාපාරයට සහාය දක්වන ව්‍යාපාරයක් බවට අපසරනය කිරීමට උදව් කල ව්‍යාජ වාම කන්ඩායම්වල ප‍්‍රතිගාමී කි‍්‍රයාකලාපය ද පන්ජ්වායි ජන ඝාතනය මගින් එලිදරව් කෙරී තිබේ. මෙම සංවිධානවලින් බොහොමයකම ආරම්භය වූයේ වියට්නාම යුද්ධය මගින් අවුලුවා ලූ 1960 ගනන්වල විරෝධතා ව්‍යාපාරයි. එහෙත් ඒවා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කඳවුරට මාරු වී එහි අපරාධවලට විරුද්ධ බවට දක්වන සියලු මවාපෑම් පවා අතහැර දමා ඇත. පසුගිය වසරේ දී ඔවුහු එක්සත් ජනපද-නැටෝ හමුදා විසින් ලිබියාවට එල්ල කල බෝම්බ ප‍්‍රහාරවලට හුරේ දමන්නන් ලෙස සේවය කලහ. අද ඔවුහු සිරියාවේ අසාද් තන්ත‍්‍රයට එරෙහි බාහිර මැදිහත්වීමක් සඳහා උද්ඝෝෂනය කරති. හෙට ඔවුහු ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊස්රායල යුද්ධයක් අනුමත කිරීමට සූදානම් වනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය ඇමරිකානු යුදවාදයට හා ආක‍්‍රමනයට එරෙහිව එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තරව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් වදී. 2012 මැතිවරන තුල දී සසප උද්ඝෝෂනයේ ප‍්‍රථම මූලධර්මය ජාත්‍යන්තරවාදයයි: එනම්, සමස්ත ලෝකයේ ම කම්කරු පන්තිය ධනපති ක‍්‍රමයට එරෙහි පොදු අරගලයක් තුල ඒකාබද්ධ කිරීම යි. සියලු එක්සත් ජනපද හා නැටෝ හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් වහාම ඉවත් කල යුතු බවත් ඇෆ්ඝන් ජනතාවට මූල්‍යමය වන්දි ලබා දිය යුතු බවත් මෙම යුද්ධය වෙනුවෙන් වගකිව යුතු යුද අපරාධකරුවන් එම වගවීමට යටත් කල යුතු බවත් අපි ඉල්ලා සිටිමු.

පැටි‍්‍රක් මාටින්

Share this article: