ජපානයේ ත්‍රිත්ව ව්‍යසනය: ධනවාදයට එරෙහි චෝදනා පත්‍රයකි

Japan’s triple disaster: An indictment of capitalism

16 March 2012

මාර්තු 11 භූ කම්පනය, සුනාමිය හා න්‍යෂ්ටික බලාගාර උනුවී යාම ද යන ජපානයේ ත්‍රිත්ව ව්‍යසනයෙන් වසරක් ගතවූ පසුව ද විනාශයේ දසුන් තවමත් ඉතිරිව තිබේ. සමතලා වූ ‍ෙවරලබඩ නගරවල ප්‍රති නිර්මාන කටයුතු ආරම්භ වී ඇත්තේ මඳ වශයෙනි. කැලි කසල හා සුන්බුන් කඳු ඉවත්කර නැත. අබලන් වූ ෆුකුෂීමා න්‍යෂ්ටික බලාගාරය වටා කිලෝ මීටර් 20ක ප්‍රමානයක් ජන ශුන්‍යව ඇති අතර තවත් වසර ගනනාවක් එසේ පවතිනු ඇත. එහි හානියට පත් ප්‍රතික්‍රියාකාරක මුලුමනින්ම වසා දමා හා ඉවත් කිරීමට තවත් වසර 30-40ක් ගතවනු ඇත.

මානව ව්‍යසනය ඉමහත්ය. ඉන් පුද්ගලයින් 15,000ක් මිය ගිය අතර තවත් 3,000ක් අතුරුදහන්වී ඇත. රැකියා, ව්‍යාපාර හා දිගු කලක් තිස්සේ ගොඩනැඟී තිබුනු ජීවන රටාවන් ද සමග ජනාවාස එහැම පිටින්ම විනාශයට පත් විය. තමන්ගේ කැඩී බිඳී ගිය ජීවිත යලි ගොඩනගා ගැනීමට වෙහෙසෙන 300,000කට වැඩි ජනතාවක් තවමත් සිටින්නේ තාවකාලික නැවතුම්පලවල ය. බොහෝ තරුන තරුනියන්ට වෙනත් තැන්වල රැකියා සොයාගෙන උතුරු ටොහෝකු කලාපයෙන් පිටව යාමට බල කෙරී තිබේ.

2011 මාර්තු 11දා මුදාහැරුනු ස්වාභාවික බලවේග පාලනය කල නොහැකි වූ නමුත් ව්‍යසනයේ බලපෑම, ආරක්ෂක හා හදිසි වැඩසටහන්වල නොසෑහෙනකම, ආන්ඩුවේ ශෝචනීය ප්‍රතිචාරය හා සහන සේවා හා ප්‍රති නිර්මානය වෙනුවෙන් අරමුදල් හිඟවීම මගින් උග්‍ර කෙරුනි. විශේෂයෙන්ම ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය සහිත ජපානය, සූක්ෂම කාර්මික ආර්ථිකයක් ද වන තතු හමුවේ, මෙම විපත්තිකර ප්‍රතිවිපාක ධනවාදය පිලිබඳ චෝදනා පත්‍රයකි.

සාමාන්‍ය මහජනතාවගේ සමාජ අවශ්‍යතා ව්‍යාපාරික ලාභ අපේක්ෂාවන්ට යටත් කිරීම, ෆුකුෂීමා ඩායිඉචි න්‍යෂ්ටික බලාගාරයේ අර්බුදය තුල තීරනාත්මක ලෙස හෙලිදරව් විය. විශේෂඥයින්ගේ අනතුරු ඇඟවීම් තිබියදීත්, ටෙප්කෝ හෙවත් ටෝකියෝ විදුලිබල සමාගම විසින් සැකසූ හදිසි සැලසුම්, යෝධ සුනාමිය සැලකිල්ලට නොගත්තේ ය. රල පහර බලාගාරය වසාගෙන ගමන් කරමින් එහි විදුලි සැපයුම විසන්ධි කල අතර ප්‍රතික්‍රියාකාරක හයෙන් තුනක්ම අඩ වශයෙන් උනුවීමට තුඩු දුන් සිදුවීම් පෙලක් මුදා හලේය.

සිය කොටස් මිල හා ලාභ කෙරෙහි ඇති කෙරෙන බලපෑම අවම කර ගැනීමේ අරමුනෙන් ටෙප්කෝ, ව්‍යසනයේ පරිමානය යට ගැසීය. එහි ආරක්ෂක ක්‍රියාවලියේ දුබලකම් ද වසං කිරීම් ද තිබිය දී අගමැති නඔටෝ කාන්ගේ ආන්ඩුව, සමාගමට චෝදනා නැගීමෙන් වැලකී සිටියේ ය. මෑතක නිකුත් කල වාර්තාවකින්, කාන් හා ඔහුගේ ඉහල නිලධාරීන්ට න්‍යෂ්ටික බලාගාර උනුවීමේ "බිහිසුනු ප්‍රතික්‍රියා වැලක්” සම්බන්ධ නරකම වාතාවරනය සැලකිල්ලට ගැනීමට බල කෙරුනු බව හෙලිවී ඇත. එහෙත් මහජනතාව හිතා මතාම අඳුරේ තබන ලදී.

සෑම අදියරක දී ම ආන්ඩුව කම්කරු පන්තියේ අවශ්‍යතාවන්ට වඩා ඉහලින් තැබුවේ පෙට්කෝහි අවශ්‍යතා ය. එරට නියාමන ආයතන න්‍යෂ්ටික බලාගාර සේවකයින්ට නීත්‍යානුකූලව දෙන වාර්ෂික විකිරන මාත්‍රාව මිලිසිවර්ට්ස් 100 සිට 250 දක්වා වැඩිකල අතර න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක පාලනය කිරීමේ සටනෙහි නියුතුව සිටි කම්කරුවන් සිය ගනනකගේ සෞඛ්‍ය තත්වය අනතුරේ හෙලීය. ෆුකුෂීමාව, ලෝකයේ දරුනුම න්‍යෂ්ටික ව්‍යසනය ලෙස සැලකෙන 1986 චර්නොබිල් පිපිරීමට පමනක් දෙවන වන බව න්‍යෂ්ටික හා කර්මික ආරක්ෂන ඒජන්සිය විසින් සොයාගෙන තිබුනේ මාස ගනනකටත් පෙරදී ය. ආන්ඩුව, ලෝකයේ විශාලතම බල ශක්ති ආයතනයක් වන පෙට්කෝ සමාගම ඇපදී බේරාගැනීම සඳහා යෙන් ට්‍රිලියනයක් හෙවත් ඩොලර් බිලියන 12කටත් වැඩි මුදල් සම්භාරයක් යෙදවීය.

ෆුකුෂීමා න්‍යෂ්ටික අර්බුදය පුලුල් ක්‍රියාවලීන් පිලිබඳව සංකේතවත්ය. ජපානය භූ කම්පනයන්ට හා සුනාමි ප්‍රහාරයන්ට නැමියාවක් තිබෙන රටක් බව දැන සිටිය ද ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ගෙන තිබූ පියවර මුලුමනින්ම නොසෑහුනි. මාධ්‍ය ජනතාවගේ උදාසීනත්වය ගැන දොස් නැගුව ද ගොදුරුවූ බොහෝ දෙනෙක් ආරක්ෂාව පිලිබඳ ව්‍යාජ මනෝගතියක සතපා තිබුනි. එක්සත් ජනපදයේ සාගර සේවයේ හිටපු ප්‍රධාන විද්‍යාඥ බෲස් පාකර්, ජපානයේ වෙරල තීරයෙන් සියයට 40ක් මුහුදු බැමි මගින් සුරක්ෂිත කර ඇතත් ඉන් බොහොමයක් නරකම තත්වයකට ඔරොත්තු දෙන පරිදි ඉදිකර නැති බව මෑතක දී පෙන්වා දුන්නේය. "ඒවා කොතෙක් උසට ගොඩනැගිය යුතු ද යන්න මුදල් පිලිබඳ තීරනයකි. එහෙත් පිහිටුවා තිබුනු ඉවත් කිරීමේ සුරක්ෂිත ප්‍රදේශ සම්බන්ධයෙන් සලකන කල වියදම් අදාල වූයේ සුලු වශයෙනි. ඉවත් කිරීමේ සුරක්ෂිත ප්‍රදේශ බව කියා සිටි තැන් බොහොමයක් සෑහෙන තරම් ඉහලින් හා/හෝ රට ඇතුලට වන්නට පිහිටුවා නොතිබුනු අතර එම ප්‍රදේශ කරා පැමිනි වැඩි දෙනෙක් මරනයට පත් වීම මවිතකර ය. සමහර විට වඩාත් වැදගත් වන්නේ, සිදුවූ ජීවිත හානිවලින් බොහොමයකට හේතුව ජපන් වැසියන් විශාල සංඛ්‍යාවක් සුනාමියක් පැමිනි විට කල යුත්තේ කුමක් ද යන්න ගැන නොදැන සිටියාය යන කාරනයයි.”

සැපුයුම් ජාල බිඳ වැටීම, කම්හල් වසා දැමීම හා කෘෂිකර්මයට ද ධීවර හා සංචාරක කර්මාන්තයට ද හානි සිදුකරමින් ජපාන ආර්ථිකය කෙරෙහි ගෝලීය ධනේශ්වර අර්බුදය විසින් ඇතිකල බලපෑම, ත්‍රිත්ව ව්‍යසනයෙන් තවත් උග්‍ර කලේය. පසුගිය වසරේ ආර්ථිකය වර්ධනය වූයේ සියයට 0.7න් පමනි. මේ වසරේ සියයට 2ක වර්ධනයක් අපේක්ෂා කරයි. රටේ දැවැන්ත විදේශ නය කපා හරින ලෙසට මූල්‍ය ප්‍රාග්ධනය වෙතින් එල්ල වන පීඩනය හමුවේ ආන්ඩුවේ ප්‍රති නිර්මාන අරමුදල් යෙදවුම් අවශ්‍ය තරමට වඩා බොහෝ පහත වැටී තිබේ.

සමස්ත දේශපාලන සංස්ථාපිතයෙන් ම හුදෙකලා වීමට, ව්‍යසනය කෙරෙහි ආන්ඩුවේ ප්‍රතිචාරය ගැන ජනතාවගේ අවිශ්වාසය හා විරුද්ධත්වය ද එකතුවී තිබේ. ජපානයේ බොහෝ දෙනෙක් තමන් ක්‍රමානුකූලව රවටා ඇතැයි නිවැරදි ලෙසට විශ්වාස කරති. විකිරනශීලී මට්ටම් ගැන ආන්ඩුවේ ප්‍රකාශ පිලිබඳ අවිශ්වාසය, "මැන බැලීමේ ව්‍යාපාරය” ලෙස හඳුන්වන ක්‍රියාවලියක් දිරිගන්වා තිබෙන අතර විකිරනශීලීත්වය තමන්ට ම මැනගත හැකි ඩොසිමීටර් හා හඳුනා ගැනීමත් ගනන් ගැනීමත් මගින් තත්වය මැන බලන උපකරන අලෙවිය විශාල ලෙස ඉහල ගොස් තිබේ.

ජපානයේ පාලක ප්‍රජාතන්ත්‍ර පක්ෂය ඛාන් ඉවත් කර අගමැති වශයෙන් යොෂිහිකෝ නෝඩා පත්කර ගත්තේ දේශපාලන හානිය අවම කර ගැනීම පිනිස ය. එහෙත් නෝඩා, න්‍යෂ්ටික බලාගාර හැකි ඉක්මනින් යලි විවෘත කල යුතු බවට දෙන උපදෙස් නිසා මත විමසුම්වල දී සාර්ථකත්වයක් පෙන්වන්නේ නැත. විපක්ෂයේ ලිබරල් ප්‍රජාතන්ත්‍ර පක්ෂයට ද සලකනු ලබන්නේ එවැනිම අවිශ්වාසයකිනි. මක්නිසා ද යත්, එහි පූර්ව පනස් වසරක පාලන කාලය තුල ආන්ඩු හා ව්‍යාපාරික න්‍යෂ්ටික කර්මාන්තය අතර පැවතී ඇත්තේ ද සුහද ශීලී සම්බන්ධතාවක් බැවිනි.

ව්‍යසනය කෙරේ පලවූ දේශපාලන සංස්ථාපිතයේ ප්‍රතිචාරය ගැන වර්තමානයේ පවතින කෝපය සීමිත එකකි. "ආයුබෝවන් න්‍යෂ්ටික” විරෝධතාවන්ට සහභාගී වූ දහස් ගනනක් ෆුකුෂීමා න්‍යෂ්ටික ව්‍යසනය සම්බන්ධයෙන් චෝදනා කලේ ලාභ පද්ධතියට නොව න්‍යෂ්ටික තාක්ෂනයට ය.

ජපානයේ ත්‍රත්ව ව්‍යසනයෙන් උගත යුතු පාඩම වන්නේ, ස්වභාවධර්මයේ බලවේගයන්හි විනාශකාරී ප්‍රතිවිපාක අවම කිරීමට ධනවාදය අසමත් බව සනාථ කර ඇතැයි යන්නය. 2004 වසරේ ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව හා තායිලන්තයට විනාශය ගෙන ආ ආසියානු සුනාමිය ද 2005දී නිව් ඔර්ලියන්ස්හි වැඩි හරියක් වැනසූ කැට්‍රිනා හරිකේන් කුනාටුව ද සම්බන්ධයෙන් ගත් කල වැඩ කරන ජනතාවගේ මූලික අවශ්‍යතා පුද්ගලික ලාභය වෙනුවෙන් කැපකර තිබීමේ ආදීනව දැකගත හැකිය.

ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් ධනවාදය අහෝසි කර ලෝක සැලසුම් සහගත සමාජවාදී ආර්ථිකයක් ගොඩනැගීමෙන් පමනක් එවන් ඛේදවාචකයන් අවසන් කල හැක.

පීටර් සිමන්ඩ්ස්

Share this article: