ග්‍රීක අර්බුදය ආරම්භය පමනි

The Greek crisis is only the beginning

19 March 2012

මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එය ග්‍රීසියට ඇප දීමක් ලෙස ය. මෙය මුලුමනින්ම කනපිට හැරවීමකි. පසුගිය සතියේදී යුරෝ කලාපීය මුදල් ඇමතිවරු එකඟ වූ යුරෝ බිලියන 130 පැකේජය, ග්‍රීසියට ඇප දීමක් නොව, එරට බැඳුම්කරයන්හි මුදල් ආයෝජනය කල බැංකු හා මූල්‍ය ආයතනයන්ට ඇප බැඳීමකි.

බ්‍රසල්ස් වෙතින් ලැබෙන සෑම යුරෝවකින්ම ග්‍රීක ආන්ඩුවට හිමිවන්නේ සියයට 19ක් පමනක් බවත්, ඉතිරි සියල්ල බැංකු හා මූල්‍ය ආයතනයන්හි සේප්පු වෙත කෙලින්ම ගලායන බවටත් ගනන් බලා ඇත. ආපසු ගෙවීමේ පිරිවැයෙහි බර, ග්‍රීක ජනතාව මත පැටවෙයි. දරුනු රැකියා කප්පාදුව හා සමාජ සේවා විනාශය මහා අවපාතයේ තත්වය කරා රට ආසු ගෙනයයි. දැනටමත් ජනගහනයෙන් තුනෙක් එකක් ම පාහේ ජීවත් වන්නේ දරිද්‍රතා මට්ටමට පහතින් යයි ගනන් බලා තිබේ.

පසුගිය සතියේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මුදල් ඇමතිවරුන්ගේ යුරෝ කලාපීය කන්ඩායමේ නායක ජීන් ක්ලවුඩේ ජුන්කර් ග්‍රීසිය, "මූල්‍ය ස්ථාවරත්වය, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන හා පුද්ගලීකරනය” වෙනුවෙන් "දැඩි කැපවීමක්” පෙන්විය යුතු යයි අවධාරනය කලේය. ඒ වනාහි ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ වෘක රැල, ග්‍රීසිය කොල්ල කෑමේදී යොදාගන්නා සංගෘහිත වචන ය.

"ප්‍රතිසංස්කරන” ඉදිරියට ගෙනයාමෙන් "ග්‍රීක ආර්ථිකයට තිරසාර මාවතකට යලි අවතීර්න වීමට ඉඩ ලැබෙනු ඇතැයි” ජුන්කර් කියා සිටියේය. මෙය අවඥා සහගත මුසාවකි. පසුගිය වසරේ සියයට 7න් හැකිලුනු ග්‍රීක ආර්ථිකය පස්වෙනි වසරටත් අවපාතයක ගිලී ඇත. දැන් සියයට 20ක්ව පවතින හා තව තවත් වැඩිවන විරැකියාව හමුවේ අවපාතය තුල ගිලී යාම වේගවත් වනු ඇත. ග්‍රීසිය දුෂ්ඨ චක්‍රයකට හසුව ඇත. නය බර තවත් ඉහල නංවන කප්පාදු පියවර, ආර්ථිකයේ හැකිලීමට තුඩු දෙයි.

19 වන සියවසේ දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් වගා දිගා කරන ලද ක්‍රමෝපායන් සිහිගන්වමින් ග්‍රීසිය, මුලුමනින්ම පාහේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අර්ධ යටත් විජිතයක් බවට පත්කෙරෙමින් තිබේ. ඊනියා "ත්‍රිත්වය” ලෙස හඳුන්වන යුරෝපීය කොමිසම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපීය මහ බැංකුවේ නිලධාරීන්, එහි නියෝජිතයින් සිව් දෙනෙකු සමග ආන්ඩුවේ ප්‍රතිපත්ති පේලියෙන් පේලිය විමර්ෂනය කිරීම සඳහා ඇතන්ස්හි රඳවනු ඇත.

ඇප දීමේ පැකේජය ග්‍රීසියේ නයගැතිකම අඩුකරනු ඇතැයි යලි යලිත් කෙරෙන ප්‍රකාශ සාවද්‍ය ය. අර්බුදය පටන් ගත් 2010 වසර මුල රටේ නයෙහි දල දේශීය නිෂ්පාදිත අනුපාතය පැවතියේ සියයට 120 මට්ටමේ ය. එතැන් සිට එය සියයට 170 දක්වා වැඩිවී තිබේ. දැන් ප්‍රකාශිතව ඇති ඉලක්කය වන්නේ එය සියයට 120 තෙක් පහලට ගෙන ඒම ය.

පුලුල් වන මූල්‍ය බිඳවැටීමක තර්ජනය වලක්වාගත හැකිය යන ප්‍රකාශය ද එලෙස ම බොරුවකි. පසුගිය දෙසැම්බරයේ දී යුරෝපීය මූල්‍ය වෙලඳපොලවල් පැවතියේ කැටිගැසීමට ආසන්න තත්වයක ය. 2008 සැප්තැම්බරයේ ලේමන් බ්‍රදර්ස් ආයෝජන බැංකුව බිඳ වැටීමෙන් පසුව ඇතිවූ උනුවී යාමේ පරිමාව ගැන දන්න නිසා බියවූ යුරෝපීය මහ බැංකුව, සිය දිගු කාලීන ප්‍රතිමූල්‍යකරන මෙහෙයුම් වැඩසටහන යටතේ සියයට 1 පොලී අනුපාතයකට, යුරෝ බිලියන 500ක තරම් මුදල් ප්‍රමානයක් ප්‍රයෝජනයට ගත හැකි පරිදි සූදානම් කර තැබීමට මැදිහත් විය. පසුගිය මාසයේ දී තවත් අරමුදල් යොදවමින් බැංකුවල ප්‍රයෝජනය සඳහා සූදානම් කල සංචිතය යුරෝ ට්‍රිලියනයක් දක්වා ඉහල නංවා ඇත.

එමගින් සපයන ලාභ ගැරීමේ අවස්ථාවන් තිබිය දී ම, එහි ක්ෂනික අරමුන මූල්‍ය වෙලඳපොලවල් පිම්බීම යන කාරනය මවිතකර නොවේ. සියයට එකේ පොලියට ගත් අරමුදල් එමෙන් කිහිප ගුනයක පොලියකට, බැඳුම්කරයන්ගේ හා අනෙකුත් වත්කම්වල ආයෝජනය කිරීමට බැංකුවලට හැකි විය. එමගින් බැංකු විධායකයින්ට හා මූල්‍ය වෙලෙන්දන්ට තම "මූල්‍ය විචක්ෂන භාවය” වෙනුවෙන් පරිත්‍යාග ලෙස විශාල පාරිතෝෂික ලබාගැනීමේ හැකියාව ඇතිකර තිබේ.

ක්ෂනික බිඳවැටීමක් වලක්වනු ලැබුවේ වී නමුත්, ප්‍රති මූල්‍යකරනයේ වැඩ සටහන මගින් අස්ථාවරත්වයේ තවත් නව මූලාශ්‍රයක් නිර්මානය කරමින්, යුරෝපීය මහ බැංකුව නය අර්බුදයේ පතුලට ම ඇද දමා තිබේ. බැංකු, භීතිකාවේ තවත් රැල්ලක පීඩනයට හසුවන කල හා එසේ සිදුවී බැඳුම්කර විකුනා දැමීමට පටන් ගත හොත්, මහ බැංකුවට යලි වතාවක් මැදිහත් වීමට බල කෙරෙනු ඇත.

ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ ලිපියක ලන්ඩන් ආර්ථික විද්‍යා පාසැලෙහි මහාචාර්ය පෝල් ද ග්‍රවුවේ, "ප්‍රති මූල්‍යකරන මෙහෙයුම් වැඩසටහන යුරෝ කලාපයේ රාජ්‍ය නය වෙලඳපොලවල් තුල පීඩනය ලිහිල් කර ඇත. එහෙත් එය තාවකාලික තත්වයක් පමනි. පරියන්තයේ රටවල් දැන් ගැඹුරු අවපාතයක් තුලට තල්ලු කර දමා ඇති අතර එමගින් එම රටවල මූල්‍ය ගැටලු උග්‍ර කර, මූල්‍ය වෙලඳපොලවල අලුත් වටයක අවිශ්වාසයක් නිර්මානය කරනු ඇත. එහි ප්‍රතිපල වශයෙන් "රාජ්‍ය නය අර්බුදය යලි පුපුරනු ඇත” යනුවෙන් ඔහු අනතුරු අඟවයි.

19දා ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ යුරෝපීය තීරු රචක වුල්ෆ්ගෑන්ග් මුන්චාවු, යුරෝ කලාපීය අර්බුදය කිසිසේත් ම අවසන්වී නැතැයි අනතුරු ඇඟවීය. "යුරෝපීය මහ බැංකුවේ ප්‍රතිපත්ති ‘කල් ගැනීමට’ සමත්වී ඇතැයි සිතන්නේ නම් ඔබ, ඔබගෙන්ම මෙසේ විමසිය යුතුය: කාලය කුමක් සඳහා ද? ග්‍රීසියේ නය තත්වය වෙන කවරදාකටත් වඩා අඩමානය, පෘතුගාලයේ ද එසේමය, යුරෝපීය බැංකු ක්ෂේත්‍රයේ මෙන්ම ස්පාඤ්ඤයේ ද එසේය. දශකයේ ඉතිරි කාලයට ද යුරෝපීය මහ බැංකුව අසීමිතව ලාභ නය සම්පාදනය කලත් එය පවා සෑහෙන්නේ නැත.”

ඊනියා පරියන්තයේ රටවල් හැරෙන්නට තවත් පිපිරීම් සහගත තැන් තිබේ. බෙල්ජියම සැලකිය යුතු නය බරකට කරගසා ඇත. විශාල බැංකු ක්ෂේත්‍රයක් ද සහිතව එරට නය, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 100ක් කරා පැමින ඇත. පරියන්ත රටවල ආර්ථිකයන්ට සැලකිය යුතු තරම් නිරාවරනයව ඇති විශාල බැංකු ක්ෂේත්‍රයක් සහිත ප්‍රන්සය, නිරන්තර ගෙවුම් ශේෂයකට මුහුනදී සිටියි.

යුරෝපයෙන් පිටස්තරව ගත් කල, ජපාන ආර්ථිකය හා එහි දිගට ඇදෙන මූල්‍ය හිඟය, දදේනි සියයට 10 ඉක්මවා ගොස් ඇති අතර එරටට කිසියම් අවස්ථාවක දී ජාත්‍යන්තර වෙලඳපොලවලින් නය ගැනීමට බල කෙරෙනු ඇතැයි යන කනස්සල්ල වැඩි කර තිබේ.

ජනාධිපති ලෙස යලි තේරී පත්වීම සඳහා දියත්කර තිබෙන මැතිවරන ව්‍යාපාරය හමුවේ ප්‍රන්ස ජනාධිපති නිකොලායි සාකෝසි, යුරෝපීය මූල්‍ය අර්බුදය අවසන්ව ඇති බව පැවසීය. සැබෑව නම් එය පටන් ගත්තා පමනක්ය යන්නයි. මූල්‍ය අර්බුදය හා ග්‍රීක අර්බුදය සංලක්ෂිතව ඇති පහත වැටෙන ආර්ථික නිමැවුම අතර ප්‍රතිච්ඡේදනය, ප්‍රධාන ධනපති ආර්ථිකයන්ගේ එක තැන පල්වීම හෝ වර්ධන වේගය පහත වැටෙන තතු හමුවේ, ගෝලීය සංසිද්ධියක් වීමේ තර්ජනය ගෙන එයි. මහාද්වීපික යුරෝපය, බ්‍රිතාන්‍යය හා ජපානය අවපාතයක අද්දර හෝ දැනටමත් අවපාතයකට මුහුනපා ඇත. එක්සත් ජනපද ආර්ථිකය එක තැන පල්වන අතර චීනය තම ආර්ථික වර්ධන අනුපාත සැලකිය යුතු තරම් පහත හෙලා ඇත.

ඒ සමග ම සෑම ප්‍රධාන ආර්ථිකයන්ගේ ම පාහේ නය මට්ටම් 2008-09 පටන් ඉහල නැග තිබේ. වැඩි කලක් ගතවීමට මත්තෙන් ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය, රාජ්‍ය නය සඳහා පොලී අනුපාත සැලකිය යුතු තරමින් ඉහල නැංවීමට බල කරනු ඇත. ඒ යුරෝපයේ පමනක් නොව ඊට වඩා පුලුල් වශයෙනි. ග්‍රීක කම්කරුවන්ට හා තරුනයින්ට එල්ල කරන ප්‍රහාර කම්කරු පන්තියට එරෙහි ලෝක පරිමාන ආක්‍රමනයක තියුනුම ප්‍රකාශනය වනවා පමනි.

ගෝලීය මූල්‍ය පද්ධතියේ ක්‍රියාන්විතයන් හා නය අර්බුදය පිලිබඳ සියලු මාධ්‍ය වාර්තා නොමගයවන සුලු හා ව්‍යාකූල භාෂාවකින් වෙලී පවතියි. එහෙත් අත්‍යවශ්‍ය පන්ති අන්තර්ගතය පැහැදිලිය: රාජ්‍ය නය අර්බුදය හා අත්වැල් බැඳගත් සමාජ වියදම් කපා හැරීම, ලෝක පරිමාන සමාජ ප්‍රති විප්ලවයක මූලික යාන්ත්‍රනය වන්නේය.

මෙම ගෝලීය පන්ති යුද්ධයට මුහුන දී පරාජය කල හැක්කේ, කම්කරු පන්තියේ ජාත්‍යන්තර ප්‍රතිචාරයකින් පමනි: මානව වර්ගයාගේ අවශ්‍යතාවන් සපුරාලිය හැකි සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමට පටන් ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය යේ ලොක්කන් හා සමස්ත ලාභ පද්ධතිය ම පෙරලා දැමීම සඳහා වන ඒකාබද්ධ අරගලයයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය නම් මෙයයි.

නික් බීම්ස්

Share this article: