ඉරාක ආක්‍රමනයෙන් නව වසරකට පසු

Nine years after the invasion of Iraq

22 March 2012

නව වසරකට පෙර 2003 මාර්තු 20 දින මෙවන් සතියක බ්‍රිතාන්‍යය හා ඕස්ට්‍රේලියාව ඇතුලු එහි මිත්‍ර පාර්ශවය සමග එක්සත් ජනපදය, ඉරාකයට එරෙහි නීති විරෝධී ආක්‍රමනයක් දියත් කලේය. යුද්ධය යුක්තිසහගත කිරීම සඳහා ගෙන ආ සියලු කඩතුරා මුසාවන්ය. ජනඝාතන අවි හා ඉරාක ජනාධිපති සදාම් හුසේන් හා අල් කයිඩාව අතර සම්බන්ධකම් තිබුනේ නැත. ඇමරිකාවේ නායකත්වයෙන් ගෙන ගිය දිගට ඇදුනු ආක්‍රමනකාරී වාඩිලෑම, ආඥාදායක, එක්සත් ජනපද ගැති තන්ත්‍රයක් පැලපදියම් කිරීමට ද දශ ලක්ෂයක් ඉරාක වැසියන් මරුමුව හෙලීමට ද දැවැන්ත සමාජ හා ආර්ථික පසුබෑමකට ද තුඩු දුන්නේය.

ආක්‍රමනය, ජාත්‍යන්තරව සම්බන්ධීකරනය කල පෙර නොවූ පරිමානයේ යුද විරෝධී ව්‍යාපාරයක් පැන නැංවීය. එක්සත් ජනපද ව්‍යවසායේ ගැඹුරෙන් ම සාපරාධී ස්වභාවය මගින් පෙරට තල්ලු කල දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් යුද මෙහෙයුමට එරෙහිව ලෝකය පුරා නගරවල වීදි අරක් ගත්හ. මෙය වනාහි "තෙල් සඳහා යුද්ධයක්ය” යන පුලුල් අවබෝධය, තෙලින් පෙහොසත් ඉරාකයේ ද වඩාත් පුලුල්ව මැද පෙරදිග ද සිය අධිකාරය තහවුරු කර ගැනීමේලා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යටි අරමුනු කවරේදැයි පෙන්නුම් කලේය.

කෙසේ වෙතත් ඒවායේ පරිමාව හා ලාලසාව තිබිය දී ම, එම විරෝධතා යුද්ධය නතර කලේ නැත. නව වසරක ඇවෑමෙන් ලෝකය පවතින්නේ, ඊටත් වඩා විශාල විනාශයක අද්දර ය. ඒ, සමාන අධිරාජ්‍යවාදී අභිලාශයන් ඔස්සේ යමින් ඔබාමා පාලනය, ඉරානයට එරෙහි යුද්ධය සඳහා එහි තර්ජන හා සූදානම ඉව බව නැතිව වැඩි වේගවත් කරන තතු යටතේය. අද දවසේ යුද විරෝධී මහජන ව්‍යාපාරයක් නොමැති කම, 2003 විරෝධතාවන්ගේ අසාර්ථකත්වය පිලිබඳව හා මිලිටරිවාදයටත් යුද්ධයටත් එරෙහි අරගලය යලි පන ගන්වන්නේ කෙසේ ද යන තීරනාත්මක ප්‍රශ්න පැන නංවයි.

පසුගිය දශක දෙකේ කුරිරු මිලිටරිවාදය කෙරෙහි වැඩකරන ජනතාවන් තුල, විශේෂයෙන් ම තරුනයින් තුල, විරුද්ධත්වයේ හිගයක් ඇත්තේ නැත. එහෙත් යුද්ධයේ මූලයන්ට එනම්, ලාභ ගැරීමේ පද්ධතියට එරෙහිව එල්ල කෙරෙන අව්‍යාජ යුද විරෝධී ව්‍යාපාරයක වර්ධනය, වාම ලිබරලුන් ද හරිතයින් ද සියල්ලටත් වඩා විවිධාකාර ව්‍යාජ වාම සංවිධාන ද විසින් ක්‍රමානුකූලව වලක්වනු ලැබ පවතියි. මෙම සියලු පුද්ගලයින් හා සංවිධාන කම්කරු පන්තියට හා එහි ස්වාධීන බලමුලු ගැන්වීමකට එකහෙලා සතුරුය. ඒවායේ සමාජ පදනම, නරක අතට හැරෙන ධනේශ්වර අර්බුදයේ බලපෑම යටතේ, තියුනු ලෙස දකුනට මාරුවී ඇති වරප්‍රසාදිත මධ්‍යම පන්තික තුනී ස්ථරයකි. මෙම ස්ථරය එන්ට එන්ටම සිය අවශ්‍යතා අනන්‍ය කර ගන්නේ තමන්ගේ ම අධිරාජ්‍යවාදී බලයන් සමග ය.

1960 හා 70 ගනන්වල වියට්නාම් යුද්ධයට විරුද්ධ වූ මෙම මධ්‍යම පන්තික වම්මු, අඩියෙන් අඩිය අධිරාජ්‍යවාදී යුද්ධයේ උපදේශකයින් බවට පත්ව සිටිති. මෙම ක්‍රියාවලිය 1990 ගනන්වල බෝල්කන් යුද්ධ අවධියේ දී ම දකින්නට ලැබුනි. ඒ, පැරනි යුද විරෝධී නායකයින්ගෙන් සැලකිය යුතු කොටසක්, පලමුව බොස්නියාවේ මුස්ලිම්වරු ද පසුව කෙසොවෝවරුන් ද ආරක්ෂා කරන බවට පල කල නේටෝවේ ප්‍රෝඩාකාරී මානවවාදයේ ප්‍රකාශවලට හා එහි ආක්‍රමනයන්ට, සෘජුව ම සහයෝගය දුන් තතු තුලය. සර්බියාවට එරෙහි ප්‍රහාර පිටුපස පැවතියේ, නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත්‍ර හා පැරනි සෝවියට් සංගමය බිඳ වැටීමෙන් විවර වූ අවස්ථා ගසා කෑම සඳහා වොෂින්ටනයට පැවති අධිඅෂ්ඨානය යි.

බෝල්කන් ආක්‍රමනයන්ට පිටුබලය සැපයූ අය යොදාගත් සමාන මානවවාදී කඩතුරා, "හුසේන් ආඥාදායකයා” ඉවත් කිරීමේ නාමයෙන් එක්සත් ජනපදයේ ඉරාක ආක්‍රමනයට සහයෝගය දීම සඳහා ද යොදාගත් අතර ඒ ඔවුන්ගෙන් සුලු කොටසක් නොවේ. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ට නැතිනම් ප්‍රන්සයට හා ජර්මනියට ආයාචනා කිරීමෙන් ආක්‍රමනය නතර කල හැකිය යන මිත්‍යාව තොරොම්බල් කල, 2003 යුද විරෝධී ව්‍යාපාරය තුල අධිකාරය දැරූ, ලිබරල් හා වම්මු ඊටත් වඩා ද්‍රෝහී දේශපාලන ක්‍රියා කලාපය ඉටුකලහ. ප්‍රන්සය හා ජර්මනිය, මැද පෙරදිග සිය අධිරාජ්‍යවාදී අවශ්‍යතා රැක ගැනීම පිනිස එක්සත් ජාතීන් හමුවේ සිය විරුද්ධත්වය ගොනු කරන ලද අතර එක්සත් ජනපද වාඩිලෑම ස්ථාපිත කරන ලද කාරනාවක් බවට පත්වීමෙන් පසුව තෙමේ ද එය පිටුපස පෙල ගැසුනහ.

ස්ටැලින්වාදීන් ද රාජ්‍ය ධනවාදීන් ද ට්‍රොට්ස්කිවාදයෙන් පලා ගිය පැබ්ලෝවාදී භ්‍රෂ්ඨයින් ද යන මෙම බලවේග, යුද්ධය කෙරෙහි පලවූ මහජන විරෝධය, ධනේශ්වරයේ ඒ හෝ මේ කොටසට යටත් කිරීමෙහිලා තීරනාත්මක භූමිකාව ඉටු කලහ. එක්සත් ජනපදයේදී ඔවුහු, විරෝධතා ව්‍යාපාරය තුල ඔවුන්ට පැවති අනුහස යොදා ගනිමින්, පුලුල්ව පැතිර පැවති යුද විරෝධී මානසිකත්වය, ඩිමොක්‍රටිකයින් හා 2004 ජෝන් කෙරීගේ ද 2008දී බරක් ඔබාමාගේ ද මැතිවරන ව්‍යාපාර පිටුපස පෙලගැස්වූහ. ඔබාමා බලයට පත්වීමත් සමග යුද විරෝධී ව්‍යාපාරය සහමුලින්ම වසා දැමීමට පූර්විකාව වූයේ එයයි.

2003 විරෝධතා ව්‍යාපාරය මුලුල්ලේ ම ලෝක සමාජවාදී වෙබ් අඩවිය, යුද්ධය අවසන් කල හැකි එකම සමාජ බලවේගය කම්කරු පන්තිය පමනක් බව අවධාරනය කලේය. ඒ, ධනවාදයට එරෙහි විප්ලවවාදී ව්‍යාපාරයක වර්ධනය තුලිනි. ගමන් මාවත වෙනස් කිරීම සඳහා බුෂ් පාලනයටත් අනෙකුත් ආන්ඩුවලටත් බලපෑම් කල හැක්කේ විශාල විරෝධතාවන් හරහා බව කියා සිටි ව්‍යාජ වම්මු තොරොම්බල් කල මිත්‍යාවේ අන්තරාය පිලිබඳව ක්‍රමානුකූලව අනතුරු ඇඟවූ එකම හඬ වූයේ ලොසවෙඅ යි.

ඒ අවධියේ දී, කිසිදු මහජන ව්‍යාපාරයක් පිලිබඳ අත්දැකීම් විරහිත හා කවරදාකවත් නොපැවති තරම් විශාල ජාත්‍යන්තර විරෝධතාවන්ට සහභාගී වීමේ උද්දාමයෙන් මෙහෙයවුනු තරුනයින්ට, විවිධාකාර ව්‍යාජ වාම කන්ඬායම් පිලිබඳව ලෝසවෙඅ කල හෙලිදරව්වන්ගේ වැදගත්කම ග්‍රහනය කර ගැනීම දුෂ්කර වන්නට ඇත. ඉන් පසු කාලයේ දී මෙම සමාජ ස්ථරය කෙලින්ම අධිරාජ්‍යවාදී කඳවුරට සේන්දු වීම, විශේෂයෙන්ම ඔබාමා පාලනය යටතේ, පලදායී දේශපාලන පාඩමක් ගෙන එයි.

"ගඩාෆි ආඥාදායකයා” නෙරපීම සඳහා සියලු මාධ්‍ය යුක්තිසහගතය යන එම තුච්ඡ මානවවාදී කඩතුරාව ම යොදාගනිමින් ලිබියාවට එරෙහි ‍ෙන්ටෝ යුද්ධයට නිර්ලජ්ජිතව සහාය දීමේදී මෙම සියලු පැරනි වාම කන්ඬායම් පසුගිය වසරේ දී එකට එක් වූහ. නේටෝ ගුවන් ප්‍රහාරයන්ට නාමිකව "විරුද්ධ” වූවන් නේටෝවේ බිම් හමුදාවන්ට සහාය දැක්වීය. විවිධාකාර ඉස්ලාම්වාදීහු, ගඩාෆිගේ පැරනි පාක්ෂිකයෝ, ගෝත්‍රික නායකයෝ හා ධනපති ලිබරල්ලු නේටෝවේ පිටුබලය ලත් ජාතික සංක්‍රමන කවුන්සිලයේ ධජය වටා රොක් වූහ. ප්‍රතිපලය වූයේ, ට්‍රිපොලි හි ප්‍රජාතන්ත්‍ර විරෝධී තන්ත්‍රයක් ඇටවීමයි. වොෂින්ටනයට වඩාත් ගැති, ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතා ඉටුකරන එම තන්ත්‍රය යටතේ පාලනය කල නොහැකි සිවිල් යුද්ධයක් පුපුරා යාමේ තර්ජනය ගෙන එමින්, රට ගෝත්‍රික හා ප්‍රාදේශීය රේඛා ඔස්සේ කැබලි කිරීමකට තුඩු දෙනු ඇත.

පසුගිය දශක දෙක තිස්සේ ඇමරිකානු මිලිටරිවාදයේ පුපුරා යාම පිටුපස ඇත්තේ, සිය ඓතිහාසික පරිහානිය මඟ හැර ගැනීම පිනිස එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මිලිටරි අධිකාරය උපයෝගී කර ගැනීමට, බලයට පත්වූ ආන්ඩු විසින් දරන ලද උත්සාහයයි. ඒ සිය යුරෝපිය හා ආසියානු ප්‍රතිවාදීන්ගේ වියදමිනි. මෙම ක්‍රියාවලීන් ගැඹුරු වන ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඔබාමා පාලනය යටතේ උත්සන්න වී ඇතුවා පමනි. සිරියාවට හා ඉරානයට එරෙහි වත්මන් යුද පිලිවෙත, සමස්ත මැද පෙරදිග පමනක් නොව, චීනය හා රුසියාව ද ඇතුලු අනෙකුත් රටවල් ද ඇදගත් කලිහලයක තර්ජනය මතුකරයි.

යුද්ධයට හා මිලිටරිවාදයට එරෙහි නව ජාත්‍යන්තර ව්‍යාපාරය පදනම් විය යුත්තේ, අධිරාජ්‍යවාදී ගැටුමේ මූලික හේතුව දේශපාලන නායකයින්ගේ ආත්මීය ගති ලක්ෂන හෝ පොට වරද්දාගත් ප්‍රතිපත්ති නොවන බව වටහා ගැනීම මතය. එක්සත් ජනපද, යුරෝපීය හා වෙනත් තැනක නායකයින්ගේ සාපරාධීකම හා සාහසිකත්වය පිටුපස ඇත්තේ ධනවාදයේ අති මූලික ප්‍රතිවිරෝධයන්ය. එනම් ලෝක ආර්ථිකය හා යල් පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය අතරත්, සමාජීය නිෂ්පාදනය හා පෞද්ගලික අයිතිය අතරත් පවතින ප්‍රතිවිරෝධයයි. යුද්ධයට එරෙහි ශක්‍ය ව්‍යාපාරයක් සඳහා තීරනාත්මක ලෙස කම්කරු පන්තිය වෙත හැරීමත්, ලාභ ගැරීමේ ක්‍රමය අහෝසි කර සමාජවාදය පිහිටුවීමත් සඳහා එම පන්තිය, විප්ලවවාදී බලවේගයක් ලෙස ස්වාධීනව බලමුලු ගැන්වීමත් අවශ්‍ය කෙරේ. එවන් ව්‍යාපාරයක් ගෙඩනැඟිය හැක්කේ, මෙම ඉදිරිදර්ශනයකට තරයේ විරුද්ධ වන හා වෙන කවදාකටත් වඩා විවෘතව අධිරාජ්‍යවාදය වෙනුවෙන් කහින හා ක්ෂමාලාපයේ යෙදෙන පැරනි වම්මුන්ට එරෙහි දේශපාලන සටනක් තුලින් පමනි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: