බ්‍රිතාන්‍යයේ සමාජ ප්‍රතිවිප්ලවය

Social counterrevolution in Britain

17 March 2012

බ්‍රිතාන්‍යයේ කම්කරුවෝ සිය ජීවන මට්ටම් අඛන්ඩව හා ව්‍යසනකාරී ලෙස පල්ලම් බැසීමකට මුහුන දී සිටිති. සෑම සතියකම වැටුප් පහල බැසීම, විරැකියාවේ නැගීම සහ දුෂ්කරතා වඩවඩා උග්‍ර වීම පිලිබඳ අලුත් වාර්තාවක් ලැඛෙයි.

කම්කරු පන්තික ජීවන මට්ටම් මීට වසර 30කට වැඩි කලකට පෙර තිබූ මට්ටම්වලට වඩා පහලට දැනටමත් පිරිහී ඇත. නව පිලිවෙත් ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) වැටුප්වලට යන කොටස 1978 දී තිබූ සියයට 58 සිට අද සියයට 53.8 දක්වා වැටී තිබේ. මෙය පවුම් ට්‍රිලියන 1.3ක සමුච්චිත වැටුප් කප්පාදුවක් වන අතර 2011 වසරේ පමනක් එම අගය පවුම් බිලියන 60කි. 1978 දී වැටුප්-දදේනි අනුපාතය ඒ වන විටත්, 1975 දී තිබූ එහි පශ්චාත් යුද කාලීන ඉහලම අගය වූ සියයට 66.5 සිට තියුනු වැටීමක් පෙන්නුම් කලේය.

කම්කරුවන්ගෙන් දුප්පත්ම පහෙන් පංගුවේ වැටුප් මූර්ත අගයෙන් ගත් කල 1978 දී තිබූ මට්ටමේ සිට 2011 වන විට සියයට 43කින් පහල වැටුනි. මධ්‍යම මට්ටමේ ආදායම් ලබන කම්කරුවෝ සිය වැටුප් ඒවායේ වටිනාකම අනුව ගත් කල සියයට 36කින් පහල වැටීමක් අත් විඳ තිබේ.

මෙම පරිහානිය 2008 දී මූල්‍ය අර්බුදය පිපිරීමෙන් පසුව උත්සන්න වී ඇත. එතැන් පටන් මේ වන තෙක් ඒ හෝ මේ අවස්ථාවක මිලියන 3කට ආසන්න පිරිසක් රැකියාවලින් දොට්ට වැටී ඇත. එනම්, සෑම මිනිසුන් 10කට ම එක් අයෙක් බැගිනි.

පසුගිය වසර හතර තුල රැකියාවලින් දොට්ට වැටුනු මිලියන 2.7න් නව රැකියා සොයා ගැනීමට සමත්ව ඇති අය සාමාන්‍යයෙන් සියයට 28ක දැවැන්ත වැටුප් කප්පාදුවක් අත් විඳිති. බොහෝ දෙනෙක් රැකියා සොයා ගැනීමට අසමත්ව ඇති අතර තවත් කම්කරුවන් 30,000ක් මසක් පාසා රැකියාවලින් දොට්ට වැටෙති. සමුච්චිත නිල විරැකියා අගය මිලියන 3 මට්ටම කරා අනිවාර්්‍යයෙන් ම නගිමින් පවතී. මිලියනයකට අධික තරුන ජනයා මෙම සංඛ්‍යාවට ඇතුලත් වේ. එම තතු යටතේ පවා, මෙය රැකියා නැතිව හෝ අර්ධ-කාලීන රැකියාවල යෙදෙන සැබෑ සංඛ්‍යාවන් විශාල වසයෙන් අවතක්සේරු කිරීමකි.

කොන්සර්වෙටිව්/ලිබරල් ඩිමොක්‍රැටික් සන්ධානය විසින් පනවන ලද පවුම් බිලියන 130ක කප්පාදුවල කොටසක් ලෙස පසුගිය වසරේ දී රාජ්‍ය අංශයේ රැකියා 270,000 නිත්‍ය වසයෙන් විනාශ කරන ලදි. අධ්‍යාපන සේවකයන් 71,000ක් ද ජාතික සෞඛ්‍ය සේවාවේ රැකියා 31,000ක් ද මෙම එකතුවට ඇතුලත් විය. රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය මිලියන 5.94 දක්වා පහල බැස්ස අතර, විනාශ කෙරුනු රැකියාවලින් සියයට 64ක් එම අංශයට අයත් විය.

කෙසේවෙතත්, විනාශ කෙරුනු රැකියාවලින් තුනෙක් පංගුවක් නිෂ්පාදන අංශය තුලිනි. එමෙන්ම මූර්ත වැටුප්වල සියයට 13ක වැටීමකට තුඩු දී ඇති රාජ්‍ය අංශයේ වසර තුනක් තිස්සේ පවත්නා වැටුප් කැටිකිරීම පුද්ගලික අංශය පුරා ක්‍රියාත්මක වන වැටුප් කප්පාදු සමග සම්පාත වේ. වැටුප් වැඩිවීමක් ලබන කම්කරුවන්ගේ අනුපාතය 2008 දී තිබූ තුනෙන් දෙකේ සිට 2011 දී හරි අඩකටත් පහල අගයක් කරා පල්ලම් බැස ඇත්තේ, සාමාන්‍ය කම්කරුවකුට වසරකට පවුම් 3,000ක් අහිමි කරවමිනි.

කම්කරුවන්ගේ සැබෑ ක්‍රය ශක්තිය තව දුරටත් කප්පාදු කරන උද්ධමනය විසින් මෙම තතු වඩාත් උග්‍ර කෙරෙයි. වැටුප් ගිවිසුම්වලින් සියයට 99ක් ම දැන් නිල උද්ධමන අනුපාතයෙන් පහල වන අතර එය මූර්ත වැටුප්වල අමතර සියයට 7ක කප්පාදුවකට තුඩු දී තිබේ. ඉන්ධන හා සෙසු අවශ්‍යතාවන්ගේ වියදම් මුලු උද්ධමනයේ අගයට වැඩි ප්‍රමානයකින් ඉහල නගින තතු යටතේ, වැටුප් අගයන්ගේ සියයට 20ක වැටීමක් යන්න වඩා නිවැරැදි සංඛ්‍යාවකි. සාමාන්‍ය කුටුම්භයකට මීට වසරකට ඉහත දී පැවති ජීවන මට්ටම පවත්වා ගෙන යනු පිනිස දැන් වසරකට පවුම් 1,300ක් අමතරව වැය කිරීමට සිදු වනු ඇත.

බොහෝ දෙනා දැන් ජීවත්වන්නේ සදාකල් නයගැතියන් ලෙස ය. මිලියන 17කට වැඩි ජනකායක් (ජනගහනයෙන් සියයට 35ක්) පසුගිය මාස 12 තුල බැංකු අයිරාවක් ලබා ගෙන ඇත. ජනගහනයෙන් හතරෙන් පංගුවකට වැඩි පිරිසක් (සියයට 27ක්) නය ගෙවීමෙන් පසු යන්තම් දින 15ක දී යලි නයගත යුතු තත්වයට පත්වෙයි. එක්සත් රාජධානියේ සාමාන්‍ය කුටුම්බයක් නය පොලී වෙනුවෙන් පමනක් මසකට පවුම් 200ක් වැය කරයි. එය වනාහි තමන්ට රිසි දෙයකට වැය කිරීමට ඇති ආදායමින් හතරෙන් එකකි. සාමාන්‍ය කුටුම්භයක උකස් නය පසුගිය 10 වසර තුල පවුම් 20,000කට වඩා වැඩි අගයකින් ඉහල නැග ඇති අතර, මිලියනයකට ආසන්න ජනයා සිය බදු කුලී හෝ උකස් වියදම් පියවා ගනු පිනිස වැටුප් දින ගෙවීම පිනිස ගිනි පොලියට නය ගෙන තිබේ.

2010 වන විටත් දරිද්‍රතාවයේ ගිලී සිටින ජන සංඛ්‍යාව මිලියන 13කට ඉහල අගයක් වූ අතර එයින් හරි අඩක්ම පාහේ —ගැඹුරු දරිද්‍රතාවයේ ගිලී සිටියහ. ජනගහනයෙන් ධනවත්ම සියයට 10 දැන් දුප්පත්ම සියයට 10 මෙන් 100 ගුනයකට වැඩියෙන් පොහොසත් වන අතර ඉහලම සියයට 0.1 ලබන ආදායම ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත් කල, එය 1940 ගනන්වල පැවති අගයම තරම් විශාල සංඛ්‍යාවකි. වත්මන් ප්‍රවනතා දිගටම පැවතුන හොත් -- ඒවා බොහෝ සෙයින් තීව්‍ර වනු ඇත -- 2025 වන විට ඉහලම සියයට 0.1 පමනක් ජාතික ආදායමෙන් සියයට 10ක් අවශෝෂනය කරගනු ඇත. 2030 වන විට, එක්සත් රාජධානිය වික්ටෝරියානු යුගයෙන් පසුව නොදුටු අසමානතා මට්ට්මවලට යලි පිවිසෙනු ඇත.

මෙම භයංකර සංඛ්‍යාලේඛන චිත්‍රයේ එක කොටසක් පමනි. රාජ්‍ය අංශයේ රැකියා විනාශ කිරීම, පශ්චාත් යුද කාලීන සුබසාධන රාජ්‍යය නමැති ඔටුන්නේ මානික්‍ය ලෙස සැලකෙන අධ්‍යාපනය හා ජාතික සෞඛ්‍ය සේවාව පුද්ගලීකරනය කිරීම විශේෂයෙන් ම ඉලක්ක කරගත්, සුබසාධන රාජ්‍යයේ ඉතිරිපහදු කඩාබිඳ දැමීම අවසානයකට ගෙන ඒමේ මෙහෙයුම සමග බැදී පවතී. සමස්ත ජාතික සෞඛ්‍ය සේවාවේ රෝහල්වල පාලනය දැනටමත් සියතට ගනිමින් සිටින පුද්ගලික අංශය වෙත රජයේ අරමුදල් ලබන රෝහල් ඇදන්වලින් හරි අඩක්ම පාහේ පවරා දීමට ආන්ඩුව සැලසුම් කරයි.

මෙම සියලු ප්‍රහාර ඉදිරියට ගොස් ඇත්තේ වෘත්තීය සමිතිවල කිසිදු විරුද්ධත්වයකින් තොරවය. ඒ වෙනුවට, ඔවුුහු කම්කරු පන්තිය මත සමාජ ප්‍රතිවිප්ලවය පැටවීමට උත්සාහ කරන පෙරමුනේ රාලලා ලෙස ලේබර් පක්ෂයේ සිය දේශපාලන සගයන් සමග එක පෙලට සිටගෙන ඇත.

දශක තුනකට වැඩි කලක් තිස්සේ, ලේබර් නිලධරය කම්කරු පන්තියේ සමාජ තත්වයට වල කැපීමේ අඛන්ඩ මෙහෙයුමකට නායකත්වය දී තිබේ. කෙසේවෙතත්, අද මෙම පාවාදීම්වල අනවරත ප්‍රවාහය, කෝටි සංඛ්‍යාත ජනයා සමාජ ම්ලේච්ඡත්වය කරා යලි ඇදදැමීමේ තර්ජනය මතු කරන ඓතිහාසික ප්‍රතිවර්තනයකට දිය දොර විවෘත කර ඇත.

මෙය බ්‍රිතාන්‍යයට අනන්‍ය වූවක් නොවේ. ග්‍රීසිය, ස්පාඤ්ඤය, ඉතාලිය, අයර්ලන්තය තුල සහ යුරෝපයේ ආර්ථීක බලාගාරය වන ජර්මනිය තුල පවා මීට සමාන හෝ මීටත් වඩා නරක තත්වයක් උදා වෙමින් තිබේ. එක්සත් ජනපදය මෙයින් වෙනස් වන්නේ, එහි කම්කරු ව්‍යාපාරය නිරතුරුවම කෙතරම් නම් කුනු වී හා දූෂිතව තිබුනේ ද යන පරිමානයෙනි. ඒ ගැන කෙසේ ද කියතොත්, යුරෝපයේ කම්කරුවන්ගෙන් උදුරා ගනු ලබන, නිදහස් සෞඛ්‍ය සේවය වැනි, බොහෝ දේවල් ඇමරිකානු කම්කරුවන් විසින් කිසිදාක සහතික කරගෙන තිබුනේ නැත.

මෙම කටුක අත්දැකීම් වෙතින් අති මූලික පාඩම් උකහා ගත යුතුය.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව එලඹුනු උත්පාත සමග තුල දී, සැලකිය යුතු සමාජ ප්‍රතිසංස්කරන ද වැටුප් හා ප්‍රතිලාභ සම්බන්ධිත ජයග්‍රහන ද සහතික කරගැනීමට ලේබර් පක්ෂය සහ වෘත්තීය සමිති සමත් වූහ. එහෙත්, මෙය නිරතුරුවම පදනම් වූයේ, ස්වකීය ආශාවන්ට එරෙහිව ක්‍රියා කිරීමට ඔවුන්ට බල කල කම්කරුවන්ගේ සටන්කාමී අරගල මතය. එඩවඩ් හීත්ගේ කොන්සර්වෙටිව් ආන්ඩුව හෙලූ මහජන වර්ජන ව්‍යාපාරයෙන් ක්ෂනිකව ඉක්බිත්තෙහි, 1975 දී, වැටුප් ඉහලම අගයකට ලඟා වූයේ එබැවිනි.

එම යුගය ඈත අතීතයට අයත්ය. එතැන් පටන්, සියලූ —වමේ පැරනි පක්ෂ හා වෘත්තීය සමිති විසින් මෙහෙයවුනු බලාත්කාරයෙන් දකුනට ගමන් කිරීමක් පැවතී ඇත. ගෝලීය මූල්‍ය ප්‍රභූවේ ආඥාවන්ට ප්‍රතිචාර දක්වමින්, නිලධරය ජාතික ආර්ථීක නියාමනය සහ පන්ති සම්මුතිය මත පදනම් වූ සිය පැරනි මූලෝපායන් අතහැර දමා වෙලඳ පොලට අපාලිතව සහාය දීම සහ වැටුප් කප්පාදු හා දොට්ට දැමීම් සෘජුවම පැටවීම වැලඳ ගත්තේය.

සමිතිවලට ස්තුති වන්නට, වර්ජන අතිශයින්ම දුලභ බවට පත්ව ඇත. පාවාදීම්වලින් අවසන් නොවන වර්ජන නෂ්ඨ වූ විශේෂයකි.

ලේබර් පක්ෂය කොන්සර්වෙටිව් පක්ෂයෙන් වෙනස් නොවේ. අද වෘත්තීය සමිතිවල එකම කාර්යය, සිය සාමාජිකයන් පාලනය කිරීම සහ ප්‍රාග්ධනයට එරෙහි සමාජ හා දේශපාලන ව්‍යාපාරයක් පැනනැගීම වැලැක්වීමයි.

මෙය විරුද්ධත්වයක් නොමැතිව අඛන්ඩව ඉදිරියට යා නොහැකිය. 1930 ගනන්වලින් පසුව පැවති ගැඹුරුතම ආර්ථීක අර්බුදය පන්ති අරගලයේ පුපුරනසුලූ නව කාල පරිච්ඡේදයක් සඳහා කොන්දේසි නිර්මානය කරයි. එය ඉල්ලා සිටින්නේ, පැරනි සමිතිවලින් ස්වාධීන හා ඒවාට විරුද්ධ, නව පන්ති අරගලයේ සංවිධාන ද සමාජවාදය සඳහා අරගලය ඉදිරියට ගෙනයාමට නව පක්ෂයක් ද ගොඩනැගීම යි.

ක්‍රිස් මාස්ඩන්

Share this article: