ඇෆ්ඝනිස්ථාන ජනඝාතනය: සාපරාධී යුද්ධයක නිෂ්පාදිතය

Afghanistan massacre: The product of a criminal war

20 March 2012

ඇෆ්ඝන් සිවිල් වැසියන් 16 දෙනෙකු ඝාතනය කිරීම පිලිබඳ චෝදනා ලද සොල්දාදුවා පසුගිය සිකුරාදා නම් කිරීමෙන් පසුව, යුද්ධයේ ම සාපරාධී ස්වභාවය පරීක්ෂාකාරී ලෙස නොතකා හරිමින්, කාර්ය මන්ඩල සැරයන් රොබර්ට් බේල්ස්ගේ ඉතිහාසය හා පුද්ගලික ගැටලු හාරා ඇවිස්සීම මගින් මෙම භයංකර අපරාධය අවබෝධ කරවීමේ උත්සාහයක මාධ්‍ය යෙදී සිටී.

කැන්සාස් ප‍්‍රාන්තයේ ෆෝර්ට් ලීවන්වර්ත්හි එක්සත් ජනපද හමුදා බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින බේල්ස්ට මිලිටරිය විසින් චෝදනා කරනු ලැබ ඇත්තේ, මාර්තු 11 දා පූර්ව අලුයම යාමයේ දී දකුනු කන්දහාර් පලාතේ පන්ජාවි දිස්ති‍්‍රක්කයේ පිහිටි සිය ප‍්‍රත්‍යන්ත මුරපොලෙන් පිටවී අසල පිහිටි ගම්මාන දෙකක නිවාසවලට කඩාවැදී ලමුන් නව දෙනෙකු ඇතුලු ඇෆ්ඝන් වැසියන්ට වෙඩි තබා, උල් අවියකින් ඇන, ඔවුන් මරා දැමූ බවටයි. එක නිවසක දී, ඔහු තමන්ට ගොදුරුවූවන්ගේ සිරුරු ගොඩගසා ඒවාට ගිනි තැබූ බව ද කියනු ලැබේ.

ඔහු දැන් පොදුවේ විස්තර කෙරෙන්නේ "මැර” සොල්දාදුවකු ලෙස ය. ජනාධිපති බරක් ඔබාමා, රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ ඇෆ්ඝනිස්ථානයේ එක්සත් ජනපද හමුදා අන දෙන නිලධාරි, ජෙනරාල් ජෝන් ඇලන් යන සියල්ලෝම, බේල්ස්ගේ කි‍්‍රයාවන් එක්සත් ජනපද මිලිටරියේ සාරධර්ම සහ ආකල්ප පිලිබිඹු නොකරන බවට ලෝකයාට සහතික කරන නිල නිවේදන නිකුත් කර තිබේ. මෙම නිල කතාන්දරයට අනුව, ඇසීමට ඇති එකම ප‍්‍රශ්නය මෙයයි: ඔහු "ක්ෂනික කෝපයට” පත් වූයේ කුමක් නිසාද?

මෙම කතාන්දරයේ දත්තමය පදනම ඇෆ්ඝන් ගම්වැසියන්ගේ, එරට එක්සත් ජනපද රූකඩ ජනාධිපති හමිඩ් කර්සායිගේ සහ ඇෆ්ඝන් පාර්ලිමේන්තුවේ පහල මන්තී‍්‍ර මන්ඩලය විසින් පත් කරන ලද විමර්ශන කොමිෂමේ අභියෝගයට ලක්ව තිබේ. ඔවුන් සියල්ලන්ම චෝදනා කර ඇත්තේ, ඝාතන සවාරිය තනි තුවක්කුකරුවකුගේ වැඩක් නොව, එක්සත් ජනපද භටයන් 15ක 20ක තරම් විශාල සංඛ්‍යාවකගේ කි‍්‍රයාවක් බවයි. පාර්ලිමේන්තු කමිටුව සති අන්තයේ දී සිය විමර්ශන වාර්තාව ඉදිරිපත් කලේය. ජනඝාතනයේ දී මරා දැමුනු කාන්තාවන්ගෙන් දෙදෙනෙකු ලිංගික අතවරයන්ට ලක්ව තිබූ බව ද එහි ඇතුලත් විය.

මෙම ලේවැකි සිද්ධීන් පිලිබඳ එක්සත් ජනපද මිලිටරිය කරන විස්තරය සත්‍ය බව ඔප්පු වුවත්, බේල්ස් තනි අතින් කි‍්‍රයා කර තිබුනත්, එක්සත් ජනපද භටයන් ගනනාවක් මෙම ලේ වැගිරීමට සම්බන්ධ වූයේ ය යන්න ඇෆ්ඝන් වැසියන් අතර බලපවත්වන මතය ය යන කරුන අර්ථභාරී වේ. පැහැදිලිව ම, ඔවුන් මෙය දකින්නේ, උමතු මිනිසකුගේ නැතහොත් "මැරයකුගේ” කි‍්‍රයාවක් ලෙස නොව, ඇෆ්ඝන් සිවිල් වැසියන් දසදහස් ගනනකගේ ජීවිත බිලිගෙන ඇති දශකයක යුද්ධයකට හා වාඩිලාගැනීමකට අයත් නිසැකව ම සාමාන්‍ය ජවනිකාවක් ලෙසයි.

මේ වන තෙක් ඉස්මතු වී ඇති බේල්ස් පිලිබඳ තොරතුරු ආතතීන් හා අර්බුද ගනනාවක් පැවති බව යෝජනා කරයි. ඔහු හමුදාවට බැඳුනේ, 2001 දී, සැප්තැම්බර් 11 ප‍්‍රහාරවලින් සති ගනනාවක් ඇතුලත ය. එහෙත් ඒ මූල්‍ය ආයෝජකයකු ලෙස ඔහුගේ කෙටි කාලීන ජීවිකාව අවසන් කල කොටස් වෙලඳ පොලේ කඩාවැටීමකට පසුව ය.

පසුගිය වසරේ දී ඔහු ඇෆ්ඝනිස්ථානයට යවනු ලැබ තිබුනේ, ඒ වන විටත් යුද චාරිකා තුනක සේවය කරාට පසුව සහ තමන් යලිත් වරක් යුද කලාපයකට නොයවනු ඇතැයි විශ්වාස කිරීමට පෙලඹවුනු තතු යටතේය. උසස්වීම් ප‍්‍රදානයේ දී ඔහුව නොතකා හැර තිබුනු අතර ඔහු සැලකිය යුතු මූල්‍ය ගැටලුවලට ද මුහුන පෑවේය. දරුනු ලෙස නය වූ ඔහුට සිය නිවස කුනු කොල්ලයට විකිනීමට ද බල කෙරුනි. ඉරාකයේ දී, ඔහු මොලයේ ක්ෂති ආබාධයකින් පෙලුනි. ඔහු පශ්චාත්-ක්ෂති ආතති ආබාධයකින් පෙලෙන්නේද යන වග ඔහු නඩු විභාගයට මුහුන දෙන විට ඔප්පු කල හැකි කරුනක් බව ඔහුගේ නීතිඥයා ඇඟවුම් කර තිබේ.

මෙම සියලු කරුනු, මැද පෙරදිග හා දකුනු ආසියාව තුල එක විට ගෙන ගිය යුද්ධ දෙකකින් යුක්ත දශකයකට පසුව ඇමරිකාවේ "සර්ව ස්වේච්ඡා” මිලිටරියේ ලක්ෂ සංඛ්‍යාත සාමාජිකයන් මුහුන දෙන කොන්දේසි පිලිබඳ දර්ශකයකි. එතෙර අධිරාජ්‍යවාදී යුද්ධය පිලිගැනීම සහතික කරගැනීමේ විධික‍්‍රමයක් ලෙස "අපේ සෙබලුන්ට සහයෝගය” දෙන ලෙස දේශපාලන සංස්ථාපිතය සහ ප‍්‍රධාන පක්ෂ දෙකම වතාවතක් ලෙස ජනතාවට උපදෙස් දුන්නත් යථාර්ථය නම් පාලක ප‍්‍රභූව මෙම සොල්දාදුවන් දකින්නේ පාවිච්චි කොට ඉවත දැමිය හැකි භාන්ඩ ලෙස ය.

බේල්ස්ට ආරෝපනය කර ඇති ගැටලු ඔහුට අනන්‍ය ඒවා නොවන සේම, ඔහු කල බවට චෝදිත බියජනක කි‍්‍රයාවන් කිසිදු ආකාරයකින් හුදු මානසික බිඳවැටීමක නිෂ්පාදිතයක් නොවේ.

ඇෆ්ඝන් පාර්ලිමේන්තුවේ විමර්ශනයට අනුව, ගැමියෝ ජනඝාතනය සඳහා පැහැදිලි චේතනාවක් දකිති. එනම් පලිගැනීමයි. සොල්දාදුවන් ගනනාවකට තුවාල සිදු කල බෝම්බ පිපිරීම් මාලාවක් සම්බන්ධයෙන් කෙරෙන පලිගැනීමකට මුහුන දීමට ඔවුන්ට සිදු වනු ඇතැයි එක්සත් ජනපද භටයන් තමන්ට අනතුරු ඇඟවූ බවට ඔවුහු සාක්ෂි දුන්හ. බේල්ස්ගේ නීතිඥයාට අනුව, ජනඝාතනයට පෙර දින මාර්ගයක් අයිනේ සිදු වූ බෝම්බ පිපිරීමකින් සිය මිතුරකුගේ දෙපා කැබලිවලට ඉරී යන අයුරු මෙම කාර්ය මන්ඩල සැරයන්වරයා දැක තිබුනි.

එවන් පලිගැනීමේ කි‍්‍රයාවන් එක්සත් ජනපද මිලිටරි අන දෙන මන්ඩලය විසින් පෙර දැකිය නොහැකි ඒවා නොවීය. යන්තම් පසුගිය මාසයේ දී, කුරානයේ පිටපත් ගිනිතැබීම මගින් අවුලුවාලූ මහජන නැගිටීම් මධ්‍යයේ, පෙර දින එක්සත් ජනපද සොල්දාදුවන් දෙදෙනෙකු මරා දමා තිබූ, නැගෙනහිර නන්ගර්හාර් පලාතේ ඉදිරිපෙල මෙහෙයුම් කඳවුරක දී ජෙනරාල් ඇලන් එක්සත් ජනපද භටයන්ගේ රැස්වීමක් අමතන අයුරු එක්සත් ජනපද රූපවාහිනි ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයක දී දැකගත හැකි විය. "දැන් පලිගැනීමට වේලාව නොවේ, දැන් එකට එක කිරීමට වේලාව නොවේ,” යයි ජෙනරාල් ඔවුන්ට පැවසීය.

සොල්දාදුවන් "කෝපයෙන් හා පෙරලා පහර දීමේ අභිලාෂයෙන්” පෙලෙන බව පිලිගනිමින්, ඇලන් ඔවුන්ගෙන් මෙසේ ඉල්ලා සිටියේය: "ඔබගේ විනය ගැන මතක් කර ගන්න, ඔබගේ මෙහෙය ගැන මතක් කර ගන්න, ඔබ කවුරුන්ද යන්න මතක් කර ගන්න.”

මෙම වචන අපරීක්ෂාකාරී ලෙස තෝරාගත් ඒවා නොවේ. ඇමරිකානු භටයන් ලේවැකි පලිගැනීමේ කි‍්‍රයාවන්හි යෙදීමේ අන්තරාය ගලා එන්නේ ඒ හෝ මේ තනි පුද්ගලයාගේ මානසික රෝගී තත්වයන්ගෙන් නොව ඒ වෙනුවට යුද්ධයේ ම ස්වභාවයෙන් බව ජෙනරාල් ඇලන් සහ ඇමරිකානු හමුදාවේ ඉහල අන දෙන මන්ඩලයේ සෙසු අය අවබෝධ කරගෙන සිටිති. එම යුද්ධය වනාහි පරාජය කිරීමට නොහැකි බව ඔප්පු වී ඇති වැඩෙන මහජන ප‍්‍රතිරෝධයකට එරෙහිව එක්සත් ජනපද මිලිටරිය පිහිටුවා ඇති, විජිත පන්නයේ මිලිටරි වාඩිලාගැනීමකි.

එවන් පලිගැනීමේ කි‍්‍රයාවන් -- වෙනත් නිමක් නැති, සාමාන්‍යයෙන් ඊටත් වඩා මාරාන්තික, බෝම්බ ප‍්‍රහාර, රාතී‍්‍ර කාලයේ කඩාපැන කරන ඝාතන සහ සෙසු මිනීමරු කි‍්‍රයා -- බුෂ් පාලනාධිකාරය මගින් දියත් කරන ලදුව ජනාධිපති බරක් ඔබාමා යටතේ අඛන්ඩව ගෙන යන අධිරාජ්‍යවාදී ආක‍්‍රමනික යුද්ධයේ නොවැලැක්විය හැකි ලක්ෂනයකි.

මෙම යුද්ධ යුක්තියුක්ත කරනු පිනිස යොදා ගැනුනු බේගල් ප‍්‍රචාරය කිරීමෙහි ලා එවන් ප‍්‍රමුඛ කි‍්‍රයාකලාපයක් ඉටු කල සංගත මාධ්‍ය, දැන්, මෙම මෑතම ජනඝාතනය යුද්ධයම පිලිබඳව කියන්නේ කුමක්ද යන වග විශ්ලේෂනය කිරීමෙහි ලා කිසිදු උනන්දුවක් නොදක්වයි. ආන්ඩුවේ මෙන්ම, එම මාධ්‍යවල ද ප‍්‍රධාන උත්සුකතාව වන්නේ, එවන් අපරාධ යට ගැසීමයි, නැතහොත් එය කල නොහැකි බව ඔප්පු වන අවස්ථාවන්හි දී, ඒවායේ වෛෂයික අර්ථභාරයෙන් අවධානය වෙනතකට හැරවීමයි.

කන්දහාර් හි ඝාතනයන්ට සම්බන්ධිත කාර්ය මන්ඩල සැරයන් බේල්ස් සහ කවර හෝ සෙසු එක්සත් ජනපද සොල්දාදුවකු එම අපරාධයන් සම්බන්ධයෙන් වගවීමට ලක් කල යුතුය. එය පවසන අතර ම, කිව යුත්තේ, වඩා දැවැන්ත අපරාධකරුවන් වන්නේ, බේගල් මත පදනම් වූ යුද්ධවල දී ඝාතනය කිරීම හා මිය යාම පිනිස ඔවුන්ව යැවූ බුෂ් හා ඔබාමා පාලනාධිකාර තුල සිටින අයයි.

එම අපරාධකරුවන් යුක්තිය හමුවට ගෙන ඒම, අධිරාජ්‍යවාදී යුද්ධයටත් එහි මූලාශ‍්‍රය වන ධනපති ලාභ ගරන ක‍්‍රමයටත් එරෙහි අරගලයේ කොටසක් ලෙස කම්කරු පන්තිය කල යුතු කර්තව්‍යයකි.

බිල් වෑන් ඕකන්

Share this article: