යුරෝපයේ වෘත්තීය සමිති නායකයෝ මර්කල් හමුවෙති

Europe’s trade union heads meet with Merkel

24 March 2012

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් සහ යුරෝපය පුරා වෘත්තීය සමිති නායකයන් අතර බ‍්‍රහස්පතින්දා පැවති හමුවක් යුරෝ කලාපයේ නය අර්බුදය ගැන සාකච්ඡා කලේය.

කඩාවැටීමට මුහුන දී සිටින ආර්ථිකයන් රැකගනු වස් "සමාජ යුරෝපයක” හා "සමාජ ඇප දී ගලවා ගැනීමේ අරමුදලක” අවශ්‍යතාව අවධාරනය කරමින් සමිති නායකයන් විසින් මාධ්‍යවලට නිකුත් කරන ලද නිවේදන හැර, එම රැස්වීමේ දී කුමක් පැවසුවේ ද යන්න පිලිබඳ කිසිදු වාර්තාවක් නැත.

එහෙත්, අර්බුදය "අනාගතය සඳහා නිවැරදි මාවත සැකසීමට” ද "යුරෝපයේ වර්ධනය සහ රැකියා නියුක්තිය නිත්‍ය වසයෙන් ශක්තිමත් කිරීමට” ද "අවස්ථාවක්” බවට මර්කල් කල ප‍්‍රසිද්ධ ප‍්‍රතිවචනය, තිරයට පිටුපසින් සාකච්ඡා කෙරුනේ කුමක් ද යන වග පෙන්නුම් කරයි. දරුනු කප්පාදු හා පටි තද කර ගැනීමේ පිලිවෙත්වලින් කිසිදු පසුබැසීමක් නොකෙරෙන බවටත් තමන්ට කම්කරුවන් දොට්ට දැමීම හා වැටුප් කප්පාදු කිරීම පහසු කරවන පරිදි සැලසුම් කෙරුනු ප‍්‍රතිසංස්කරන ඉදිරියට තල්ලු කිරීමට, නැගෙන විරුද්ධත්වය හමුවේ, ඔවුන් කි‍්‍රයා කල යුතු බවටත් මර්කල් සමිති නායකයන්ට උපදෙස් දෙන්නට ඇත.

මර්කල්ගේ කනට කෙඳිරීමට ලැබුනු අවස්ථාව සම්බන්ධයෙන් සමිති නායකයෝ ශෝචනීය ලෙස කෘතඥතා පූර්වක වූහ.

"කොහොමටත් මෙම සාකච්ඡාව පැවතීම ම වැදගත් වුනා” යයි ජර්මනියේ ඉහල වෘත්තීය සමිති නිලධාරියකු වන ඩීජීබීහි මිචෙල් සොමර් පැවසීය. "මගේ අදහසට අනුව, එය විශ්වාසය ගොඩනැගීමේ අවශ්‍ය සාකච්ඡාවකි. එවන් තවත් සාකච්ඡා ඉදිරියේ දී පැවැත්වෙනු ඇත.”

ප‍්‍රන්සයේ හා බෙල්ජියමේ සමිති නිලධාරින් මෙන්ම, ස්පාඤ්ඤයේ, ගී‍්‍රසියේ, ඉතාලියේ, චෙක් සමූහාන්ඩුවේ හා අයර්ලන්තයේ සමිති නායකයෝ ද සොමර් සමග එක් වූහ.

මෙම රටවල දරුනු කප්පාදු කි‍්‍රයාවට දමනු ලැබේ. එහෙත් ස්පාඤ්ඤයේ යූජීටී සමිතියේ අන්තෝනියෝ ෆෙරර්ට විපාර්ශ්වික පූච්චානමක ආකාරයෙන් පැවසීමට තිබුනේ මෙපමනකි: "සත්තිකින්ම, අපව පිලිගනු ලැබුනේය යන කාරනාව ගැන අපි කෘතඥ පූර්වක විය යුත්තෙමු. එහෙත් එමෙන්ම යුරෝපා සංගමය විසින් මෙහෙයවනු ලබන පිලිවෙත් සම්බන්ධ අපගේ මතභේද චාන්සලර් නායකත්වය හමුවේ අපි ප‍්‍රකාශයට පත් කලෙමු.”

ගී‍්‍රක කම්කරු පොදු සම්මේලයේ (ජීඑස්ඊඊ) ප‍්‍රධානි අයොනිස් පැනගොපවුලස් දරුනු ලෙස බදු ඉහල දැමීමේ, වැටුප් කප්පාදුවල හා රැකියා විනාශයන්ගේ "ව්‍යසනකාරී බලපෑම්” ගැන කතා කල නමුත්, එය මෙම වසන්තයේ දී මර්කල් සමග හමුවක් යොදාගැනීමෙන් ඔහුව වලකාලූයේ නැත.

රැස්වීම කොහෙත්ම සංවාදයක් නොවන්ට ඇත. මර්කල් කල යුතු දේ නියම කරන්ට ඇත. යුරෝ කලාපයේ අර්බුදය "හමාර වී නැති” බවත් එහි "විවිධ අදියරයන්ගෙන්” එකක එය පවතින බවත් පෙර දින ඇය ප‍්‍රකාශ කලාය. කේන්ද්‍රීය ප‍්‍රශ්නය වූයේ මෙයයි: ”මෙම (යුරෝ කලාප) රටවල සිය මුදල් යොදවා ඇති යුරෝපයේ, ඇමරිකාවේ හා ජපානයේ ආයෝජකයන්ට සිය මුදල් පෙරලා දැකිය හැකි වන්නේ කුමන කොන්දේසි යටතේ ද ඒ ගැන කෙතරම් බලාපොරොත්තු තබා ගත හැකිද?”

පිලිතුර වැඩ කරන ජනතාව මත තව දුරටත් මෘග ප‍්‍රහාර එල්ල කිරීමයි. මර්කල් ජනවාරියේ දී අවධාරනය කල පරිදි, "චීනය හා බ‍්‍රසීලය වැනි නැග එන බලයන් සමග ජාත්‍යන්තර තරගයෙන් ජයගැනීමට යුරෝපයට හැකි වන්නේ, එය ජර්මනිය මෙන් තරගකාරී වන කල්හි පමනි.”

චීනය සමග තරගකාරී වීමට අවශ්‍ය කෙරෙන කප්පාදුවල පරිමාව අතිශයින්ම ඉහල ය.

රාජ්‍ය නායකයන් 25 දෙනා එකඟ වූ මූල්‍ය සංයුක්ත ගිවිසුමට අනුව, එය අනුමත කිරීමෙන් වසරක් ඇතුලත, යුරෝ කලාපයේ රටවල් 17 ම සිය මූල්‍ය හිඟයන් දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 0.5 හා සියයට 1 අතර අගයක් දක්වා කප්පාදු කල යුතුය, නැතහොත්, ඔවුහු දැවැන්ත දඩ මුදල්වලට මුහුන දෙනු ඇත, යුරෝපීය මහ බැංකුවේ මොන යම් හෝ අරමුදලකට පවත්නා ප‍්‍රවිෂ්ටය ඔවුන්ට අහිමි වනු ඇත. වර්තමානයේ ස්පාඤ්ඤය මූල්‍ය හිඟයේ සියයට 5.3ක ඉලක්කයක් ජයගැනීමට ද අයර්ලන්තය සියයට 8.6ක ඉලක්කයක් ජයගැනීමට ද වෙහෙසෙයි.

එපමනක් නොව, කප්පාදු සඳහා කෙරෙන වත්මන් ඉල්ලීම්, යුරෝපීය හා ලෝක ආර්ථිකයන් 2008න් පසුව පැවති ආකාරයේ තවත් ව්‍යසනකාරී කඩාවැටීමකට මුහුන දෙනු නැති බවට, උපකල්පනය කරන්නේ, එය සදාකල් පවත්නා වැඩෙන තර්ජනයක් බවට සියලු දර්ශකයන් පවතිද්දීය.

රාජ්‍ය වියදම්වලින් බිලියන ගනනක් දැනටමත් කපා හැර ඇත්තේ, විරැකියාව හා දරිද්‍රතාව ඉහල දමමින් ද එම කි‍්‍රයාදාමය තුල දී, යුරෝපයේ ආර්ථිකයන් ආර්ථික පසුබැස්මක පහලට හැරුනු සර්පිලයක් තුලට කඩා වැටීම ද ඉක්මන් කරවමිනි. මේ වන විට, අයර්ලන්තය, ගී‍්‍රසිය, බෙල්ජියම, පෘතුගාලය, ඉතාලිය, නෙදර්ලන්තය හා ස්ලොවේනියාව යන සියලු රටවල් නිල වසයෙන් ආර්ථික පසුබැස්මක සිටී. බි‍්‍රතාන්‍යයේ, ප‍්‍රන්සයේ හා ජර්මනියේ පවා වර්ධනය අඩු මට්ටම්වලම රැඳී පවතී.

යුරෝපය පුරා හඳුන්වා දීමට යන පිලිවෙත් සඳහා අත්හදා බැලීමේ භූමියක් ලෙස ගී‍්‍රසිය යොදා ගැනෙයි. එයට මෑත දී නයට දුන් යුරෝ බිලියන 130, තථ්‍ය ලෙස ගත් කල, මුලුමනින්ම වෙන් කර ඇත්තේ බැංකුවලට හා සෙසු ආයෝජකයන්ට ගෙවීම පිනිස ය. එහි දී ජර්මනිය, ප‍්‍රන්සය, එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍යය ප‍්‍රධාන ප‍්‍රතිලාභීන් අතරට එක්වෙයි.

ඊට ප‍්‍රතිකූල ලෙස, කම්කරුවන්ට ලැබෙන්නේ නිමක් නැති හා උත්සන්න වන වේදනාවන්ය.

අවම වැටුප යුරෝ 500 සිට යුරෝ 300 දක්වා කප්පාදු කෙරෙන හා සංගත බදු සියයට 20 වෙනුවට සියයට 2 මට්ටමේ තබන "නිදහස් වෙලඳ කලාප” උතුරු ගී‍්‍රසියේ පිහිටුවිය යුතු යයි ජර්මනිය දැන් යෝජනා කර තිබේ.

ආර්ථික පසුබැස්මේ පස්වන වසර තුල දී වඩාත් ගැඹුරු කප්පාදු පිලිවෙත්වලට ගී‍්‍රසිය කැප වී සිටී. අවම වැටුප, විශ‍්‍රාමික ප‍්‍රතිලාභ සහ සෞඛ්‍ය සේවා අරමුදල් කප්පාදු කිරීමක් ඒවාට ඇතුලත් වේ. නිල විරැකියා අනුපාතය දැනටමත් සියයට 23කි. තරුන ජනයා අතර විරැකියාව සියයට 50ටත් ඉහලය. එහෙත් ඊලඟ දශකය තුල සෑම වසරක දී ම රජයේ සේවකයන් 15,000 බැගින් දොට්ට දමන ලෙස දැන් ඇතන්ස් ආන්ඩුවට උපදෙස් ලැබී ඇත.

අයර්ලන්තයේ දී, රාජ්‍ය අංශයේ රැකියා හා වැටුප් කප්පාදු කිරීම, මෙම කුඩා රට 2023 වන තෙක් සෑම වසරක දී ම, සිය දදේනි මෙන් සියයට දෙක බැගින්, යුරෝ බිලියන 3.1ක නය මුදලක් තම නයහිමියන්ට ආපසු ගෙවීම සඳහා පදනමයි. එහි දී පොලී ගෙවීම් නිරතුරුව ම එම සංඛ්‍යාවන් ඉහල දමයි.

මේ මාසයේ දී යුරෝපා සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපා මහ බැංකුව විසින් නයක් දීම ප‍්‍රතික්ෂේප කෙරනු ප‍්‍රථම රට බවට පත් වූ හංගේරියාවේ දී, කුටුම්බ දැනටමත් නය පොලී වෙනුවෙන් දදේනි මෙන් සියයට තුනක් වැය කරති.

ස්පාඤ්ඤයේ විරැකියා මට්ටම් ගී‍්‍රසියට මුලුමනින්ම පාහේ සමාන වේ. ඉතාලියේ දී වයස 18 සිට 24 දක්වා තරුනයන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් රැකියා විරහිතයන් වන අතර සියලු ඉතාලියානුවන්ගෙන් රැකියාවක් ඇත්තේ සියයට 57කට පමනි. අර්බුදය දැනටමත් ආයතන 200,000ක් බංකොලොත් භාවයට ඇද හෙලා ඇති තතු යටතේ, ස්පාඤ්ඤ ආන්ඩුව රාජ්‍ය අංශයේ සමාගම් 24ක් අවිධිමත් ලෙස හදිසියේ ම වසා දැමීමට යයි.

ගී‍්‍රසිය, ස්පාඤ්ඤය, ඉතාලිය හා පෘතුගාලය තුල එක සමාන කම්කරු පනත් ගනනාවක් කි‍්‍රයාවට දැමෙමින් පවතින අතර ඒවා රැකියා හා වැටුප් තව දුරටත් කප්පාදු කරනු ඇත.

යුරෝපයේ සංගත හා ඔවුන්ගේ ආන්ඩු මෙම පිලිවෙත් කි‍්‍රයාවට දැමීමට සමත් වුව හොත්, වගකීම පැවරෙන්නේ වෘත්තීය සමිති නිලධරයටයි. මේ සතියේ දී මර්කල් හමුවූ ධනවත් සමිති කි‍්‍රයාධරයෝ පාලක ප‍්‍රභූන්ගේ කප්පාදු න්‍යාය පත‍්‍රය සාර්ථක වන බව සහතික කිරීමට මුලුමනින්ම යුහුසුලු වූහ.

කි‍්‍රයාමාර්ග ගැනීමෙන් වැලැකීමට සමිති අසමත් වන අවස්ථාවන් හි දී, ඔවුහු වැඩකට නැති එක් දින විරෝධතා කැඳවති. ඒවා ගැන ඇති තරම් නිදසුන් පවතී. එම පියවර සේවය කරන්නේ ඒවාට සම්බන්ධ වන කම්කරුවන් අධෛර්යයට පත් කොට කිසිවක් කල නොහැකි බව ඔවුන්ට ඒත්තු ගැන්වීමට පමනි.

මාරියෝ මොන්ටිගේ ඡන්දයෙන් තේරී පත් නොවූ ආන්ඩුව පිටුපස මුලුමනින්ම පෙලගැසී සිටින ඉතාලියේ සීඅයිඑස්එල් හෝ නව කම්කරු පනතට එරෙහිව බ‍්‍රහස්පතින්දා මහා වැඩ වර්ජනයට සහභාගි වීම ප‍්‍රතික්ෂේප කල පෘතුගාලයේ සමාජවාදී පක්ෂයට සම්බන්ධිත පොදු කම්කරු සමිතිය (යූජීටී) වැනි මෙම කුනු වූ සංවිධාන බොහොමයකට ඉහත සඳහන් කි‍්‍රයාමාර්ග පවා සැර වැඩිය. ජර්මානු වෘත්තීය සමිති කි‍්‍රයාකරන්්නේ මර්කල්ගේ තථ්‍ය සන්ධාන හවුල්කරුවන් ලෙසය. බි‍්‍රතාන්‍යයේ දී, වෘත්තීය සමිති සම්මේලනය පසුගිය දෙවසර තුල දී සහයෝගය දී ඇත්තේ රාජ්‍ය අංශයේ පමනක් කි‍්‍රයාත්මක වූ විරෝධතා වර්ජන දෙකකට පමනි. එය එම වර්ජන පාවාදී තවත් එවන් වර්ජන කැඳවීමේ ප‍්‍රයත්න කඩාකප්පල් කලේය.

යුරෝපීය කම්කරුවෝ සමාජ ව්‍යසනයක් තුලට තව දුරටත් ඇද දැමීමේ තර්ජනයට මුහුන දී සිටිති. විරැකියාව හා නිවාස නැතිකම වසංගත අනුපාත කරා ලඟා වී ඇති අතර සමාජ සේවාවන් කප්පාදුවට ලක් කරමින් හා පුද්ගලීකරනය කෙරෙමින් පවතී. නිමක් නැති දරිද්‍රතාව හා රැකියා අනාරක්ෂිත භාවය දවසේ න්‍යාය පත‍්‍රයට ඇතුලත්ව ඇති අතර හාම්පුතුන් කසය අතට ගෙන හිතුමතේ කම්කරුවන් බඳවාගැනීම හා දොට්ට දැමීම කරති.

දැන් කල යුතු සටන තුල දී, වෘත්තීය සමිති සතුරා වෙනුවෙන් දිගටම වැඩ කරනු ඇත. කම්කරුවන්ගේ බලය සහ සමාජවාදය සඳහා ඒකාබද්ධ ප‍්‍රහාරාත්මක අරගලයක් තුල යුරෝපයේ කම්කරුවන් මෙහෙයවනු පිනිස නව පන්ති අරගල සංවිධාන සහ නව පක්ෂයක් ගොඩනැගිය යුතුය.

කි‍්‍රස් මාස්ඩන්

Share this article: