ශ්‍රී ලංකාවේ හිටපු රැඩිකල්වාදියා “ජනතා විප්ලවයකට” එරෙහිව පාලක පන්තියේ ප්‍රධාන පක්ෂවල එකමුතුවකට කැඳවුම් කරයි

By Nanda Wickremasinghe, 23 March 2012

සතිපතා රාවය පුවත්පතේ කතෘ වික්ටර් අයිවන්, රටතුල “මහජන විප්ලවයක්” ඇතිවීම වලක්වා, ධනපති රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් වන ලෙස, පාලක හවුලට හා විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂයට (එජාප) කැඳවුම් කර තිබේ. ඔහු මෙම ආයාචනය කලේ, පුවත්පතේ විසිපස්වන සංවත්සර රැස්වීමට පැමින සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ හා එජාප නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපිටදී ය.

අනතුරු ඇඟවීම් ද සහිතව අයිවන් රැස්වීමේදී මෙසේ පැවසීය. “රට තීරනාත්මක ඓතිහාසික සන්ධිස්ථානයකට එලඹ ඇත. රට ව්‍යසනයක මුවවිටෙහි පවතියි. ඇත්තේ විකල්පයන් දෙකක් පමනි. එක්කෝ ඇදහිය නොහැකි තරම් විනාශයක් ගෙන එන සමාජ විප්ලවයයි, නැතිනම් වාර්ගිකත්වය, කුලය හා ආගම නොතකා ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීම පිනිස ඇතිකර ගන්නා ප්‍රධාන දේශපාලන පක්ෂවල එකමුතුවයි.”

ඔහු සුලුතර පක්ෂ ද ඇතුලු සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ රාජ්‍යය යලි ගොඩනැගීම පිනිස එක්සත් වන ලෙසයි. රැස්වීමට සහභාගී වූ අනෙකුත් ආරාධිතයින් අතර, ධනපති දෙමල ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, වාර්ගික ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජිතයෙක් හා පැරනි වාම එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය ද විය.

අයිවන්, අධිරාජ්‍යවාදයට එරෙහි වාචාලයත් සමග කලතා, සිංහල වර්ගවාදය කරපින්නාගත් ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) හිටපු නායකයෙකි. 1970 ගනන් පසුභාගයේ පක්ෂය හැර ගිය ඔහු දේශපාලන සංස්ථාපිතය හා එක්සත් ජනපදය ද ඇතුලු කොලඹ තානාපතිවරුන් සමග සමීප සම්බන්ධකම් ගොඩනගා ගත්තේය. අයිවන් මාක්ස්වාදයට ගැඹුරෙන්ම සතුරු ය.

"ව්‍යසනකාරී” ආර්ථික හා දේශපාලන තත්වය පිලිබඳ පාලක පන්තියේ කනස්සල්ල අයිවන් ද බෙදාහදා ගනියි. ඔවුහු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවර තුලින් ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන්ගේ හා දුගීන්ගේ මහා අරගල පිලිබඳව බියපත්ව සිටිති.

රාජපක්ෂ මෙන්ම වික්‍රමසිංහ ද ඊජිප්තු හා ටියුනීසියානු වර්ගයේ අරගල මෙරටෙහි ද පැන නැගීමේ ඉඩකඩ පිලිබඳව කථාකර තිබේ. ආන්ඩුව, දැනටමත් පැන නැගී ඇති එවන් අරගල බටහිර කුමන්ත්‍රන ලෙස හෙලා දකිමින් ඒවාට එරෙහිව පොලිස් මිලිටරි මර්දනය යොදවයි. වික්‍රමසිංහ මහජන කෝපය ගසාකෑමටත්, එය සුරක්ෂිත ඇල මංවලට හරවා යැවීමටත්, ව්‍යාජ වාම නව සමසමාජ පක්ෂය හා එසපය ඇතුලත් විරුද්ධ පක්ෂවල සන්ධානයක් ගොඩනගමින් සිටියි.

රටේ මහජන නැගිටීමක් මැඩීම පිනිස සියලු දේශපාලන පක්ෂ ඇතුලත් තන්ත්‍රයක අවශ්‍යතාවය පිලිබඳව අයිවන් ගනන් බලයි. ඔහුගේ ආස්ථානය සලකුනු කරන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල හමුවේ සෑම රටක ම මධ්‍යම පන්තික පැරනි රැඩිකල් කොටස්වල තවදුර දක්ෂිනාංශික නැඹුරුවකි. ධනේශ්වර පද්ධතියට උරාගෙන තිබෙන මොවුහු, සමාජ විප්ලවයක් පිලිබඳ භීතියෙන් පෙලෙති.

අයිවන් වසං කරන්නේ, ප්‍රජාතන්ත්‍ර කර්තව්‍යයන් ඉටුකිරීමෙහි ලා පාලක ප්‍රභූවේ ඓන්ද්‍රීය නොහැකියාවයි. නිදහසෙන් පසුව බලයට පත් ඔවුන්, "ජාතික රාජ්‍යයක අත්‍යවශ්‍ය පදනම” වන එක්සත් ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගොඩනැගීමට අසමත් වීම පිලිබඳව ඔහු විලාප නගයි. ඊට විපරිතව ඔවුන් පදනම් වූයේ වාර්ගිකත්වය, කුලය හා ආගම මත බව ඔහු කියා සිටියි.

එහි ප්‍රතිපල වශයෙන් ආන්ඩු ක්‍රමය, විකෘතිවී ලේ හැලීම් නිර්මානය කලේය. 1977දී ආඥාදායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් "කුලුගැන්වුන මෙම විපරිවර්තනය” ආන්ඩු ක්‍රමය තවදුරටත් විකෘති කල බව අයිවන් පවසයි.

අයිවන්ට මෙය වෙනත් ආකාරයකට පින්තාරු කිරීමට අවශ්‍ය වුවත්, එය අහම්බයක් නොවේ. සිංහල පාලක පැලැන්තිය කම්කරු පන්තිය බෙදා සිය පන්ති පාලනය ආරක්ෂා කර ගැනීම පිනිස සිංහල වර්ගවාදය යොදා ගත්තේය. දෙමල ධනේශ්වරය වෙතින් ද එයට පලවූයේ සමාන ප්‍රතිචාරයකි. කම්කරු පන්තියේ හා දුගීන්ගේ ප්‍රතිරෝධය තලා දමමින් විවෘත වෙලඳපොල ප්‍රතිපත්ති වෙත මාරුවීමේ කොටසක් ලෙස හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන 1977 ආඥාදායක ව්‍යවස්ථාවක් ස්ථාපිත කලේය.

ප්‍රජාතන්ත්‍රය පිලිබඳ ඔහුගේ සියලු ප්‍රෝඩාකාරී ප්‍රකාශයන් තිබිය දී ම, ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීමට සිදුකල, දෙමල ජනතාවගේ ද ගම්බද තරුනයින්ගේ ද ලේ හැලීම පිලිබඳව සිය උද්දාමය සැඟවීමට අයිවන් අසමත් වෙයි.

ජවිපෙ සමග සම්මුතියකට ඒමට අපොහොසත් වීම නිසා එහි කැරලි තලා දැමීමට ජනාධිපති ප්‍රේමදාසට "හැකිවීම” ඔහු හුවා දක්වයි. 1989-90 කාලයේ ආන්ඩුව ගම්බද නොසංසුන්තාවය මැඩීම පිනිස මෙම කැරලි ප්‍රයෝජනයට ගනිමින් තරුනයින් 60,000ක් පමන මරා දැමීය. අයිවන් රාජපක්ෂ ආන්ඩුව යලි ඇරඹූ වර්ගවාදී යුද්ධයට පිටුබලය දුන් අතර, 2009 වසරේදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජය කිරීම අගය කරයි. මෙම යුද්ධයේ දී දස දහස් සංඛ්‍යාත දෙමල වැසියන් මරා දැමුනි.

මෙම මෘග මර්දනය යුක්තිසහගත කරමින් අයිවන්, "සිංහල හා දෙමල තරුනයින්ගේ කැරලිවල ප්‍රතිපල වශයෙන් ඇතිවූ සාධාරන දුක් ගැනවිලි තිබෙන්නේ වී නමුත් රටේ සංවර්ධනය සඳහා එම කැරලි පරාජය කිරීම අවශ්‍යව තිබුනි.” යයි පවසයි. මෙය යුද්ධයේ විනාශය යුක්ති සහගත කරන රාජපක්ෂගේ ම තර්කයයි.

දෙමල විරෝධී වාර්ගික උද්ඝෝෂන‍ෙයන් වැසී ගිය "කුනුවූ දේශපාලන හා පරිපාලන ක්‍රමයේ” මූඩිය, එල්ටීටීඊයේ පරාජයත් සමග ගැලවී ගොස් ඇතැයි අයිවන් බිය පල කරයි. "(එල්ටීටීඊයේ පරාජයෙන්) පසුව, මෙය (කුනුවීම) නග්න ලෙස දැකගත හැකි තත්වයන් නිර්මානය වී තිබේ. එහි ප්‍රතිපල වශයෙන් දේශපාලන ක්‍රමය පිලිබඳ ජනතා විශ්වාසය බිඳ වැටී ඇතැයි” අයිවන් පවසයි.

මෙම "කුනුවූ ක්‍රමයට” එරෙහිව ජනතාව නැගී සිටිනු ඇතැයි ඔහු තැතිගැනී සිටියි. ඔහුගේ උපදේශය වන්නේ, රාජපක්ෂ හා වික්‍රමසිංහ මෙම තත්වය වටහාගෙන, එක්සත්ව, කුමන හෝ කැරලිකාරිත්වයක් තලා දැමීමට සූදානම් විය යුතු බවයි.

ඔහුගේ ආයාචනය කෙරෙහි රාජපක්ෂගේ හෝ වික්‍රමසිංහගේ ක්ෂනික අනුමැතිය පල නොවීය. අනාගත සහයෝගිතාවය සඳහා ඉඩ හරිමින් ඔවුහු පොදු ප්‍රකාශ නිකුත් කලහ. "අප, සියල්ලන්ගේ ම එකමුතුව සඳහා හැමවිටම දොර විවෘතව තබා ඇත.” රාජපක්ෂ පැවසීය.

සහයෝගිතාවය සඳහා ඕනෑ තරම් ඉඩ කඩ තිබෙන්නේ යයි වික්‍රමසිංහ පැවසීය. වත්මන් ආන්ඩුව ද ඇතුලු සියල්ලෝම ගෝලීයකරනය තුලට රට ඒකාග්‍ර කිරීමේ එජාප පිලිවෙත පිලිගෙන ඇත. උගත් පාඩම් හා සංහිඳියාව (එල්එල්ආර්සී) පිලිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ නාමයෙන් එක්සත් වීමට එජාපය සූදානම් බව ද ඔහු ප්‍රකාශ කලේය. යුද්ධය අවධියේ දී වික්‍රමසිංහ ආන්ඩුව සමග, යුද්ධයට මුක්කුව දීමේ ගිවිසුමකට එලඹුන ද රාජපක්ෂ එජාපයේ මන්ත්‍රීන් ගනනාවක් පාලක සභාගය තුලට ඇද ගැනීමත් සමග එය අසාර්ථක විය.

රාජපක්ෂ විසින් එල්එල්ආර්සීය පිහිටුවනු ලැබුවේ, එල්ටීටීඊයට එරෙහි මිලිටරි ප්‍රහාරය හමුවේ මතුව ආ යුද අපරාධ පිලිබඳ චෝදනා වසං කිරීම සඳහා ය. ආන්ඩුව මෙම කොමිසමේ සීමිත යෝජනා පවා ක්‍රියාවට නැගීමට සූදානම් නැත. එහි යෝජනා අතර උතුරු හා නැ‍ගෙනහිර මිලිටරි ස්ථානගත කිරීම් අඩු කිරීම හා පැරා මිලිටරි කන්ඩායම් නිරායුධ කිරීම ද වෙයි.

ඉක්මන් එකඟත්වයක් දක්නට නැතත්, කම්කරු පන්තිය වෙතින් සිය පන්ති පාලනයට තර්ජන එල්ල වන කල පාලක පන්ති පක්ෂ එක්සත් වනු ඇත.

රාජ්‍යයට එරෙහිව කුමන හෝ කැරැල්ලක් තලා දැමීම සඳහා රාජ්‍ය යාන්ත්‍රනය යොදාගැනීමට අයිවන් එක පැහැර සහාය දක්වයි. ඔහු රාවය පුවත් පතේ මෙසේ ලිවීය. "ප්‍රචන්ඩත්වය සමග ගනුදෙනු කිරීමේ නීතිමය අයිතිය රජය සතුය. කුමන හෝ රටක බලය අල්ලා ගැනීමේ අරමුන ඇතිව ක්‍රියාකරන ඕනෑම ප්‍රචන්ඩ නැගිටීමක් රාජ්‍ය ඒකාධිකාරයට අභියෝගයකි. එවන් තත්වයන් යටතේ රාජ්‍යය ප්‍රචන්ඩ බලය යොදා ගැනීම නීත්‍යානුකූලය.”

ධනපති පන්තියට සිය පාලනය ආරක්ෂා කර ගැනීම සඳහා මුක්කුව දීමේ ඉතිහාසයකට ඔහු හිමිකම් කියයි. නිදසුනක් ලෙස 1993දී ඔහු, මහජන නොසංසුන්තාවය හමුවේ 1977 පටන් පැවති එජාප පාලනය ඇද වැටෙන කල, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංඟ බලයට ගෙන ඒමේ මූලික ක්‍රියාකලාපයක් ඉටු කලේය.

එල්ටීටීඊය කොලඹ ආන්ඩුවේ කනිෂ්ට හවුල්කරුවෙකු ලෙස ලේඛනගත කිරීමේ දී, එක්සත් ජනපදය ඇතුලු ප්‍රධාන බලවතුන් පිටුබලය දුන් එජාපයේ 2002 "සාම ක්‍රියාවලියට” අයිවන් සහයෝගය දුන්නේය. රාජපක්ෂ බලයට පත්වූ කල ඔහුගේ අවනත භාවය යලි ඇරඹුනු යුද්ධය කරා මාරු කලේය.

ජාත්‍යන්තර කරලියේ දී අයිවන් එක්සත් ජනපදය ද ඇතුලු ප්‍රධාන බලවතුන් පිටුබලය දුන් මුඅම්මර් ගඩාෆි පාලනයට එරෙහි ලිබියානු විපක්ෂයට සහාය දැක්විය. රාවයෙහි පලකරන ලිපි මගින් මානව අයිතීන් ආරක්ෂා කිරීමේ නමෙන් සිරියාව හා ඉරානයට ද එවන් මැදිහත්වීම් කල යුතු බවට ඔහු උපදෙස් දෙයි. 2011 මැයි මාසයේ දී එක්සත් ජනපදය, පකිස්ථානු දේශසීමා උල්ලංඝනය කරමින් අල් කයිඩා නායක බින් ලාඩ්න් මරා දැමූ විට අයිවන් එය යුක්තිසහගත කලේය.

ශ්‍රී ලංකාවේ විප්ලවයකට එරෙහිව පාලක හා විපක්ෂ දේශපාලන පක්ෂයන්හි එකමුතුවක් වෙනුවෙන් කරන අයිවන්ගේ හඬගෑම, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ව්‍යාපාරයක් ලෙස වෙස් ගැන්වූ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මූලෝපායික හා මිලිටරිමය තල්ලුවට ඔහු දක්වන සහයෝගය සමග එක පෙලට සිටියි. අයිවන්ගේ පරිනාමය ඇඟවුම් කරන්නේ, ධනවාදයේ “දුෂ්ඨ තැන්” විවේචනය කරමින් එය ප්‍රජාතන්ත්‍රවාදය සමගින් පවිත්‍ර කල යුතු බව කියන අතර වැඩකරන ජනතාවට විරුද්ධ තැනකට මාරුවී, රටතුල අධිරාජ්‍යවාදයට පිටුබලය දෙන ක්ෂේත්‍රයක් නිර්මානය කිරීම පිනිස වෙහෙසෙන පැරනි රැඩිකලුන් ස්ථරයකි.

Share this article: