ඇෆ්ගනිස්ථාන‍ සංහාරයෙන් පසුව යුද්ධය වෙනස් නොවන බවට එක්සත් ජනපදය හා මහා බ්‍රිතාන්‍යය දිව්රති

US, UK vow no change in war after Afghanistan massacre

By Bill Van Auken, 15 March 2012

එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා හා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරොන් 14දා ධවල මන්දිරයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය සමුලුව යොදාගනිමින්, සති අන්තයේ කන්දහාර් ප්‍රාන්තයේදී සිවිල් වැසියන් 16 දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම හමුවේ ඇෆ්ගනිස්ථාන යුද මූලෝපායේ වෙනසක් සිදු නොවන බව අවධාරනය කලහ.

ඝාතනයන් ආරෝපනය කර ඇත්තේ හමුදාවේ 38 හැවිරිදි හුදෙකලා මාන්ඩලික සැරයන් වරයෙකු වෙතය. ඔහු සිය කඳවුරෙන් ඉවතට පැමින දොරක් දොරක් පාසා යමින් ගම්මානයේ ඇෆ්ගන් වරුනට වෙඩි තබා ඇත. මියගියවුන් බොහොමයක් ගෙවල්වල නිදාසිටි කාන්තාවන් හා ලමුන්ය.

"දැනටමත් අප සතුව ඇති සැලැස්මේ හදිසි හා ඉක්මන් වෙනස්කම්” සිදු නොවනු ඇතැයි ඔබාමා පැවසීය. මැයි මාසයේ චිකාගෝවේ පැවත්වීමට නියමිත නේටෝ සමුලුවේ දී "සංක්‍රමනයක්” සඳහා වන අවසාන සැලැස්ම ඉදිරිපත් කරනු ඇතැයි ද ඒ අනුව ලබන වසරේදී එක්සත් ජනපද හා අනෙකුත් විදේශ හමුදා "උපකාරක ක්‍රියාවලියක්” වෙත මාරුවී 2014 අවසන් වන විට "ආරක්ෂාව සම්බන්ධ පූර්න වගකීම” ඇෆ්ගන් මිලිටරිය හා පොලිසිය වෙත පවරනු ඇතැයි ද ඔබාමා දැනුම් දුන්නේය.

"සාමයේ අර්ථයෙන් මෙම අදියරේදී දැනට අප සතුව ඇති සැලැස්මෙහි කිසිදු හදිසි අමතර වෙනස්කම් ඇතිකිරීමට යන බවක් මම අදහස් නොකරමි.” දශකයක් පැරනි එක්සත් ජනපදය මූලිකත්වය ගත් යුද්ධයේ "ප්‍රගතියක්” ඉල්ලා සිටින බව ද ඔබාමා පැවසීය.

සිය කථාවේදී කැමරොන්, හමුදා ඉවත් කිරීම කඩිනම් කිරීම ප්‍රතික්ෂේප කල ඔබාමා දෝංකාරය නංවමින් වාඩිලෑම "ඇඟට දැනෙන ප්‍රගතියක්” ඉල්ලා සිටින්නේ යයි පැවසීය.

ඔබාමා පාලනය විසින් ක්‍රියාවට නැඟීමට නියමිත සැලැස්ම යටතේ මේ වසරේ සැප්තැම්බර් වන විට එක්සත් ජනපද හමුදාවෙන් භටයින් 23,000ක් පමන ඉවත්කර ගැනීමෙන් පසුව තවත් 68,000ක් එහි රඳවා තැබෙනු ඇත. එය 2009 දෙසැම්බර් යුද්ධය කාලයේදී "වැඩිකරන” ලෙසට ඔබාමා කල නියෝගයට පෙර එහි සිටි හමුදාවන්ගේ ප්‍රමානයට සමාන සංඛ්‍යාවකි.

කෙසේ වෙතත් මෙම වසරේ අග පටන් 2014 අවසානය තෙක් ඉවත්කර ගැනීමට යන හමුදා භට පිරිස් කොපමන ද යන්න ගැන ඇඟවුමක් ඇත්තේ නැත. පකිස්ථාන දේශසීමාව ආසන්නයේ නැගෙනහිර ඇෆ්ගනිස්ථානයෙහි නව ආක්‍රමනයකට සූදානම් වෙමින් සිටින එක්සත් ජනපද හමුදා අනදෙන නිලධාරීහු හමුදා ඉවත්කර ගැනීමේ අවසන් දින වකවානු අලුත් කිරීමට විරෝධය දක්වති.

එක්සත් ජනපදයේ මෙන්ම බ්‍රිතාන්‍යයේ ද සැලකිය යුතු බහුතරයක් යුද්ධය පවත්වාගෙන යාමට විරෝධය පලකරන බවත් එය සටන් කිරීමට තරම් වටිනා දෙයක් යයි විශ්වාස නොකරන බවත් පිලිගැනීමට ඔබාමාට බලකෙරුනි. මාර්තු 12-13 දිනවල රෝයිටර්/ඉප්සෝ විසින් සිදුකල මත විමසුමකට අනුව ඇමරිකානුවන්ගෙන් සියයට 61ක් එක්සත් ජනපද හමුදා ඉක්මනින්ම ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්කර ගැනීමට සහාය පල කලහ. "මක්නිසා ද යත් අප එහි දස වසරක් ගතකොට ඇති අතර මිනිසුන් හෙම්බත්ව සිටියි. මන් ද, යුද්ධයේ ප්‍රතිපල වශයෙන් තමන් ආදරය කලවුන් අහිමිවී ඇති අසල්වැසියන් හා මිතුරන් ගැන ඔවුන් දන්නා බැවිනි.” වොෂින්ටනය "2014දී සිය අරමුනු ලඟාකරගනු ඇතැයි” අවධාරනය කරමින් ඔබාමා එසේ පැවසීය.

වොෂින්ටනයේ ප්‍රධාන අරමුන වන්නේ, ඇෆ්ගන් ආරක්ෂක හමුදා පුහුනු කිරීම හා උපදෙස් ලබාදීම ද "ත්‍රස්ත විරෝධී මෙහෙයුම්” ගෙනයාමේ ද කඩතුරාව යටතේ ඇෆ්ගනිස්ථානය තුල ස්ථිර එක්සත් ජනපද යුද කඳවුරු සුරක්ෂිත කර ගැනීම හා ස්ථිරව ම එහි පැලපදියම්වීම ය. මරාදමන ලද ඇෆ්ගන්වරුන්ගේ මල සිරුරු මත මූත්‍රා කරන එක්සත් ජනපද මැරීන් භටයින්ගේ වීඩියෝ පටයක් නිකුත් වීම, පසුගිය මාසයේ දී බග්රම්හි එක්සත් ජනපද ගුවන් කඳවුරේ දී කොරානයේ පිටපත් ගිනි තැබීම හා කන්දහාර් ප්‍රාන්තයේ මෑතකම සිදුකල මිනිස් ඝාතනය දක්වා වන සිදුවීම් මාලාවක් හමුවේ, විදේශ මිලිටරි බලයන් එහි රැඳී සිටීම කෙරෙහි මහජන කෝපය උත්සන්න වී ඇති අතර එමගින් "ආරක්ෂක හවුල්කාරිත්වය” පිලිබඳ ගිවිස්නාව මුල්කරගෙන පැවැත්වෙන සාකච්ඡාවන්ට බාධා එල්ල වී තිබේ.

එක්සත් ජනපද-නේටෝ ආක්‍රමනිකයින්ගේ අත යට ඇෆ්ගන් ජනතාවට මුහුනපෑමට සිදුව තිබෙන නින්දා අපහාස හා සිවිල් ජනතාවගේ ජීවිත හානි සමගින් යුද අපරාධ මාලාවක් පසුපස සිදුවූ මෑතම ඝාතනයන් හමුවේ, ඇෆ්ගන් ජනතාව තුල වැඩෙමින් ඇති කෝපාග්නියේ රැල්ල විසින් වොෂින්ටනයෙන් ඇසෙන "ප්‍රගතිය” පිලිබඳ කථාන්තර මුසාවන් බවට පත්කර තිබේ.

13දා ජලාලාබාද්හි දහස් ගනන් සිසුහු වීදිවලට පැමින "ඇමරිකාවට මරනය, ඔබාමාට මරනය” යනුවෙන් හඬ නැගූහ. ජලාලාබාද් සිට කාබුල් කරා වැටී තිබෙන ප්‍රධාන මහා මාර්ගය අවහිර කල විරෝධතා කරුවෝ, විදේශ ආක්‍රමනිකයා හෙලා දකින හා 11දා ඝාතනයන්ට චෝදනා ලැබ සිටින සෙබලා ඇෆ්ගනිස්ථානයේදී ප්‍රසිද්ධ නඩු විභාගයකට ඉදිරිපත් කල යුතු බව සඳහන් බැනර් රැගෙන සිටියහ.

එදින ම ඇෆ්ගන් සෙනේට් සභාව කන්දහාර් ඝාතනයන්ට විරෝධය පල කරමින් එහි සුපුරුදු සැසිවාර‍යෙන් ඉවත්ව ගිය බව පෙෂාවෝර්හි ඇෆ්ගන් ඉස්ලාමීය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කලාය. ව්‍යවස්ථාදායක සභිකයින් යලි සැසියට පැමිනියේ ආක්‍රමනිකයාට එරෙහි කෝපාවිෂ්ඨ සටන් පාඨ හඬනගමිනි.

සෙනේට් සභාවේ කථා නායක ෆසේල් හාඩි මොස්ලෙම්යාර් වාර්තකරුවන් අමතමින් මෙසේ පැවසීය. "අපට ඇෆ්ගනිස්ථානය තුල විදේශ හමුදා අවශ්‍ය නැත. අප මුහුන දෙන සියලු ගැටලු නිර්මානය කලේ ඔවුන්ය. ඔවුන් ඉවත් වුව හොත් අසල්වැසි රටවල් අපට සැනසිල්ලේ සිටීමට ඉඩ දෙනු ඇත. අපගේ රටෙහි ප්‍රශ්න අපට ම විසඳා ගැනීමට පුලුවන.”

සිසුන් මෙන්ම ව්‍යවස්ථාදායක සභිකයෝ ද මරන පිලිබඳ චෝදනා ලැබ සිටින ඇමරිකානු සොල්දාදුවා ඇෆ්ගනිස්ථාන අධිකරනයක් හමුවේ ප්‍රසිද්ධ නඩු විභාගයකට ඉදිරිපත් කල යුතු බවට හඬ නැගූහ.

කෙසේ වුව ද 14දා සවස පෙන්ටගන් නිලධාරියෙක් හෙලිදරව් කලේ සොල්දාදුවා "අධිකරන පූර්ව රැඳවුම් භාරයට” පත්කිරීම පිනිස මිලිටරි ගුවන් යානයක නංවා රටින් පිටකල බවයි. මෙම ක්‍රියාව ආක්‍රමනිකයාට එරෙහිව නව මහජන විරෝධයක් පැන නැංවීමට තුඩු දිය හැක.

මේ අතර සිය අවුරුදු දෙකේ සිට දොලහ දක්වා වය‍ෙස් පසුවූ ලමුන් අටදෙනෙක් ද භාර්යාව හා නෑනා ද මරා පිලිස්සීමේ ඝාතනයෙන් පන බේරුනු ඇෆ්ගන් වැසියා පසුගිය 11දා උදෑසන ටයිම්ස් ඔෆ් ලංඩන් පුවත් පතට පැවසුවේ, චූදිත සොල්දාදුවාට දඬුවම් නොකල හොත් තමන් ආක්‍රමනික හමුදාවන්ට විරුද්ධව සටන් කිරීම සඳහා තලිබාන් සංවිධානයට බැඳෙන බවයි.

35 හැවිරිදි මොහමඩ් වසීර් අගා, සොල්දාදුවා ඇෆ්ගන් අධිකරනය හමුවට පැමිනවීමට තමන්ට අවශ්‍ය බව පැවසීය. "ඔහු කල දේ ම ඔහුට ද කිරීමට මට අවශ්‍යය. මියගියවුන් පිලිස්සුනු ආකාරයට ම ඔහු ද පුලුස්සා දැමිය යුතුය. මගේ ලමුන් කල පාපය කුමක් ද?”

ඝාතනය සිදුකල සැනෙන්ම කෝපයට පත් දහසකට වැඩි පිරිසක් ගමට එක් රොක්වී අසල පිහිටි එක්සත් ජනපද මිලිටරි කඳවුරට කඩාපැනීමට උත්සාහ කල අවස්ථාවේ වැඩිහිටියන් ඔවුන් වැලැක්වූ ආකාරය වසීර් සිහිපත් කලේය.

“මට දැන්ම ම ඇමරිකානුවන් ඇෆ්ගනිස්ථානයෙන් පිට කිරීමට අවශ්‍යයි. ඔවුන් ගොඩනැඟූ කිසිවක් නැත. එහෙත් ඔවුන් නිවාස හා දේශප්‍රේමී මිනිස්සු විනාශ කලහ.”

ඝාතනය, මරන සිදුකල බවට පාපොච්චාරනය කල හුදෙකලා මාන්ඩලික සැරයන් වරයෙකුගේ ක්‍රියාවක් බව එක්සත් ජනපද මිලිටරි නායකයින් ආරම්භයේ පටන් ම අවධාරනය කල ද ඇෆ්ගන් ගම් වාසීන්ගේ තොරතුරුවලට අනුව ඝාතනයට එක්සත් ජනපද සෙබලුන් දෙදෙනෙකු හෝ ඊටත් වැඩි ගනනක් සම්බන්ධ වී ඇත.

ජනාධිපතිගේ සිට පහලට ඇමරිකානු නිලධාරීන් ඝාතනය පීලිපැනීමක් බව පෙන්නුම් කිරීමට උත්සාහ කරමින් එය "රටක් ලෙස අප” නියෝජනය කරන්නේ නැති බව පැවසුව ද ඇෆ්ගනිස්ථානයෙන් පලවන ප්‍රතිචාර, මෙම රුදුරු ඝාතන තබනු ලබන්නේ, දස දහස් ගනනක් සිවිල් වැසියන් මරා හෙලූ විශේෂ කාර්ය බලකායන්ගේ නිමක් නැති රාත්‍රී වැටලීම් හා බෝම්බ දැමීම් ද අනෙකුත් මෙහෙයුම් ද සහිත සන්දර්භයකය.

රාජ්‍ය නායකයින් දෙපල වොෂින්ටනයේ දී හමුවන අතර වාරයේ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලියොන් පැනෙට්ටා, ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද හමුදාවක් ස්ථිර වශයෙන් පැලපදියම් කිරීම පිලිබඳව කර්සායි තන්ත්‍රය සමග කෙරෙන සාකච්ඡා සවිමත් කිරීමේ උත්සාහයක නිරත වීම පිනිස ආතති සහගත සංචාරයක් සඳහා එරටට පැමිනියේය.

ඇෆ්ගනිස්ථානයේ වැඩි වර්ධනය කල තත්වය පිලිබඳව ඔබාමාගේ හා කැමරොන්ගේ ප්‍රකාශ මුසාවන් බවට පත් කරමින් පැනෙට්ටාගේ සංචාරය, ආරම්භයේ පටන් ම වටලනු ලැබූ තත්වයක් යටතේ කෙරුනු බවක් පෙනී ගියේය. ඔහුගේ ගුවන් යානය හෙල්මන්ඩ් ප්‍රාන්තයේ කෑම්ප් බැස්ටියන් වෙත ගොඩ බස්වනවාත් සමග කලින් ඇෆ්ගන් සෙබලෙකුගෙන් පැහැරගන්නා ලද ට්‍රක් රථයක් ධාවන පථයට කඩාවැදී ආරක්ෂක ලේකම්ගේ ගුවන් යානය ගමන්කල දිසාවට වේගයෙන් ධාවනය කරමින් තිබිය දී කානුවකට වැටීමෙන් පුපුරා ගිනි ගත්තේය. මෙහිදී නේටෝ භටයෙක් ට්‍රක් රථයේ ගැටුනි. මෙම සිදුවීම පෙනී ගියේ බෝම්බ ප්‍රහාරයක් සඳහා දැරූ උත්සාහයක් ලෙසය. පෙන්ටගනයේ නිලධාරීහු, ට්‍රක් රථය පැනෙට්ටාගේ ගුවන් යානයට සමීප වූයේ අඩි 300ක තරම් දුරකින් පමනක් බවත්, ඔහු කිසිවිටෙකත් අනතුරකට මුහුන නොපෑ බවත් පවසමින් මේ සිද්ධීන් පිලිබඳව සන්සුන් ලීලාවකින් පෙනී සිටීමට උත්සාහ දැරූහ.

හෙල්මන්ඩ්හි එක්සත් ජනපද මැරීන් භටයින් සමග පැනෙට්ටා පැවැත්වූ රැස්වීම ද පෙන්නුම් කලේ එක්සත් ජනපද වාඩිලෑම මුහුන දී සිටින පැතිරෙමින් ඇති අර්බුදයයි. ආරක්ෂක ලේකම්ගේ කතාවට සවන් දීමට රැස්ව සිටි සිය ගනනක් මැරීන් සෙබලුන්ට සිය ප්‍රහාරක රයිෆල් තුවක්කු හා අනෙකුත් අවි ද රැගෙන කූඩාරමෙන් ඉවත්වන ලෙසට හිටි හැටියේ පෙර නොවූ විරූ අනක් ලැබුනි.

ඇෆ්ගන් රූකඩ තන්ත්‍රයේ ආරක්ෂක හමුදා සාමාජිකයින්ට එවන් රැස්වීම්වලට අවි රැගෙන යාම සාමාන්‍යයෙන් තහනම්ය. පසුගිය පස් වසර තුල අඩු තරමින් එක්සත් ජනපද හා අනෙකුත් නේටෝ සෙබලු 75ක් වත් ඇෆ්ගන් හමුදා භටයින් හා පොලිසිය විසින් ඝාතනය කර ඇත.

Share this article: