ගැඹුරුවන මූල්‍ය අර්බුදය පිලිබඳව ජී8 සමුලුවේදී කිසිදු එකඟත්වයක් පලවී නැත

No agreement at G8 summit on deepening financial crisis

By Nick Beams, 21 May 2012

සමස්ත ගෝලීය ආර්ථිකයටම තර්ජනය කරන යුරෝපයේ මූල්‍ය අර්බුදය ගැඹුරුවෙද්දී ඉන්ඩිපෙන්ඩන්ට් යන බ්‍රිතාන්‍ය පුවත්පතේ පලවූ කතුවැකියක් මෙවර පැවැත්වෙන ජී-8 සමුලුව හැඳින්වූයේ, දශක තුනක කාලයක් තුල පැවැත්වෙන වැදගත්ම සමුලුව ලෙසය. කෙසේ වෙතත් එක්සත් ජනපද ජනාධිපතිගේ කෑම්ප් ඩේවිඩ් නිවාඩු නිකේතනයේ පැවති දිනක සාකච්ඡාවකින් පසුව නිකුත් කල ප්‍රකාශය, උග්‍ර අතට හැරෙන අර්බුදය හමුවේ හෝඳ මුනත්තහඩුවක් දමාගැනීම හැරෙන්නට එයට විසඳුම් සෙවීමේ කිසිදු සැලැස්මක් නොමැති බව හෙලිදරව් කලේය.

එය පටන්ගත්තේ අමූලික පච දෙකක් ඉදිරිපත් කරමිනි. “අපගේ අභිලාශය වර්ධනය හා රැකියා සම්පාදනයයි” දෙවැන්න “ගෝලීය ආර්ථික ප්‍රකෘතිය, පොරොන්දුවේ සලකුනු පෙන්නුම් කරයි”

සමුලුව තුල නැඟී සිටි ජනාධිපති ඔබාමා “මේතාක් දුරට තත්වය යහපත්” බවත් “මේ දැන් ආර්ථික වර්ධනය නඟා සිටුවීමටත් රැකියා වැඩිකිරීමටත් බොහෝ දේ කල යුතුව ඇති බවට දැන් වර්ධනය වන එකඟත්වයක් පවතින” බවත් පැවසීය. පසුව නිකුත්කල ප්‍රකාශයක් තුල ඔහු, “මහා අවපාතයේ පටන් ක්‍රියාත්මක කල ප්‍රබල ම මූල්‍ය ප්‍රතිසංස්කරන සමහරක්” පිලිබඳ සිය පාලන‍ෙය් වාර්තාව පෙන්නුම් කලේය. මෙම පුරසාරම, මෑතකදී ව්‍යුත්පන්න වෙලඳාමෙන් ඩොලර් බිලියන 3කට වැඩි අලාභයක් ලැබූ ජේපී මෝගන් චේස් බැංකු හුටපටයෙන් බොරු කෙරී තිබේ.

ප්‍රකාශනය කරුනු දෙකක් සිදු කිරීමට අපේක්ෂා කරයි. එනම්, ජී8 නායකයින්ට ගෝලීය අර්බුදයට යම් විසඳුමක් දියහැකි බව පෙන්වීම හා එය කුමක් ද යන්න පිලිබඳව පැනනැඟී ඇති මතභේද මත පැලැස්තර ඇලවීමයි. ජී8 තුල “වර්ධනය” පිලිබඳව ඔබාමා හා ඔහුගේ අනුචරයින් තැබූ අවධාරනය ගැන මාධ්‍ය තුලින් විශාල ප්‍රචාරයක් දී තිබුනු අතර ජරමානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල් කප්පාදුවේ ප්‍රධාන හොරනැව ලෙස නිරූපනය කෙරුනි.

මතභේද සුලු හා උපායාත්මක දේ පමනි. එක්සත් ජනපදය වර්ධනය කෙරෙහි මනාපය දක්වනතාක් දුරට එරටට අවශ්‍ය කෙරෙන්නේ, බැංකු ආරක්ෂා කිරීම පිනිස යුරෝපීය මූල්‍ය ක්‍රමය තුලට වඩ වඩාත් මුදල් එන්නත් කිරීම හා එමගින් එක්සත් ජනපදයේ මූල්‍ය ආසක්තයන් රැකගැනීම ය. ඒ සමග ම වැටුප් හා සේවා කොන්දේසි පහතට ඇද දැමීම පිනිස “ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන” ක්‍රියාත්මක කිරීම ය. ඇමරිකානු අපනයනකරුවන්ට වාසි සැල‍ෙසන පරිදි යුරෝපීය ආර්ථිකය එසවීම පිනිස සමහර සීමිත යටිතල පහසුකම් නැංවීම දැකීමට ද ඔවුන් කැමැත්තක් දක්වයි.

“ව්‍යුහාත්මක පදනමකින් මූල්‍ය ස්ථාවරත්වය තක්සේරු කිරීම පිනිස දැඩි කැපවීමක් පෙන්වන අතර වර්ධනය ජනනය කරන්නේ කෙසේ දැයි යුරෝපය තුල පැවැත්වෙන සාකච්ඡා” පිලිබඳව ද ප්‍රකාශනය සතුට පලකරයි. වෙනත් වචනවලින් කිවහොත් සමාජ වැඩසටහන් ඉලක්ක කරගත් ආන්ඩුවල වියදම් කැපීමට සම්බන්ධ කප්පාදු පියවර දිගටම සිදුවන්නේය යන්නයි.

අවධාරනයේ දී සුලු මත්භේද තිබිය දී ම සියලුම ජී8 නායකයෝ 2008-09 කාලයේ මූල්‍ය උත්තේජන පියවර කරා ආපසු යාමක් නැති බවට එකඟ වෙති. කෙසේ වෙතත් එවන් පියවර, බැංකුවල හා මූල්‍ය ආයතනවල ආසක්තයන් නියෝජනය කරන ගෝලීය මූල්‍ය වෙලඳපොලවල රුදුරු විරෝධය හමුවේ ක්‍රියාත්මක කල නොහැකි ය.

ස්පාඤ්ඤය, පෘතුගාලය හෝ ප්‍රන්සය පවා, රැකියා වැඩිකිරීමේ එල්ලය ඇතිව වියදම් වැඩි කිරීමේ පියවර වෙත නැඹුරු වුව‍ෙහාත්, ඔවුන්ගේ බැඳුම්කර මූල්‍ය වෙලඳපොලවලදී මුලුමනින්ම පාහේ විකුනා දැමෙනු ඇති අතර පොලී අනුපාත ඉහල නැංවීමට බල කරමින් මූල්‍ය අර්බුදයක් නිර්මානය කරනු ඇත.

ජර්මනිය සම්බන්ධයෙන් ගත් කල, කප්පාදු වැඩසටහන ලිහිල් කිරීමක් කෙරෙහි මර්කෙල්ගේ විරුද්ධත්වය පිලිබිඹු කරන්නේ, ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා වඩ වඩාත් මුදල් යෙදවීමට එරටට බලකෙරුනොත් එරට මෙම ගෙහොරුවේ තවත් ගැඹුරට ඇද දමනු ඇති බවට ජර්මානු මූල්‍ය ප්‍රාග්ධනය පල කරන භීතියයි.

ප්‍රකාශනයේ ඇතුලත් “අධ්‍යාපන හා නවීන යටිතල ව්‍යුහයේ ආයෝජන” සඳහා කල කැඳවුමට මර්කෙල් සිය සහාය පලකරන බව ඇඟවුම් කල ද “මෙයින් අදහස් කරන්නේ සම්ප්‍රදායික අර්ථයෙන් ගත් උත්තේජනයක් නොවන්නේ යයි” වැඩිදුරටත් පැවසුවාය. එක්සත් ජනපද නිලධාරීහු ද ඊට එකඟ වෙමින් වර්ධනය සඳහා තොග පිටින් කරන පොදු වියදම් අනවශ්‍ය බව කියා සිටි අතර එය පොදු-පෞද්ගලික හවුල්කාරිත්වයක හා නය මුදාහැරීමේ ආකෘතියක් ගත හැකි බව පැවසූහ.

නිල සැසිය අවසන් වීමෙන් පසුව ඔබාමා හා මර්කෙල් අතර පැවති පුද්ගලික හමුවක දී මූලික මතභේද කිසිවක් නොමැති බව පැහැදිලිව ප්‍රකාශ විය. සාකච්ඡා අවසානයේ මාධ්‍යවේදීන් හමුවේ පෙනී සිටි ධවල මන්දිරයේ නිලධාරියෙක් පැවසුවේ, වර්ධනය සඳහා තල්ලුව “මූල්‍ය ප්‍රතිසංස්කරන ආකෘති‍ෙය් තැන නොගන්නා අතර දෙක එක්ව” ගමන් කරන්නේය යන අවබෝධයක් තිබුනු බවය.

“යුරෝ කලාපයේ වර්ධනය ඇතිකල හැකි ක්ෂනික කොන්දේසි තුල පියවර ගැනීමේ අවශ්‍යතාවය හඳුනාගත් බවට වැඩෙන සලකුනු පවතින අතර චාන්සලර් මර්කෙල් හා අනෙක් අය අවධානය යොමුකර තිබෙන මූල්‍ය ස්ථායිකරනය ද පවත්වාගත යුතුය.” ඔහු පැවසීය.

ග්‍රීසියේ අනාගතය පිලිබඳ තීරනාත්මක ප්‍රශ්නය ගැන සමුලු ප්‍රකාශනය පැවසුවේ, “එරට කැපවීම් පිලිබඳව ගරු කරන අතර ග්‍රීසිය යුරෝ කලාපය තුල රැඳී සිටීම කෙරෙහි අපගේ උත්සුකය යලි ප්‍රකාශ කරන්නෙමු” යනුවෙන් පමනි. වෙනත් වචනවලින් කිවහොත්, 1930 ගනන්වලින් මෙපිට දක්නට නොලැබුන ආකාරයේ ආර්ථික තත්වයක් කරා රට ඇද දමන ලද කප්පාදු පියවර අඛන්ඩව පෙරට යනු ඇති බවයි.

උග්‍ර අතට හැරෙන තත්වයක් තිබිය දීත්, අර්බුදය විසඳීමේ සැලැස්මකට සමාන කිසිවක් පවා නොමැතිව හා කිසිවෙක් කිසිවකට පොරොන්දු නොවෙමින් සමුලු නායකයෝ, කෑම්ප් ඩේවිඩ් වෙතින් පිටව ගියහ.

සාකච්ඡා ආසන්නයේ බ්‍රිතාන්‍ය ආන්ඩුවේ ප්‍රධාන ආර්ථික අනාවැකිකරු, යුරෝව බිඳවැටුනහොත් එක්සත් රාජධානියේ ආර්ථිකය “ස්ථිරව ම හානියට පත්වනු ඇති බව හා කිසිවිටෙකත් එයට ආධාරයක් නොලැබෙනු” ඇති බවට අනතුරු ඇඟවීය. බ්‍රිතාන්‍ය මුදල් ලේකම් ජෝර්ජ් ඔස්බෝන්, යුරෝ කලාපයේ අර්බුදයෙහි “කුනාටු” නැවතත් කැටිවෙමින් ඇති බව පැවසීය.

18දා සමුලුව පැවැත්වෙද්දී පවා, 2011 වසරේ ස්පාඤ්ඤයේ රාජ්‍ය හිඟය, රටේ පලාත් තුනක සංශෝධිත ගිනුම් වාර්තා හේතුකොටගෙන කලින් වාර්තාවූවාට වඩා සැලකිය යුතු තරම් ඉහල ගිය බවට තොරතුරු එලිදරව් විය. ඒ සමග එරට ස්ථාවරත්වය පිලිබඳව අලුතෙන් කනස්සල්ල මතුවෙමින් තිබුනි.

කලින් ගනන් බලා තිබුන සියයට 8.5ට සාපේක්ෂව එරට රාජ්‍ය හිඟය, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.9ක් දක්වා ඉහල නැඟි බව දැන් වාර්තා වෙයි. ස්පාඤ්ඤ ආන්ඩුවේ නරක අතට හැරෙන තත්වය පිලිබඳ තොරතුරු ප්‍රසිද්ධ වීමත් සමග දැනටමත් තිරසාර නොවේ යයි සලකන මට්ටම් කරා, එනම් සියයට 6 ඉක්මවා ගෙස් තිබෙන, දස වසරේ ආන්ඩු බැඳුම්කර පොලී අනුපාත මත තව තවත් පීඩනය යෙදෙනු ඇත.

ආර්ථික අර්බුදය විසඳීමේ කිසිදු පියවරක් ඉදිරිපත් නොකල ද ජී8 නායකයෝ, සිරියාවේ එක්සත් ජනපදය අනුගමනය කරන පාලන තන්ත්‍ර වෙනස් කිරීමට සිය සහයෝගය ඇඟවුම් කලහ. සිරියාව තුල වත්මන් එක්සත් ජාතීන්ගේ දූත මෙහෙවරට සහාය පලකරමින් “අවශ්‍ය වන්නේ නම් තවදුරටත් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම” අනුමත කලහ.

එක්සත් ජනපදය පිටුපස පෙල ගැසීම, ඉරාන ප්‍රශ්නය කරා ම යන අතර ප්‍රකාශනය මෙසේ සඳහන් කරයි. “ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිලිබඳව දැඩි කනස්සල්ල” පල කරන අතර එරට ආන්ඩුව, “තම න්‍යෂ්ටික වැඩපිලිවෙලට අදාල සියලු නොවිසඳුනු ප්‍රශ්න අප්‍රමාදව විසඳාගත යුතුය.”

23දා යුරෝපීය සංඟමයේ නායකයින් නිල නොවන සමුලුවක් පවත්වන අතර මේ සතිය තුල යලිත් අර්ථික අවධානය යුරෝපය වෙත මාරුවනු ඇත. සාකච්ඡාවට ගැනෙන අයිතමයන් අතරට, සෘජුව ම යුරෝපීය බැංකු ප්‍රතිමූල්‍යකරනයට බඳුන් කරන, යුරෝ කලාපයේ ගලවා ගැනීමේ අරමුදල යුරෝ බිලියන 500න් සවිමත් කිරීමේ ද යුරෝ කලාපීය බැඳුම්කර නිකුතුවේ ද යෝජනා ඇතුලත්ය.

මෙම යෝජනා මීට පෙර ද සාකච්ඡා කෙරුනු නමුත් ජර්මනියේ විරුද්ධත්වය නිසා ප්‍රතික්ෂේප වී තිබුනි. එහෙත්, පසුගිය සතියේ ග්‍රීක හා ස්පාඤ්ඤ බැංකුවල ස්ථාවරත්වය පිලිබඳ ප්‍රශ්න මතුවීමෙන් පසුව දැන් යුරෝපීය බැංකු පද්ධතියේ කොටසක බැංකු ක්ෂයවීම පිලිබඳ බිය පලවෙයි.

අද ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ ප්‍රකාශ දෙකක් මෙම ප්‍රශ්නයට වෙන්වී ඇත.

තීරු රචක ගැවින් ඩේවිස්ට අනුව “බැංකු ක්ෂයවීම දැන් යුරෝ කලාපය තුල දිගහැරෙමින් තිබේ. මේතාක් දුරට එය සාපේක්ෂව හෙමින් සිදුවෙයි. කෙසේ නමුත් එය ක්ෂයවීමකි. එහෙත් පසුගිය සතියේ එය තියුනු ලෙස වේගවත්වන බවට සලකුනු පලවූ අතර ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ හදිසි අවධානයක් ඉල්ලා සිටියි.

යුරෝපීය ආර්ථික විශ්ලේෂක වොල්ෆ්ගෑන්ග් මුන්චාවු, ස්පාඤ්ඤ තැන්පත් කරුවන් යුරෝ බිලියනයක් අර්බුදයට පත් බැන්කියා සමුහයෙන් ඉවත්කරගෙන ඇති බවට පලවූ මාධ්‍ය වාර්තා පෙන්වා දෙමින් කියා සිටියේ මෙය බැංකු ක්ෂයවීමක් නොව, “එවැන්නක ආරම්භය විය හැකි” බවය.

Share this article: