එක්සත් ජනපදය හා ජපානය චීනයට එරෙහි මිලිටරි බැඳීම් ශක්තිමත් කරති

US, Japan strengthen military ties against China

By Peter Symonds, 2 May 2012

එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා හා ජපාන අගමැති යොෂිහිකෝ නෝඩා අතර වොෂින්ටනයේ පැවති හමුව, ආසියාව තුල සිය මූලෝපායික සන්ධානය ශක්තිමත් කරමින්, මිලිටරි කටයුතු වැඩිදියුනු කිරීම පිනිස දෙරට පියවර ගනිමින් සිටින බව තහවුරු කලේය. නායකයින් දෙදෙනාම ප්‍රතික්ෂේප කරනු ලැබුව ද මෙම පියවර පැහැදිලිව ම එල්ල වන්නේ චීනයට එරෙහිව ය.

ඔවුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශනය මගින් "අපගේ ද්විපාර්ශවික ආරක්ෂාව හා සහයෝගිතාව තවදුරටත් තරකිරීමට” පොරොන්දු විය. "කලාපය තුල වඩාත් භූගෝලීයව බෙදාහැරුනු හා මෙහෙයවිය හැකි නම්‍යශීලී බලය ස්ථාපනය කිරීම පිනිස ආසියා පැසිෆික් කලාපය වෙතට වන එක්සත් ජනපදයේ මූලෝපායික ප්‍රතිතුලනතාවය” වෙනුවෙන් කැපවිම ද එයින් සහතික කරන ලදී.

2009 මැද හරියේ පටන් සිදුවෙමින් තිබූ, කලාපය පුරා චීනයේ බලපෑමට වල කැපීමේ සවිස්තරාත්මක එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික-මිලිටරි ව්‍යායාමය තහවුරු කරමින්, පසුගිය නොවැම්බරයේදී ඔබාමා, සිය පාලන‍ෙය් "මූලෝපායික ප්‍රති තුලනය” නැත්නම් "කේන්ද්‍රගතවිම” නිවේදනය කලේය. ජපානය, දකුනු කොරියාව, ඕස්ට්‍රේලියාව හා ෆිලිපීනය සමග එක්සත් ජනපදයේ මිලිටරි සන්ධාන තරකිරීම මෙන්ම ඉන්දියාව, ඉන්දුනිසියාව හා අනෙකුත් රටවල් සමග මිලිටරි හවුල්කාරිත්වය ද වොෂින්ටන‍ෙය් මූලෝපාය සඳහා ප්‍රමුඛ වෙයි.

සමුලුවට පෙර නෝඩා පලකල අදහස් අතර වෝල් ස්ට්‍රීට් ජර්නලයට කල ප්‍රකාශය ද වෙයි. "ආසියා පැසිෆික් කලාපය වෙත යොමුවී ඇති එක්සත් ජනපද මූලෝපාය සමග සහයෝගීව ජපානය, ඊසානදිග දිවයින් ද ඇතුලු කලාපයේ සිය ආරක්ෂක ස්ථානගත කිරීම් වැඩිදියුනු කිරීම පෙරට ගෙනයනු ඇත.” "ඊසානදිග දිවයින්වලට” මතභේදයට තුඩුදී ඇති ඩියාඕයු/සෙන්කාකු දිවයින් ද අතුලත් වනු ඇත. ඒ දිවයින් අරභයා 2010 වසරේදී ජපානය චීනය සමග රාජ්‍යතාන්ත්‍රික ගැටුමකට පැටලුනි. ජපානය 2010දී සිය ආරක්ෂක මගපෙන්වීම් සංශෝධනය කරමින් නාවික හා ගුවන් නිරීක්ෂන, දිවයින් ආරක්ෂාව, හා දැඩි ආරක්ෂක සහයෝගිතාව, විශේෂයෙන්ම එක්සත් ජනපදය සමග, අවධාරනය කර ඇත.

නෝඩා හා ඔබාමා අතර පැවති සාකච්ඡා ආන්දෝලනාත්මක නොවූ නමුත් එක්සත් ජනපදය සමග බැඳුනු එහි කලාපීය ආරක්ෂක මැදිහත්වීම් වැඩි දියුනු කරන බවට ජපානය දුන් පොරොන්දුව, වැදගත් කමක් දරයි. "ආත්මාරක්ෂාවට” පමනක් එහි මිලිටරි කටයුතු සීමාකරන බව සඳහන් කරන එරට පශ්චාත් යුද්ධ ව්‍යවස්ථාවේ ඊනියා සාමකාමී වගන්තියට ජපාන ආන්ඩුව නාමිකව බැඳී සිටියි. වඩාත් විශාල භූමිකාවක් ඉටුකරන ලෙසට එක්සත් ජනපදයෙන් කෙරෙන බලපෑම් හමුවේ ජපානය පසුගිය දශකය පුරා ඇමරිකාවේ මූලිකත්වයෙන් සිදු කෙරුනු ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ වාඩිලෑමට සහාය පිනිස සිය මිලිටරිය යොදවනු ලැබිනි. දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයෙන් පසුව ප්‍රථම වතාවට එරට මෑතකදී විදේශ මිලිටරි කඳවුරක් පිහිටුවා ගත්තේය. ඒ මුහුදු කොල්ලකෑම් මැඩීමට බව පවසමින් මූලෝපායිකව වැදගත් අප්‍රිකානු තුඩුවේ පිහිටි රටක් වන ජබුටිහිය.

චීනය සිරකර තැබීමේ ඔබාමාගේ මූලෝපාය සඳහා ජපානය සමග වන එක්සත් ජනපද සන්ධානය සවිමත් කිරීම වැදගත්ය. ජපානය ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය වන අතර චීනයට වඩා තාක්ෂනික අතින් දියුනුය. එහි ආරක්ෂක වියදම පසුගිය වසරේදී ඩොලර් බිලියන 59.3ක් වූ අතර එය ලෝකයේ හයවන විශාල ආරක්ෂක පිරිවැයයි. ආසියාවේදී එය දෙවැනි වන්නේ චීනයට පමනි. එරට මිලිටරිය සෑම විටම අධි තාක්ෂනික මෙවලම්වලින් සන්නද්ධ කර සංවිධානය කර ඇති අතර එනිසා ම වේගයෙන් විහිදවීමේ හැකියාවෙන් ද යුක්තය.

එක්සත් ජනපදය සමග පවතින සමීප මිලිටරි සබඳතා පිලිබඳව ජපාන පාලක පන්තිය තුල, නෝඩාගේ ජපාන ප්‍රජාතන්ත්‍ර පක්ෂය තුල ද, මතභේද පවතියි. 2009දී ඩිමොක්‍රටිකයින් පලමු වතාවට බලයට ගෙන ඒමට මූලිකත්වය ගත් හිටපු අගමැති යුකියෝ හතොයාමා වඩාත් ස්වාධීන ජපන් විදේශ පිලිවෙතක් ගෙන යමින්, සමීප කලාපීය සබැඳියාවන් විශේෂයෙන්ම - ජපානය ආර්ථික වශයෙන් බෙහෙවින් පදනම්ව සිටින චීනය සමග - පවත්වා ගත්තේය.

ජපාන ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ ප්‍රධාන මැතිවරන පො‍රොන්දුවක් වූ, ෆියුටෙන්මා නාවික හමුදා කඳවුර ඔකිනාව‍ා දිවයිනෙන් ඉවත වෙනත් ස්ථානයක පිහිටුවීම පිලිබඳව යලි සාකච්ඡා කිරීම, ඔබාමා පාලනය විසින් ප්‍රතික්ෂේප කිරීමේ හේතුව ද කරනකොටගෙන 2010 ජූනියේ දී හතොයාමාට අගමැති කමෙන් ඉවත් වීමට බලකෙරුනි. ඔහු වෙනුවට පත්වූ නඔටෝ කාන්ට පසුගිය වසරේදී ඉල්ලා අස්වීමට සිදුවූ අතර නෝඩා ද කාන් පොරොන්දුවූ පරිදි එක්සත් ජනපදය සමග සමීප මිලිටරි සබඳතා පවත්වාගෙන යයි. ගනන් බලා ඇති පරිදි 90,000ක් ජනතාව සම්බන්ධ වූ 2010 මුල ඔකිනාවාහි පැවති දැවැන්ත මහජන රැලියෙන් කුලුගැන්වුන විරෝධතා ෆියුටෙන්මා ගුවන් කඳවුර පිලිබඳව පමනක් නොව, මිලිටරිවාදය යලි හිස එසවීමට ජපානය පුරාම පැවති විරුද්ධත්වයේ ද ප්‍රකාශනයකි.

එක්සත් ජනපදය හා ජපානය පසුගිය සතියේ දී ඔකිනාවා වෙතින් මැරීන් භටයින් 9,000ක් ඉවත් කිරීමේ පියවර නිවේදනය කලහ. භටයින් 5,000ක් පැසිෆික් කලාපයේ ඇමරිකානු මිලිටරියේ "මූලෝපායික මධ්‍යස්ථානයක්” බවට පත්කිරීමට නියමිත එක්සත් ජනපදයේ ප්‍රදේශයක් වන ගුවාම් වෙත මැරුකර හරිනු ඇත. ඉතිරි භටයින් හවායිහි හා උතුරු ඕස්ට්‍රේලියාවේ ඩාවින්හි ස්ථානගත කරනු ඇත. පසුගිය වසරේදී නිවේදනය කල ගිවිසුමේ කොටසක් ලෙස මැරීන් භටයින් 2,500ක් මාරුවීමේ ක්‍රමයට ඩාවින්හි ස්ථානගත කෙරෙනු ඇත.

ප්‍රති ස්ථානගත කිරීම් ඔකිනාවාහි මූලෝපායික වැදගත්කම හීන කරන්නේ නැත. ඉන් පසුවත් එහි 10,000ක මැරීන් භටයින් මෙන්ම එක්සත් ජනපද මිලිටරි බලඇනි රැඳී සිටිනු ඇත. දැනට ජනාකීර්න නාගරික ප්‍රදේශයක පිහිටා ඇති ෆියුටෙන්මා කඳවුර ඔකිනාවාහි වෙනත් ස්ථානයක යලි පිහිටුවීම පිලිබඳ මතභේදයට තුඩුදී ඇති ප්‍රශ්නය මෙම පියවර මගින් වුව ද විසඳී ඇත්තේ නැත. ෆියුටෙන්මා පිලිබඳ අවසන් තීරනය ගන්නා තෙක් ජපානය, ඩොලර් බිලියන 3.1ක් ගෙවිමට එකඟවී ඇති ගුවාම් කඳවුරු ගොඩනැඟීම දැන් කෙරීගෙන යනු ඇත.

පසුගිය සතියේ එක්සත් ජනපද-ජපාන ආරක්ෂක තානාපති කාර්යාංශය, ගුවාම්හි හා උතුරු මැරියානා දිවයින්හි ඒකාබද්ධ පුහුනුවීමේ පහසුකම් ඇති කිරීමේ හැකියාව ද නිවේදනය කරන ලදී. "පුහුනුවීම්” පිලිබඳව සඳහන් කෙරෙන්නේ ජපාන ව්‍යවස්ථාව මගහැර යමින් රටතුල ඇති විරෝධය මොට කිරීමේ උත්සාහයක් ලෙස ය. මෙම සැලසුම් ක්‍රියාවට නැ‍ඟෙන්නේ නම් එය එක්සත් ජනපද බිමක පලමු ස්ථාවර ජපන් මිලිටරි ස්ථානගත කිරීම සලකුනු කරනු ඇත.

ගුවාම්හි හා උතුරු ඕස්ට්‍රේලියාවේ එක්සත් ජනපද මිලිටරිය යලි ස්ථානගත කිරිම, විශේෂයෙන්ම මැද පෙරදිග හා අප්‍රිකාවේ සිට බලශක්ති හා අමුද්‍රව්‍ය ප්‍රවාහනයේදී චීනය රැඳී පවතින වැදගත් මුහුදු මාර්ග පාලනය සඳහා ගිනිකොනදිග ආසියාව වෙත පෙන්ටගනයේ දැඩි යොමු‍වෙහි කොටසකි. මැලැක්කා සමුද්‍ර සන්ධිය වැනි හිරකිරීමේ ස්ථානයන්හි එක්සත් ජනපද ආධිපත්‍යය ගැටුම්කාරී අවස්ථාවක චීනයට ආර්ථික බාධකයක තර්ජනය එල්ල කරයි. එක්සත් ජනපද නාවික හමුදාව මැලැක්කා සමුද්‍ර සන්ධියට යාබද සිංගප්පූරු මුහුදේ අලුතින් යුද නැව් රැඳවීමට සූදානම් වෙමින් සිටියි.

30දා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් හා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලියොන් පැනෙට්ටා මැනිලාහිදී ආරක්ෂක කටයුතු පිලිබඳ ඉහල මට්ටමේ සාකච්ඡාවන් සඳහා ඔවුන්ගේ ෆිලිපීන සමගාමිකයන් හමුවූහ. දකුනු චීන මුහුදේ චිනය සමග භෞමික මතභේදයන් පිලිබඳව දැඩි ආස්ථානයන් ගැනීම පිනිස වොෂින්ටනය, ෆිලිපීනය හා අනෙකුත් ගිනිකොනදිග ආසියාතික රටවල් දිරිමත් කර තිබේ. එක්සත් ජනපදය ෆිලිපීන නාවික හමුදාව තරකර තිබෙන අතර පැරනි ඇමරිකානු කොලනියක් වන එරටේ සංවේදී දේශපාලන ප්‍රශ්නයක් වන, ෆිලිපින මිලටරි කඳවුරු මාරුවන ක්‍රමයට ඇමරිකානු හමුදාවන්ගේ ප්‍රයෝජනය සඳහා යොදාගැනීම පිලිබඳව, සාකච්ඡා පවත්වති.

ස්කාබරෝ ෂෝල් දිවයින් මුල්කරගෙන චීනය හා ෆිලිපීනය අතර පැනනැඟී ඇති වත්මන් අර්බුදය හමුවේ පැත්තක් නොගනිමින් ක්ලින්ටන්, "අපි තර්ජන හා බලහත්කාරයට විරුද්ධ වන්නෙමු. අපි අපගේ මිතුරා සමග සමීප සම්බන්ධතා පවත්වන්නෙමු.” යයි පැවසුවාය. චිනය සමග ගැටුමක දී එක්සත් ජනපදය ෆිලිපිනයට සහාය දක්වන්නේදැයි විමසූ කල ෆිලිපීන විදේශ කටයුතු පිලිබඳ ලේකම් ඇල්බට් ඩෙල් රොසාරියෝ පැවසුවේ, "තමන්ගේ ප්‍රශ්න පිලිබඳව අන්‍යෙන්‍ය ආරක්ෂක ගිවිසුම යටතේ” එක්සත් ජනපදය අවධානය යොමුකිරීමේ අභිලාශය පලකොට ඇති බවයි.

ස්කාබරෝ ෂෝල් මුල්කරගත් අර්බුදය සලකුනු කරන්නේ ඔබාමා පාලනයේ ආසියා පැසිෆික් කලාපය වෙත "යොමුවීමේ” අපරීක්ෂාකාරී තල්ලුවයි. හිතාමතාම ආතතීන් අවුලුවමින් එක්සත් ජනපදය, කලාපයේ පවතින බොහෝ අර්බුදකාරී ස්ථාන මුල්කරගෙන චීනය සමග විනාශකාරී ගැටුමක් ඇතිවීමේ අවදානම නිර්මානය කරයි.

Share this article: