එක්සත් ජනපදය ඉරානය සමග ගැටුම උග‍්‍ර කරයි

US intensifies confrontation with Iran

14 May 2012

P5+1හෙවත් නිෂේධ බලවතුන් පස්දෙනා වන එක්සත් ජනපදය, රුසියාව, බි‍්‍රතාන්‍ය, චීනය, ප‍්‍රන්සය හා ජර්මනිය ද ඉරානය ද අතර ලබන සතියේ බැග්ඩෑඩ්හි පැවැත්වීමට නියමිත සාකච්ඡා, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් පිලිබඳව මතුවිය හැකි අනතුරුදායක ගැටුමක සන්ධිස්ථානයක් වනු ඇත. එක්සත් ජනපදය විනාශකාරී සම්බාධක පැනවීමට සූදානම් වෙමින් හා යුද්ධයේ ම තර්ජනය පවා එල්ල කරන අතර වාරයේ වොෂින්ටනය, ප‍්‍රධාන සහන පිරිනැමීම සඳහා ටෙහෙරානය මත ඉමහත් පීඩනයක් යොදමින් සිටියි.

පසුගිය සතියේ වියානාහි දී කථාකරමින් එක්සත් ජනපදයේ න්‍යෂ්ටික සාකච්ඡාකරු වන රොබට් වුඩ්, "ඉරානය තම සියලු ජාත්‍යන්තර වගකීම්” ඉටුකිරීම සඳහා "හදිසි ප‍්‍රායෝගික පියවර” ගතයුතු බව කියා සිටියේ ය. "එරට න්‍යෂ්ටික වැඩසටහන් පිලිබඳ ප‍්‍රශ්න විසඳීමට අවශ්‍ය කෙරෙන සියලු අදාල මධ්‍යස්ථාන, ලියකියවිලි හා පුද්ගලයින් වෙත ජාත්‍යන්තර පරමානුක බලශක්ති ආයතනයට (අයිඒඊඒ) පිවිසීම සඳහා ඉඩකඩ සැලසීමට අසමත්වීම” ගැන ඔහු ඉරානය විවේචනය කලේය.

න්‍යෂ්ටික අවි තැනීමේ කිසිදු බලාපොරොත්තුවක් තමන්ට නැතැයි ඉරානය යලි යලිත් ප‍්‍රකාශ කර ඇත. එරට නටාන්ස් හා ෆෝර්ඩෝ යන න්‍යෂ්ටික සුපෝෂන මධ්‍යස්ථාන ද සංචිත ද ඇතුලු න්‍යෂ්ටික පහසුකම්, න්‍යෂ්ටික ප‍්‍රගුනන වැලැක්වීමේ ගිවිසුම (එන්පීටී) අනුව අවශ්‍යතාවක් බවට පත්කර තිබෙන බැවින්, අයිඒඊඒ පරීක්ෂනයට හා අධීක්ෂනයට යටත්කර තිබේ. කෙසේ වෙතත්, එක්සත් ජනපදය හා එහි සහකරුවෝ, එන්පීටී මගින් අවසර දී ඇති න්‍යෂ්ටික සුපෝෂනය ඉරානය විසින් නතර කල යුතු යයි ද සියයට 20ක් සුපෝෂනය කල න්‍යෂ්ටික සංචිත රටෙන් බැහැරට නැව්ගත කල යුතු යයි ද අවධාරනය කරති.

බැග්ඩෑඩ් සාකච්ඡාවලින් කිසිදු නිශ්චිත එකඟත්වයක් ඇතිකරගත හැකිය යන්න පිලිබඳව ඇත්තේ මඳ බලාපොරොත්තුවක් පමනි. අයිඒඊඒ ට පුද්ගලයින් හා පහසුකම් වෙත පිවිසීමේ ඉඩකඩ සැලසිය යුතු බවට කෙරෙන එක්සත් ජනපද ඉල්ලීම්, ඉරානයේ විශාල භූමි ප‍්‍රදේශය තුල න්‍යෂ්ටික අත්හදාබැලීම් සම්බන්ධ කිසිදු වැඩසටහනක් පැවතිය නොහැකි තැනට එරට පත් කරමින්, එරටට නිමක් නැති රිනාත්මක බලපෑම් ඇති කරන්නේය. මේ සතියේ ඉරාන බලධාරීන් සමග පැවැත්වෙන අයිඒඊඒ රැස්වීමේදී එය, දශකයකට පමන පෙර න්‍යෂ්ටික මෙවලමක් සඳහා අවශ්‍ය කෙරෙන වර්ගයේ අධි පිපිරවීම් අත්හදා බලන බවට චෝදනා එල්ල කර තිබෙන, ඉරානයේ මිලිටරි කඳවුරක් වන පාචින් සංකීර්නයට පිවිසීමට අවසර දිය යුතු යයි ඉල්ලා සිටියි. ඊට සමාන ප‍්‍රකාශයන්හි දී මෙන්ම මෙහිදී ද අයිඒඊඒ "තොරතුරු” එලිදකින්නේ, බෙහෝ විට සිදුවිය හැකි පරිදි එක්සත් ජනපදයේ හෝ ඊස්රායලයේ, විදේශ බුද්ධි මූලාශ‍්‍රයන්ගෙනි.

ඇවිස්සීමකින් තොරව ඉරානයට එරෙහිව මිලිටරි පහරදීමක් පිලිබඳව තර්ජනය කරන ඊස්රායලය, ඉරානයේ යුරේනියම් සුපෝෂන වැඩසටහන් මුලුමනින්ම නතර කිරීමට බල කෙරෙන පරිදි සාකච්ඡාමත දැඩි පීඩනයක් යොදා ඇත. ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා අනුව ඊස්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු, පසුගිය සතියේදී යුරෝපීය සංගමයේ ප‍්‍රතිපත්ති සම්පාදනයේ ප‍්‍රමුඛත්වය දරන කැතරීන් ඇෂ්ටන් වෙත පවසා ඇත්තේ, දැනටමත් ටෙහෙරානය විසින් ප‍්‍රතික්ෂේපකොට තිබෙන, ඊස්රායලයට පිලිගත හැකි පරිදි සුපෝෂනය අවසන් කෙරෙන හා ෆෝර්ඩෝ මධ්‍යස්ථානය වසා දැමෙන කාලසටහනක් වෙනුවෙන් ඉරානය කැපවිය යුතු බවයි.

ඇෂ්ටන් ඊස්රායලයට පැමිනියේ විපක්ෂයේ කඩීමා පක්ෂය ආන්ඩුවට සම්බන්ධ කර ගනිමින් අටවා තිබෙන හවුල් ආන්ඩුවේ ආස්ථාන පැහැදිලි කර ගැනීමට ය. කඩීමා පක්ෂයේ නායකත්වය දරන, හිටපු අභ්‍යන්තර ආරක්ෂක ප‍්‍රධානී ෂාහුල් මොෆාස්, ඉරානයට පහර දීමේ නෙතන්යාහුගේ තර්ජන පිලිබඳව දැඩි විවේචන එල්ල කර ඇත. එහෙත් ඔහු ආන්ඩුවේ කැබිනට්ටුවට ඇතුලුවීම, ඉරානයට එරෙහි ප‍්‍රහාරයක් වැලකී යනවා වෙනුවට එය වඩාත් වියහැකි දෙයක් බවට පත් කරයි. මෙම හවුලෙන් ආන්ඩුවට පාර්ලිමේන්තුව තුල අති විශාල බහුතරයක් ලබාදෙයි. මොෆාස් එහි සිටීම, ඉරානයට එරෙහි යුද්ධයක් පිලිබඳව රටතුල පුලුල්ව පැතිර ඇති විරෝධය මොටකර දැමීමට උපයෝගී කර ගන්නවා ඇත.

පසුගිය 10දා ඊස්රායලයේ චැනල් 10 ප‍්‍රවෘති විකාශය සඳහන් කලේ, ඉරානයට එරෙහි ඊස්රායල් ගුවන් ප‍්‍රහාර සඳහා දැන් මග පෑදී තිබීම පිලිබඳ කනස්සල්ල නිසා එක්සත් ජනපද නිලධාරීන් සාකච්ඡා සඳහා මැරතන් ධාවනයක යෙදී සිටින බවයි. ප‍්‍රහාරයක් සඳහා බාධකයක් විය හැකිව තිබුනු හදිසි මැතිවරනයක් වලක්වාගෙන මැදියම් රැයේ ඇතිකරගත් හදිසි ගිවිසුමකින් පසුව නෙතන්යාහු, මෝෆාස් සමග සභාග ආන්ඩුවක් අටවා ගත්තේය. ඉරානය ද ඇතුලු ප‍්‍රශ්න ගනනාවක් පිලිබඳව තමන් මුහුනට මුහුනලා පැවැත්වූ සාකච්ඡාවලින් පසුව එකඟත්වයකට පැමිනි බව පුද්ගලයින් දෙදෙන ඒකාබද්ධ මාධ්‍ය හමුවක දී පැවසූහ.

එත්සත් ජනපදය හා ඊස්රායලය අතර ඇත්තේ උපායාත්මක මතභේද පමනි. නෙතන්යාහු, සාකච්ඡා හා සම්බාධක බැහැර කිරීමේ ආස්ථානයක සිටින අතර ඔබාමා පාලනය, ඕනෑම ප‍්‍රහාරයකට පූර්වයෙන් ටෙහෙරානයේ පාලන තන්ත‍්‍රය දුබල කර ඊට වල කැපීමේ උත්සාහයක නිරතව සිටියි. ජූනි අවසානයේ සිට ක‍්‍රියාවට නැගීමට නියමිත, එයම ආර්ථික යුද්ධයකට සමාන, රටේ තෙල් අපනයන මුලුමනින්ම පාහේ අවහිර කෙරෙන ආකාරයේ එක්සත් ජනපද-යුරෝපීය සම්බාධක පැනවීම මගහැර ගැනීමට ඉරානය දැඩි වෙහෙසක් දරයි.

පසුගිය දෙසතිය පුරා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, ඉරානයෙන් තෙල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස ඉන්දියාවටත් චීනයටත් බලපෑම් කරමින් සිටියා ය. ජනාධිපති ඔබාමා විසින් ඉවත් කරනු නොලැබුවහොත්, එක්සත් ජනපද සම්බාධක තුලින්, ඉරානයේ මහ බැංකුව සමග ගනුදෙනු කරන විදේශ බැංකු හා සමාගම්වලට එරෙහිව ඒකපාර්ශවික දන්ඩන පැනවෙනු ඇත. මෙම තෝරාගත් දන්ඩන පැනවීම, ඉරානය සමග ගැටුම සිය ප‍්‍රතිවාදීන්ගේ, විශේෂයෙන්ම චීනයේ තත්වයට වලකැපීම සඳහා එක්සත් ජනපදය විසින් ගසාකමින් සිටින බව පැහැදිලි කරයි.

ඔබාමා පාලනයේ සූදානම ආර්ථික සම්බාධකයන්ට පමනක් සීමාවී නැත. වසර ආරම්භයේ පටන් ම එක්සත් ජනපද නාවික හමුදාව පර්සියානු බොක්ක තුල හෝ ඒ අසල ගුවන්යානා හාරක නැව් සංඛ්‍යාව දෙක දක්වා වැඩිකර ඇත. මේ මාසය මුලදී නම හෙලි නොකල එක්සත් ජනපද නිලධාරිහු, පෙන්ටගනය විසින් එෆ්-22 රප්ටර් යන අතිශයින්ම සූක්ෂම යුද ගුවන් යානා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් ඩාෆ්රා ගුවන් කඳවුර වෙත පිටත්කර හැරිය බව සනාථ කලහ. මෙම වර්ධනයන් මගින් එක්සත් ජනපද මිලිටරියට, ඉරානයේ මිලිටරි හා න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත දැවැන්ත ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමේ හැකියාව ලබාදෙයි.

වොෂින්ටනය ගල්ෆ්හි සිය අනුචර ආඥාදායක රාජකීය තන්ත‍්‍රයන්ගේ මිලිටරි ශක්‍යතා නගා සිටුවීමේ ද යෙදී සිටියි. එහි මෑතම පියවර වශයෙන් ඔබාමා පාලනය, එහි විරෝධතා ප‍්‍රචන්ඩ ලෙස මැඩීමේ යෙදී සිටීම නොතකා ගල්ෆ් රාජ්‍යයක් වන බහරේනයට අවි අලෙවි කරන බව 11දා නිවේදනය කලේය. වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අනුව, එම තොගයට යුද නැව්, ගුවනේ සිට ගුවනට හා ගොඩබිම සිට ගුවනට විදින මිසයිල් පද්ධතීන් හා එෆ්-16 ප‍්‍රහාරක ගුවන් යානා නවීකරනය ඇතුලත්ය. බහරේනය එක්සත් ජනපදයේ පස්වන නාවික හමුදාවට නවාතැන් සපයයි.

ඉරානය සමග වන එක්සත් ජනපදයේ පැතිරෙමින් ඇති ගැටුමේ මූලික හේතු සාධකය එරට න්‍යෂ්ටික වැඩසටහන් නොවේ. ඊට විපරීත ලෙස ආක‍්‍රමනික යුද්ධයක් සඳහා පවතින සූදානම පෙරට තල්ලු කරන්නේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඓතිහාසික පරිහානියත්, මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ බලශක්තියෙන් පොහොසත් ප‍්‍රදේශයන්හි සිය නිර්බාධිත ආධිපත්‍ය පිහිටුවීම පිනිස තම සුපිරි මිලිටරි බලය යොදාගැනීමට ඇති අධිෂ්ඨානයත් විසින් ය. ඇෆ්ගනිස්ථානය හා ඉරාකය ආක‍්‍රමනය කිරීමෙන් පසුව එක්සත් ජනපදය, කලාපය ම වෙලාගත හැකි හා ඊටත් වඩා පුලුල් ගැටුම්වලට තුඩුදිය හැකි තවත් යුද්ධයකට ද අදූරදර්ශී තර්ජන එල්ල කරයි.

ඊලඟ සතියේ පැවැත්වෙන බැග්ඩෑඩ් සාකච්ඡා බිඳ වැටුනහොත්, ඊස්රායලය හෝ එක්සත් ජනපදය ආරම්භකත්වය ගන්නා මිලිටරි ගැටුමක තර්ජනය නාටකාකාර ලෙස වැඩි වර්ධනය වනු ඇත. එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තරව ද කම්කරුවන් හා තරුනයින් ඔබාමා පාලනයේ මෙම යුද උන්මාදයට විරුද්ධ විය යුතුය. යුද්ධය වැලැක්වියහැකි එකම ක‍්‍රමය, යුද්ධයේ මූලික ම සාධකය වන අර්බුද ග‍්‍රස්ත ලාභ පද්ධතියට අවසන් තිත තබන සමාජවාදී හා ජාත්‍යන්තරවාදී මූලෝපායක පදනම මත කම්කරු පන්තියේ ස්වාධීන බලමුලුගැන්වීම පමනකි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: