ඔබාමා චිකාගෝහි පොලිස් රාජ්‍ය විධික‍්‍රමවලට හුරේ දමයි

Obama hails police state methods in Chicago

22 May 2012

චිකාගෝහි පැවති යුද විරෝධී පෙලපාලි ඉලක්ක කරගත් ප‍්‍රචන්ඩත්වයෙන්, මර්දනයෙන් හා බොරු නඩුවලින් යුක්ත සතියකට පසුව, සඳුදා බරක් ඔබාමා නගරයේ නිලධාරින්ගේ හා පොලිස් දෙපාර්තමේන්තුවේ කි‍්‍රයාකාරිත්වයට ප‍්‍රශංසා කලේය.

නැටෝ සමුලූව අවසානයේ දී කතා කරමින්, ඔබාමා සිය දේශපාලන හිතෛෂියකු හා ධවල මන්දිරයේ හිටපු කාර්ය මන්ඩල ප‍්‍රධානි, වත්මන් චිකාගෝ පුරපති රහ්ම් එමානුවෙල්ට උපහාර පිදුවේය. විරෝධතාකරුවන්ට එරෙහිව බලූමුලූ ගැන්වූ දහස් සංඛ්‍යාත භටයන්ගෙන් සමන්විත පොලිස් හමුදාවට සැඳහුම් කරමින්, ඔහු මෙසේ ද පැවසීය: "සැලකිය යුතු පීඩනයක් හා විශාල සුපරීක්ෂාවක් යටතේ චිකාගෝහි පොලිස් හමුදාව දැවැන්ත කාර්යභාරයක් ඉටු කලේය.”

මෙම "දැවැන්ත කාර්යභාරය” කුමක්ද?

* සිකුරාදා සිට සඳුදා දක්වා දින හතරක් තිස්සේ මධ්‍යම චිකාගෝව තථ්‍ය වසයෙන් ඇන හිටුවන ලදි. එය සිදු කරනු ලැබුවේ, කිසිදු අවස්ථාවක 5,000ට වඩා වැඩි නොවූ විරෝධතාකරුවන් විසින් නොව, සාමාන්‍යයෙන් සංඛ්‍යාවෙන් විරෝධතාකරුවන් අභිභවා ගිය පොලිස් හා පැරා-මිලිටරි භටයන් දැවැන්ත පරිමානයෙන් බලමුලූගැන්වීම මගිනි. සමුලූව පැවති මැක්කෝමික් පෙදෙස වටා වූ සම්පූර්න ප‍්‍රදේශයම නිවාස අඩස්සියකට යටත් කොට තිබුනි.

*ඉරිදා අත් අඩංගුවට ගැනුනු 60කට අධික සංඛ්‍යාව ඇතුලුව, සතියක කාලය තුල දී පොලීසිය 100කට අධික විරෝධතාකරුවන් සංඛ්‍යාවක් අත් අඩංගුවට ගත්තේය. ඉරිදා ආතති සහගත ගැටුම් පැවති අතර එහි දී පොලීසිය ඇෆ්ඝනිස්ථානයේ එක්සත් ජනපද-නැටෝ යුද්ධයටත් සෙසු අධිරාජ්‍යවාදී මිලිටරි මැදිහත්වීම්වලටත් විරුද්ධත්වය පල කල විරෝධතාකරුවන්ට එරෙහි සිය වෛරය නොකඩවා මුදාහැරියේය.

* දැඩි පොලිස්-හිතැති ටැබ්ලොයිඩ් පුවත්පතක් වන චිකාගෝ සන්-ටයිම්ස් ”කැරලි මර්දන උපකරනවලින් සන්නද්ධ වූ පොලිස් භටයෝ විරෝධතාකරුවන්ට එක දිගට ප‍්‍රහාර එල්ල කරති” යන ශීර්ෂ පාඨය සහිත සිය වාර්තාවෙන් විස්තර කල පරිදි, ඉරිදා සවස විරෝධතාකරුවන් ප‍්‍රචන්ඩ ලෙස විසුරුවා හැරීම මුලුමනින්ම ඒක-පාර්ශ්වීය විය. පොලිස් ප‍්‍රහාර කෙතරම් නම් පුලුල්ව පැතිරුනු හා වගවිභාගයක් නැති ඒවා ද කියතොත් එම පුවත්පතේ ම වාර්තාකරුවෙක් තුවාල ලැබූවන් අතර සිටියේය. අඩු ගනනේ විරෝධතාකරුවන් 25 දෙනෙක් තුවාල ලැබූ අතර ඔවුන්ගෙන් දුසිමකට පමන රෝහල් ප‍්‍රතිකාර අවශ්‍ය විය.

*වඩාත්ම අනිෂ්ඨ පූර්වනිමිත්තක් වූයේ, නැටෝ සමුලුවට එරෙහිව "ත‍්‍රස්තවාදී” ප‍්‍රහාරවලට සූදානම් වන්නේ යයි කියනු ලැබූ පුද්ගලයන් ඉලක්ක කරගෙන සිදු කෙරුනු පොලිස් මෙහෙයුම්වල දී විරෝධතාකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගැනීමයි. එම පස් දෙනාම පෙන්වන ලද්දේ එකම ඔත්තුකරුවන් දෙදෙනෙකු විසිනි. ඒ වෙස්වලාගත් පොලිස් භටයන් තමන්ට උසිගැන්වීමට හෝ උගුලේ හසු කරගැනීමට හැකි අයෙක් සොයමින් විරෝධතාකරුවන් අතරට පුලුල් පරිමානයෙන් විනිවිදීමෙන් පසුවය.

කූක් පලාතේ සංචාරක උසාවිය හමුවේ ගොනු කෙරුනු "නැටෝ සමුලූව පැවැත්වෙන කාලය තුල දී රට තුල ත‍්‍රස්ත කි‍්‍රයා සඳහා කුමන්ත‍්‍රනය කිරීම” පිලිබඳ චෝදනා වනාහි, ඇෆ්ඝනිස්ථානයේ එක්සත් ජනපද-නැටෝ යුද්ධයට ද දැනට සිදු කෙරෙන හෝ ඔබාමා පාලනාධිකාරය සැලසුම් කරන සෙසු අධිරාජ්‍යවාදී මිලිටරි මැදිහත්වීම්වලට ද විරුද්ධවන්නන් බියගැන්වීමට සිතාමතාම දරන ලද ප‍්‍රයත්නයකි.

"ත‍්‍රස්ත විරෝධී යුද්ධයේ” නාමයෙන් පසුගිය දශකය තිස්සේ ගොඩනගන ලද සමස්ත ප‍්‍රකෝපකරන හා බොරු නඩු යාන්ත‍්‍රනය දැන් ඇමරිකානු ආන්ඩුවේ පිලිවෙත්වලට විරුද්ධ වන වැඩ කරන ජනතාවගේ හා තරුනයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහිව යොදා ගැනෙයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය ස්ථිරසාර ලෙස අනතුරු ඇඟවූ පරිදි, ආගමනිකයන්ට හා මුස්ලිම්වරුන්ට එරෙහිව යොදා ගෙන අත්හදා බැලුනු විධික‍්‍රම දැන් සමස්තයක් ලෙස ඇමරිකානු ජනතාවට එරෙහිව මුදා හැරෙයි.

යුද විරෝධී විරෝධතාකරුවන්ට එරෙහි චිකාගෝ බොරු නඩු මීට පෙර ප‍්‍රකෝපකරනයන්ගේ අඩි පාරේ ගමන් කරයි: එනම්, පසුගිය මාසයේ මීට සමාන ගොතන ලද චෝදනා මත ක්ලීව්ලන්ඩ් ප‍්‍රදේශයේ වාඩිලාගැනීමේ ව්‍යාපාරයේ විරෝධතාකරුවන් පස් දෙනෙක් අත් අඩංගුවට ගැනීම, පසුගිය පතන හා ශීත සෘතු කාලවල දී වාඩිලාගැනීමේ ව්‍යාපාරයේ කඳවුරුවලට එරෙහි ක‍්‍රමානුකූල පොලිස් ප‍්‍රචන්ඩත්වය, 2010 පතන සෘතුවේ දී මිනියපොලිස්හි හා චිකාගෝවේ යුද විරෝධී කි‍්‍රයාකාරීන්ගේ නිවාසවලට එෆ්බීඅයි නිලධාරින් කඩාපැනීම.

එය වනාහි, පොලිස් රාජ්‍යයක පලංචි ඉදිකිරීමෙහිලා බුෂ්ගේ ධවල මන්දිරයටත් වඩා දුර ගොස් ඇති ඔබාමා පාලනාධිකාරය විසින් ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහිව එල්ල කරනු ලබන වඩා පුලුල් ප‍්‍රහාරයක කොටසකි. එක්සත් ජනපද පුරවැසියන් ඇතුලුව, ත‍්‍රස්තවාදී තර්ජනයක් ලෙස ඔහු නම් කරන ඕනෑම අයෙකු, නඩු විභාගයකින් තොරව, මිලිටරි රඳවා ගැනීමකට ලක් කරන ලෙස අන කිරීමේ අයිතිය ජනාධිපතිට ලබා දෙන, ජාතික ආරක්ෂක බලාධිකාරී පනතට ඔබාමා අත්සන් තැබීය. ඔබාමා, එක්සත් ජනපද පුරවැසියන් ඝාතනය ඇතුලු, ත‍්‍රස්තවාදී චුදිතයන් ඉලක්ක කරගෙන ඝාතනය කිරීම තියුනු ලෙස ඉහල දමා ඇති අතර එසේ කිරීමට ජනාධිපතිට ඇතැයි කියනු ලබන ඒකපාර්ශ්වීය "අයිතිය” විවෘතව ම ආරක්ෂා කර තිබේ.

මහා ව්‍යාපාරික පක්ෂ දෙකම අයිතිවාසිකම් පනත ඉරා දැමීමේ ද ව්‍යවස්ථානුකුලව සහතික වී ඇති ඔවුන්ගේ අයිතීන් ඇමරිකානු ජනතාවට අහිමි කිරීමේ ද ක‍්‍රමානුකූලව යෙදී සිටිති.

දැවැන්ත තෙල් හා ස්වභාවික වායු සංචිත සහිත හෝ එවන් සංචිතවලට යාබද මූලෝපායික ස්ථානවල පිහිටි රටවලට එරෙහිව එය යුද්ධ කරන කල, ඇමරිකානු අධිරාජ්‍යවාදය "ප‍්‍රජාතන්ත‍්‍රවාදය” හා "නිදහස” පැත්තේ සිටින බවට ඩිමොක‍්‍රැටික් හා රිපබ්ලිකන් දේශපාලනඥයන් කරන කියාපෑම්වල වංචනික ස්වභාවය මෙම මර්දනකාරී පිලිවෙත් මගින් එලිදරව් කෙරෙයි.

ඇමරිකාව වනාහි කාර්මික රටවල් අතරින් මර්දන හමුදාවල ආනුභාවය ඉහලින්ම පවතින රටයි. මර්දන හමුදාවන් -- ප‍්‍රාදේශීය හා ප‍්‍රාන්ත පොලීසි, මිලිටරිය, එෆ්බීඅයි, සීඅයිඒ හා සෙසු බුද්ධි අංශ, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දැවැන්ත යාන්ත‍්‍රය, නිමක් නැති පුද්ගලික ආරක්ෂක හමුදා -- සංයුක්තව ගත් කල සංඛ්‍යාවෙන් මිලියන ගනනක් වේ.

අවසාන විග‍්‍රහයේ දී, මෙම දැවැන්ත මර්දන යන්ත‍්‍රය සාක්ෂ්‍ය දරන්නේ ඇමරිකානු ධනවාදයේ අර්බුදය පිලිබඳව මිසක එහි ශක්තිය ගැන නොවේ. සමාජ ආතතීන් වඩා තියුනු වන තරමට, දේශපාලන වාතාවරනය වඩා ආතති සහගත වන තරමට, වරප‍්‍රසාදිත ප‍්‍රභූ පැලැන්තිය කෙරෙහි වැඩ කරන ජනතාවගේ වෛරය ගැඹුරු වන තරමට, මාක්ස් සහ එංගල්ස් රාජ්‍යයේ සාරය ලෙස විස්තර කල "සන්නද්ධ හමුදා” තමන් වටා පිහිටුවාගැනීමට පාලක පන්තියට බල කෙරෙයි.

කම්කරු පන්තිය චිකාගෝහි සිද්ධීන් වෙතින්, ඔවුන්ගේ ඔත්තුකරුවන් හා ප‍්‍රකෝපකාරීන් ඇතුලූ, පොලීසියේ කාර්ය භාරය ද ඔබාමා පාලනාධිකාරයේ කාර්ය භාරය ද ගැන අවශ්‍ය අනතුරු ඇඟවීම් උකහා ගත යුතුය.

තීරනාත්මක කාරනය වන්නේ, කම්කරු පන්තියට දේශපාලනිකව පැහැදිලි කිරීම සහ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී කි‍්‍රයාමාර්ගයක පදනම මත වැඩ කරන ජනතාවගේ හා තරුනයන්ගේ මහජන, ස්වාධීන දේශපාලන බලමුලූගැන්වීමක් වර්ධනය කිරීමයි. දේශපාලන බලය සියතට ගෙන කම්කරු ආන්ඩුවක් ගොඩනැගීමට සටන් වදින, එවන් මහජන ව්‍යාපාරයක් පමනක්ම, සංගත ප‍්‍රභූ පැලැන්තියේ සහ ඩිමොක‍්‍රැටික් හා රිපබ්ලිකන් යන දෙපාර්ශ්වයේම එහි දේශපාලන ආරක්ෂකයන්ගේ මර්දනය හා ආඥාදායකත්වය දෙසට යන ගමන වලකාලීමට සමත් වනු ඇත.

පැටි‍්‍රක් මාටින්

Share this article: