බෙයින් කැපිටල් පලහිලව්ව හා ඩිමොක්‍රටිකයින්ගේ නරුමත්වය

The Bain Capital affair and the cynicism of the Democrats

25 May 2012

ඔබාමාගේ මැතිවරන ව්‍යාපාරය තුල පෞද්ගලික ව්‍යාපාර වස්තු සමාගමක් වන බෙයින් කැපිටල්හි ප්‍රධාන විධායකයා වශයෙන් මිට් රොම්නිගේ භූමිකාව ගැන කෙරෙන විවේචන, වොෂින්ටනයේ කෙටි දේශපාලන හැප්පීමක් ඇතිකර තිබෙන අතර ඇමරිකාවේ මහා ව්‍යාපාරිකය නිමග්නව සිටින දේශපාලන‍ෙය් කුහකත්වය හා නරුමත්වය පිලිබඳව සංයුක්ත පාඩමක් ද ගෙන එයි. ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන පක්ෂ දෙකම මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ පාලනයෙහි සෘජු උපකරන වන්නේය. එහෙත් වැඩකරන ජනතාව රැවටීමේ අරමුනෙන් ඩිමොක්‍රටිකයෝ ඉඳ හිට වෝල් වීදියේ විවේචකයින් ලෙස රඟපාති. බෙයින් කැපිටල් පලහිලව්වේදී මෙන් මෙවන් රංඟනයක් එතරම් ඉක්මනින් හා පරිපූර්නව පුපුරා යන්නේ කලාතුරකිනි.

පුද්ගලික ව්‍යාපාරවස්තු සමාගම විසින් පවරාගනු ලැබ, අවසානයේදී වසා දමනු ලැබීමෙන් විනාශයට පත්කල සමාගම් දෙක සම්බන්ධ සිද්ධියේදී, රොම්නි ඉටුකල ක්‍රියාකලාපය ගෙනහැර දක්වමින් ඔබාමාගේ මැතිවරන ව්‍යාපාරය, බෙයින් කැපිටල් පලහිලව්ව රූපවාහිනී දැන්වීම් තුලින් මතුකර දක්වයි. කැන්සාස් සිටිහි ජීඑස් ස්ටීල් සමාගමේ විශ්‍රාම කපා දමා කම්කරුවන් 750කගේ රැකියා අහෝසිකර දැමුනි. ඉන්ඩියානාහි කඩදාසි ආශ්‍රිත නිෂ්පාදනයේ යෙදී සිටි ඇම්පැඩ් සමාග‍මෙහි වැටුප් කප්පාදු සැලසුම වැඩවර්ජනයකට තුඩුදුන් අතර කම්කරුවන්ගේ රැකියා නැතිකර කම්හල වසා දැමුනි.

අවස්ථා දෙකෙහි දී ම දැන්වීම් සඳහා පිලිවිසි කම්කරුවන් ඔබාමා මතුකර දැක්වුවාට බෙහෙවින් උද්වේගකර ලෙස රොම්නි හෙලාදුටුව ද ඒවා ප්‍රචාරය නොකෙරුනි. කම්කරුවන් සමාගමේ ප්‍රධානියා හැඳින්වූයේ සිය ධනවත් ගනුදෙනුකරුවන්ගේ සුපිරි ලාභ වෙනුවෙන් "අපගේ ලේ උරා බීපු ලේ මාපිලෙක්” වශයෙනි. කම්කරුවන් ගෙනහැර දැක්වූ කරුනු අනුව, නිදසුනක් ලෙස ඇම්පැඩ්හි බෙයින් ආයෝජනය කර තිබුනේ ඩොලර් මිලියන 5ක් පමනක් වුවත්, පසුව මිලියන 107ක් තරම් ලාභ බෙයින් සමාගමට උපයා දෙමින්, ඇම්පැඩ්ට දැවැන්ත ලෙස පිටතින් නය ගැනීමට සලස්වා එය බංකොලොත් බවට පත්කල අතර කම්කරුවන් විරැකියා පෝලිමට ඇද දැමීය.

බෙයින්හි සමස්ත වාර්තාව සලකන කල්හි, එය බිලියන 1.1ක ආයෝජන ප්‍රාග්ධනයක් යොදවා බිලියන 2.5ක ලාභ උත්පාදනය කරගත් ආකාරය පෙන්නුම් කරන්නේ, මූල්‍ය ප්‍රාග්ධනයේ පරපුටු හා විනාශකාරී ක්‍රියාකලාපයයි.

බෙයින්හි කටයුතු සුවිශේෂී දෙයක් නොව දිනපතා ඇමරිකානු ආර්ථිකය කොල්ලකන වෝල් වීදියේම ගති ලක්ෂනයකි. එනිසාම බෙයින් සමාගමේ ප්‍රධාන විධායකයා ලෙස රොම්නිගේ ක්‍රියාකලාපය, දේශපාලනිකව ඇතුල්වීම තහනම් ප්‍රශ්නයක්ය යන අනතුරු ඇඟවීම, ඩිමොක්‍රටික් පක්ෂයේ ඉහලම ස්ථර විසින් ඔබාමාගේ මැතිවර ව්‍යාපාරය වෙත පෙන්වාදී තිබුනි.

පස්සට තල්ලු කිරීමේ මූලිකත්වය ගත්තේ, ඔබාමාගේ ප්‍රමුඛ දේශපාලන අනුචරයෙක් වන කොරී බුකර්ය. නිව් ජර්සි ප්‍රාන්තයේ නිවාක්හි අප්‍රිකානු-ඇමරිකානු නගරාධිපතියෙක් වන ඔහු, ඉරිදා එන්බීසීයේ "මාධ්‍ය හමුවන්න” වැඩසටහනේ පෙනී සිටිමින්, රොම්නිට එරෙහි බෙයින් කැපිටල් පිලිබඳ දැන්වීම තමන්ගේ "බඩ දඟලවන” බව ප්‍රකාශ කලේය. බුකර්ගේ බඩ දැඟලීම ඕනෑවටත් වඩා හොඳින් තෙරුම්ගත හැකිය. නිවාක්හි නගරාධිපති තරගයේදී වෝල් වීදිය ඔහුට අත දිගහැර උදව් දී තිබුනි. එය ඇමරිකාවේ බෙහෙවින්ම දුප්පත් ප්‍රදේශයකි. එහිදී ඔහුට ලැබුන පරිත්‍යාගය මිලියන භාගයක් තරම් වූ අතර එය ඔහුගේ අරමුදල් එක්රැස්කිරීමේ මුලු වටිනාකමින් තුනෙන් එකක් විය. ඒ සියල්ල, ඔහු ඊලඟට ගතහැකි පියවර වන නිව් ජර්සි සෙනේට් සභික හෝ ආන්ඩුකාරයා වීමේ ජාතික මට්ටමේ තරගය සඳහා ද වේ. එවන් කරාමයක් වසාදැමීමේ කල්පනාව, ඕනෑම ඩිමොක්‍රටික් දේශපාලඥයෙකුගේ බඩ දැඟලවීමට තරම් ප්‍රමානවත් වනු ඇත.

බූකර්ගෙන් ඔබාමා වෙන්කර දැක්විය හැකි විශේෂත්වයක් නැති තරම්ය. සැබවින්ම බෙයින්, 2008 මැතිවරනයේදී ඔබාමාගේ ප්‍රතිවාදියාවූ රිපබ්ලිකානු ජෝන් මැකේන්ට වඩා මුදල් ඔහුට ප්‍රධානය කර තිබුනි. ඒ එම වසරේදී වෝල් වීදියේ නැම්ම ඩිමොක්‍රටිකයින් වෙත හැරවීම පිනිස ය. 2012දී පවා, වෝල් වීදියේ මුදල් යම් දුරකට රිපබ්ලිකානුවන්ට වැඩි ඇල්මක් දක්වා තිබියදී වුව ද ඩිමොක්‍රටිකයින්ගේ ප්‍රමුඛ අනුග්‍රාහකයෙක් වූයේ බේයින් විධායක ජොනතන් ලැවින්ය. ඔහු දැනටමත් ඩොලර් දෙලක්ෂයක් ඔබාමාගේ මැතිවරන ව්‍යාපාරය වෙනුවෙන් එක්රැස්කර තිබේ. සැබවින්ම ලැවින්, 1990 ගනන්වල ඇම්පැඩ්හි අධ්‍යක්ෂවරයෙක්ව සිටියේය. එහිදී ඔහුට කඩදාසි කම්කරුවන්ට එරෙහි ප්‍රහාරයේදී රොම්නිටත් වඩා සෘජු භූමිකාවක් පැවරී තිබුනේය.

වෝල් වීදියේ අනුග්‍රාහකත්වය මත යැපෙන බහු දශ ලක්ෂපති ඩිමොක්‍රටික් සෙනේට් සභිකයින් හා අනෙකුත් දේශපාලඥයින් බූකර්ගේ විරුද්ධතා අනුමත කිරීමේ අර්ථය ඔබාමා වහාම තේරුම් ගත්තේය. බූකර්ගේ විවේචන එල්ලවී පැය 24ක් ගතවීමටත් මත්තෙන් 21දා පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කලේ, පෞද්ගලික ව්‍යාපාර වස්තු ආයෝජකයින් "නියමෙට වැඩකරන” බවයි. ලාභ උපරිම කරගැනීමේ ඔවුන්ගේ උමතු තන්හාව ඔහු විස්තර කලේ, "නිදහස් වෙලඳපොලේ සෞඛ්‍ය සම්පන්න පැත්ත” ලෙසය. 23දා වන විට මාධ්‍ය වාර්තා ඇඟවුම් කලේ, බෙයින් විරෝධී දැන්වීම් කටුගා දමා ඇති බවයි.

මෙම සිදුවීම සැබවින්ම ඇස් අරවන සුලුය. සත්තකින්ම පෞද්ගලික ව්‍යාපාර වස්තු සමාගම්වලින් හා වෝල් වීදියේ අනෙකුත් කොටස් වෙතින් මුදල් මිටමොලවා ගන්නා අතර ඉඳ හිට වාචාල ලෙස "තරවූ බැංකුකරුවන්” ගැන විවේචන කරන ඔබාමාගේ ධවල මන්දිරය යෙදී සිටින්නේ දෙපිටකාට්ටු ගනුදෙනු වලය.

කුහකත්වය තවත් පැත්තකින් ද මතුව එයි. ඔහු ද එයම කර තිබිය දී ඇම්පැඩ්හි හා ජීඑස් ස්ටීල්හි කම්කරුවන්ට එරෙහිව රොම්නි එල්ල කල ප්‍රහාර හෙලා දකින ඔබාමා, ඊටත් වඩා රුදුරු ලෙස එක්සත් ජනපද මෝටර් රථ කර්මාන්තයේ බලහත්කාරී ප්‍රතිව්‍යුහකරනයක් උසිගැන්වීය. 25දා වොෂින්ටන් පෝස්ට්හි ඩිමොක්‍රටික් පක්ෂයට හිතැති ප්‍රකාශකයෙකු වන මැට් මිලර් පෙන්වාදුන් ආකාරයට, “මෙම තරගයේදී පෞද්ගලික ව්‍යාපාරවස්තු පිලිබඳ රජා මිට් රොම්නි නොව ඔබාමාය. ඔබාමා කලමනාකරනය නෙරපා හැරීය. කම්කරුවන් දොට්ට දැමීය. වියදම් කපා හලේය. මෙහෙයුම් හරිගැස්සීය. ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහකරනය හා නව මූලෝපායන් හඳුන්වා දුන්නේය.”

වඩාත් මූලිකව ඔබාමා, තම සමස්ත ජනාධිපති ධුර කාලයම වැය කලේ ව්‍යාපාරික හා මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ය. ආරම්භයේ පටන් ම ඔහුගේ පාලනය, වැඩකරන ජනතාවගේ වියදමෙන් බැංකු හා ආරක්ෂක අරමුදල් හිමියන් මූල්‍ය බිඳවැටීමෙන් රැක‍දෙන්නේ කෙසේ ද හා ඔවුන් ලාභදායිකත්වයේ යලි පිහිටුවාලන්නේ කෙසේ ද යන්න කෙරෙහි අවධානය යොමුකලේය.

රොම්නි විසින් බෙයින් කැපිටල් ගසාකෑම පිලිබඳ දැන්වීම් පලකිරීමේදී අදහස් කරන ලද්දේ, ඔබාමා හා සමාගම එයින් කම්පනයට පත්වූ බව ඇඟවුම් කිරීමට ය. එවන් දේවලුත් ඇමරිකාව තුල සිදුවන්නේ ද යන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට ය. යථාර්තය නම්, බෙයින්හි දී පෙන්නුම් කෙරෙන ආකාරයට මුදල් කොල්ලකෑමේ විශේෂඥයින් වන, ධවල මන්දිරයේ කාර්ය මන්ඩල ප්‍රධානියා ද ඇතුලු පාලනයේ ප්‍රමුඛයින් බොහෝකොටම පැමින ඇත්තේ, ප්‍රධාන බැංකු ක්ෂේත්‍රයෙන් බවයි.

ජේපී මෝගන් චේස් බැංකුව බිලියන දෙකක හදිසි පාඩුවකට මුහුනපෑ අතර පසුගිය සතියේ වෝල් වීදිය නව අර්බුදයකින් පහර කෑමට ලක්වූ කල, ඔබාමා එහි ප්‍රධාන විධායකයා වූ ජැමී ඩිමෝන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වේගයෙන් ඉදිරියට පිනුවේය. යම් බුරුලක් ඇතුව කිවහොත් රොම්නිට, ගෝල්ඩ්මන් සැක්ස් හා ජේපී මෝගන් චේස් සෑම දිනකම කරනු ලබන සමාජ විරෝධී මූල්‍ය ක්‍රියාන්විතයන් සමග සසඳන කල තමන් කල බවට චෝදනා නඟන දේ කුඩා අලගෙඩියක් තරම් යයි ඔබාමාට චෝදනා නැගිය හැකිය.

සියල්ලටත් වඩා මෙම පලහිලව්වෙන් හෙලිදරව් කෙරී ඇත්තේ, රිපබ්ලිකානුවන්ට නොදෙවෙනි තරමින් ඩිමොක්‍රටිකයින් ද ඇතුලු දේශපාලන පක්ෂ දෙක ද ඇමරිකානු දේශපාලන පද්ධතියම ද මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතාවන්ට මුලුමනින්ම නතුවී ඇති ආකාරයයි. එකම පක්ෂයක් හෝ ප්‍රමුඛ බැංකුවල හා ව්‍යාපාරයන්හි අධ්‍යක්ෂ මන්ඩල කාමර තුල සිටින සිය හාම්පුතුන්ගේ අනුමැතියකින් තොරව එකදු පියවරක් හෝ ගනු නැත.

ජේපී මෝගන් චේස් හා ෆේස්බුක් අයිපීඕ වැනි නව සෝලි මතුවෙමින් එන එක්සත් ජනපද ආර්ථික‍ය තුල, සාපේක්ෂව ප්‍රකෝටිපති හා දශ ලක්ෂපති සමපේක්ෂකයින් අතලොස්සකගේ මූල්‍ය උපාමාරු මගින් නිර්මානය කල පස් අවුරුද්දක කාලයක් පැවති ආර්ථික බිඳවැටීමේ කොන්දේසි යටතේ දැන්, වැඩකරන ජනතාවගේ රැකියා හා ජීවන කොන්දේසි විනාශ කරන මූල්‍ය ප්‍රාග්ධනයේ ක්‍රියාකලාපය පිලිබඳ ඉතා අඩු ලංසුවේ හෝ විවේචනයක් වලංගු නැත.

කම්කරු පන්තියට ලාභ පද්ධතිය පිලිබඳ විවාදයක් පවා ගෙනයා හැක්කේ, සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පාදක වූ ස්වාධීන මහජන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීම හරහා පමනකි. සමාජවාදී සමානතා පක්ෂය හා ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් හා උප ජනාධිපති අපේක්ෂක ෆිලිස් ස්කරර් යන අපගේ අපේක්ෂකයින් 2012 මැතිවරනයේදී සටන් වදින ඉදිරිදර්ශනය වන්නේ මෙයයි.

පැට්‍රික් මාටින්

Share this article: