ශ‍්‍රී ලංකා ආන්ඩුව නව මිල ඉහලයාම් පනවයි

Sri Lankan government imposes new price rises

By Saman Gunadasa,18 May 2012

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව ශ‍්‍රී ලංකා කම්කරුවන්ගේ සහ දුගීන්ගේ වැටුප් සහ ජීවන තත්වයන් මිරිකා හැරීම දිගටම කරගෙන යන අතරේ, බැංකු සහ ප‍්‍රධාන සංගත සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරීහු දැවැන්ත ලාභ සහ වැටුප් රැස්කර ගනිමින් සිටිති.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල විසින් පනවන ලද කප්පාදු වැඩපිලිවෙල අනුව යමින් මැයි 4 දා ආනයනික කිරි පිටි ගෑස් සහ සිමෙන්ති පිලිවෙලින් සියයට 25, 16 සහ 10 ලෙසින් ඉහල දැමිනි. ශ‍්‍රී ලාංකික දුගීන්ගේ, විශේෂිතවම වතු කම්කරුවන්ගේ, ප‍්‍රධානතම ආහාරය වන තිරිඟු පිටි මිල සියයට 10 කින් ඉහල දැමීම පසුගිය මාසයේදී සිදුවිය. මත්පැන්, සිගරැට් සහ සියලු ආනයනික වාහන මතද බදු වැඩි කෙරුනේ මාර්තු 31දා ය.

මහජන විරෝධතා පැන නැගීමට තුඩුදුන් සහ විරෝධතා දැක් වූ ධීවරයෙක් පොලීසිය විසින් ඝාතනය කරන්නට යෙදුනු, පෙබරවාරි මුලදී ක‍්‍රියාත්මක කල සියයට 50 කින් තෙල් මිල සීඝ‍්‍රව ඉහල නැංවීම ඉස්මත්තට මෙම මිල ඉහල යාම් පැමිනෙයි. සියලු ආනයනික භාන්ඩ මිල ඉහලට තල්ලු කිරීමට තුඩු දෙමින් පෙබරවාරි සිට දැනට සියයට 17 කින් රුපියල බාල්දු වී ඇත.

මේ වසරේදී උද්ධමනය සියයට 9.1 ට ලඟා වනු ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව අනාවැකි පලකල නමුදු, එය කලමනාකරනය කල හැකි මට්ටමක පවතී යැයි පවසමින් ඒ පිලිබඳ සැලකිල්ල නිෂ්ප‍්‍රභා කලේය. අපේ‍්‍රල් 27 දා පැවති දේශනයක දී ජාමූඅ ශ‍්‍රී ලංකා නේවාසික නියෝජිත කෝෂි මතායි ප‍්‍රකාශ කලේ;

"ආර්ථික වේදනාව පෙනෙන්නට තිබුනේ වුවද ඒවා ආර්ථිකය ස්ථාවර කර, වඩා තිරසාර මාර්ගයක යවන්නට ගෙන ඇති නිවැරදි ක‍්‍රියාමාර්ගවල සලකුනුය" යනුවෙනි.

එනමුදු, රැකියාවල සහ ජීවන තත්වයන්වල දැවැන්ත කපාහැරීම් සමග, ග‍්‍රීසියේ සහ යුරෝපය පුරා දැක ගත හැක්කේ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාවට නංවමින් පවතින කප්පාදු වැඩපිලිවෙල්වල විපත්තිදායක ප‍්‍රතිපලය. යුරෝපීය අර්බුදය ශ‍්‍රී ලංකාව ද ඇතුලත් ලෝකයේ සියලු රටවලට බලපාමින් පවතින ගැඹුරුවන ආර්ථික අර්බුදයේ ලක්ෂනයකි.

පහල ශ්‍රේනිවල සහ රජයේ ගුරුවරුන්ට ඉතා සොච්චම් වැටුප් වැඩිවීමක් ලබා දෙන අතරේ, "පෙර වසර හා සසඳන කල 2011 දී පුද්ගලික අංශයේ සේවාලාභීන්ගේ සමස්ත මූර්ත වැටුප් දර්ශකය සියයට 2 කින් පහත වැටී ඇති බව” 2011 මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. වතු කම්කරුවන්ගේ මූර්ත වැටුප් දර්ශකය එම වසරේදී ම සියයට 3 කින් පමන පහල ගියේය.

ශ‍්‍රී ලංකා කම්කරුවන්ගේ ජීවන තත්වයන් සර්පිලාකාරීව කඩා වැටෙන අතරේදී, රටෙහි පොහොසත්ම ස්තරයන්ට රාජපක්ෂ ආන්ඩුවේ දේශපාලනයෙන් වාසි ලැබී තිබේ.

මහ බැංකුවට අනුව 2011 දී ආයතනික බැංකු ක්ෂේත‍්‍රයේ දැවැන්ත ලාභ වාර්තා කර ඇත. තම දල ලාභය සියයට 45 කින් එනම් රුපියල් බිලියන 8 (එජ ඩො. මිලියන 62) ඉහල ගිය කොමර්ෂල් බැංකුව ද සියයට 27 කින් එනම් රුපියල් බිලියන 6 කින් ඉහල ගිය හැටන් නැෂනල් බැංකුව ද සහ සියයට 18.5කින් එනම් රුපියල් බිලියන 4 කින් ඉහල ගිය සම්පත් බැංකුව ද මේවාට ඇතුලත් වේ.

මෙම වැඩිවීම් 2011 අයවැයේදී ආයතනික බදු සියයට 35 සිට 28 දක්වා අඩු කිරීමේ සෘජු ප්‍රතිපල වේ. මුදල් ඇමති ද වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම අවුරුද්දේ අයවැයේදී ද බැංකු සහ ෆිනෑන්ස් අංශවලට තවදුරටත් සියයට 7 ක හෝ 8 ක බදු රේට්ටුවේ අඩුවීමක් ලබා දුන්නේය.

අපේ‍්‍රල් 23 දා ඩේලි එෆ්ටී වාර්තා කලේ; "තම ආදායම් ඉහල දමා ගන්නා අතරේම, රටෙහි වඩාත්ම ලාභදායී අංශය වන වානිජ බැංකුවල අධ්‍යක්ෂ මන්ඩල සෑහෙන මුදලක් තම වැටුප් වශයෙන් ලබා ගන්නා බව පෙනේ.” යනුවෙනි. 2012 දී බැංකු සහ අනෙකුත් ලැයිස්තු ගත ව්‍යාපාර වල "අධ්‍යක්ෂ" වැටුප් ඉතා ඉහල අගයක් ගන්නා බවට ලිපිය අනාවැකි පල කලේය. "පෙර වසරෙහි ලබාගත් රුපියල් මිලියන 223 ට වඩා සියයට 41 කින් වැඩි වූ රුපියල් මිලියන 314 (ඩො. මිලියන 2.5) ක් 2011 දී වානිජ බැංකු 7 ක අධ්‍යක්ෂ වරු 77 ක් සිය සාක්කුවලට දමා ගත්හ. නේෂන්ස් ට‍්‍රස්ට් සහ කොමර්ෂල් බැංකු දෙකෙහි අධ්‍යක්ෂවරු තම වැටුප පිලිවෙලින් සියයට 78 සහ 46 කින් වැඩි කර ගත්හ. ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුවෙහි අධ්‍යක්ෂවරු 11 දෙනා සියයට 42 ක වාර්ෂික වැඩිවීමක් සහිතව රුපියල් මිලියන 117 ක් ලබාගත්හ.

බැංකු අධ්‍යක්ෂවරු වර්තමානයේ දී රුපියල් 350,000 ක එනම් ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය නිවසක මාසික ආදායම වන රුපියල් 36,000 ක් මෙන් ආසන්න වශයෙන් දස ගුනයක මාසික වැටුපකට හිමිකම් කියති. අතිකාල දීමනා සමග රාජ්‍ය සේවකයෙකුගේ මාසික ආදායම රුපියල් 15,000 ක් පමන වේ. පුද්ගලික අංශයේ කම්හල් සේවකයෙකුට සහ වතු කම්කරුවෙකුට රුපියල් 5,000 සහ 10,000 අතර ගනනක් ලැබේ.

ශ‍්‍රී ලංකා ආන්ඩුව ගිය වසරේ ආර්ථිකය සියයට 8.3 කින් වර්ධනය වූ බවට ද වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 2,836 කට ඉහල ගිය බවට පුරසාරම් දෙසුව ද සාමාන්‍ය කම්කරුවන් ගොවීන් සහ ධීවරයන් හට මෙයින් වාසි සැලසී නැත. මහ බැංකුව මේ වසරේ අපේක්ෂිත වර්ධන අනුපාතය 7.2 කට අඩු කලේය. ලබන ජූලි මස මුලදී තවත් ජාමූඅ කන්ඩායමක් ශ‍්‍රී ලංකික ආර්ථිකය විමර්ශනයට ලක් කිරීමත් සමග, තව තවත් කප්පාදු වැඩපිලිවෙල් සහ කම්කරුවන්ගේ සහ දුගීන්ගේ අයිතිවාසිකම් මතට තවත් ප‍්‍රහාර මුදා හරිනු ඇත.

Share this article: