ශී‍්‍ර ලංකාව: රජයට අයිති ගලබොඩ වත්ත පුද්ගලික අංශයට විකිනීමේ තැතට කම්කරුවෝ විරුද්ධ වෙති

By Gaminee Karunatilaka and A.I Lokubanda,7 May 2012

ආන්ඩුවේ පාලනය යටතේ පවතින ජනතා වතු සංවර්ධන මන්ඩලයට අයත් වතු විකුනා දැමීමේ වැඩ පිලිවෙල උත්සන්න කර ඇත. මෑතක දී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ මෙම ප‍්‍රහාරයට මුහුන දී සිටින ගලබොඩ හා බ්‍රෝහිල් යන වතුවල කම්කරුවන් හමුවීමට ගියහ. පහත පලවන්නේ වත්තේ කම්කරුවන් සැපයූ තොරතුරු මත ප‍්‍රකාශ කෙරුනු වාර්තාවකි.

කම්කරුවන් 300ක රැකියා අහිමි කරමින් නාවලපිටියේ පිහිටි ජනතා වතු සංවර්ධන මන්ඩලයට (ජනවසම) අයත් ගලබොඩ වත්ත පසුගිය අපේ‍්‍රල් 25 දින වෙන්දේසි කිරීමට දැරූ තැතක් කම්කරු ප‍්‍රතිරෝධය මැද්දේ කල්දැමීමට පාලකයන්ට සිදුවිය. මෙම වත්ත වෙන්දේසි කිරීමේ උත්හාසය රජයට අයත් ජනවසම වතු පෞද්ගලික ආයෝජකයින්ට විකිනීමේ ක‍්‍රියාවලියේ පියවරකි.

ගලබොඩ වත්ත ජනවසම විසින් පෑන් ඒෂියා බැංකුවට උකස් කර ඇති අතර එම උකස නිදහස් කර ගැනීමට නොහැකි වූ බැවින්, එය වෙන්දේසි කිරීමට කටයුතු කර ඇති බව කම්කරුවෝ පැවසූහ.

සේවකයන්ට ගෙවීමට ඇති පාරිතෝෂික දීමනා හා බෝනස් විශාල වශයෙන් හිඟ තබා ඇති ජනවසම ඒවා ගෙවීමට යයි පවසමින් ෆැක්ටරිය ගලවා විකුනනු ලැබූවත් තවමත් එම හිඟ මුදල් කම්කරුවන්ට ගෙවා නැත.

අපේ‍්‍රල් 24 වන විට පාලකයන් වත්ත විකිනීම සඳහා සියලූ කටයුතු සුදානම් කර තිබිනි. වත්තට ප‍්‍රවේශ වන මාර්ගයට මාර්ග බාධක යොදා තිබූ අතර පිටස්තරයන්ට ඊට ඇතුලුවීම තහනම් කෙරිනි. ඒ අතරවාරයේ සීඩබ්ලිව්සී (ලංකා කම්කරු කොංග‍්‍රසය) වෘත්තීය සමිතියේ ප‍්‍රාදේශීය නායකයන් (තලෙයිවර්) තිදෙනෙක් කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සමග සාකච්ඡාවකට හැටන්වලට ගොස් තිබීමෙන් පැහැදිලි වූයේ මෙම විකිනීම සමිති නායකත්වයේ සහය සහිතව සංවිධානය වෙමින් පවතින බවයි.

Workerදිගු කාලයක් වත්තේ වැඩ කල කම්කරුවෙක්

වත්ත විකිනීමට දැඩි විරෝධයක් කම්කරුවන් තුල පැවතිනි. වතු කම්කරුවකු වු ගෝපාල් කි‍්‍රෂ්නන් මෙසේ ප‍්‍රකාශ කර සිටියේය: "මේ වත්ත දාලා අපි කොහේ යන්නද? වෙන්දේසි උනත් අපි අඟලක් හෙලවෙන්නෙ නැහැ. සීඩබ්ලිව්සී (ලංකා කම්කරු කොංග‍්‍රසය) කාරයෝ පමනක් නොමෙයි අනෙකුත් දේශපාලන පක්ෂත් කලේ බොරු. අපි බලයට ආපු හැම පක්ෂයකට ම වගේ උදව් කරල තියනවා අපේ ප‍්‍රශ්න විසඳගන්න. ඒත් සිද්ධවුනේ ප‍්‍රශ්න උග‍්‍රවීම පමනයි.”

එම වත්තේ කම්කරු කාන්තාවක් වන පද්මාවතී ප‍්‍රකාශ කලේ: "අපට දැන් වත්තෙන් යන්ඩ වෙයි ද කියා දන්නේ නැහැ. හරිම භයෙන් ඉන්නේ. වත්තේ වැඩත් නැහැ, වෙන දෙයක් කරන්නට ඇත්තෙත් නැහැ. බඩුවල මිල දවසින් දවස ඉහල යනවා.” යනුවෙනි.

දැනට මාස දෙකකට පමන පෙර වත්තේ තිබූ පැරනි ප‍්‍රධාන තේ කර්මාන්ත ශාලාව ජනවසම මගින් ගලවාගෙන යාම කම්කරුවන් වඩාත් ප‍්‍රකෝප කිරීමට හේතු විය. කර්මාන්ත ශාලාව සතුව තිබූ ඉතා වටිනා විදුලි ජනක යන්ත‍්‍රයක් කම්කරුවන්ගේ විරෝධතාව මධ්‍යයේ ගලවා ගෙන ගොස් ඇත.

ස්ටැන්ලි (35) නමැති කම්කරුවා වත්තේ තත්වය පිලිබඳව මෙසේ කීවේය. "මේ ෆැක්ටරියේ හොඳට වැඩ තිබුනා. ඊට පස්සේ ඒකෙ වැඩ නතර කලා. ස්ටෝරුව ගලවලා දලු අඹරන්න පිටට යාමත් සමග අපට වැඩ නැති උනා. අලුතින් වගා කරන්නෙත් නෑ.”

තවත් කම්කරුවකු වන කේ. ජෙබර්පාක්‍යන් ප‍්‍රකාශ කලේ, "මේ වත්තේ හදවත වගේ තිබුනු ෆැක්ටරියේ කෝටි ගනනක් වටිනා විදුලි ජනක යන්ත‍්‍රය වගේම වෙනත් වටිනා උපකරන ජනවසම අය කොලඹට ගලවාගෙන ගියා, දැනට මාස කීපයකට ඉස්සර. දැන් දලු අඹරන්නේ වෙනත් පෞද්ගලික කර්මාන්ත ශාලාවක.” යනුවෙනි.

නාවලපිටිය නගරයේ සිට කි.මී. 12ක් දුරින් පිහිටි ගලබොඩ වතු යාය අතිශය දුෂ්කර වන්නේ දුම්රියෙන් පමනක් එම වතු යායට ලඟාවීමට හැකි වීම නිසයි. විකල්ප බස් මාර්ගයක් මගින් ලඟා විය හැක්කේ ද කෙටි දුරකි. එතැන් සිට කි.මී. 3ක් පමන පා ගමනින් යා යුතු වේ. කොටස් තුනකින් යුතු වතු යාය හෙක්ටයාර් 825ක් වන අතර, වසර කිහිපයක් තුල කම්කරු සංඛ්‍යාව 500 සිට 300ට පහත හෙලනු ලැබිනි. මුලු වතු යායට ම පවුල් 1,000ට වැඩි ප‍්‍රමානයක් සිටින අතර, 5,000 පමන ලොකු කුඩා ජන සමූහයක් වාසය කරති.

Sivapakyamශිව පාක්‍යම් අප වාර්තාකරුවන්ට කතා කරමින්

ඒ. ශිව පාක්‍යම් (45) වත්තේ වැඩ තත්වය පිලිබඳව මෙසේ පැවසීය: "මාසෙට ම ලැබෙන්නේ රුපියල් 5,000ක් විතරයි. දින 15ක් තමා වැඩ තියෙන්නේ. ඒ ආදායමෙන් හරිම අමාරුයි ජීවත් වෙන්න. ලමයි 4 දෙනෙක් විතර ඉන්නවා ජීවත් කරන්න. හරියට කන්න දෙන්නවත් නෑ. වතුරත් නෑ.”

ජනවසමට අයත් වතු ගනනාවක්ම මෙලෙස නඩත්තු කිරීම් නවත්වා බදු දීමට හෝ විකිනීමට සූදානම් කර ඇත. ගලබොඩ වත්තේ ක්ෂේත‍්‍ර නිලධාරියෙකු වන කරුනාපාල එදිරිසිංහ (57) කියා සිටියේ "ජනවසමට වතු 16ක් පමන තියනවා. ඒවා නඩත්තු කරන්නෙත් හරිම අපහසුවෙන්. හේතුව වෙන කිසිවක් නෙමෙයි, මුදල් නැතිකම. අපිටත් හෙට අනිද්දට මොනව වෙයිද කියන්න දන්නෙ නෑ.” යනුවෙනි.

එම වත්තේම තවත් කම්කරුවකු මෙසේ කීවේය. "දැන්නම් අපට ජීවත් වෙන්න අමාරුයි. වත්තේ වැඩත් නෑ. දරු පවුල ගෙනියන්න බෑ. අපේ ලයිම (නිවාස) දිහා බලන්න, ටකරන් දිරලා. අලුත් ටකරන් දෙන්නේ නෑ. බොරුවට පොරොන්දු වෙනවා ඡන්දෙ කාලෙදී. සී.ඩබ්ලිව්.සී. සමිතියෙ අය ගැන කතා කරලා වැඩක් නෑ. බොරු කාරයෝ.”

ගලබොඩ වත්තේ ජෙබර්පාක්‍යන් කම්කරුවන්ගේ ජීවන කොන්දේසි පිලිබඳව මෙසේ ප‍්‍රකාශ කලේය: "බඩු මිල ගැන කියලා වැඩක් නෑ. මේ කොටසේ කාටවත් වැසිකිලියක්වත් නෑ. ඔක්කොමලා කැලේට යන්නේ. සෞඛ්‍ය පහසුකම් ගත්තොත් රෝහලක් හා මාතෘ සායන වාට්ටුවක් තියනවා. දොස්තරලා නෑ. මිඩ් වයිෆ්ලා නෑ. බේත් නෑ. ඒක හරිම ප‍්‍රශ්නයක්. කි.මී. 13ක් විතර දුර නාවලපිටියට යන්න ඕනෑ රෝහලකට. ඒ දුර යන්න වාහන පහසුකම් නෑ. යනකොට ලෙඩත් ඉවරයි. මේවා හැමදාම තියන ප‍්‍රශ්න.”

Sivapakyamමුරුගේෂ් වත්තේ තරුනයකු සමග

මීට අමතරව ගලබොඩ වතු යායේ පවතින අර්බුදකාරී තත්වය පිලිබඳව එම්. මුර්ගේෂ් (48) ප‍්‍රකාශ කලේ, "අපට දැන් වැඩත් නෑ, දින 2යි වැඩ තියෙන්නේ. අහල පහල ගම්වලට ගිහින් තමා කීයක් හරි හම්බ කරන්නේ, යනුවෙනි.”

එම වත්තේ ස්ටැන්ලි මෙසේ කීවේය. "අපි වගේ කොල්ලෝ වත්තේ වැඩ නැති නිසා මාපාකන්ද දෙකිඳ, නාවලපිටිය වැනි පෙදෙස්වල වැඩට යනවා. ගොඩක් අය කොලඹට යනවා. එහෙම යන කොට පවුල් හා ගෑනු දරුවෝ අනාරක්ෂිතව තනි වෙනවා. එහෙම ගිහින් කරන්නේ කුලී වැඩ. පොල් කඩනවා. වැලි ගල් අදිනවා. වැසිකිලි වලවල් කපනවා. උදලු ගානවා, කුනු අදිනවා. දවසක් වැඩ කලොත් රුපියල් 350 (ඇ. ඩොලර් 3 පමන) ක් විතර ලැබෙනවා. හැමදාමත් වැඩ නෑ.”

මෙම වත්තේ සමහර කොටස් කැලෑ වන්නට ඉඩ හැර ඇති අතර අක්කර විසි ගනනක කොටසක් දැනටමත් 30 අවුරුද්දකට ව්‍යාපාරිකයෙකු හට බදු දී ඇති බවත්, තවත් අක්කර 38ක් ඉඩම් කොමිෂන් සභාව විසින් පර්චස් 1ක් රුපියල් 1,000 බැගින් මාපාකන්ද ප‍්‍රදේශවාසීන්ට ලබා දීමට ලයිස්තු හදා කටයුතු කරමින් ඇති බවත් කම්කරුවෝ සඳහන් කලහ. මෙම විකිනීම් යුක්තිසහගත කිරීම සදහා තේ වගාවෙන් දැන් නිසරු වී ඇති පස වෙනත් භෝග සඳහා යෙදවිය යුතු බවට ජනවසම පවසයි.

බ්‍රෝහිල්වත්ත

කම්කරුවන් 100ක් පමන සිටින කොටස් දෙකකින් යුතු අක්කර 80 ක් වගා කර ඇති නාවලපිටිය නගරයේ සිට කි.මී. 7ක් පමන දුරින් තලවකැලේ මාර්ගයේ පිහිටි බ්‍රෝහිල් වත්ත ද මෙම තත්වයට මුහුන දී ඇත.

මෙම වත්තට අයිතිය ඇතැයි පවසන පුද්ගලික අයිතිකාරියක කම්කරුවන් වත්තෙන් ඉවත් කිරීමට දැරූ උත්සාහයකට එරෙහිව කුපිත වූ කම්කරුවෝ හිඟ අර්ථසාධක මුදල් ලබා දීම සහ වත්තේ වැඩ ලබාදීම ඇතුලු ඉල්ලීම් මත උද්ඝෝෂනය කලහ.

බ්‍රෝහිල් වත්තේ කම්කරුවෙකු වන වික‍්‍රම බාලසිංහම් ප‍්‍රකාශ කලේ "මේ වත්තේ තිබුනු ෆැක්ටරියත් ගලවලා අරන් ගියා. අර්ථසාධක මුදල් 2001 ජූනි මාසයෙන් පසු අපට ලැබිලා නෑ. ජනවසම මහත්වරු කියන්නේ සල්ලි නෑ. හරි අමාරුවෙන් කටයුතු කරන්නේ කියලා” යනුවෙනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව උග‍්‍රවන ආර්ථික අර්බුදය කම්කරු පන්තිය මත පැටවීමේ කොටසක් ලෙස මෙම වතු සංවර්ධනය කිරීමට ප‍්‍රාග්ධනය නොයොදා කම්කරු ජීවිත අනතුරේ හෙලමින් සිටියි. මෙම වතු කැබලි කිරීමේ හා පෞද්ගලික ආයෝජකයින්ට විකිනීමේ සැලසුම් යටතේ කම්කරුවන්ට රැකියා පමනක් නොව තමන් මෙතෙක් කල් ජීවත් වූ අවම පහසුකම් ඇති ලයින් කාමර ද අහිමි වනවා ඇත.

රාජපක්ෂ ආන්ඩුවේ රැකියා විනාශයට එරෙහිව වතු කම්කරුවන් පෙල ගැසිය යුතු අතර එය පරාජය කිරීම සඳහා පුද්ගලික ලාභය සඳහා ධාවනය වන වැවිලිකරයේ ධනේශ්වර හිමිකාරිත්වය අහෝසි කොට කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ සුවිසල් වතු ජනසතුකරනය කෙරෙන සමාජවාදී ජාත්‍යන්තරවාදී ක‍්‍රියා මාර්ගය මත සංවිධානය වීම දැවෙන අවශ්‍යතාව බවට පත්ව ඇත. මෙම ක‍්‍රියා මාර්ගය සාකච්ඡා කිරීමට මැයි 20 දින පැවැත්වෙන සමාජවාදී සමානතා පක්ෂය කැඳවා ඇති වතු කම්කරු සම්මේලනයට සහභාගී වන ලෙස වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: