ගෝලීය ආර්ථිකය පිලිබඳව සැලකිය යුතු වාර්තාවක්

Significant report on the global economy

By Nick Beams, 23 November 2012

එක්සත් ජනපදයේ ප්‍රධාන පුරෝකථන කන්ඩායමක් විසින් පලකල වාර්තාවකින්, ගෝලීය ධනේශ්වර ආර්ථික‍යේ ප්‍රසාරනය සඳහා චීනයට නැතිනම් ඊනියා නැඟීඑන ආර්ථිකයන්ගෙන් කිසිවකට, කෙටි කාලයේදී හෝ දිගු කාලයේදී, නව පදනමක් සම්පාදනය කල හැකිය යන අදහසට අයිස් වතුර වක්කර තිබේ.

විකිපීඩියාව විසින් විස්තර කර තිබෙන ආකාරයට මෙම සමුලු මන්ඬලය අපක්ෂපාතී හා "සමහරවිට එක්සත් ජනපදයේ කම්කරු සංඛ්‍යාලේඛන බියුරෝවට පමනක් දෙවැනි විය හැකි ආකාරයෙන් සංඛ්‍යාලේඛන හා ප්‍රවනතා පිලිබඳ විශ්වාසනිය මූලාශ්‍රයකි.” මේ මාසය මුලදී එය වසර 2023 දක්වා දිවෙන ආර්ථික පුරෝකථන මාලාවක් නිකුත්කර තිබේ.

වාර්තාව පටන් ගන්නේ, ගෝලීය ආර්ථිකය "2008-09 අර්බුදයේ පසුබෑමෙන් තවමත් ගොඩට පැමින නැති” බවත්, 2012දී ගෝලීය වර්ධනය යන්තම් සියයට 3ක් බවත්, එය අර්බුදය ආරම්භවීමට පෙර පැවති දිගු කාලින ප්‍රවනතාවට වඩා සියයට 0.5කින් අඩු බවත් කියා සිටිමිනි.

"මෙම මන්දගාමි ප්‍රවනතාවය දිගටම පවතිනු ඇත. පරිනත ආර්ථිකයන් 2008-09 අර්බුදයේ කැලැල් තවමත් සුවකර ගනිමින් සිටියි. එහෙත් 2010 හා 2011 දී මෙන් නොව නැඟීඑන ආර්ථිකයන්, 2012 කොරගැසීමෙන් මිදෙනු නැත. එය 2013 දී ද ජයගනු නැත.”

ඊටත් වඩා වැදගත් වන්නේ දිගු කාලය පිලිබඳ පුරෝකථනයන්ය. සමුලු මන්ඬලය, "චීනයේ ආර්ථික වර්ධනය 2012 සියයට 7.8ක සිට 2013දී 6.9 දක්වා ද ඉන්දියාවේ සියයට 5.5 සිට 4.7 දක්වාද පහත වැටෙන තතු හමුවේ සංවර්ධනය වන හා නැඟී එන ආර්ථිකයන්හි සමස්ත වර්ධනය සියයට 5.5 සිට 4.7 දක්වා වැටෙනු ඇති බවට අනාවැකි පල කරයි. මන්දගාමිත්වය දැකිය හැකි අනාගත කාලයක් තුල පවතිනු ඇත.

2019 හා 2025 අතර කාලය තුල "සංවර්ධනය වන හා නැඟීඑන ආර්ථිකයන්හි” වර්ධන වේගය සියයට 3.3ක් වනු ඇත. වෙනත් වචන වලින් කිවහොත්, ලෝක ආර්ථික ප්‍රසාරනයේ පදනම සම්පාදනය කරනු ඇතැයි සලකන ලද කලාපයන්හි ප්‍රස්තාරගත වර්ධනය, සමස්තයක් ලෙස ගෝලීය ආර්ථිකය සඳහා පූර්ව ප්‍රවනතා අනුපාතයට වඩා පහත වැටෙනු ඇති බවයි.

සමහර විශ්ලේෂකයින් ගෝලීය ආර්ථිකයට දිගු කාලයේදී උත්තේජනයක් සපයනු ඇති බව ප්‍රකාශ කරන ලද චීනයේ හා ඉන්දියාවේ පරිහානිය වඩාත් සැලකිය යුතුය. අනාවැකි පලකර ඇති පරිදි චීනයේ වාර්ෂික වර්ධනය, 2013-2018 අතර සියයට 5.5ක සාමාන්‍යයක් කරා වැටෙනු ඇත. 2019-2025 අතර ඊටත් අඩු සියයට 3.7කට වැටෙනු ඇත.

"අනුපිලිවෙලින් ඉන්දියාවේ එම සංඛ්‍යා සියයට 4.7ක් හා 3.9 ක් ද බ්‍රසීලයේ සියයට 3.0 හා 2.7ක් වනු ඇත. මිලඟ දශකයේ මැද වන විට නැඟීඑන ආර්ථිකයන් තවමත් සැලකිය යුතු තරම් දියුනු රටවල් පරයා යනු ඇති නමුත්, චීනය, ඉන්දියාව හා බ්‍රසීලය අනුපිලිවෙලින් සියයට 10.4, 7.8, හා 3.8 වර්ධන අනුපාතයක් පෙන්වූ 2006-12 උත්පාත වසරවල ට සසඳන කල බොහෝ සුලු පරතරයක් පමනක් පෙන්වනු ඇත.”

ඊනියා බ්‍රික් ආර්ථිකයන්හි (බ්‍රසීලය, රුසියාව ඉන්දියාව හා චීනය ) දායකත්වය ඊටත් වඩා අඩුවිය හැකිය. සමුලු මන්ඬලය අනතුරු ඇඟවූයේ, තම "අශුභවාදී දර්ශනයට” අනුව චිනයේ වර්ධනය 2013-2018 අතර සියයට 3.4ක් ද 2019-25 යන්තම් සියයට 2.5ක් ද වන බවටයි.

මන්ඬලයේ ප්‍රධාන අර්ථශාස්ත්‍රඥයා වන බාට් වෑන් ආර්ක්ට අනුව "2025 දක්වා අප විසින් පුරෝකථනය කොට ඇති දිගු කාලීන ගෝලීය මන්දගාමිත්වය වැඩි වශයෙන්ම ඉදිරියට ගෙනයනු ඇත්තේ, නැඟීඑන ආර්ථිකයන් විසින් සිදුකරනු ලබන ව්‍යුහාත්මක ප්‍රතිවර්තනයන්ගෙනි. 2013න් පසුව දියුනු ආර්ථිකයන්හි අප බලාපොරොත්තු වන ප්‍රකෘතිමත්වීම මධ්‍යයේ වුව ද චීනය, ඉන්දියාව, බ්‍රසීලය හා අනෙකුත් ඒවා වේගවත්, බරසාර අ‍ායෝජන මගින් ‘ලඟාකරගන්නා’ වර්ධනය වඩාත් තුලනාත්මක මොඩලයක් වනු ඇති අතර ඔවුන්ගේ ආර්ථිකයන්හි ව්‍යුහාත්මක ‘වේග සීමා’ පිරිහීමට ලක්වෙමින් ගෝලීය වර්ධනය මන්දගාමී කරන්නේය.”

චීනය, ඉන්දියාව හා අනෙකුත් "නැඟීඑන ආර්ථිකයන්” ගෝලීය වර්ධනයට නව වේදිකාවක් සැපයිය හැකිය යන අදහස හැමවිටම මිත්‍යාවක් විය. එය පදනම්ව තිබුනේ මෙම සියවසේ පලමු දශකයෙහි පැවති වේගවත් වර්ධනය සීමාන්තිකව පවතිනු ඇතැයි යන අභ්‍යුපගමනය මතය.

මෙම වාතාවරනය මගින් වර්ධනයේ නව මධ්‍යස්ථාන, දියුනු ධනේශ්වර ආර්ථිකයන්ගෙන් කැඩී වෙන්වීම කෙසේ වෙතත්, ඒවා මත රඳා පවතිනු ඇතැයි යන කාරනය මුලුමනින්ම අමතක කර දැමීය. නිදසුනක් ලෙස චීනයේ වර්ධනය, යුරෝපය හා එක්සත් ජනපදය සිය ප්‍රධාන වෙලඳපොලවල් ‍කරගත් ප්‍රමුඛ අන්තර්ජාතික සංගත සඳහා සිය ලාභ ශ්‍රම වේදිකාව වැඩිවර්ධනය කිරීමෙන් ලබාගත් ප්‍රතිපලය විය.

එම වෙලඳපොලවල්, අද දක්වාම දිගට ඇදෙන මූල්‍ය අර්බුදය පුපුරා යාමත් සමග, සැලකිය යුතු පරිදි හැකිලෙන්නට පටන් ගත්තේය. 2008-09 වසරවල රැකියා මිලියන 23ක් අහිමිවීම හමුවේ චීන ආන්ඩුව හා මූල්‍ය අධිකාරීහු, මහජන විරැකියාව ද සමාජ නොසංසුන්තාවය ද වලක්වා ගැනිමට දරන ලද උත්සාහයේදී, ආන්ඩුවේ වියදම් වැඩිකිරීම හා බැංකු නය ප්‍රසාරනය කිරීම මත පදනම්ව, ලෝක ආර්ථික ඉතිහාසයේ විශාලතම උත්තේජක පැකේජය යයි කියන ලද පියවර ගනිමින්, ඊට ප්‍රතිචාර දැක්වූහ.

කෙසේ වෙතත් මෙම පියවර පදනම් වූයේ, 2008ට පූර්ව තත්වයන් ආපසු ලඟාවනු ඇතැයි යන උපකල්පනය මතය. එක්සත් ජනපද හා යුරෝපීය වෙලඳපොලවල් එකතැන පල්වීමට හෝ හැකිලීමට පටන් ගැනීම හමුවේ, එසේ සිදුවූයේ නැත.

පසුගිය සිව්වසර පුරා චීන ආර්ථිකයේ වර්ධන ගතිකය පදනම් වූයේ, දැන් එරට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 50ක් තරම් අඬංඟුකර ගන්නා දුරකට ආයෝජන දැවැන්ත ලෙස වැඩිකිරීම මතය. මෙම ක්‍රියාවලිය මුලුමනින්ම තිරසාර නොවන තත්වයකට ගමන්කර තිබේ. චීනයේ භෞතික වත්කම් වලින් සියයට පනහක්ම ගොඩනඟාගෙන ඇත්තේ පසුගිය සය වසර තුල බවට ගනන් බලා තිබේ.

එහෙත් චීනය, ගෝලීය වර්ධනයට නව පදනමක් සම්පාදනය කිරීමට අසමත් වීම, එක්සත් ජනපදයේ හා යුරෝපයේ හැකිලෙන අපනයන වෙලඳපොලවල් මත එහි රඳාපැවැත්මට වඩා දුරදිග යයි.

20වන සියවසේ මුල් දශකයන්හි ආරම්භ වී, පශ්චාත් යුද්ධ ආර්ථික උත්පාතයට පදනම දැමූ එක්සත් ජනපදයේ ආර්ථික ප්‍රසාරනය පදනම්ව තිබුනේ, නිෂ්පාදන බලවේගයන්හි ප්‍රගාඪ හා දුරදිග යන වර්ධනය මතය.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව අනෙකුත් ප්‍රමුඛ ධනේශ්වර ආර්ථිකයන් කරා ද පැතිර ගිය නිෂ්පාදනය එකලස් කිරීමේ පේලි ක්‍රමය, ශ්‍රම පලදායිතාවය ඉහල නැංවූ අතර එබැවින් ධනේශ්වර ප්‍රසාරනය සඳහා අඩිතාලම දැමීය.

කෙසේ වෙතත් එක්සත් ජනපදයේ මෙන් නොව චීන ආර්ථිකයේ ප්‍රසාරනය, නිෂ්පාදන බලවේගයන්හි ඒ හා සමාන වර්ධනයක් සමග බැඳී තිබුනේ නැත. එහි වර්ධනය මුල්බැස තිබුනේ, නිෂ්පාදනයේ නව ක්‍රමයක් වර්ධනය කිරීම තුල නොව, එකලස් කිරීමේ පේලි ක්‍රමයට අනුගතවීම තුලය. එය ලාභයේ පිම්බීමක් ඇතිකල නමුදු, පූර්වයෙන් ඇමරිකානු ධනවාදය විසින් ඉටුකරන ලද පරිදි එය සාක්ෂාත් කරගන්නා ලද්දේ, ශ්‍රමයේ නිෂ්පාදන පලදායිතාවය ඉහල නැංවීමෙන් නොව, අධි ලාභ ශ්‍රමය යොදාගැනීම තුලින්ය.

මෙ මගින් සම්පාදනය කරන ලද ආර්ථික වර්ධන‍යේ සීමිත ඉහල නැඟීම, සමුලු වාර්තාව මගින් පැහැදිලි කරන පරිදි දැන් එහි ඉමට ලඟාවී තිබේ.

එය සලකුනු කරන්නේ ඉදිරියේ වැටී ඇත්තේ සුව පහසු ධනේශ්වර ප්‍රසාරන‍යේ අවධියක් නොව, මූල්‍ය ප්‍රාග්ධනය හා ගෝලීය සංගත ලෝක පරිමානව කම්කරු පන්තියේ තත්වයට එල්ල කරන රුදුරු ප්‍රහාර සමගින් ලාභය රඳවා ගැනීමට උත්සාහ දරද්දී, පැනනඟින අතිශය දැඩි පන්ති අරගලයේ නව අවධියකි.

Share this article: