"සත්තකින්ම ට්‍රොට්ස්කි ස්ටැලින්ට විකල්පයක් විය": රොබට් සර්විස් විසින් රචිත ට්‍රොට්ස්කි චරිතාපදානය අරභයා මහාචාර්ය මාරියෝ කෙස්ලර් සමග සම්මුඛ සාකච්ඡාවක්- 1කොටස

“Of course, Trotsky was an alternative to Stalin” - An interview with Professor Mario Kessler on the Trotsky biography by Robert Service—Part one

By Wolfgang Weber , 21 May 2012

රොබට් සර්විස් විසින් රචිත ට්‍රොට්ස්කි චරිතාපදානය මීට තෙවසරකට පෙර හාවඩ් විශ්වවිද්‍යාල මුද්‍රනාලය මගින් ඉංග්‍රීසි බසින් පලකිරීමෙන් පසුව ඉතිහාසඥයින්ගේ දැඩි විවේචනයන්ට ලක්ව ඇත. ඩේවිඩ් නෝර්ත් විසින් රචිත ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා කෘතිය 2010 වසරේදි ‍මේරිංග් ප්‍රකාශකයින් විසින් පලකරන ලදී. සර්විස්ගේ ග්‍රන්ථයෙහි අනේක විධ පරිසිද්ධිමය දෝෂ, පැහැර හැරීම්, විකෘති කිරීම් හා මූලාශ්‍ර පිලිබඳ මුසාකරනයන්ට එමගින් ඔහු අවධානය යොමුකර තිබුනි.

ජර්මනිය, ඔස්ට්‍රියාව හා ස්විට්සර්ලන්තය යන රටවල ඉතිහාසඥයින්, සමාජ විද්‍යාඥයින් හා දේශපාලන විද්‍යාඥයින් 14 දෙනෙක් මෙම විවේචනයන්ට දායක වූහ. ආරම්භයේ දී පෞද්ගලික ලිපියක ස්වරූපය ගත් ලියවිල්ල තුල මොවුහු, සර්විස්ගේ කෘතියෙහි ජර්මානු සංස්කරනයක් ප්‍රකාශ කිරීමේ සැලැස්ම ගැන ප්‍රබල ව්‍යතිරේකයන් මතු කරමින්, ජර්මානු ප්‍රකාශන ආයතනය වන සූර්කාම්ප් වර්ලාග් ආයතනයේ අධ්‍යක්ෂ වෙත කරුනු දැක්වූහ.

මේ උත්සුකයන් හා විවේචන මධ්‍යයේ වුව ද සිය සැලැස්ම ක්‍රියාත්මක කිරීම, සූර්කාම්ප් ආයතනයේ අභිප්‍රාය බව පෙන්නුම් කර තිබේ. 2012 ජූලි 2 දිනට ප්‍රකාශනය එලිදක්වන බව එහි වෙබ් අඩවිය නිවේදනය කර තිබේ. ඉහත කී තීරනය පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙනුවෙන් වුල්ෆ්ගෑන්ග් වෙබර් මහාචාර්ය මාරියෝ කෙස්ලර් සමඟ සාකච්ඡා කලේය. මහාචාර්ය කෙස්ලර් සූර්කාම්ප් ප්‍රකාශන ආයතනය වෙත යැවූ ලිපි‍යේ සම අත්සන්කරුවෙකි.

මහාචාර්ය මාරියෝ කෙස්ලර්

ඉතිහාසඥයෙකු වශයෙන් සිය වෘත්තිය ආරම්භයේ පටන්ම ඔහුගේ පරියේෂනයන්හි විශේෂිත ක්ෂේත්‍රය වූයේ යුදෙව් විරෝධය හා කම්කරු ව්‍යාපාරයයි. ජෙනා හා ලිප්සිග්හි අධ්‍යාපනය ලැබූ ඔහු, 1982දී ආචාර්ය උපාධිය හිමිකරගත් අතර 1990දී එවකට නැගෙනහිර ජර්මනියේ (ජර්මානු ප්‍රජාතන්ත්‍රීය ජනරජයේ) විද්‍යා පිලිබඳ විද්වත් පර්ෂදයෙහි පශ්චාත් ආචාර්ය උපාධි සුදුසුකම් ලබාගත්තේය.

1996 වසරේ පටන් ඔහු පෝස්ට්ඩෑම්හි සමකාලීන ඉතිහාසය පිලිබඳ කවයෙහි සේවය කල අතර විශ්විද්‍යාලයේ ද උගැන්වීය. නිව් යෝර්ක්හි යෙෂීවා, මැසෙචුසෙට්ස් (ඇම්හර්ස්ට්), කොලොම්බස් රාජ්‍ය (ජෝර්ජියා), ජෙරුසලමේ හීබෲ විශ්විද්‍යාලයන්හි ආරාධිත මහාචාර්යවරයෙක් වශයෙන් සේවය කල ඔහු බොල්ටිමෝර්හි ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ හා ලන්ඩන්හි කිංග්ස් කොලේජ්හි ද මෑතක දී හාවඩ් විශ්වවිද්‍යාලයේද පරියේෂන ශාස්ත්‍රාලිකයෙක් ලෙස කටයුතු කරයි.

යුදෙව් විරෝධයේ ඉතිහාසය, යුරෝපයේ කම්කරු ව්‍යාපාරය, ඉතිහාස ලේඛනය හා රටින් නෙරපන ලද ප්‍රජාවන් සම්බන්ධයෙන් ජර්මානු හා ඉංග්‍රීසි බසින් පොත්පත් දුසිම් දෙකකට අධික ප්‍රමානයක් මාරියෝ කෙස්ලර් විසින් ප්‍රකාශයට පත්කොට තිබේ. ජර්මානු කොමියුනිස්ට් නායකයෙක්ව සිට පසුව කොමියුනිස්ට් විරෝධියෙකු වූ රූත් ෆිෂර්ගේ චරිතාපදානයක වැඩ කටයුතු ඔහු දැනට නිමා කරමින් සිටියි. 1990 වසරේ ජර්මනිය යලි එක්සත් කිරීමෙන් අනතුරුව නැඟෙනහිර ජර්මනියේ ඓතිහාසික පාන්ඩිත්‍යයේ පරිවර්තනය හා "දියකරහැරීම” (ඇබ්වික්ලන්ග්) සාකච්ඡාවට බඳුන් කෙරෙන ග්‍රන්ථයක් සම සංස්කරනයෙහි ද ඔහු යෙදී සිටියි. මෙම ග්‍රන්ථය ඉංග්‍රීසි බසින් පල කෙරෙනු ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලොසවෙඅ)- ඔබ ද ඇතුලු ඉතිහාසඥයින් කන්ඬායමක් සූර්කාම්ප් ප්‍රකාශන ආයතනයේ ප්‍රධානී උල්ලා අන්ෂෙල්ඩ් බර්වික් මහත්මිය වෙත ආරම්භයේ දී පෞද්ගලික ලිපියක ස්වරූපය ගත් ලියවිල්ලක් යවා දැනට නව මාසයකට අධික කාලයක් ගතවී ඇත. රොබ්ට් සර්විස් විසින් රචිත ට්‍රොට්ස්කි චරිතාපදානයේ ජර්මානු සංස්කරනයක් පලකිරීමට සැලසුම් කර තිබීම සම්බන්ධයෙන් ප්‍රබල උත්සුකයන් එම ලිපිය තුල ඔබ මතු කලේය. මෙතෙක් ප්‍රකාශන ආයතනය මෙම ලිපියට ප්‍රතිචාර දක්වා නැත. ඒ වෙනුවට මේ පිලිබඳව ඇතිවී තිබෙන ජාත්‍යන්තර විවාදයට, උල්රිච් ස්කිමිඩ් මැදිහත්විය. සූර්කාම්ප් ආයතනය විසින් සපයන ලද තොරතුරු මත පදනම්ව, 2012 පෙබරවාරි 21දා පලකල නිව් සූචර් සෙයිටුං පුවත්ප‍තේ විශේෂාංඟ ලිපියක් තුල ස්කිමිඩ් කියා සිටියේ, ප්‍රමුඛ පෙලේ ඉතිහාසඥයින් විසින් මතු කරන ලද උත්සුකයන් මධ්‍යයේ වුවත් "පෙල පොතෙහි දුරදිග යන වෙනස්කම්වලින් තොරව” නිවැරදි කරන ලද පිටපතක් පලකිරීම ප්‍රකාශකයින්ගේ අභිමතය බවයි.

ශාන් ගැලන් විශ්ව විද්‍යාලයේ රුසියානු ඉතිහාසය හා සංස්කෘතිය පිලිබඳ මහාචාර්යවරයෙකු වන ස්කිමිඩ් මෙම තීරනය සතුටින් බාර ගත්තේය. සර්විස්ගේ කෘතියෙහි එන අනේක විධ පරිසිද්ධිමය දෝෂ හා විකෘති "සුලු වෙනස්කම්” ලෙස බැහැර කල ඔහු, ඒවා සුලු ප්‍රශ්න ඉස්මතු කරන්නවුන්ගේ අවධානයට පමනක් සීමාවන අතර පරිවර්තනය විමර්ෂනයේදී පහසු‍වෙන්ම නිවැරදි කල හැකි බව කියා සිටියේය. ඔහු සිය ලිපිය තුල පරිසිද්ධිමය දෝෂ හා මූලාශ්‍ර මුලුමනින්ම විකෘත කිරීම පිලිබඳ චෝදනා ඇමතීමට පවා වෙහෙස නොවෙයි.

මාරියෝ කෙස්ලර් (මා.කෙ.)- සූර්කාම්ප් ආයනයේ අධ්‍යක්ෂිකා උල්ලා උන්සෙල්ඩ් බර්කෙවික්ස් මා හොඳින් දන්නා හා මාගේ ගෞරවයට පාත්‍ර වූ කෙනෙකි. 2010 වසරේදී මේ ග්‍රන්ථය කියවීමෙන් පසුව එය ඓතිහාසික කෘතියක ආකෘතියක් ලෙස මාගේ සලකිල්ලකට ලක් නොවුනු අතර එවන් ග්‍රන්ථයක් නිපදවීම ප්‍රකාශන ආයතනයේ අභිප්‍රාය බව දැනගත් කල මම මවිතයට පත්වීමි. ඒ වන තෙක් රොබට් සර්විස්ගෙන් වැඩි යහපත් යමක් මම අපේක්ෂා කලෙමි. නිශ්චිත ගුනාත්මක ප්‍රමිතීන් වෙනුවෙන් පෙනී සිටින බවට ප්‍රසිද්ධියට පත් උල්රිච් ස්කිමිඩ් මෙම කෘතිය වෙනුවෙන් එතරම් උනන්දුවක් දැක්වීමේ කාරනය පුදුම එලවන සුලුය.

ග්‍රන්ථයේ නොයෙකුත් පරිසිද්ධිමය දෝෂ හා පැහැරහැරීම් පෙන්නුම් කරන නිදසුන් පිලිබඳව දැනටමත් සෑහෙන තරම් දේ සඳහන් කෙරී තිබේ. ස්වාභාවිකවම මා ද ඒවා සටහන් කරගෙන ඇත. හාවඩ් විශ්වවිද්‍යාල මුද්‍රනාලය වැනි දැවැන්ත ප්‍රකාශන ආයතන වලට පවා යෝග්‍ය සංස්කරන ආයතන පවත්වාගෙන යාම තවදුරටත් ඔරොත්තු නොදෙන බව එක්සත් ජනපදයේ (එංගලන්තයේ තත්වය ද මීට සමානය) පොත් එලිදක්වන ඕනෑම අයෙක් දන්නා දෙයකි. මෙය ප්‍රථමකොටම ට්‍රොට්ස්කිට අදාල වනවාට වඩා ධනේශ්වර පොත් වෙලඳපොලේ තර්කනයට අදාල ය.

ලෝසවෙඅ- ට්‍රොට්ස්කි පිලිබඳ සර්විස්ගේ චරිතාපදානය ප්‍රකාශයට පත්කිරීමෙන් සැබවින්ම හාවඩ් විශ්විද්‍යාල මුද්‍රනාලය අපකීර්තියට පත්ව ඇත. එසේ වුව ද එමගින් පලකරන ලද අනෙකුත් ග්‍රන්ථවල මේ අන්දමින් ඇදහිය නොහැකි තරම් අධික දෝෂ සංඛ්‍යාවක් පෙනෙන්නට නැත. එමගින් වඩාත් ප්‍රබල ලෙස පෙන්නුම් කරන්නේ කතුවරයාගේම දක්ෂතාව‍යේ මඳ කමයි.

මා‍.කෙ. - මා කියන්නේ මෙපමනකි. රොබට් සර්විස් සිය චරිතාපදාන කෘතිය තුල ග්‍රන්ථ නාමාවලියක අනේකවිධ සිරස්තල උපුටා දක්වන නමුදු සිය ග්‍රන්ථය සඳහා ඒවා උපයෝගීකර නොගත් බව පාඨකයාට දැනුම් නොදෙයි. ඔහු ඒවා ඇත්ත වශයෙන්ම යොදාගත්තේ නම්, බොහොමයක් වැරදි හා පැහැර හැරීම් වලකාලීමේ හැකියාව ඔහුට තිබෙන්නට ඇතැයි කෙනෙකුට උපකල්පනය කල හැකිය.

ලෝසවෙඅ- පුවත්පත් වාර්තාවලට අනුව 2009 වසරේ ලන්ඩන් නුවර සිය ග්‍රන්ථය දොරට වැඩීමේදී සර්විස් ප්‍රසිද්ධියේ මෙසේ පැවසීය. ට්‍රොට්ස්කි නමැති වයස්ගත පුද්ගලයා තවමත් ප්‍රානවත්ය. "අයිස් පොරවෙන් ඔහු විනාශ නොවුනේ නම් මාගේ ග්‍රන්ථය මගින් ඔහු විනාශ කරනු ඇති බව මම විශ්වාස කරමි.” එනම් 1940 වසරේදී ට්‍රොට්ස්කිගේ ඝාතකයාට කරන්නට නොහැකිවූ දේ ඉටුකර ගැනීම හෙවත් ලෝක ඉතිහාසයේ අද්වීතීය චරිතයක් හා දැවැන්ත දේශපාලන හා සදාචාරාත්මක ආධිපත්‍යයක් ඉසිලූ පුද්ගලයෙකු වශයෙන් ට්‍රොට්ස්කිගේ ප්‍රතිරූපය විනාශකර දැමීමයි. පරියේෂනයේ කුමන හෝ නව සොයාගැනීම් හෝ වෙනත් විද්‍යාත්මක විවරනයන්ට වඩා ග්‍රන්ථයේ මෙම දේශපාලන අරමුන, එහි ජර්මානු සංස්කරනයක් පලකිරීම පිනිස සූර්කාම්ප් ආයතනයට මෙතරම් බලවත් සහයෝගයක් පලකරන්නට ග්‍රන්ථයේ විමර්ෂකයා වන උල්රිච් ස්කිමිඩ් පෙලඹවීය. 2012 මාර්තු 06දා පල කෙරුනු ෆ්‍රැන්ක්ෆර්ටර් ඇල්ජිමේන් සේටුංග් පුවත්පතට ලිවූ ආචාර්ය ලොරන්ස් ජැගර් ඒ හා සමාන ස්ථාවරයක් ගනිමින් ඔක්ස්ෆර්ඩ් මහාචාර්යවරයාගේ ප්‍රවාදය ආරක්ෂා කිරීමට පවා ඉදිරිපත් වෙයි. එම ප්‍රවාදයට අනුව ට්‍රොට්ස්කිට වඩා ස්ටැලින් "බුද්ධිමත් රාජ්‍ය නායකයෙක් විය.” රොබට් සර්විස් මෙසේ ලියයි. "ස්ටැලින් වෙනුවට යම් කලෙක ට්‍රොට්ස්කි පරම නායකයා වී නම් යුරෝපයේ ලේ වැගිරීමක අවදානම මහත් සේ වැඩිවන්නට ඉඩ තිබුනි.”

මා.කෙ. - ට්‍රොට්ස්කි හුදෙක් ඉච්ඡා භංඟත්වයට පත් ජන ඝාතකයෙකුය යන විශ්වාසයට අනුබල දෙනු වස් ඔහු ස්ටැලින් සමග එක පෙලට තබා සැලකීම නව ප්‍රපංචයක් නොවේ. අන්තර් යුද කාලපරිච්ඡේදයේ මෙන්ෂෙවිකයින්ගේ සංක්‍රමනික සාහිත්‍ය තුල ද මේ අර්ථකනය සොයාගත හැකිය. සිවිල් යුද්ධයේදී ට්‍රොට්ස්කි අතින් ලත් පරාජය විඳ දරාගත නොහැකිවූ එම කතුවරුන්ට දැන් පිටුවහලේ සිටිය දී විප්ලවකාරී ඉතිහාසය පිලිබඳ ඔහුගේ අර්ථකනය පිලිගැනීමට බල කෙරුනි. පූර්ව පරම්පරාවල ඉතිහාසඥයින්ට එම කතුවරුන් කෙරෙහි සෑහෙන අනුග්‍රහයක් දැක්වීමට ඉඩක් තිබෙන්නට ඇත. එසේ වුව ද සමකාලීන ඉතිහාසඥයින් සම්බන්ධයෙන් එවැන්නක් පිලිගත නොහැක. මෙහිදී විවේචකයින් සම්බන්ධයෙන් වෙනත් ප්‍රවේශයක් යොදාගත යුතුය. සර්විස්ට අනුව ස්ටැලින්ට සාපේක්ෂව ට්‍රොට්ස්කි කිසිසේත්ම විකල්පයක් නොවීය. එසේ නමුදු සියවස් තුන්කාලක් පුරා කරන ලද පරියේෂන වලින් එක්රැස් කරගන්නා ලද ඓතිහාසික කරුනු හා අධිගමනයන්ට මෙය ප්‍රතිවිරෝධීය.

සත්තකින්ම ස්ටැලින්ට සාපේක්ෂව ට්‍රොට්ස්කි විකල්පයක් විය. එහෙත් උත්ප්‍රාසයක් දැනවීමට මට ඉඩ ලැබෙන්නේ නම් හිටපු ජර්මානු චාන්සලර් ගර්හාඩ් ෂරඩර් විසින් වරෙක ව්ලැඩිමීර් පුටින් හඳුන්වාදුන් පරිදි ට්‍රොට්ස්කි "නොකැලැල් ප්‍රජාතන්ත්‍රවාදියෙකු” නොවීය. සර්විස්ගේ හා ස්කිමිඩ්ගේ හෙලාදැකීමට ලක්වූ කාරනයක් වන, ස්වාභාවිකව ම යෞවන සෝවියට් සමූහාන්ඩුවේ පැවැත්මම තර්ජනයට ලක්ව තිබිය දී ට්‍රොට්ස්කි බලය යෙදවීමට නොපසුබට විය. බොල්ෂෙවිකයින් වෙනත් ලෙසකින් ක්‍රියාකල හැකිව තිබුනේ කෙසේ ද? අප කිසිවිටෙක අමතක නොකල යුත්තේ විකල්පය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නොවූ බවයි. ඒ වෙනුවට ධවල ප්‍රතිවිප්ලවයයි. එනම් මාක්ස්වාදය පමනක් නොව විශේෂයෙන්ම යුදෙව්වන් මුලිනුපුටා දැමීමට අදිටන් කරගත් වඩාත් ආන්තික රූපයක් ගත් බ්ලැක් හන්ඩ්‍රඩ්ස් ය. සිවිල් යුද්ධය තුල ඔක්විට්ස් (නාසි වධකාගාර) වලට පෙරාතුව කරන ලද කෲරතම ජනඝාතන තුලින් ඔවුහු මෙය සනාථ කලහ.

ට්‍රොට්ස්කි ප්‍රමානයට වඩා ඉහලට ඔසවා තබන්නේ නැතිව මාගේ මතය වන්නේ, ඔහු හා ස්ටැලින් ද ස්ටැලින්ගේ සහචරයන් ද අතර වෙනසක් පැවති බවය. ස්ටැලින්වාදීන්ට නම් ඔවුන්ගේ දේශපාලනයේ ස්ථාපිත ආඥාව වූයේ සියලු අංශ වසාගන්නා කුමන්ත්‍රනයක් පවත්වා ගැනීම වන අතර ඔවුන්ගේ කොමියුනිස්ට් විරුද්ධවාදීන් කිසිවෙකුත් සිය ප්‍රධාන සතුරා තමන්ගේම පක්ෂය තුලින් මතුවනු ඇතැයි සැලකුවේ නැත. මේ සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි තමන්ගේම අධ්‍යයන ක්‍රියාවලියක් අනුගමනය කල නමුත් කොමියුනිස්ට්වාදීන් හා ප්‍රජාතන්ත්‍රවාදය අතර සම්බන්ධය පිලිබඳව මෙයින් කිසිවක් හෙලිදරව් කලේ නැත. එවන් විශ්ලේෂනයක් සර්විස්ගේ විස්තරයේ ද ඇත්තේ නැත.

හිට්ලර්ගේ නැඟීම පිලිබඳව ඒ සා ගැඹුරු විශ්ලේෂනයක් හා අනතුරු ඇඟවීම් සහිත වැටහීමක් ආඥාදායකයාගේ ධනේශ්වර විරුද්ධවාදීන් අතරින් කවරෙකුට හෝ පැවතියේ ද? සඳහන් කල යුතු වන්නේ, කොමියුනිස්ට් විපක්ෂය හා ලෙනින් බුන්ඩ් හැරෙන්නට ‍වයිමාර් සමූහාන්ඩුවේ පන්ති ස්වරූපය ද එහි ප්‍රජාතන්ත්‍ර අයිතීන් පිලිබඳ විවේචන ද එසේ තිබිය දී ම එහි ප්‍රජාතන්ත්‍ර අයිතීන් හා ආයතන දැඩි ලෙස ආරක්ෂා කලේ කොමියුනිස්ට්වාදීන් අතරින් අන් කවරෙක් ද? හිට්ලර්ගේ ක්‍රියාමාර්ගය නාසීන්ගේ යුදෙව් සංහාරයට මං පාදනු ඇතැයි 1938 වසරේ දී පෙර දුටුවේ ට්‍රොට්ස්කි හැරෙන්නට අන් කවරෙක් ද? 1938දී ලිපියක් මගින් සිය ඇමරිකානු සහෝදරයින් ඇමතූ ට්‍රොට්ස්කි මෙසේ පැවසීය. "අනාගත ලෝක යුද්ධයක හුදු ආරම්භයේ දී ම යුදෙව්වන්ට අත්වන ඉරනම පහසුවෙන්ම පෙර දැකිය හැකිය. එහෙත් යුද්ධයක් නොමැතිව වුවත් ලෝක ප්‍රතිගාමිත්වයේ ඊලඟ වර්ධනය නියත වශයෙන්ම ඇඟවුම් කරන්නේ යුදෙව්වන්ගේ පරිපූර්න විනාශයයි.” (2) සිත්තැවුලකින් තොරව මෙය කියවිය හැකි ද? සර්විස් පලකල ග්‍රන්ථය තුල මේ උද්ධ්‍රැතය සටහන් කල නොයුතු වී ද?

ඉන් ඔබ්බට ගිය කල, "ට්‍රොට්ස්කි හා යුදෙව්වන්” පිලිබඳ ඉතා කෙටි පරිච්ඡේදයකින් එම මාතෘකාව සත්‍ය ලෙස ඉදිරිපත් කිරීමට අවශ්‍ය කෙරෙන ඇදහිය නොහැකි තරම් කරුනු ප්‍රමානයක් යටපත් කිරීමට හා විකෘති කිරීමට සර්විස් සමත්ව සිටියි. එනම් බෝල්කන් යුද්ධයේ සන්දර්භය තුල බේලිස් නඩු විභාග හා යුදෙව්වන්ට වධ හිංසා පැමිනවීම පිලිබඳ නිදසුන් සහිතව රුසියානු හා රුමේනියානු යුදෙව් විරෝධය ගැන ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනයයි. 1905 රුසියානු විප්ලවය තුල බ්ලැක් හන්ඩ්‍රඩ්ස් පිලිබඳව (වැඩට බැස සිටින සාර්ගේ ගෝල බාලයෝ” යන ඔහුගේ 1905කෘතියේ 12 පරිච්ඡේදය) (3) ට්‍රොට්ස්කිගේ විශිෂ්ඨ හා විචිත්‍ර විස්තරය දක්නට නැත. වෙයිමාර් සමූහාන්ඩුවේ අවසන් අවධිය තුල නාසි පක්ෂයේ යුදෙව් විරෝධය පිලිබඳ ට්‍රොට්ස්කිගේ නිරීක්ෂන සවිස්තරව ඉදිරිපත් කිරීමක් ද සිදුවී නැත. මෙවැනි වෙනත් කරුනු ගනනාවක් ගැන ද සඳහන් කල හැක. ඒ වෙනුවට සර්විස් කාල් කවුට්ස්කි යුදෙව්වෙක් වී යයි පැවසීම අසත්‍යයකි.

සත්තකින්ම සියොන්වාදය හා යුදෙව් කම්කරු බුන්ඩ් පිලිබඳ සිය තක්සේරුවේදී තරුන ට්‍රොට්ස්කි අතින් වරදක් සිදුව ඇත. සර්විස් මේ ගැන සඳහන් කර ඇති නමුත්, එහි ඓතිහාසික සන්දර්භය ගැන ප්‍රමානවත් පැහැදිලි කිරීමක් කර නැත. මෙහි අග මුල කවරේ ද? තියඩෝර් හර්සෙල් යුදෙව්වන්ට තාවකාලික නිවහනක් ලෙස උගන්ඩාව නිර්දේශ කර ඇති බව ට්‍රොට්ස්කි 1904 ජනවාරි 01දා ඉස්ක්‍රා පත්‍රයෙහි ලිවීය. උගන්ඩාව යුදෙව්වන්ට පැවරීම ගැන පොරොන්දු වීමට ඔහුට හැකි නමුත් එය ඔවුන්ට දිය හැක්කක් නොවීය. යුදෙව් නිජබිමක් විය යුත්තේ පලස්තීනය ද උගන්ඩාව ද යන ප්‍රශ්නය සියොන්වාදී ව්‍යාපාරය භේදභින්න වීමට හා විනාශ වන්නට මං පාදනු ඇතැයි යන්න ට්‍රොට්ස්කිගේ මතය විය. හොඳ හෝ නරක අතට යුදෙව් ජාතිකවාදීන් අවසානයේදී යුදෙව් කම්කරු බුන්ඩ් තුලට ඇතුලුවනු ඇති බවට ඔහු අනාවැකි පල කලේය.

එහිදී ට්‍රොට්ස්කි වැරදි විය. බුන්ඩ්, සියොන්වාදයේත් වාම කම්කරු සියොන්වාදයේත් දැඩි විවේචකයෙක් ලෙස කටයුතු කර තිබේ. 1905 වන විටත් පලස්තීනයේ යුදෙව්වන් හා අරාබිවරුන් අතර ආසන්න විභව ගැටුමක් ගැන බුන්ඩ් සාමාජිකයෝ අනතුරු ඇඟවූහ. එම ගැටුම මගින් ඉදිරි දශක ගනනාවක් පුරා මැද පෙරදිග යුද කලාපයක් බවට පරිවර්තනය විය හැකි යයි ද කියන ලදී. මෙය පූර්ව ඥානයකින් යුතු අනතුරු ඇඟවීමක් විය.

1903 වසරේ බ්‍රසල්ස්හි පවත්වන්නට යෙදුන 6වැනි සියොන්වාදී සම්මේලනයට ආගන්තුක මාධ්‍යවේදියෙකු ලෙස ට්‍රොට්ස්කි සහභාගී වූ බව වාමාංශික සියොන්වාදී මාක් ජබ්ලූම් හා හිටපු සමාජ විප්ලවවාදියෙකු වූ මේෂේ නොවෙම්ස්කි වාර්තා කලහ. (4) මෙය තියඩෝර් හර්සෙල් සහභාගී වූ අවසන් සම්මේලනය ද විය. වෙනත් විවාද අතර පලස්තීනය හෝ නැ‍ඟෙනහිර අප්‍රිකාව පිලිබඳ ප්‍රශ්නය න්‍යාය පත්‍රයට ඇතුලත්ව තිබුනි. "උගන්ඩා” විසඳුම හුදෙක් තාවකාලික වැඩපිලිවෙලක් පමනක් බව හර්සෙල් අවධාරනය කලේය. එහෙත් රුසියානු සියොන්වාදීන් සියල්ලෝම පාහේ සම්මේලනයෙන් ඉවත්ව ගියහ.

එහි ප්‍රතිපලය වූයේ ඉතිරිව සිටි නියෝජිතයින් අතර බහුතරය හර්සෙල්ට එකතු වීමයි. නැ‍ඟෙනහිර අප්‍රිකාවේ යුදෙව් ජනාවාසයක් පිහිටුවී‍මේ සම්භාව්‍යතාව සෙවීම සඳහා කමිටුවක් පත්කිරීමට ඔවුහු ඡන්දය දුන්හ. අප දන්නා පරිදි ඉන් කිසිදු ප්‍රතිපලයක් අත් නොවීය. එවකදී එය යථාර්තවාදී අපේක්ෂාවක් ලෙස පෙනී ගිය ද සියොන්වාදය ඉක්මනින්ම අවසන් වනු ඇතැයි යන ට්‍රොට්ස්කිගේ උපකල්පනය සදොස් විය.

ට්‍රොට්ස්කි පිලිබඳ සර්විස්ගේ චරිතාපදානය තුල මෙම වැදගත් කරුනු කිසිවක් අවධානයට ලක් නොවීම නිර්ලජ්ජිත නමුත් නිසැකවම වැදගත්ය. ට්‍රොට්ස්කි හා යුදෙව්වන් පිලිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර දේශපාලන කන්ඬායම්වල කතුවරුන් කරන ලද විමර්ෂන මාලාවකි. යෙචියෙල් හරාරි, බාරුක් නේ පැස්, ජොසෆ් නෙඩාවා, එඩ්මන්ඩ් සිල්බර්නර් හා එන්සෝ ට්‍රැවර්සෝ ඒ අතර වේ. සිය ග්‍රන්ථ නාමාවලියෙහි නෙඩාවා හා නේ පැස් ගැන සර්විස් සඳහන් කරන නමුත් ඔවුන්ගේ කෘතීන් අගැයීමකට ලක් කර නොමැත. ට්‍රොට්ස්කි ජාතිකවාදයේ සියලු රූපාකාරයන් කෙරෙහි මෙන්ම සියොන්වාදය කෙරේ ද විවේචනාත්මක අගැයීමක් ක‍ල අතර ඔහුගේ අවසන් කාල වකවානුවේදී සියොන්වාදය කෙරේ ඔහුගේ ආකල්පය මෘදු විය. 1930 ගනන්වල අගභාගයේදී ට්‍රොට්ස්කි, එවක සිවිල් යුද්ධයකට මුහුනදුන් පලස්තීනය යුදෙව්වන්ට මර උගුලක් ලෙස සැලකීය. මක්නිසා ද යත්, බ්‍රිතාන්‍ය යටත් විජිතවාදය, සිය අභිමතය පරිදි එකිනෙකාට විරුද්ධව පාවිච්චි කලහැකි ඉත්තන් ලෙස යුදෙව්වන්ට හා අරාබි ජාතතිකයින්ට සලකනු ලැබිය හැකි බැවිනි. එම දැවෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් ගත් කල එවැනි මතයක් ඇත්ත වශයෙන්ම නොදැනුම්කමක් පිලිඹිඹු නොකරයි.

සර්විස් මේ කාරනය ගැන සඳහන් කරන නමුත් ඒ ඉතා කෙටියෙනි. එය ද ඊලඟ ඡේදයේදී ට්‍රොට්ස්කි සමච්චලයට ලක් කරනු සඳහා ය. මන් ද යත් දැනටමත් නාසි ජර්මනිය තුල සිදුව ඇත්තාක් මෙන් එක්සත් ජනපදයේදී ද යුදෙව්වන්ගේ සමාන අයිතීන් අතුගා දැමීමට මග පාදමින් යුදෙව් විරෝධය නැඟී ඒම ගැන බිය පලකල බැවිනි. සමච්චලය වෙනුවට සර්විස්ට, එම අවධියේදී ඇමරිකානු ෆැසිස්ට්වාදයේ නව්‍ය මහජන සංවිධානයක් වූ කූ ක්ලක්ස් ක්ලෑන් ගැන හා එවකට එක්සත් ජනපදය තුල හතු පිපෙන්නාක් මෙන් නැඟී ආ සංක්‍රමනික විරෝධී හා යුදෙව් විරෝධී සමාජයන් ගැන සඳහන් කිරීමට තිබුනි. ට්‍රොට්ස්කිගේ උත්සුකයන් ඉතිහාසය විසින් සනාථ නොකල ද ඩේවිඩ් වයිමන් අධ්‍යයන පෙලක් තුලින් පෙන්වාදුන් පරිදි ජර්මනියෙන් පිටමං කරන ලද යුදෙව්වන් පිලිගැනීමට -එක්සත් ජනපදය ද ඇතුලු - කිසිදු රටක් සූදානම් නොවුනු තත්වයක් තුල එවැනි අනතුරක් මතු කිරීම නොකල යුත්තක් වී ද? ලියොන් ට්‍රොට්ස්කි පිලිබඳව විවේචනාත්මක වුව ද සමස්තයක් ලෙස සාධාරන තක්සේරුවක් සහිතව ජොෂුවා රූබන්ස්ටයින් විසින් සංක්ෂිප්ත වූ ද මනාව රචනා කරන ලද්දා වූ ද ට්‍රොට්ස්කි චරිතාපදානය නිර්දේශ කරනු කැමැත්තෙමි. එය ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත්කොට තිබේ.

අවශ්‍ය වෛෂයික පදනමකින් එය සර්විස්ගේ තිරසාර ප්‍රකාශ හා අනුමානයන් ගනනාවකට පිලිතුරු සැපයීමට හා නිෂ්ප්‍රභා කිරීමට යොමුවී තිබේ. මෙම චරිතාපදානය තුල ට්‍රොට්ස්කි පිලිබඳ විවේචනයන්හි අඩුවක් නැත. ඇතැම් අවස්ථාවල එහි විනිශ්චයන් කර්කෂ වන අතර ඒවා කිසිසේත්ම අසාධාරන හෝ ද්වේෂ සහගත නොවේ. (5) සර්විස්ගේ කෘතියට වඩා මෙය කෙරෙහි අවධානය යොමුවිය යුතු අර එය ජර්මානු බසට පරිවර්තනය කල යුතුවේ.

ලොසවෙඅ- ඩේවිඩ් නොර්ත් විසින් නඟන ලද කේන්ද්‍රීය චෝදනා අතරින් එකක් මෙසේය. තමා යුදෙව් විරෝධියෙක් නොවුව ද නොයෙකුත් සූත්‍ර හා උධ්‍රැතයන් තුලින් එක්තරා පාඨක පිරිසකගේ යුදෙව් විරෝධී අගතීන්ට සර්විස් ආමන්ත්‍රනය කරයි. ෆැසිස්ට් න්‍යායවාදියෙකු හා නාසි පක්ෂයේ සම නිර්මාතෘවරයෙකු වන ඩියට්‍ර්ච් එක්කාර්ට් විසින් නිර්මානය කරන ලද ට්‍රොට්ස්කිගේ විකට චිත්‍රයක් එහි මූලය සඳහන් නොකරම හෝ ඉන් වෙන්ව ගැනීමකින් ‍තොරව ප්‍රති නිෂ්පාදය කිරීම,

සූර්කාම්ප් ප්‍රකාශන ආයනය වෙත‍ යොමුකල ඉතිහාසඥයින්ගේ ලිපිය ද මේ චෝදනාවට ආධාරකයකි. සර්විස්ගේ කෘතියෙහි සඳහන් වන එවන් උධ්‍රැත සැලකිය යුතු සංඛ්‍යාවක් එම ලිපියෙහි දැක්වෙන අතර ඒවායේ "අප්‍රසන්න ඇඟවීම්” කෙරෙහි අවධානය යොමු කර තිබේ. නිව් සූචර් සෙයිටුං පුවත් පතෙන් උල්රිච් ස්කිමිඩ් ද ප්‍රෑන්ක්ෆර්ටර් ඇල්ජිමේන් පුවත්පතෙන් ලෝරන්ස් ජැගර් ද මේ චෝදනාවට එරෙහි වෙමින් එම අවධියේ "ජනතාවගේ මනෝ භාවයන්,” ඒවා යුදෙව් විරෝධී මනෝගතීන්ට සම්බන්ධ වන විට පවා, ඉතිහාසඥයෙක් ඒවා ප්‍රතිනිෂ්පාදනය කිරීම මුලුමනින්ම නීත්‍යානුකූල යයි සඳහන් කරති.

මා.කෙ. - මා ද අත්සන් තැබූ ඉතිහාසඥයින් 14 දෙනාගේ ලිපියට මේ පිලිබඳ යෝග්‍ය උධ්‍රැතයන් ගනනාවක්ම ඇතුලත්ව තිබේ. අමු යුදෙව් විරෝධයට වඩා මා තුලට කා වැදුනේ (සර්විස් යුදෙව් විරෝධියෙකු ලෙස මා ද නොසලකමි) විෂය සම්බන්ධයෙන් ප්‍රකාශිත සැබෑ අවබෝධයට වඩා හීන අවබෝධයක් පැවතීමයි. ඔහු වගකීමක් සහිතව මෙසේ ප්‍රකාශ කරන්නේ කෙසේ ද? "යුරෝපයේ අනෙකුත් රටවල සේම සාර් පෙලපත යට‍තේ රුසියාව තුල ද යුදෙව්වන්ට වෘත්තීන්හි මෙන්ම කලා ක්ෂේත්‍රයේ ද පැලපදියම් වීමට ඉඩකඩ තිබුනි. රුසියානු අධිරාජ්‍යයේ ප්‍රමුඛ වෛද්‍යවරුන් හා නීතිඥයින් සැලකිය යුතු සංඛ්‍යාවක් බිහිවූයේ කොටුකල ජනාවාස තුලිනි.”

කරුනු එසේ වී නම් කෙතරම් හොඳ ද? සත්‍යය නම් යුදෙව්වන්ගේ වෘත්තීන්ට ක්‍රමානුකූලව බාධා එල්ල වූ බවයි. ඔවුන්ට වැඩිමනත්ව අධ්‍යාපනය සඳහා අවස්ථාව සැලසුනේ රටින් පිටතදීය. වෛද්‍යවරයෙකු හෝ නීතිඥයෙකු වශයෙන් වෘත්තියේ යෙදීමට ප්‍රථම ඔවුන්ට සැලකිය යුතු තරම් නිලධාරිවාදී වැට කඩුලු පැන යාමට සිදුවිය. මේ ගතානුගතික ක්‍රමවේදය අහෝසි කරන ලද්දේ පෙබරවාරි විප්ලවයෙන් පසුවය. එහෙත් ඒ යුදෙව් විරෝධී උද්ඝෝෂන මධ්‍යයේම ය. මේ සියල්ල ට්‍රොට්ස්කිගේ රුසියානු විප්ලවයේ ඉතිහාසය කෘතිය තුල මැනෙවින් විස්තර කෙරේ. (6).

මා තුල කාවැදුනු කාරනය නම් - එය මට පමනක් සීමාවූවක් ද නොවේ - සර්විස්, ට්‍රොට්ස්කි සම්බන්ධයෙන් යුදෙව් විරෝධී ප්‍රහාර ඇතැම් විට පරිපූර්න තෘප්තියකින් යුතුව උපුටා දැක්වීමයි.

ලෝසවෙඅ- නිශ්චිත වශයෙන් දක්වන්නේ නම් සර්විස් උධ්‍රැතයන් සපයන්නේ නැත. මන්ද යත්, උපුටා දක්වන ලද යුදෙව් විරෝධී ප්‍රහාර එල්ල කරන කතුවරුන් නිශ්චිතව නම් කිරීමෙන් හෝ නිශ්චිත තත්වයන් හෝ මූලාශ්‍ර සැපයීමෙන් ඔහු බොහෝකොටම වැලකී සිටීමේ හේතුවෙනි. ට්‍රොට්ස්කිට හා අනෙකුත් බොල්ෂෙවික් නායකයින්ට එරෙහිව යුදෙව් විරෝධී අගතීන් පිලිබඳ මූලාශ්‍ර නම් කරන කලාතුරකින් එන නිදසුනක දී, එනම්, බ්‍රෙස්ට් ලිටොව්ස්ක් සාම සාකච්ඡාවලට යවන ලද ජර්මානු නියෝජිත පිරිස සම්බන්ධයෙන් එසේය. කරුනු වඩාත් සමීපව විමසා බැලීමේදී ඔහුගේ උපුටා ගැනීම් පදනම් විරහිත බව පෙනීගොස් ඇත. බොල්ෂෙවික් නායකත්වයෙහි යුදෙව්වන් විශාල සංඛ්‍යාවක් සිටි නිසා ජර්මානු නියෝජිතයෝ බොල්ෂෙවිකයින් වැදගැම්මකට නැති පිරිසක් ලෙස සැලකුහයි සර්විස් කියා සිටියි. එහෙත් මුල් ලේඛනවල හෝ ජෙනරාල් මැක්ස් හොෆ්මාන්ගේ හෝ විදේශ ඇමති රිචඩ් වොන් කුල්මාන්ගේ වෘත්තාන්තයන්හි හා ලිපිවල ඒ බවට කිසිදු සාක්ෂියක් නොමැත.

මා.කෙ. - එම නිරීක්ෂනය හා මම එකඟ වන්නෙමි. කුල්මාන්ගේ වෘත්තාන්ත කියවීම අදට වුවත් වටින්නේය. යුදෙව් විරෝධී මනෝ භාවයන් හා ප්‍රහාර ගැන සඳහන් කරන විට, නම්ගම් සහිව ඒවා යෝග්‍ය ඓතිහාසික සන්දර්භයක තැබුවේ නම් සර්විස්ගේ වෑයම වඩාත් සාර්ථක වන්නට ඉඩ තිබුනි.

නිශ්චිතව 1918-21 සිවිල් යුද්ධය පැවති අවධියේ බොල්ෂෙවික් විරෝධය හා යුදෙව් විරෝධය අතර කෙතරම් කුරිරු හා අවාසනාවන්ත සපල සන්ධානයක් ඇතිවී ද යත්, ධවල ඝාතනයන්ගෙන් ආරක්ෂාව පතා යුදෙව්වන් අතර රුසියානු අධිරාජ්‍යයේ සිටි ඔක්තෝබර් විප්ලවයේ විරුද්ධවාදීන් පවා අවසානයේදී බොල්ෂෙවික් වරුන් හා එකතු විය. යුදෙව්වන් බොහොමයක් බොල්ෂෙවික් පක්ෂය හා එකතුවීමට ප්‍රධාන හේතුව මෙය මිස, සර්විස් අවධාරනය කරන වෘත්තීයමය කාරනා නොවේ. මෙම ගැටලුව අවබෝධ කරගැනීම සඳහා සර්විස්ට, යුදෙව් විරෝධයට එරෙහිව සටන් කරනුවස් 1918 ජූලි 27දා නිකුත් කරන ලද මහජන කොමිසාර්වරුන්ගේ ආඥාව (7) හා එය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවස්ථාව උදාකරගත හැකිව තිබුනු අතර එසේ කල යුතුව ද තිබුනි. යුදෙව් බොල්ෂෙවිකයින්ගේ "ගොරහැඩි හඬවල් හා තියුනු පිහාටු” පිලිබඳව මෙනෙහි කරමින් නොසිටියා නම් වඩා හොඳ වන්නට තිබුනි. සත්තකින්ම ඓතිහාසික සන්දර්භය පිලිබඳව අවබෝධයක් ලබා ගැනීමට පාඨකයාට අයිතියක් ඇත.

සටහන්:

1) 2011 නොවැම්බර් 23දා ලෝසවෙඅ පලකරන ලදී.

2) ලියොන් ට්‍රොට්ස්කි යුදෙව්වන් පිලිබඳ ප්‍රශ්නය- නිව් යෝර්ක් 1970, 29 පිටුව අවධාරනය මුල් පිටපතේ

3) ලියොන් ට්‍රොට්ස්කි වින්ටේජ් පොත් නිව් යෝර්ක් 1971 පි.131-40

4) බලන්න ජෝසෆ් නෙඩාවා ට්‍රොට්ස්කි හා යුදෙව්වෝ ෆිලඩෙල්ෆියා 1972 පි.272

5) ජොසුවා රූබන්ස්ටීන් ලියොන් ට්‍රොට්ස්කි විප්ලවකාරයෙකුගේ ජීවිතය නිව් හෙවන් ලන්ඩන් 2011

6) ලියොන් ට්‍රොට්ස්කි රුසියානු විප්ලවයේ ඉතිහාසය පාත්ෆයින්ඩර් නිව් යෝර්ක් 2010 ජාතිකත්වයන්ගේ ගැටලුව පි.1032-65

7) ඩෙක්‍රෙටි සොවෙට්ස්කෝයි ව්ලාස්ටි 3 මොස්කව් 1964 පි. 93

Share this article: