සංස්ථාගත රාජ්‍ය ඝාතන හා නොවැම්බර් 6 මැතිවරනය

Institutionalized state assassinations and the November 6 election

26 October 2012

නොවැම්බර් 6දා ජනාධිපතිවරනයට යන්තම් සති එකහමාරක් තිබිය දී ඇමරිකානු ව්‍යාජ වම්මුන්ගේ සමස්ත රැල ම දැනට තනතුරේ සිටින ඩිමොක්‍රටිකයා “වඩා අඩු නපුර” නියෝජනය කරනු ඇතැ යි ප්‍රකාශ කරමින් ඔබාමාට ඡන්ද හැරවීම සඳහා ඉහල ම උත්සාහය දරති.

මෙම පට්ටා ගැසුනු දේශපාලන තර්කයට තවදුරටත් ප්‍රසිද්ධියක් අවශ්‍ය නම් ධවල මන්දිරයෙන් සංයෝග කෙරුනු ඔබාමා පාලනයේ ඝාතන සංස්ථාගත කිරීම මත මෙම සතියේ වොෂින්ටන් පෝස්ට් විසින් පලකෙරුනු හෙලිදරව්කිරීම් තුල එය සැපයී ඇත.

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක නමක් ලෙස හඬනගන “ඩිස්පොසිෂන් මැට්‍රික්ස්” යනු සැබවින් ම දෛනික පදනමක් මත එක්සත් ජනපද ජනාධිපතිගේ නියෝග පරිදි ගෙනයන නීතිවිරෝධී ඝාතන “පද්ධතිගත කරන හා විධිමත් කරන” නව පද්ධතිය විස්තර කිරීමට ඔබාමාගේ ඔත්තු සේවා හා හමුදා උපදේශකයන් විසින් ගොතන ලද යෙදුම යි.

“ගෘහාංගනයන්” මතට එල්ල කරන ප්‍රහාරයන් හා නම් නොකල “සටන්කාමීන්” ඝාතනය කරන මිනිසුන් රහිත ගුවන් යානාවලට සම්බන්ධ මාධ්‍යයේ සුදුමැලි වාර්තා පලවෙද්දී, සම්පූර්න ප්‍රජාවන් ම නිරන්තරව භීතියට පත්කරමින් පකිස්තානයේ පමනක් පිරිමි, ගැහනු, ලමුන් ඇතුළු සිවිල් වැසියන් දහස් ගනනක් කැබලිවලට ඉරා අලුකර ඇති එක්සත් ජනපද ඩ්‍රෝන් යුද්ධයේ යථාර්තය වසන් කිරීමට සේවය කර යි. ප්‍රකාශ නොකල බොහෝ සංඛ්‍යාවක් යේමනය, සෝමාලියාව හා කිසි සැකයකින් තොරව වෙනත් තැන්වල මරනු ලැබ ඇත.

පෝස්ට් පත්‍රයේ ලිපි මාලාව හෙලිදරව් කරන්නේ මෙම රාජ්‍ය ඝාතන වැඩසටහනේ ප්‍රමුඛ භූමිකාව රඟදක්වන පුද්ගලයා, ඔබාමා විසින් ඔහුගේ ප්‍රතිත්‍රස්තවාදී උපදේශක ලෙස සොයා ගන්නා ලද හිටපු ඉහල පෙලේ සීඅයිඒ නිලධාරයෙකු වන ජෝන් බ්‍රෙනන් බව ය.

ඔහුගේ දිව්රුම් දීම සූදානම්ව තිබිය දී ඔබාමා බ්‍රෙනන් නව සීඅයිඒ අධ්‍යක්ෂ ලෙස නම් කිරීමට පියවර ගත්තේය. කෙසේ නමුත්, “බලාපොරෙත්තුවේ” හා “ වෙනසේ” අපේක්ෂකයා, බොහෝ අය තමන් ඒවාට එරෙහිව ඡන්දය දී තිබුනා යයි සිතූ වද හිංසා, දින නියමයක් නැති රඳවාගැනීම්, අසාමාන්‍ය රඳවා තැබීම් හා වසන්කිරීමේ ප්‍රතිපත්ති තුල ගැඹුරින් පැටලුනු බුෂ්ගේ කාලයේ බලකාරයෙකු පත්කරති යි යන කරුන මත මහජන වෛරයේ අභිමුවෙහි දී ඔහුට යෝජනාව ඉවත් කර ගැනීමට බල කෙරුනි.

පෝස්ට් වාර්තාවෙන් මතුවන්නේ කුමක් ද කියතොත් ධවල මන්දිරයේ උපදේශකයා වශයෙන් බ්‍රෙනන්ට සීඅයිඒ අධ්‍යක්ෂට වඩා පාලන බලයක් ඇති බවයි. තෝරාපත් නොකෙරුනු හා කොංග්‍රසයේ අනුමැතියට යටත් නැති බ්‍රෙනන්, “ ‘ඝාතන’ ලැයිස්තු මත තීරන ගැනීමේ දී හා යුද්ධයේ මුද්‍රාව වන සන්නද්ධ ඩ්‍රෝන් නම් කිරීම තුල අතිවිශාල බලයක්” හසුරුවතැ යි පෝස්ට් වාර්තා කර යි.

සීඅයිඒ පැරාමිලිටරි ක්‍රියාකාරීන්ගේ හා පෙන්ටගනයේ විශේෂ මෙහෙයුම් සේනාධිනායකත්වයේ (ජේඑස්ඕසී) මිලිටරි කොමාන්ඩෝ භටයන්ගේ එකතුවක් මෙම තීරන ක්‍රියාත්මක කර යි. අත්‍යන්තයෙන් ම රහස් තත්වයක් යටතේ හා පෙන්ටගනයේ ආඥා දාමයෙන් පිටත ක්‍රියාත්මක වන ජේඑස්ඕසීය එක් හමුදා නිලධාරියෙකු විසින් “කාර්මික-පරිමාවක ත්‍රස්තවිරෝධී ඝාතන යන්ත්‍රයක්” ලෙස ද, වෙනත් අය විසින් “ජනාධිපතිගේ හමුදාව” ලෙස ද විස්තරකර කෙරී ඇත.

මෙම යන්ත්‍රයට ගොදුරුවූවන් අතර 2011 සැප්තැම්බරයේ දී යේමනය තුල දී ඩ්‍රෝන් මිසයිල ප්‍රහාරයකින් ඝාතනය කෙරුනු නිව් මෙක්සිකෝවේ උපන් පූජකයෙකු වන අව්ලාකි ඇතුලු ඇමරිකානුවෝ ද වෙති. සති දෙදකකට පසු තවත් ඩ්‍රෝන් ප්‍රහාරයක් තුල දී ඔහුගේ 16වියැති පුත්‍රයා වන අබ්දුල්රහ්මාන් 17වියැති ඔහුගේ මස්සිනා සමග ඝාතනය කරන ලදී. ඔහුගේ ඉගැන්වීම් හා කතාවලට පිටතින් කිසිම අපරාධයක් සඳහා අව්ලාකිට එරෙහිව චෝදනා හෝ සාක්ෂි පවා කිසිදා කැඳවා නොමැත. 16වියැති පුත්‍රයා සම්බන්ධයෙන් කිසි ම දෙයක් නැත.

සීඑන්එන් ප්‍රවෘත්ති සේවය සමග මෑත සම්මුඛ සාකච්ඡාවක දී ඔබාමා, සිය ඝාතන ව්‍යාපාර‍ෙය් දී ඇමරිකානු පුරවැසියන් ඉලක්ක කිරීම “ව්‍යවස්ථාවේ ආරක්ෂාව හා නියමිත පරිපාටියේ” පිටුබලය ලබන්නේය යන ඇදහිය නොහැකි ප්‍රකාශයක් කලේ ය. චෝදනා ඉදිරිපත් නොකර, ඊටත් අඩුවෙන් උසාවියක් තුල ඔප්පු කිරීමෙන් තොර ව, ඝාතනය කිරීමට අනදීමට ඇමරිකානු ජනාධිපතිවරයාට බලය දෙන්නේ ව්‍යවස්ථාවේ කුමන කොටසින්දැ යි ඇසීමට වාර්තාකරුට කල්පනාවුනේ නැත.

ඔබාමා “නියමිත පරිපාටිය” යැයි තේරුම් කරන්නේ, නරුම ලෙස “ත්‍රස්ත අඟහරුදා දිනයන්” ලෙස සඳහන් කරන ඝාතන ලැයිස්තු සැකසීමට සතිපතා ධවල මන්දිරයට රැස්වී බ්‍රෙනන් සහ සීඅයිඒ ඔත්තුකරුවන් හා හමුදාවේ ලොක්කන් විසින් ගනු ලැබූ තීරනවලට ඔහු රබර් මුද්‍රාව තැබීමට ය.

මෙම සමස්ත අපරාධකාරී පරිපාටිය, එක්සත් ජනපද ව්‍යවස්ථාව හා “ඔහුගේ සමානයන්ගේ හෝ රටේ නීතියේ නීත්‍යානුකූල විනිශ්චයකින් විනා” පුද්ගලයෙකු ඝාතනය කිරීම හෝ හිරගත කිරීම හෝ කල නොහැක යන්න පිලිගත් ඉංග්‍රීසි මැග්නා කාර්ටාව (ප්‍රඥප්තිය) දක්වා ආසන්න වශයෙන් වසර 900ක් ආපස්සට යන ඉතාමත් ම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් භාවිතයේ දී ප්‍රතික්ෂේප කිරීමකි.

කෙසේ නමුත්, නීතිපති එරික් හෝල්ඩර් චෝදනා හෝ නඩු විභාග නොමතිව රාජ්‍ය ඝාතන නියෝග කිරීමේ ජනාධිපතිගේ අයිතිය ඍජුව තහවුරු කර ඇත. එක්සත් ජනපද පුරවැසියෙකු ඇතුලුව ඕනෑ ම අයෙකු චෝදනාවකින් තොරව දින නියමයක් නොමැතිව හමුදා බන්ධනාගාර ගත කිරීමට ජනාධිපතිට ඉඩ දෙන ජාතික ආරක්ෂක බලාධිකාර පනත නීතියක් බවට පත්කිරීමට ඔබාමා පසුගිය වසරේ දී අත්සන් තැබී ය.

ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් යටතේ සිදුවූ දේ ඉක්මවා යන පරිමානයකින් ආදේශ කෙරී ඇත්තේ ඇමරිකානු පොලිස්-මිලිටරි ඒකාධිපතිත්වයක් සඳහා රාමුව යි.

සාමාන්‍ය ඇමරිකානුවන් පිලිබඳ විශාල ප්‍රමානයක තොරතුරු ඒකරාශී කිරීමට එකවිට ආන්ඩුවේ දත්ත බැංකු විනිවිදින බව මෑත දී හෙලිදරව්වුන ජාතික ත්‍රස්තවිරෝධී මධ්‍යස්ථානයට ඝාතන ලැයිස්තු පිලිබඳ සම්බන්ධීකරනය පවරා දී තිබීම පෝස්ට් ලිපි මාලාව තුල අනාවරනය කෙරෙන වඩා බියකරු කරුනකි.

එක්සත් ජනපදය තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ ඛාදනය බොහෝ පුද්ගලයන් තේරුම් ගන්නවාට වඩා බොහෝ ඉදිරියට ගොස් ඇත. චෝදනා හෝ නඩු විභාගවලින් තොරව “ඝාතන ලැයිස්තු” හා හමුදා රඳවාගැනීමේ ක්‍රමවේදය ලෝකය පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විරුද්ධවාදීන්ට, වැඩිමනත් ව රාජ්‍යයේ හතුරන් හා එක්සත් ජනපදය තුල ම ලාභ උත්සුකයන්ට බාධාවන් ලෙස හැඟෙන්නන්ට එරෙහිව යොදා ගන්නවා ඇත.

මෙම ප්‍රතිපත්ති මූලික වශයෙන් මෙහෙයවනු ලබන්නේ ඒවාට ද්විපාක්ෂික සහයෝගය ලබා දෙන ඩිමොක්‍රටික හෝ රිපබ්ලිකානු දේශපාලන දෘෂ්ටිවාදය විසින් නොවේ. චූදිත අපරාධකාරයන් “නීතිය හමුවට” ගෙන ඒම ගැන ඔබාමා පුරසාරම් දෙඩූ හා “ඔවුන් මැරීමට, දර්ශනපථයෙන් ඉවත් කිරීමට” රොම්නි ප්‍රතිඥා දුන් සඳුදා රාත්‍රියේ විවාදය තුල මෙය ඔප්පු කෙරින.

ඊට විපරීතව ඒවා ඇමරිකාව තුල පෙර නොවූ විරූ සමාජ අසමානතාවයේ ප්‍රතිඵල ය. ආර්ථික සමෘද්ධියේ හා දේශපාලන බලයේ ඒකාධිකාරීත්වය දරන සංගත හා මූල්‍ය කතිපයාධිකාරය හා වැඩකරන ජනතාවගේ අතිවිශාල බහුතරය අතර හිදැස ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයේ පාලනයක් සමග නොපෑහෙන තරමට පුලුල් වී ඇත. අනෙක් අතට, ලෝකයේ මූලෝපායාත්මකව වැදගත් කලාප හා සම්පත් මත පාලනය තහවුරු කිරීමට සන්නද්ධ හමුදාවන් යොදා ගනිමින් එහි ආර්ථික අර්බුදය හා බිඳවැටීම මගහැරීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය උත්සාහ දරන කල ඒවා මිලිටරිවාදයේ අපරීක්ෂා වර්ධනයේ අතුරු ඵලයෝ වෙති.

ඝාතනයක විස්තරාත්මක වාර්තා ධවල මන්දිරයේ පෑලදොරින් අවසන්වීම මහජන උද්ඝෝෂනයක් හා ඔබාමාට එරෙහි දෝෂාභියෝගයක ඉල්ලීම් සඳහා අදාල වී නැත යන කරුන ම ඇමරිකානු පාලක දේශපාලන සංස්ථාපිතය තුල ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම පිලිබඳ සාක්ෂියකි. වෝල් වීදියේ හා සංගත ඇමරිකාවේ ආර්ථික භාවිතයන් වර්ධනාත්මකව අපරාධකාරී ස්වභාවයක් ආරූඪ කර ගෙන ඇතිවා මෙන් ම ආන්ඩුවේ සාරභූත ක්‍රියාකාරීත්වය ම ඝාතන, මෘගත්වය හා ව්‍යවස්ථා විරෝධී මර්දන සමග වඩ වඩා බැඳී ඇත.

ඔබාමා පාලනය යටතේ ඝාතන සංස්ථා ගත කිරීම පිලිබඳ විශ්මයකර එලිදරව් කිරීම් අද එක්සත් ජනපදයේ සිදුවන්නේ කුමක් ද යන්න සලකා බැලීමට හා අවශ්‍ය දේශපාලන නිගමනයන් උකහා ගැනීමට කම්කරුවන් හා තරුනයන් පොලඹවනවා ඇත.

නොවැම්බර් 6දා ධනපති පක්ෂ දෙකෙන් කුමන පක්ෂය ජයග්‍රාහීව මතුවේ ද යන්න නොසලකා මැතිවරනය ඉක්බිත්තේ සිදුවෙනවා ඇත්තේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට වන අතිමහත් අනතුරු තීව්‍ර වීම පමනි. මෙම අයිතීන් හෝ වැඩකරන ජනතාවගේ රැකියා හා ජීවන කොන්දේසි ආරක්ෂා කල හැක්කේ පැමිනීමට නියමිත මහා සමාජ අරගලයන් සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් කැඩී නව විප්ලවවාදී නායකත්වයක් හා ඉදිරිදර්ශනයක් සූදානම් කිරීමෙන් පමනි.

බිල් වෑන් ඕකන්

Share this article: