හිලරි ක්ලින්ටන්ගේ සිරියාව සඳහා "ප්‍රජාතන්ත්‍රවාදය”

Hillary Clinton’s “democracy” for Syria

7 November 2012

වෝල් වීදියේ හා සංගත ඇමරිකාවේ උවමනාවන් ආරක්ෂා කිරීමේ අරමුනින් සෙසු රටවල්වල කටයුතුවලට ඇඟිලි ගැසීමේ හා ලේවැකි මිලිටරි ආක්‍රමනයන් පිලිබඳ දිගුකාලීන හා තුච්ච වාර්තාවක් ඇමරිකානු අධිරාජ්යවාදයට තිබේ.

පිලීපීනයේ "අපගේ පුංචි දුඹුරු සහෝදරයන්ට” තමන්ගේම ආන්ඩුවක් පවත්වාගෙන යාම වර්ධනය කර ගැනීම සඳහා ”වසර 50 සිට 100 දක්වා සමීප සුපරීක්ෂාවක්” අවශ්‍ය වනු ඇතැයි විලියම් හොවාර්ඞ් ටෆ්ට් විසින් ප්රකාශ කල තැන් පටන් ලෝකයේ දුප්පත් රටවල මහජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒමේදී, සාමාන්‍යයෙන් තුවක්කු මුනතින්, වොෂින්ටනයේ සුවිශේෂ අයිතීන් තහවුරු කිරීම සාධාරනීකරනය කිරීමේ මෙම ආක්‍රමනයන් සිදුවී තිබේ.

"සිරියානු විප්ලවය” සඳහා නව නායකත්වයක් පත්කිරීමට වොෂින්ටනය තීරනය කර ඇතැයි එක්සත් ජනපද හිලරි ක්ලින්ටන් විසින් පසුගිය සතියේ කල නිවේදනයේදී මෙන්, කලාතුරකින් වුවත් මෙම බොරු මවා පෑම් නිර්ලජ්ජිත ලෙස අනාවරන වී තිබේ.

වසරකට මඳක් ඉහත දී සිරියානු මහජනතාවගේ "සුජාත නියෝජිතයන්” ලෙස වොෂින්ටනය විසින් ප්‍රකාශයට පත් කර තිබු පැරනි නායකත්වය, මුස්ලිම් සහෝදරත්වය විසින් පාලිත සිරියානු ජාතික මන්ඩලය ක්ලින්ටන් විසින් හිටිගමන් ම විසුරුවා හලේ ය. දසක ගනනාවකින් සිරියාවට පය ගසා නැති ඔවුන් කිසිදු සම්බන්ධකමක් නැති පිටිවහලූන් කන්ඩායමක් යයි ඇය දැන් කියන්නී ය.

ප්‍රශ්නය වන්නේ සිරියානු ජාතික මන්ඩලය සිරියානු මහජනතාව ප්‍රමානවත් ලෙස නියෝජනය නො කිරීම යැයි ක්ලින්ටන් ප්‍රකාශ කලා ය. එහෙයින්, සංක්‍රමනීය ආන්ඩුවකට පදනම දැමීම සඳහා තමන්ට අවශ්‍ය පුද්ගලයින්ගේ හා සංවිධානවල නව කන්ඩායමක් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තෝරාගෙන තිබේ. ”කවර හෝ නායක ව්‍යුහයකදී ඇතුලත් කල යුතුයැයි අප විස්වාස කරන සංවිධාන අපි නිර්දේශ කර ඇත්තෙමු” යි ඔක්තෝබර් 31 වෙනිදා ක්‍රෝසියාවේ සිගාබේ හි දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ක්ලින්ටන් කීවා ය.

මෙහිදී, යමෙකුට එක්සත් ජනපදයේ නිෂ්පාදිත, ප්‍රජාතන්ත්‍රවාදය, වඩාත් නිශ්චිතව කිවහොත් නව යටත්විජිතවාදය පිලිබඳව මනා උදාහරනයක් තිබේ.

වොෂින්ටනය විසින් තෝරාගත් නායක "නියෝජිතයන්” ගේ සේවා ලේඛනයට ඇතුලු කිරීම සඳහා සුදුසුකම් ලැබීමට නම් යමෙකු සිරියානු විප්ලවය පැහැර ගැනීම සඳහා අන්තවාදීන් විසින් දරන ලද උත්සාහයන්ට දැඩිව විරුද්ධ වීමේ වාර්තාවක්” තිබිය යුතු යයි ක්ලින්ටන් ප්‍රකාශ කලා ය.

අරමුන පැහැදිලි ය. සිරියාව තුල වගා කොට ඇති විසකුරු ගැටුමට "ගෞරවනීය” පෙනුමක් දීමට, ආවෘතව එකසත් ජනපද පිටුබලය ලබමින් අල්-කයිඩාවට සම්බන්ධ ඉස්ලාම්වාදී සටන් කරුවන් විසින් වඩ වඩා සටන් පවත්වාගෙන යද්දී පවා පොරොත්තු ආන්ඩුවක් සඳහා එක්සත් ජනපද ගැති රියාද් සෙයිෆ් සහ ඒ හා සමාන පුද්ගලයින් වොෂින්ටනයට උවමනා ය.

එහෙත්, එය විසම්මිතිය කොල්ල කනවිට වොෂින්ටනය සමග කිසිවෙකුටත් තරග කල නොහැකි ය. එය ඉහත දී ලිබියාවේ දී කල දෙය ම සිරියාවේදීත් නිශ්චිතිව කර තිබේ.

එහි දිගුකාලීන හා බෙහෙවින් විස්වාසවන්ත රූකඩයින් දෙදෙනෙකු වූ ටියුනීසියාවේ බෙන් අලි සහ ඊජිප්තුවේ මුබාරක් වැඩකරන ජනතාවගේ කැරලි මගින් පෙරලා දැමීම දැකීමෙන් පසු "අරාබි වසන්තය” පාලනතන්ත්‍ර වෙනස් කිරීම ප්‍රවර්ධනය කිරීමේ ආවරනයක් ලෙස උපයෝගී කර ගනිමින් ආරම්භකත්වය ගැනීමට වොෂින්ටනය තීරනය කලේ ය.

සමූල ඝාතනය කිරීමේ ඉමහත් අන්තරායට බෙන්ගාසිවල ජනයා මුහුන දී සිටිතැයි ගොතන ලද බොරු ප්‍රකාශ කරමින් හා මහජන විරෝධතා ගසාකමින් ගඩාපි පෙරලා දැමීමේ එක්සත් ජනපද-නේටෝ යුද්ධයක් දියත් කිරීමට නිමිත්තක් ලෙස පලමුව ලිබියාවේ දී යොදා ගත්තේ ය. ඒ හා සමාන විරෝධතාවයන්, දැන් සිරියාවේ දී එය පෙරලා දැමීමට උත්සාහ කරන බසාර් අල් අසාද්ට එරෙහි ප්‍රචන්ඩ සිවිල් යුද්ධයක් බවට පරිවර්තනය කර ඇත.

සිරියාවේ දී, කලාපය තුල එක්සත් ජනපද සගයන්, මූලිකව, දකුනු තුර්කියේ අලුතින් නිර්මානය කල සීඅයිඒ කාර්යාලයේ සිට කරන මෙහෙයුම්වල පිටුබලය සහිතව, කටාර්, සවුදි අරාබිය සහ තුර්කිය විසින් ආධාර දෙනු ලබන හා සන්නද්ධ කරනු ලැබ ඇති ඉස්ලාම්වාදී විදේශ සටන් කරුවන් ඇතුලූ ආදේශක බලවේග මත එක්සත් ජනපද අධිරාජ්යවාදය දැවැන්තව රඳා සිටී.

සිරියානු ජනතාවගේ අභිමතාර්ථයන් හා අයිතීන් කෙරෙහි පිලිකුල් ආකල්පයක් ගනිමින් දමස්කසය තුල තමන් ම තෝරාගත් ආන්ඩුවක් ඇටවීමට වොෂින්ටනය උත්සාහ දැරූ පලමු වතාව මෙය නොවේ. එක්සත් ජනපදයට යටත් තන්ත්‍රයක් බලයට ගෙන ඒම අරමුනු කරගත් කුමන්ත්‍රනයක් අවුලුවා ලීම සඳහා දසකයකට ආසන්න කාලයක්, 1949 සිට 1958 දක්වා සීඅයිඒ එක විසින් නොනවතින උද්ඝෝෂනයක් ගෙන යමින් දක්ෂිනාංශික කුමන්ත්‍රනයකට මුල්‍ය ආධාර හා සහයෝගය දුන්නේ ය.

1950 ගනන් මුල දී පටන් ගෙන, වර්ගීකරනය නොකල ලියවිලි තුල ”බනානා රිපබ්ලික්” ආඥාදායකත්වයක් ලෙස විස්තර කල කොමියුනිස්ට් විරෝධී මිලිටරි ආඥාදායකත්වයක් බලයට ගෙන ඒමට සිරියානු හමුදා ප්‍රධානී කර්නල් හුස්නි සායිම් සමග සීඅයිඒ ඔත්තුකරුවෝ කුමන්ත්‍රනය කල හ.

සායිම් ඔහුගේ කුමන්ත්‍රනය 1949 මාර්තු 30 ක්‍රියාවට දැමු අතර වාමාංශික හා ජාතිකවාදී බලවේග වටලා අත්අඩංගුවට ගනිමින්, ඊස්රායලය සමග සටන් නතර කිරීමේ සාම සම්මුතියක් අත්සන් කරමින් හා අරාබි-ඇමරිකානු (ඒආර්එම්සි ඕ ) තෙල් සමගම සමග නලමාර්ග ගනුදෙනුවක් අනුමත කරමින් න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමුවේ ය.

එහෙත්, යන්තම් මස නවයකට පසු තවත් කුමන්ත්‍රනයකින් සායිම් ඉවත් කරනු ලැබී ය. වොෂින්ටනයේ මිනිහා ප්රතිකුමන්ත්රනයක් මගින් පෙරලා දැමීම පමනක් සිදු වූ එක්සත් ජනපද පිටුබලය ලත් දක්ෂිනාංෂික නිලධාරියෙකු විසින් වඩාත් ජාතිකවාදී ආන්ඩුවක් පෙරලා දමනු ලබමින් 1950 ගනන් මුල දී මෙම ක්‍රියාවලිය යලි යලිත් සිදුවිය.

ඉක්බිතිව ඝාතන හා කුමන්ත්‍රනවලට දක්ෂිනාංශික නිලධාරීන් හා දේශපාලනඥයන් මෙන්ම ඉස්ලාම්වාදී බලවේග සම්බන්ධ වෙමින් සීඅයි ඒ සංවිධානය බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය සමග (එස්අයිඑස්) සහයෝගීව කටයුතු කරමින් ස්ට්‍රගල් මෙහෙයුම සහ වපෙන් මෙහෙයුම සිදු විය. 1957 වන විට හයවන නාවික හමුදා භාටකායන් සිරියානු වෙරලාසන්නයට යවමින්, තුර්කිය තුලට යුද ගුවන් යානා යවමින් 50,000 දැවැන්ත හමුදාවක් සිරියානු දේශසීමාවට යැවීමට තුර්කි ආන්ඩුව පොලඹවා ගනිමින් සහ මූලෝපායාත්මක ගුවන් අනදෙන මධ්‍යස්ථානය සීරුවෙන් තබමින් සිරියාව මැදිකර ගත් තුන්වන ලෝක යුද්ධය අද්දරට ම ගෙන එමින් එක්සත් ජනපදය ප්‍රකෝපකරනයක් කලේ ය.

මේ කාලය තුල දී වොෂින්ටනය කල දේ ම කිරීමට තැත් කිරීම ගැන මොස්කෝවට චෝදනා කරමින් සිරියාව ” ඕනෑම මොහොතක කඩා ගැනීමට තරම් පැසුනු” රටක් යයි විස්තර කරමින් ජනාධිපති අයිසන්හවර් විසින් එක්සත් ජනපද ආක්‍රමනය සාධාරනීකරනය කලේ ය.

නැවත වරක් සිරියාව "නෙලා ගැනීමට සුදුසු මට්ටමට පැසුනු පලයක්” ලෙස දකින වොෂින්ටනය එම අරමුන ඇතිව සිරියානු මහජනතාවට එරෙහිව රුධිරස්නානයක් මුදා හැර තිබේ. එහි අරමුනු බැඳී ඇත්තේ අඩසියවසකටත් පෙර පැවතියාක් මෙන් බලශක්ති සම්පත් වලින් භූ-දේශපාලනික වැදගත්කමකින් යුත් මැදපෙරදිග කලාපය තුල එක්සත් ජනපද අධිකාරිය තහවුරු කර ගැනීම හා ඇමරිකානු මුල්ය හා සංගත කතිපයාධිපතියේ උවමනාවන් සාක්ෂාත් කර ගැනීම සමග මිස "ප්‍රජාතන්ත්‍රවාදය” හෝ "මානව අයිතීන්” සමග නොවේ. මෙම ආක්‍රමනය මගින් නැවත වරක් වඩා පුලුල් යුද්ධයක තර්ජනය ගෙන එයි.

එක්සත් ජනපදය 1950 ගනන් වල දී සිරියාව තුල කල මැදිහත්වීම් වලට වැඩි මෙවර එක දෙයක් වෙනස් ය. එනම් එක්සත් ජනපදයේ ඉන්ටර්නැෂනලිස්ට් සෝසලිස්ට් ඔර්ගනයිසේසන් සංවිධානයේ සිට ප්‍රන්සයේ නව ඇන්ටි කැපිටලිස්ට් පක්ෂය හා බි්රතාන්යයේ සෝෂලිස්ට් වර්කර්ස් පාර්ටි දක්වා ව්‍යාජ වාම ස්තරයකගෙන් එයට සහයෝගය ලැබෙයි. ඔවුන්ගේ සුවිශේෂ දායකත්වය වන්නේ කල්ලිවාදී සිවිල් යුද්ධය "විප්ලවයක්” ලෙස හුවා දැක්වීම හා අධිරාජ්‍යවාදී මැදිහත්වීම මානව ප්‍රගතිය වර්ධනය කරන යුක්තිසහගත මාධ්‍යයක් ලෙස පින්තාරු කිරීම ය.

හිලරි ක්ලින්ටන්ගේ විලිලජ්ජාවක් නැති ප්‍රකාස හා දෝහාවල සුඛෝපභෝගී හෝටලයක් තුල මෙම "විප්ලවය” සඳහා නව නායකත්වයක් හදිසිය එකට මාට්ටු කිරීම තමන්මත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මෙහෙයුම්වලට ඍජුව සම්බන්ධ වී ඇති හා රාජ්ය දෙපාර්තමේන්තුවේ යටහත් හෙන්චයියන් ලෙස සේවය කරන මෙම සංවිධානවල සැබෑ භූමිකාව එලිදරව් කිරීමට උපකාරී වී තිබේ.

යථාර්තය නම් සිරියාවේ සහ සමස්ත මැදපෙරදිග ම වැඩකරන ජනතාවට ඔවුන්ගේ උවමනාවන් සාක්ෂාත් කරගත හැක්කේ හිලරි ක්ලින්ටන්ගේ දෝහා "විප්ලවවාදීන්” ට හා වොෂින්ටනය හා එහි සගයන් විසින් සන්නද්ධ කරනු ලැබ සිටින ඉස්ලාම්වාදී මැර කල්ලිවලට එරෙහිව අනවරතව කරන අරගලයක් මගින් පමනි.

එක්සත් ජනපද පිටුබලය ලබන කලාපයේ ඒකාධිපතියන් හා වැඩවසම්වාදී පාලකයන් සමග මෙන් ම සිරියාවේ අසාද් සමග ගනුදෙනු බේරා ගැනීම සියලු ආගමික හා වාර්ගික රේඛාවන් ඉක්මවා යමින් ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනමක් මත සංවිධානය කලයුතු හා එක්සත් කලයුතු කම්කරු පන්තියේ වගකීමකි.

බිල්වෑන් ඕකන්

Share this article: