ගෝලීය ආර්ථිකයේ ප‍්‍රධාන වෙනසක්

A major shift in the global economy

10 November 2012

2008 ඇමරිකානු ජනාධිපතිවරනයට ආසන්න පෙරාතු කාල පරිච්ඡේදයේ දී, එක්සත් ජනපද පාලක ප‍්‍රභූවේ සැලකිය යුතු කොටස්, ලෙහ්මන් බ‍්‍රදර්ස් ආයතනයේ බිඳවැටීම සමග හටගත් මූල්‍ය අර්බුදයෙන් ඉක්බිතිව, ඔබාමාට පිටුබලය සැපයීමේ තීන්දුව ගත්හ. ඔවුන්ගේ ගනන්බැලීම් පාදක වූයේ, ඔබාමාගේ මැතිවරන ව්‍යාපාරය විසින් උත්පාදනය කරන ලද "බලාපොරොත්තුව” හා "ඔබට විශ්වාස කල හැකි වෙනස” පිලිබඳ මිථ්‍යාවන්, බුෂ් පාලනාධිකාරයට එරෙහි මහජන වෛරයේ රැල්ලක් මධ්‍යයේ එක්තරා ඉස්පාසුවක් සපයනු ඇත යන තක්සේරුව මතය.

සිවු වසරක් ඇවෑමෙන්, ජාත්‍යන්තරව පන්ති අරගලය උත්සන්න කිරීමක් අවුලුවනු ඇති එක්සත් ජනපද හා ගෝලීය ආර්ථිකයේ සැලකිය යුතු වෙනසක් සමග සම්පාත වෙමින්, අපේක්ෂාභංගත්වය කවරදාකටත් වඩා පුලුල්ව පැතිර පවතී. පුලුල්ව කියතොත්, මූල්‍ය ව්‍යසනයක් හා ගෝලීය අවපාතයක් වලකාලීම පිනිස ලොව වටා ආන්ඩු හා මූල්‍ය අධිකාරින් විසින් කි‍්‍රයාවට දමනු ලැබ ඇති පියවර මාලාවන් ඒවායේ සීමිත සඵලත්වයේ අවසානය කරා ලඟා වෙමින් තිබේ.

එක්සත් ජනපදය තුල, ප‍්‍රධාන සංගත, ආරම්භක වැටුප් පැයකට යන්තම් ඩොලර් 14ක් දක්වා අඩු කල, ඔබාමා පාලනාධිකාරයේ ජෙනරල් මෝටර්ස් "ප‍්‍රතිව්‍යුහකරන” වැඩපිලිවෙල වෙතින් මගපෙන්වීම ලබාගෙන, තම ලාභ පවත්වාගෙන යාමට ද බොහෝ අවස්ථාවන්හි දී, ඉහල දමා ගැනීමට ද සමත්ව ඇත. එහෙත් ආදායම් කඩාවැටීම හා අඩු වූ ඉල්ලුම හමුවේ, වියදම් කප්පාදු වැඩපිලිවෙලට දින නියමයක් නැතිව ඉදිරියට යා නොහැකිය. ව්‍යාපාර ආයෝජන -- අනාගත කොන්දේසි පිලිබඳ නිසැකම දර්ශකය -- තුන් වන කාර්තුවේ දී ශූන්‍ය වර්ධනයක් වාර්තාකරමින්, ඓතිහාසිකව අඩු මට්ටම්වල පවතී.

පසුගිය සිවු වසරක කාලය තිස්සේ, එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසර්ව් බැංකුව, ආන්තිකව-ලාභ නොනවතින මුදල් සැපයුමක් පොම්ප කරමින් මූල්‍ය ආයතනවලට හා බැංකුවලට රුකුල් දුන්නේ, ෆෙඩරල් රිසර්ව් බැංකුවේ වත්කම් භාරකත්වය ඩොලර් ටි‍්‍රලියන 2.5ක පමන ප‍්‍රමානයකින් ඉහල දමමිනි. එහෙත් මූල්‍ය උත්පේ‍්‍රරකය නමැති ඇඩි‍්‍රනලින්වල සඵලත්වය විියැකෙමින් පවතී.

ෆෙඩරල් රිසර්ව් බැංකුවේ පිලිවෙත් ලොව වටා මහ බැංකු විසින් පුනර්කරනය කරනු ලැබ ඇත. ඒවායේ ශේෂ පත‍්‍රවල මූල්‍ය වත්කම් ඩොලර් ටි‍්‍රලියන 6ක පමන අගයක සිට ඩොලර් ටි‍්‍රලියන 18, එනම් ගෝලීය දල දේශීය නිෂ්පාදිතයෙන් තුනෙක් පංගුවකට යන්තම් පහල අගයක්, දක්වා ඉහල නැග තිබේ. මූල්‍ය මාධ්‍යවේදී සත්‍යජිත් දාස් මෑතක දී සටහන් කල පරිදි, "ගෝලීය ආර්ථිකය මූල්‍ය හෙරොයින්වලට ඇබ්බැහි වී ඇති” අතර "රෝගියාට කි‍්‍රයාත්මක වීමට පවා අවශ්‍ය” මාත‍්‍රාව ඉහල නගිමින් පවතී.

පුද්ගලික බැංකුවල නය රාජ්‍ය නය බවට හැරී ඇති තතු යටතේ, ප‍්‍රධාන රටවල් 11ක නයගැතිභාවය 2007 දී පැවති දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 381 මට්ටමේ සිට 2012 දී සියයට 417ක මට්ටමකට ඉහල නගිමින්, ආන්ඩුවල නය මට්ටම් ශීඝ‍්‍රයෙන් ඉහල නැග තිබේ. සියලු ධනපති ආන්ඩුවල වැඩපිලිවෙල වන්නේ, සමාජ වියදම් කප්පාදුව හා කම්කරු පන්තිය දරිද්‍රතාවට ඇද දැමීම දෙසට එල්ල වූ පුලුල් කප්පාදු පිලිවෙත් හරහා, බැංකුවලට සහයෝගය පිනිස, මෙම දැවැන්ත වියදම් පියවා ගැනීමයි.

අර්බුදය පැන නැගි විට, විවිධාකාර මූල්‍ය විවරනකරුවන් හා මාධ්‍ය පන්ඩිතයන් කියාසිටියේ, චීනය සහ සෙසු ඊනියා "නැග එන වෙලඳ පොලවල්” ප‍්‍රධාන ආර්ථිකයන්ගෙන් "වෙන්කරගත්” විට ලෝක ධනවාදයේ වර්ධනයේ නව කේන්ද්‍ර ලෙස කි‍්‍රයාත්මක විය හැකි බවයි.

ආර්ථික ඉතිහාසය තුල විශාලතම උත්ප්‍රේරක පැකේජය ලෙස ගෝල්ඩ්මන් සැච්ස් ආයතනය විසින් ගුනාංගීකරනය කරන ලද, ආන්ඩුවේ වියදම් පිලිවෙත් හා නය ප‍්‍රසාරනය, ආයෝජනවල නැග්ම පෝෂනය කල තතු යටතේ, කෙටි කාලයකට, චීන ආර්ථිකයේ අඛන්ඩ වර්ධනය විසින් මෙම මිථ්‍යාවන් පවත්නා ගෙන යන ලදි. එහෙත් චීන තන්ත‍්‍රයේ පිලිවෙත් පාදක කරන ලද්දේ, රටේ අපනයන වෙලඳ පොලවල් -- අන් සියල්ලටමත් වඩා යුරෝපය හා එක්සත් ජනපදය -- ප‍්‍රකෘතිමත් වනු ඇත යන විශ්වාසය මතය. එම මිථ්‍යාව මුලුමනින්ම බිඳ වැටී ඇත, චීන උත්පේ‍්‍රරක පිලිවෙතෙහි නෛසර්ගික සීමාවන් පැහැදිලිවම ප‍්‍රදර්ශනය වේ.

ෆිනෑන්ෂල් ටයිම්ස් චීන වාර්තාකරු ඩේවිඩ් පිලිංට අනුව, මෑත මාසවල දී චීනය තුල ආර්ථික මනෝගතිය "පැහැදිලිවම අඳුරු බවට පත්ව” ඇත. චීන වර්ධන අනුපාතය පසුගිය මාස හත තිස්සේ පහල බැස ඇති අතර දැන් එය 1999න් පසුව පැවති අඩුම මට්ටමේ පවතී.

ආයෝජන උත්පාතයේ පරිමාව කෙතෙක් ද යත්, චීනයේ සියලු භෞතික යටිතල පහසුකම්වලින් අඩක් ගොඩනගනු ලැබ ඇත්තේ පසුගිය හය වසර තුල දී යයි තක්සේරු කෙරෙයි. දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 50කින් සමන්විත වන ආයෝජන වියදම් මත පාදක වන ආර්ථික වර්ධනය, නිසගයෙන් ම පවත්වාගෙන යා නොහැකිය. සමහර ආර්ථික විචාරකයෝ අර්බුදයක නොවැලැක්විය හැකි බව ගැන විවෘතවම කතා කරති.

ගෝලීය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20කින් සමන්විත, චීන හා එක්සත් ජනපද ආර්ථිකයන් යන දෙකටම වඩා විශාල, යුරෝ කලාපයෙන් වාර්තාවන මෑතම සංඛ්‍යා ලේඛන, ගෝලීය ආර්ථික පසුබැස්මක ප‍්‍රවනතා පිලිබඳ පැහැදිලිම ප‍්‍රකාශනයන්ය. මේ වසරේ දල දේශීය නිෂ්පාදිතය සියයට 0.4කින් හැකිලෙනු ඇති බවට බලාපොරොත්තු පලවීමෙන් පසුව, මේ සතියේ දී, යුරෝපා කොමිසම, ඊලඟ වසර සඳහා දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනය පිලිබඳ සිය පුරෝකතන සියයට 1 සිට යන්තම් සියයට 0.1 දක්වා පහල දැමීය.

අර්ථභාරී කරුන නම්, මෙම පුරෝකතන අවරෝහන ලෙස සංශෝධනය කිරීමට ප‍්‍රධාන හේතුව වූයේ, ජර්මානු ආර්ථිකයේ පහල වැටීමයි. කලින් සියයට 1.7ක් ලෙස පුරෝකතනය කල ඊලඟ වසරේ එරට ආර්ථික වර්ධනය දැන් සියයට 0.8ක් පමනක් වෙතැයි අනාවැකි පල කෙරෙයි. ජර්මානු ආර්ථිකයේ ප‍්‍රධාන අංශවල දැවැන්ත දොට්ටදැමීම් නිවේදනය කෙරී තිබේ. එම සංඛ්‍යා ලේඛන ගැන අදහස් දක්වමින්, යුරෝපා මහ බැංකුවේ සභාපති මාරියෝ ඩ‍්‍රැඝි කියා සිටියේ, මීට පෙර ජර්මනිය යුරෝ කලාපයේ සෙසු ප‍්‍රදේශවල ආර්ථික ගැටලුවලින් පරිවරනය වී තිබුනත් දැන් එම කාල පරිච්ෙඡ්දය අවසන් වෙමින් ඇති බවයි.

යුරෝපය පුරා විරැකියාව සියයට 12 ඉක්මවමින් නැගෙතැයි අපේක්ෂා කෙරෙයි. එයින් අදහස් කෙරෙන්නේ, ගී‍්‍රසියේ හා ස්පාඤ්ඤයේ අවපාතයකට-සමාන කොන්දේසි මහාද්වීපය පුරා පැතිරීමට යන බවයි.

ආර්ථික වර්ධනය කඩාවැටෙන තතු යටතේ, ගී‍්‍රසිය, ස්පාඤ්ඤය හෝ සෙසු රටවල් ගනනාවකින් එකක් සිය නය ගෙවීම පැහැර හැරියහොත්, වඩා දුර දිග යන ගෝලීය අර්බුදයක තර්ජනය මතු කරමින්, යුරෝ කලාපය පුරා මූල්‍ය අස්ථාවරත්වය, වර්ධනය වනු ඇත. ගැටලු ඊනියා වාටියේ රටවලට සීමා නොවේ.

ජර්මානු බැංකු පිලිබඳ අපේක්ෂාව තවමත් "නිෂේධනීය සුපරීක්ෂාව” මට්ටමේ පවතින අතර ප‍්‍රන්ස බැංකු ගැන අඛන්ඩ උත්සුකතා පවතී. මේ වන තෙක් ප‍්‍රධාන අර්බුදයක් වලකාගෙන ඇත්තේ, යුරෝපා මහ බැංකුව මුදල් හිඟයෙන් පෙලෙන බැංකුවලට ලබා දුන් ඩොලර් ටි‍්‍රලියනයක ප‍්‍රතිපාදන ද දැවැන්ත ලෙස නයභරිත රටවල බැඳුම්කර මිලදී ගන්නා බවට එය පොරොන්දු වීම ද මගින් පමනි. එහෙත් යුරෝපා මහ බැංකුවෙන් මොන තරම් මුදල් කන්දරාවක් ලබා දුන්නත් කේන්දී‍ය ගැටලුව -- එනම්, ප‍්‍රධාන යුරෝපා බැංකු හා මූල්‍ය ආයතන මුහුන දී ඇත්තේ ද්‍රවශීලතා නොව බංකොලොත්කම පිලිබඳ අර්බුදයකය යන්න -- ආවරනය කල නොහැකිය.

ගෝලීය ධනවාදී ආර්ථිකයේ අඛන්ඩ කඩාවැටීමකට මුහුන දෙනු ලැබ, ලොව පුරා පාලක පන්තීන්ගේ ප‍්‍රතිචාරය වන්නේ, කම්කරු පන්තිය මත සිය ප‍්‍රහාර උත්සන්න කිරීමයි. යලි තේරී පත්වූ ඔබාමා පාලනාධිකාරය සිය වැඩකටයුතුවල ප‍්‍රථම අයිතමය කරගෙන ඇත්තේ, පුලුල් වියදම් කප්පාදු, අන් සියල්ලටමත් වඩා සමාජ සංරක්ෂන හිමිකම් කප්පාදු, හඳුන්වාදීමයි. යුරෝපය තුල, ස්පාඤ්ඤය හා ගී‍්‍රසිය අවපාතයට-සමාන කොන්දේසි කරා ගෙනවිත් ඇති කප්පාදු පිලිවෙත් උත්සන්න කිරීමට යයි. චීනය තුල, පසුගිය සිවු වසරේ උත්පේ‍්‍රරක පිලිවෙත් ගෝලීය කඩාවැටීමේ ගඩොල් තාප්පය සමග ගැටුමකට ගොස් ඇත.

ලෝක ආර්ථිකයේ හැරීම කම්කරු පන්තිය ඉදිරියේ තීරනාත්මක දේශපාලන අභියෝග මතුකරයි. ඒවාට මුහුනදීම පිනිස අවශ්‍ය ප‍්‍රථම පියවර වනුයේ, ධනපති ක‍්‍රමය බිඳවැටීමකට මුහුන දී ඇති බවත් "සාමාන්‍ය” කොන්දේසි කරා ආපසු යාමක් සිදු නොවන බවත් අවබෝධ කරගැනීමයි.

"නව සාමාන්‍යය” යනු මහා අවපාතයේ කොන්දේසි -- යුද්ධය, මහජන විරැකියාව සහ ආඥාදායක පාලක රූපයන් -- කරා ආපසු යාමයි. කම්කරු පන්තිය ඓතිහාසිකව යල්පිනු ලාභ ගරන පද්ධතිය පෙරලාදමා සැලසුම්ගත සමාජවාදී ආර්ථිකයක් ගොඩනැගීම සඳහා දේශපාලන අරගලයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව මෙමගින් මතුකෙරෙයි.

නික් බීම්ස්

Share this article: