චීනයේ නව නායකත්වය — අර්බුදයේ ගිලුන පාලනයක්

China’s new leadership—a regime of crisis

19 November 2012

පසුගිය සතියේ පැවැති චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීසීපී) 18 වන සම්මේලනයේදී තෝරාපත් කරගත් නව නායකත්වය ගැඹුරු වෙමින් පවත්නා අර්බුදයේ ම කොටසක් වනු ඇත. ගෝලීය ධනවාදයේ ඓතිහාසික කඩාවැටීම මධ්‍යයේ රටේ ආර්ථිකය සැලකිය යුතු පරිමානයක පහල බසිමින් පවතින අතර ශක්‍ය ප්‍රතිමල්ලවයෙකු ලෙස චීනයේ නැගීම අවහිර කිරීමට එක්සත් ජනපදය ආසියාවේ හා ජාත්‍යන්තරවත් රාජ්‍යතාන්ත්‍රික හා මූලෝපායාත්මක ප්‍රහාරයක් දියත් කර තිබේ.

මහලේකම් ධුරයට පත්වන ෂී ජින්පින්ග් හා සත් සාමාජික දේශපාලන මන්ඩලය තෝරා ගනු ලැබුවේ මුලුමනින් ම බිලියන 1.3ක් වන රටේ මහජනතාවට හොර රහසේ ය. සීසීපියට මෙය කිසිසේත් ම අලුත් කාරනාවක් නොවන අතරේ, නායකයන්ගේ "පස්වන"පරම්පරාවට 1949 විප්ලවාදී නැගිටීමට සහ ඒ හා සම්බන්ධිත සමාජ ජයග්‍රහන සමඟ කවර හෝ සම්බන්ධයක්වත් ඇත්තේ නැත.

ෂී නියෝජනය කරන්නේ, 1970 ගනන්වල, විශේෂයෙන් ම 1978න් අනතුරුව ඩෙන් ෂියාඕ පින්ග් විසින් මුලපුරන ලද ධනවාදය පුනස්ථාපන කිරීම මගින් මුලුමනින් ම තම දෘෂ්ටිය හැඩගැන්වුන සීසීපී නිලධාරීන්ගේ පරම්පරාවකි. පසුගිය දශකය මුලුල්ලේ ෂී වෙරලාශ්‍රිත පලාත් හා නගර කීපයක සීසීපී යාන්ත්‍රනවල ප්‍රධානියාව සිට ඇති අතර ඔහුගේ සීසීපී සගයන් මෙන් ම සුපිරි-ධනවත් ප්‍රභූවකගේ සම්ප්‍රාප්තියට තුඩුදුන් ''ව්‍යාපාර ආකර්ශනය කරගැනීම හා ප්‍රාග්ධනය හඳුන්වාදීම'' යන පාඨය යටතේ ක්‍රියාත්මක වී තිබේ.

ෂී ප්‍රකට වනුයේ, විශේෂයෙන් ම අපකීර්තිමත් ''කුමාරවරුන්ගේ" ස්ථරයක සාමාජිකයෙක් වසයෙන් ය. මෙම ස්ථරයේ එකම දේශපාලන ප්‍රාග්ධනය වන්නේ තම දෙමාපියන් වන පැරැනි ජ්‍යෙෂ්ට සීසීපී නායක ''රතු වංශවතුන්'' වෙත ඇති පවුල් සබඳතාවන් ය. ෂීගේ පියා වන ෂී ෂොන්ශන්, ඩෙන් විසින් 1970 ගනන්වලදී ෂෙන්ෂෙන්වල ඇරැඹූ ප්‍රථම ''විශේෂ ආර්ථීක කලාපය" ස්ථාපිත කිරීමට පත් කරන ලදි. චීනයේ නව ධනපතිපන්තියේ බලගතු කොටසක් වන මෙම කුමාර පැලැන්තිය රාජ්‍ය ධනය කොල්ලකෑම ඔස්සේ තම ධනය නිර්දය ලෙස ගොඩ ගසා ගැනීම ගැන කුප්‍රටක ය. ඒ, බොහෝවිට ම බටහිර සංගත හා බැංකු සමග අත්වැල් බැඳ ගනිමිනි.

කොන්ග්‍රසය වෙත කල ෂීගේ කතාවේදී සිතාමතා ම හෝ අහම්බෙන්වත් මාක්ස්වාදය හෝ සමාජවාදය ගැන කිසිදු අදහස් දැක්වීමක් නොකිරීමත් චීන ජාතියේ ශ්‍රේෂ්ටත්වය පිලිබඳ පාරම්බෑමත් කැපී පෙනුනු ලක්ෂනයක් විය. සීසීපී ප්‍රචාරන යාන්ත්‍රනය තුල වැඩෙන පරිමානයකින් ප්‍රමුඛ තේමාවක් බවට පත්ව ඇති චීන ජාතිකවාදයට ආවැඩීම, එය කම්කරු පන්තියේ සමාජ කොන්දේසි මත තවදුරටත් ලේ වැකි ප්‍රහාරයක් සූදානම් කරමින් සිටින අවධියක පක්ෂය සඳහා සහය පදනමක් ගොනුකර ගැනීමට දරන මංමුලාසහගත ප්‍රයත්නයකි.

පාලන තන්ත්‍රය තීරනාත්මක සන්ධිස්ථානකට සම්ප්‍රාප්තව සිටී. පසුගිය දශකය තුල චීන ආර්ථිකය පෙනී ගියේ, දල වාර්ෂික වර්ධනය සියයට 10ක ප්‍රතිශතයක් වූ, නැවතිය නොහැකි වර්ධනයක් සහිත ආර්ථීකයක් මෙනි. ෂීගේ පූර්වප්‍රාප්තිකයා වූ හියු ජින්ටාඕ බලයට පැමිනෙන විට චීනයේ දල ජාතික නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 1.5ක් වූ අතර එය විශාලත්වය අතින් ලෝකයේ හයවෙනි ආර්ථීක විය. එය දැන් ඩොලර් ට්‍රිලියන 7.3ක් වන අතර ලෝකයේ දෙවැනි විශාලත ම ආර්ථීකය බවට පත් ව තිබේ. 2002 වසරේ චීනයට ඩොලර් බිලියනපතියන් සිටියේ නැත. දැන් එය, එක්සත් ජනපදයට පසු ඩොලර් බිලියනපතියන් වැඩි ම සංඛ්‍යාවක් හිමි රට ය.

මෙම යෝධ ආර්ථීක ප්‍රසාරනය මුලුමනින් ම රඳා පැවැතියේ ගෝලීය ආර්ථීකය මත ය. චීනය, බටහිර ආයෝජන, තාක්ෂනය හා වෙලඳපොල මත යැපෙන ලෝකයේ ප්‍රමුඛත ම ලාභ ශ්‍රම තටාකය බවට පරිවර්තනය විය. 2008 වසරේ ගෝලීය ආර්ථික අර්බුදය පුපුරා යාම මගින් චීනයේ ආර්ථික භංගුරබව ක්ෂනිකව ම අනාවරනය කෙරුනේ අපනයනය පහත වැටීම හා මිලියන 23ක් රැකියා අතුගා දැමීම මගිනි.

හියු යටතේ පැවැති සීසීපි නායකත්වය ආර්ථිකයේ පහත වැටීමක් හා සමාජ කැරැලිකාරිත්වය නවතා ගෙන සිටියේ ජාත්‍යන්තරව ආර්ථීක පුනර්ජීවනයක් ඇතිවේය යන බලාපොරොත්තුවෙන් යෝධ උත්තේජන පැකේජයක් ක්‍රියාවට දැමීම හා ලාභ පොලී නය ප්‍රවාහයක් මුදා හැරීම හරහා ය. එහෙත් යුරෝපය දිග් ගැස්සුන නය අර්බුදයක හා අවපාතයක ගිලී ඇති අතර එක්සත් ජනපදය හා ජපානය තුල දිගින් දිගට ඇදීයන ආර්ථික පහත වැටීමක් පවතී. මෙහි ප්‍රතිඵලයක් ලෙස, උමතු සහගත දේපල සමපේක්ෂනය හා ප්‍රාදේශීය ආන්ඩුවල යෝධ නය හේතුවෙන් ඇති කෙරුනු ආර්ථික කඩා වැටීමකට හා මූල්‍යමය අස්ථාවරභාවයේ අනතුරකට බෙයිජිනය මුහුන දී සිටී.

ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ඉල්ලීම් සමග පෙල ගැසෙමින්, ඉතිරිව පවතින රාජ්‍යයක ව්‍යවසායන්ගෙන් බොහෝමයක් පෞද්ගලීකරනය කිරීම හා නිෂ්පාදන ඵලදායිතාව වැඩි කිරීමට උත්තේජනයක් දීම ඇතුලත් කරගත් චීන ආර්ථීකයේ අභිනව ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා වේදිකාව 18 වන පක්ෂ සම්මේලනයේදී නිර්මානය කර ඇත. රැකියා හා සේවා කොන්දේසි විනාශ කිරීම නිසා ද රාජ්‍ය ව්‍යවසායන් තම පෞද්ගලික දේපල බවට හරවා ගැනීම මගින් ඉහල නිලධරය ධනවත් වීම නිසා ද පන්ති ආතතීන් අනිවාර්යයෙන් ම ඉහල යාමට නියමිත ය.

සමස්ත ආසියාව පුරාම චීනයේ ආධිපත්‍යය යටපත් කරමින් මූලෝපායික සබඳතා ගොඩනගමින් සිටින එක්සත් ජනපදයෙන් එන අනවරත පීඩනයට ද ෂී නායකත්වය මුහුන දෙයි. පසුගිය දශකය පුරාම බෙයිජිනයේ විදෙස් පිලිවෙත හසුරුවා තිබුනේ හියුගේ ''සාමකාමීව නැගී සිටීම" එනම්, අනෙකුත් බලවතුන් සමග ගැටුමකට යාමෙන් තොරව චීනයට මහා බලවතෙක් විය හැකිය යන සූත්‍රයෙනි.

ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ යුද්ධවලට බුෂ් පාලානාධිකාරිය මුලපිරූ අවස්ථාවේදී මෙම ප්‍රවිෂ්ටය ක්‍රියාවට දැමීම පෙනී ගියේය. එහෙත් ගැඹුරුවන ගෝලීය ආර්ථීක අර්බුදය ජාත්‍යන්තරව ම ආතතීන් උත්සන්න කර තිබේ. ලාභ ශ්‍රමය සඳහා ප්‍රභවයක් වසයෙන් සලකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය චීනය මත රැදී සිටී. එහෙත් එහි ගෝලීය ආධිපත්යලයට ශක්යද ප්රාතිමල්ලවයෙක් ලෙස එයට ඉඩ දීමට ද එක්සත් ජනපදයට නොහැකි ය. ඔබාමා පාලානාධිකාරියේ ආසියාවට ''හැරීගැනීම" වනාහි, චීනය මූලෝපායික වසයෙන් වැටලීම හා වොෂිංටනය විසින් හසුරුවන ගෝලීය පර්යායක් චීනය විසින් පිලිගැනීම සහතික කිරීම ඉලක්ක කරගත්, පූර්ව-භංග උද්ඝෝෂනයකි.

අනෙකුත් රටවල ආන්ඩු මෙන් ම, කම්කරු පන්තියට එරෙහිව පන්ති යුද්ධයක් දියත් කිරීමට වඩා වැඩි තවත් විසඳුමක් එය මුහුනපා සිටින අර්බුදයට විකල්පයක් වසයෙන් සීසීපී පාලානාධිකාරියට ඇත්තේ නැත. එය මෙසේ කරන්නේ දුර්වලභාවයේ කොන්දේසීන් හා දේශපාලන හුදකලාවේ කොන්දේසි යටතේ ය. පසුගිය දශකයේ ආර්ථීක වර්ධනය විසින් චීන කම්කරු පන්තිය යෝධලෙස ප්‍රසාරනය කර තිබේ. රටේ සමස්ත ජනගහනය වන බිලියන 1.3න් නාගරික ජන ප්‍රතිශතය සියයට 38 සිට සියයට 50 කට වැඩි අගයක් දක්වා වර්ධනය වීමෙන් මෙය පෙන්නුම් කෙරේ.

සූදානම් කරමින් පවත්නා සමාජ ව්‍යසනය හා යුද්ධයේ අනතුරුවලට චීන කම්කරු පන්තියට මුහුන දිය හැකි වන්නේ, බංකොලොත් ලාභ පද්ධතිය අහෝසි කර දැමීම අරමුනු කරගත් ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලයක අත්‍යවශ්‍යය ම කොටසක් ලෙස සීසීපී තන්ත්‍රය බිඳ හෙලීමේ දේශපාලනික ප්‍රහාරයක් මගින් පමනි. සියල්ලටමත් වඩා, මින් අදහස් කෙරෙන්නේ ස්ටැලින්වාදයට හා මාඕවාදයට එරෙහිව ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යපාරය විසින් දියත් කර තිබෙන දේශපාලන අරගලයේ අත්‍යවශ්‍ය පාඩම් උකහා ගනිමින් චීනය තුල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ගොඩ නැගීම යි.

ජෝන් චෑන්

Share this article: