නිව්යෝක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් මගින් ඔබාමා නිර්දේශ කිරීම

The New York Times and Washington Post endorsements of Obama

29 October 2012

ජාතික මැතිවරනයට හරියටම සතියක්ව පවතිද්දී, පාලක ප්‍රභූවේ නිල මතයේ විවිධාකාර පැති නියෝජනය කරන එක්සත් ජනපදයේ ප්‍රමුඛ පුවත්පත් තුනක්, එනම් වොෂින්ටන් පෝස්ට් පුවත්පත සිකුරාදා දිනයේ ද නිව්යෝක් ටයිම්ස් හා චිකාගෝ ට්‍රිබියුන් පුවත්පත් ඉරිදා දිනයේ ද, බැරැක් ඔබාමා යලි තෝරා පත්කර ගැනීම නිර්දේශ කරමින් කතුවැකි පල කලහ.

පුවත්පත් තුන ම, ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කිරීම වග වර්නනා කලේ, එය ඔබාමා පාලනාධිකාරියේ විශිෂ්ටත ම විදෙස් පිලිවෙත් ජයග්‍රහනය බවට සහතික කරමිනි. ඝාතක කල්ලියක් මගින් හෝ දුරස්ථ පාලක මිසයිලයක් මගින් හෝ මිනී මැරීම සඳහා නොපැකිලීම රටේ ඉහල ම දේශපාලන නිලය සඳහා අනිවාර්ය සුදුසුකමක් ලෙස සැලකෙන ඇමරිකාවේ නිල දේශපාලන කතිකාවේ අධම ස්වාභාවය මෙම පුවත්පත් ප්‍රකාශ මගින් පෙන්නුම් කරයි.

පුවත්පත් තුනට ඒවායේ ම වෙනස්කම් තිබේ. ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් ට්‍රිබියුන් වඩාත් ගතානුගතික ස්ථාවරයක් දරන්නේ ඔබාමා විසින් යෝජිත කප්පාදුවලටත් වඩා අධික ලෙස රාජ්‍ය වියදම් කප්පාදු කිරීමට කෙරෙන රොම්නිගේ ඉල්ලීම්වලට වඩාත් සහානුභූතික බව ප්‍රකාශ කරමිනි. එහෙත් එය රිපබ්ලිකානුවන්ගේ වඩාත් ආක්‍රමනශීලී විදෙස් පිලිවෙත ගැන විවේචනාත්මක ය. පෝස්ට්, ආර්ථික පිලිවෙත පිලිබඳ එක්තරා අයුරක අඩු කුරිරු බවක් දක්වන නමුත් ඔබාමාගේ විදෙස් පිලිවෙතේ, විශේෂයෙන් ම සිරියාව හා ඉරානය සම්බන්ධයෙන්, මිලිටරිමය අප්‍රමානවත්බව ගැන විවේචනාත්මක ය.

ටයිම්ස් , සෑම කාරනාවකදී ම උද්‍යෝගිමත් ලෙස ඔබාමා හිතැති වන අතර ඇමරිකානු ලිබරල්වාදයේ ජරපත්වීම ගැන එය ප්‍රකාශ කරන හා නොකරන කාරනා ද්විත්වයේ දී ම එහි කතුවැකිය සුවිශේෂ වසයෙන් ම නරුම ය. එය, ව්‍යාපාරවල සහ ආන්ඩුවේ වියදම් අඩු කරගැනීමේ අරමුනින් ඔබාමා දියත් කල සෞඛ්‍ය සේවා වැඩසටහනට ද රැකියා සඳහා අලුතෙන් බඳවා ගන්නා කම්කරුවන් සඳහා සියයට 50කින් වැටුප් කැපීම අරමුනු කරගත් මෝටර් රථ කර්මාන්තය "ගලවා ගැනීමේ" වැඩසටහනට ද එමෙන් ම ආන්ඩු-අරමුදල්වලින් රැකියා විරහිතයන්ට රැකියා සම්පාදනය කිරීම ප්‍රතික්ෂේප කරමින් ක්‍රියාත්මක කල උත්තේජන වැඩපිලිවෙලට ද හුරේ දමයි. එය සමලිංගික අයිතිවාසිකම් පිලිබඳ ඔබාමාගේ පිලිවෙත ගැන ‍ඡේද කීපයක් කැප කරයි, එහෙත් දරිද්‍රතාව, විරැකියාව, සමාජ අසමානතාව, අභ්‍යන්තර ඔත්තු බැලීම, ගුවන්තනමෝ, වධ බන්ධන පැනවීම්, ඩ්‍රෝන් හෝ ඇෆ්ගනිස්ථානය තුල යුද්ධය උත්සන්න කිරීම ගැන කිසිදු සඳහනක් කරන්නේ නැත.

අනන්‍යතා දේශපාලනයට ඇති ග්‍රස්තික අවධානය, ජනගහනයේ අති බහුතරයක ප්‍රජාතන්ත්‍රීය අයිතීන් හා සමාජ කොන්දේසි පිලිබඳව නොතැකීම හා ඇමරිකානු අධිරාජ්‍යවාදයට පුදන නිර්ලජ්ජිත සහාය සහිතව, ටයිම්ස්හි ඔබාමා නිර්දේශය මගින් වත්මන් ඩිමොක්‍රටික් පක්ෂ ලිබරල්වාදය විසින් නියෝජනය කරන සමාජ අවශ්‍යතාවන් අර්ථකථනය කෙරේ. එය පෙනී සිටින්නේ, වෘත්තීය සමිති නිලධරය ඇතුලු කම්කරු පන්තියේ අවශ්‍යතාවන්ට පසමිතුරු මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත හා බලගතු ස්ථරයන් සහ මූල්‍ය ප්‍රභූව, මිලිටරි-බුද්ධි මන්ඩලවල කොටස් වෙනුවෙනි.

පුවත්පත් තුන අතරේ පවතින වෙනස්කම් ඊලඟ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට සඳහා වන ප්‍රමුඛ සුදුසුකම පිලිබඳව, එනම් පූර්වයෙන් සිදු කෙරුනු කප්පාදු පරයා යන අයුරින් සමාජ වියදම් කපා දැමීමට ඔහුට පවතින හැකියාව පිලිබඳව, ඔවුන්ගේ එකඟතාව අවධාරනය කරනවා පමනි.

"මූල්‍යමය වසයෙන් වඩාත් යහපත් මාවතක ආන්ඩුව පිහිටුවීමට හැකියාව ඇතැයි පෙන්නුම් කරන්නේ කවරෙක් ද" යනුවෙන් ප්‍රශ්නය ඉදිරිපත් කරන පෝස්ට්, ''සාර්ථක කරගත හැකි එකම ප්‍රවිෂ්ටයට, එනම් නියමිත ප්‍රතිසංස්කරන හා ආදායම් වැඩි කිරීම තුලනාත්මකව සිදු කිරීමට ඔබාමා කැප වී ගෙන ඇත" යි යන නිගමනය ඉදිරිපත් කලේ ය. එමෙන් ම පුවත්පත, ඔබාමාගේ ආර්ථික ප්‍රවීනත්වයට සාක්ෂියක් වසයෙන් "2009 වසරේ මාර්තු මස වනවිට 6,626ක්ව පැවැති ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය අද වනවිට 13,000ක මට්ටමට ඉහල නැග තිබීම" සටහන් කරයි.

ආර්ථික කඩා වැටීමට වගකිව යුතුයැයි වෝල්වීදියට බැන අඬ ගැසීම වැනි "ගතානුගතික ලිබරල් ප්‍රතිචාර" වසයෙන් එය විස්තර කරන දේවල් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ට්‍රිබියුන් EM>පුවත්පත ඔබාමා වර්නනා කරයි. පෝස්ට් ඉදිරිපත් කල ප්‍රශ්නය ම එය මතු කරයි: "එසේ නම්, කොන්ග්‍රසය සමග යෝධ නය ගනුදෙනුවකට යා හැක්කේ මෙම ඡන්ද අපේක්ෂකයන් දෙදෙනාගෙන් කවරෙකුට ද ?" පෝස්ට් ඒ පිලිතුර ම ඉදිරිපත් කරයි: "ක්‍රියාත්මක කල යුතුව පවතින වැඩසටහන්වල ඉමහත් ම අධිෂ්ඨානශීලී ප්‍රතිසංස්කරන ද" ඇතුලත් ගිවිසුමක් නිර්මානය කිරීමට--වෙනත් වචනවලින් කිවහොත්, ඇමරිකානු පාලක පන්තිය අහෝසි කිරීමට කල්යල් බලමින් සිටින සෞඛ්‍ය ආරක්ෂනය, සමාජ ආරක්ෂනය හා අනෙකුත් මූලික සමාජ වැඩසටහන් සම්බන්ධයෙන් කෙරෙන දුර දග යන කප්පාදු සඳහා-- ශක්‍ය නිපුනයා බොහෝවිට ම ඔබාමා බැව් පෙනී යන බවයි.

ටයිම්ස් පුවත්පත ද උක්ත නිගමනයට ම පැමිනෙයි: අයවැය හිගය අඩු කිරීමේ පැකේජකයක් ඉදිරිපත් කල හැකි වන්නේ ඔබාමාට මිස රොම්නි හට නොවේ. ''ඔබාමා මහතා යලි තේරී පත්වුවහොත්, ප්‍රධාන වසයෙන් ව්‍යාපාර සඳහා බදු කැපීම අඩංගු කරගත් සංකේත පියවරක් වන රැකියා පනත වැනි උත්තේජන වැඩසටහන්, බුෂ් යුගයේ ලබා දුන් ඉහල බදු සහන නිමා වන්නට ඉඩ හැරීම ඇතුලත් අයවැය හිගය දීර්ඝ-කාලීනව අඩු කිරීම සමග අවසානයේ දී ඒකාබද්ධ කල හැකි, 'මහා කේවලය' හැඩගැන්විය හැකි තැනක ඔහු සිටිනු ඇත."

මෙම පුවත්පත්පත්වල කතුවැකිමය සහතික කිරීම් හුදෙක් කකුවරුන්ගේ පෞද්ලික අදහස් ම නොවේ. මේ එක් එක් පුවත්පත වනාහි,විශාල සංගතයකට හිමි සහ ඇමෙරිකානු පාලක ප්‍රභූවේ සැලකිය යුතු කොටසකගේ ආස්ථානයන් එහි කොලම් හරහා පිලිබිඹු කරන ඇමෙරිකානු ධනවාදයේ ප්‍රධාන ආයතනයකි.

මෙම කතුවැකි ඔබාමාට මෙන් ම පාඨකයාට දෙන පනිවුඩයකි. ඔවුහු මෙසේ කියති: ඔබට යහමින් මැතිවරනය දිනිය හැකිය, එසේ වුව ද, ඔබට පියවර තැබීම සඳහා නියෝග ලැබෙනුයේ මූල්‍ය කතිපයාධිකාරියෙනි: එක්සත් ජනපදයේ සමාජ වියදම් නිර්දය ලෙස හා ඉතාම ඉක්මනින් අතුගා දැමීමට ඔබ හැරී ගත යුතු ය.

පනිවුඩය උස්හඬින් හා පැහැදිලිව ඔබාමා වෙත ලැබී ඇත. ඩෙස් මොයින්ස් රෙජිස්ටර් පුවත්පත මුලදී එලියට නොදැමූ, එහෙත් කතුවරුන් විසින් විරෝධය පෑම නිසා පමනක් මහජනතාවට දැනගැනීමට නිකුත් කල, සඳුදා දින පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ලාභ පද්ධතියට ඔහුගේ ඇති නොවෙන්කල හැකි පාක්ෂිකත්වය හා මූල්‍ය කප්පාදුවලට ඔහුගේ කැපවීම, ඔබාමා අවධාරනය කලේ ය. සංගතයන්ගේ වාර්තාගත ලාභ සාක්ෂියක් වසයෙන් ඉදිරිපත් කරමින් ඔහුගේ පාලනය "ව්‍යාපාර සඳහා නරක" නොවූ බව එහිදී ඔහු පෙන්වා දුන්නේ ය.

"වියදම්වලින් ඩොලර් ට්‍රිලියනක් මම දැනටමත් කපා හැර තිබෙනවා," ඔහු කීවේ ය. "මම තවදුරටත් වියදම් කපාහැරීමට සූදානම්, ඒ වගේ ම ඉතා පැහැදිලිවම අපගේ අයවැය හිඟයෙන් දැවැන්ත ම කොටසක් ගලා යන අපගේ සුව සේවා වැඩසටහන්වල වියදම පහත දැමීමට සිදුකරන ඇතැම් වෙනස්කම් ක්‍රියාවට දැමීමේ අවස්ථාව එලැඹි කල ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් සමග වැඩ කිරීමට ද කැමැතියි."

එලැඹෙන "මූල්‍ය ශිඛරය", ජනවාරි 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන බදු හා අයවැය පියවර මාලාව, සැලකිය යුතු කප්පාදු හරහා ඉදිරියට යෑම සඳහා වාසිදායක වන අර්බුදයක් සපයා දෙනු ඇත. ඔහු කීවේ, එය "බලහත්කාරී යාන්ත්‍රනයක්" වනු ඇති බවයි. එයින් අදහස් කලේ, "ප්‍රථම මාස හය තුල කාර්යයෙන් විශාල කොටසක් විසඳන බවට මවිසින් විස්වාස කරන තැනකට අප එලැඹෙමින් සිටින බවයි."

"අයවැය හිගය ඩොලර් ට්‍රිලියන හතරකින් අඩු කිරීමට බොව්ල්ස්-සිම්ප්සන් කොමිසම විසින් ස්ථාපිත ඉලක්කයන් එලැඹෙන වසරවලදී පවා නිශ්චිතව ම අපට අත්කරගත හැකිය" යි ඔහු තවදුරටත් කීවේ ය. වෙනත් වචනවලින් කියතොත්, මැතිවරනය පැවැත්වෙන වසරක් එලැඹීමට තිබිය දී ක්‍රියාත්මක කල නොහැකි බව පවසමින් ඔබාමා මුලදී ප්‍රතික්ෂේප කල කප්පාදු, මැතිවරනය පරෙස්සමෙන් පසුකිරීමෙන් අනතුරුව ඡන්ද දායකයින්ට වචනයක් හෝ කියන්නට අවසර නැතිවිට යලි ක්‍රියාත්මක කරනු ඇති බව මෙහි අර්ථය යි.

සංගතවල බදු රේට්ටු අවම කිරීමට හා ව්‍යාපාරවල රෙගුලාසි "වල්පැල උගුලුවා දැමීමට" ද ඔහු පොරොන්දු විය.

මෙම අදහස් මගින් අවධාරනය කෙරෙන්නේ, කම්කරු පන්තියේ අවශ්‍යතාවන් හා වුවමනාවන්වලට කවර හෝ සම්බන්ධයක් නැති එක්සත් ජනපද දේශපාලන පද්ධතියේ වංචනික හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී ස්වාභාවය යි. 2012 මැතිවරන උද්ඝෝෂනය, ඇමෙරිකානු මහජනතාවට රහසින් ගොරතර කම්කරු පන්ති- විරෝධී පිලිවෙත් බලාත්මක කිරීමට ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් විසින් ගෙන යන දේශපාලනික කුමන්ත්‍රනයකි.

ඔබාමා ද අසංවේදී ලෙස නොතකා සිටින සමාජ යථාර්ථයක්, එනම් වාර්තාගත දිගු-කාලීන විරැකියාව, වැඩෙන දරිද්‍රතාව, කුසගින්න හා නිවාස නොමැතිකම, ඔබාමා පාලානාධිකාරිය විසින් පවත්වා ගෙන ගොස් තිබේ. වත්මන් ජනාධිපතිවරයාට වාචික කනේ පාරක් දීමට පමනක්ම රොම්නි, මෙම කොන්දේසි උපුටා දක්වන අතර සමාජ වැඩ පිලිවෙලවල් දැඩිව කප්පාදු කරන ලෙසත් ධනවතුන් වෙනුවෙන් දැනටත් වඩා යෝධ බදු කප්පාදු ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු කැඳවුම් කරයි.

2012 මැතිවරනවයේ දී කම්කරු පන්තියේ අවශ්‍යතාවන් වෙනුවෙන් කතා කරන හා ඒවා ආරක්ෂා කරන එකම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය යි. අපගේ ජනාධිපති අපේක්ෂයා වන ජෙරී වයිට් ට හා උප ජනාධිපති අපේක්ෂක පිලිස් ෂෙරර්ට සහය දෙන ලෙසත් ඔබ ප්‍රදේශයේ පැවැත්වෙන කලාපීය සම්මේලනවලට සහභාගි වන ලෙසත් කම්කරුවන් හා තරුනයින්ගෙන් අපි ඉල්ලා සිටින්නෙමු. වැඩි විස්තර සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න:www.socialequality.com

පැට්‍රික් මාටින්

Share this article: