ග්‍රීක කම්කරුවන් සඳහා ඉදිරි මාවත කුමක් ද?

What way forward for workers in Greece?

9 November 2012

මෙම සතියේ වැඩවර්ජන හා දැවන්ත විරෝධතා ග්‍රීක කම්කරු පන්තියේ අතිමහත් විභව ශක්තිය පිලිබඳ සිත් කා වදින දසුනක් සපයා ඇත. රජයේ ව්‍යවසායන් සියල්ලකම පාහේ ද බොහෝ පෞද්ගලික සමාගම්වල ද වැඩවර්ජන මගින් කම්කරුවෝ සැබවින් ම පැය 48ක් තිස්සේ මුලු රට ම අඩපන කලහ. රට විනාශයට ඇදගෙන යමින් හා විරැකියාව වාර්තාගත මට්ටමට නංවමින් සිටින අන්තෝනියෝ සමාරාස්ගේ ආන්ඩුවේ හා යුරෝපා සංගමයේ කප්පාදුවලට විරුද්ධවීමට ඇති තම අධිෂ්ඨානය ප්‍රකාශ කිරීමට ලක්ෂ ගනනින් වීදිවලට පිවිසුනහ.

විරෝධතාවන්ගේ පරිමාව පෙන්වන්නේ ආන්ඩුව හා යුරෝපා සංගමය අනකල සමාජ ප්‍රහාරයන් මෙන් ම පසුගිය සතියේ දී සංක්‍රමනිකයන් බියවැද්දූ ෆැසිස්ට්වාදී කල්ලි යන දෙකම පරාජය කිරීමේ හැකියාව ඇති සමාජ බලවේගය කම්කරු පන්තිය බව යි. ග්‍රීසියට පමනක් නොව මෑත සතිවල දී මහජන විරෝධතාවන් හටගත් ස්පාඤ්ඤය හා පෘතුගාලයට සහ සියලුම අනෙකුත් යුරෝපීය රටවලට ද මෙය අදාල වෙ යි.

කෙසේ නමුත්, ග්‍රීක කම්කරු පන්තියේ අවශ්‍යතා හා අභිලාෂයන් සහ වෘත්තීය සමිති හා ඒවායේ දේශපාලන සන්ධානයන්ගේ ප්‍රතිපත්ති අතර ගැඹුරු හිදැසක් පවතී. එකී වෘත්තීය සමිති, මහා වැඩවර්ජන කෙටිකාලීන විරෝධතාවන්ට සීමා කරමින් සහ තමන් ග්‍රීක හා විදේශීය ප්‍රාග්ධනයේ අතිමූලික අවශ්‍යතාවන්ට පටහැනිව නොයන බව හැකි ඉහල ම ආකාරයෙන් තහවුරු කරමින්, කම්කරු පන්තියේ ගමන මැඩලීමට උත්සාහ දරති.

විකල්ප වමේ සාභාගය (සිරිසා) හා ව්‍යාජ වාම බලවේග වැනි වෘත්තීය සංගම්වල දේශපාලන සන්ධාන, කම්කරු පන්තිය මත පැටවෙමින් තිබෙන ඒකාධිපති කප්පාදු පියවරය පරාජය කිරීමේ ඕනෑ ම අවංක අරගලයකට තරයේ විරුද්ධ ය. ඔවුන් සමරාස් ආන්ඩුව පලවා හැරීමට විරුද්ධ වන අතර යුරෝපීය සංගමය සමග මොන යම් හෝ බිඳීමකට විරුද්ධ ය. මින් තොර ව කම්කරු පන්ති අවශ්‍යතා රැක ගැනීමේ සැබෑ අරගලයක් ගෙන යා නොහැක.

ආන්ඩුවට එරෙහිව හා යුරෝපා සංගමය තුල එරට සාමාජිකත්වය අනතුරට පත්කරන කිසිදු පියවරක් ගැනීමෙන් කම්කරුවන් වැලක්වීමට ඔවුහු තමන්ම විරෝධතාවේ පෙරමුන අරක්ගනිති. වෘත්තීය සමිති නායකයින් හා සිරිසා නායක ඇලෙක්සිස් සිප්රාස් යන දෙගොල්ලන් ම නැවත නැවතත් අවධාරනය කර ඇත්තේ ප්‍රතිවිපාක මොනවා වුවත් යුරෝපා සංගම් සාමාජිකත්වය දිගට ම පවත්වාගෙන යන බවත් ග්‍රීක ආන්ඩුව ජාත්‍යන්තර බැංකුවලට ඇති නය ආපසු ගෙවීමට තමන් සහතික වන බවත් ය.

1930දී යුරෝපය හා අද ග්‍රීසියේ මෙන්ම වඩා පුලුල් ලෙස යුරෝපයේ ද සමස්ත තත්වය අතර පවතින වෙනස නොතකා එම කාලයේ පාඩම්, විශේෂයෙන් ම ස්ටැලින්වාදී මහජන පෙරමුනු විසින් කම්කරු පන්තියේ දැවන්ත අරගල පාවාදුන් පාඩම් තීරනාත්මකව වැදගත් ය. "ප්‍රජාතන්ත්‍රවාදී” පක්ෂවලට හා ආයතනවලට සහ ඒවා සේවය කරන පන්ති අවශ්‍යතාවන්ට කම්කරු ව්‍යාපාරය යටපත් කර දැමීම මගින් ධනවාදය විසින් නිර්මානය කරන ලද අර්බුදයට තමන්ගේම සමාජවාදී විසඳුමකින් පිලිතුරු දීමෙන් කම්කරු පන්තිය වලක්වනු ලැබිනි. කම්කරු පන්තිය තුලින් තීරනාත්මක දේශපාලන නායකත්වයක් මතු නොවීමේ තත්වය තුල ධනේශ්වරය හා රාජ්‍ය සංවිධාන විසින් ආධාර දුන් දක්ෂිනාංශයට හා ෆැසිස්ට්වාදයට මාවත විවෘත කෙරුනි.

වෘත්තීය සමති හා ඒවායේ දේශපාලන සන්ධාන කම්කරු පන්තිය මත පවත්වාගෙන යන දේශපාලන ග්‍රහනය නැවත වතාවක් දක්ෂිනාංශික බලවේගයන්ගේ වර්ධනයට තුඩුදීමේ අනතුරක් පවතියි.

පොලීසියේ සහාය ඇතිව ග්‍රීසියේ වීදිවල බියකරු ප්‍රහාර සිදුවීමේ හැකියාව ඇති අතර ක්‍රයිසි අව්ගි (ස්වර්නමය උදෑසන) නම් ෆැසිස්ට් කල්ලිය කම්කරු පන්තිය සමග බලමුලු ගැන්වුනු ජනතාව සමග සසඳන විට සංඛ්‍යාත්මක ව කුඩා ය.

කෙසේ නමුත්, ලෝක ධනවාදයේ ඓතිහාසික අර්බුදය හා යුරෝපා සංගමය පටවන කප්පාදු පියවර ග්‍රීක සමාජයේ බිඳවැටීම වේගවත් කර යි. කම්කරු පන්තියේ හා මධ්‍යම පන්තියේ පුලුල් කොටස් දරිද්‍රතාවට ඇද දැමෙති. පන්ති ගැටුම් තීව්ර වේ. අර්බුදයෙන් පිටවන මග පෙන්වීමට කම්කරු පන්තිය අසමත් වේ නම් මධ්‍යම පන්තියේ මංමුලා සහගත තට්ටු දක්ෂිනාංශයට නැඹුරුවීමේ අනතුර පවතී. මේ වන විටත් පාර්ලිමේන්තුවේ ආසන 18ක් ඇති ස්වර්නමය උදෑසන සඳහා වැඩෙන ඡන්ද සංඛ්‍යාව මෙය හුදු කල්පිතයක් නොවන බව පෙන්වයි.

ෆැසිස්ට්වාදයේ හා ඒකාධිපතිවාදයේ තර්ජනය හමුවේ ග්‍රීක කම්කරු පන්තියට එරෙහිව ගෙන යන මෘග ප්‍රහාර හුදෙක් ඇතැන්ස් තුල සැලැසුම් කල ප්‍රතිපත්තිවල ප්‍රතිඵලය නො ව අතිමූලිකව ම යුරෝපීය සංගමය තුල සංවිධානය වී සිටින සමස්ත යුරෝපීය ධනේශ්වරය විසින් සැලැසුම් කෙරුනු ඒවා ය.

සමස්තයක් ලෙස යුරෝපීය ධනවාදයේ අර්බුදය සඳහා ගෙවීම පිනිස ග්‍රීක කම්කරුවන් විනාශයට පත්කෙරේ. ඔවුන්ගේ සමාජ හා දේශපාලන අයිතීන් ආරක්ෂා කර ගැනීම, ග්‍රීක කම්කරුවන් පමනක් නො ව ජර්මනිය, ප්‍රන්සය, බ්‍රිතාන්‍ය හා සම්පූර්න අර්ධද්වීපයේ ම කම්කරුවන් ධනවාදයට එරෙහිව එක්සත් අරගලයක් තුල බලමුලු ගැන්වීම ඉල්ලා සිටින යුරෝපීය මට්ටමේ ප්‍රශ්නයකි.

ග්‍රීසිය හා යුරෝපය පුරා තත්වයට යතුර වන්නේ කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී ව්‍යාපාරයකි. එවැනි ව්‍යාපාරයක් මර්දනය කිරීමට ද පාලක පන්තියට හා එහි ආයතනයන්ට කම්කරු පන්තිය ගැටගැසීම සඳහා තම ශක්තියට අනුව හැමදෙයක් ම කරනු ඇති වෘත්තීය සමිති හා ඒවායේ ව්‍යාජ වාම දේශපාලන සන්ධානයන්ගෙන් කැඩී වෙන්වීම අවශ්‍ය කෙරේ.

ග්‍රීක කම්කරුවන් සිය වෘත්තීය සමිති හා ඒවායේ දේශපාලන සන්ධානයන්ගෙන් වෙන් ව ස්වාධීනව සංවිධානය විය යුතු ය. රැකියා හා සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීමට, ෆැසිස්ට් ප්‍රහාරයන්ට එරෙහිව ආරක්ෂාව සංවිධානය කිරීමට හා කම්කරු පන්තියේ සියලු කොටස් එක්සත් කිරීමට ඔවුන් ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු ය. ජාත්‍යන්තර හා දේශීය මූල්‍ය කතිපයාධිකාරයේ ලාභ පිපාසයට ප්‍රතිවිරුද්ධව විශාල පරිමානයෙන් ජනතාවගේ සමාජ අවශ්‍යතා සැපිරීම පිනිස ප්‍රධාන සංගත හා බැංකු අත්පත්කර ගන්නා හා ආර්ථිකය ප්‍රතිසංවිධානය කරන කම්කරු ආන්ඩුවක් සඳහා ඔවුන් සටන් කල යුතු ය.

එවැනි ක්‍රියාමාර්ගයක් සඳහා නව විප්ලවවාදී පක්ෂයක්, එනම් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ග්‍රීසිය තුල ස්ථාපිත කල යුතු ය. ජාත්‍යන්තර කමිටුව මාක්ස්වාදී, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අඛන්ඩත්වය මූර්තිමත් කර යි. එය ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා හා යුරෝපීය සංගමය පෙරලා දැමීමට ද එක්සත් සමාජවාදී යුරෝපා සංගමයක් ගොඩනැගීම සඳහා ද සටන් කර යි.

ක්‍රිස්ටෝපර් ඩ්‍රියර්

Share this article: