“බදු ආදායම් ප්‍රපාතය” තුල මතුවන පන්ති ප්‍රශ්න

The class issues in the “fiscal cliff”

16 November 2012

2012 ජනාධිපතිවරනය අවසන් වීමත් සමග ම ඔබාමා පාලනය තම රාජකාරියේ පලමු පියවර ලෙස මෙන් ම සංගත ප්‍රභූව දැඩි උත්සුකයක් දක්වන කාරනය, එනම් වෛද්‍ය රැකවරනය, වෛද්‍ය ආධාර හා අනෙකුත් සමාජ වැඩසටහන්වල ඩොලර් ට්‍රිලියන ගනනක් කප්පාදු කිරීම දෙසට හැරී ඇත.

මැතිවරනයට බොහෝ කලින් සැලසුම් කල, මුලුමනින් ම අපකීර්තිමත් කප්පාදු ඉක්මන් කර ගැනීමට රිපබ්ලිකන් පක්ෂය සහ ඔබාමා පාලනයට ඇති හදිස්සිය ඇඟිල්ල දිගු කරන්නේ එක්සත් ජනපදය හා ජාත්‍යන්තරය තුල අතිමූලික යතාර්ථයකට ය: එක් අතක සංගත හා මූල්‍ය ප්‍රභූව, අනෙක් අත මහජනතාවගේ අති මහත් බහුතරය වන කම්කරු පන්තිය වශයෙන් සමාජය මූලික පන්ති දෙකකට බෙදී ඇත. මෙම පන්ති දෙක සමග ඇති සම්බන්ධ‍යේ දී ආන්ඩුව, එක්සත් ජනපදය තුල නම් ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන දෙපක්ෂය ම ඇතුලත් ආන්ඩුව, අපක්ෂපාතී බේරුම් කරුවෙකු නො ව එකකට එරෙහිව අනෙකෙහි කුරිරු ආරක්ෂකයා ය.

කප්පාදු කල යුතු නියත ස්වරූපය හා "හවුල් කැපකිරීමේ” කඩතුරාව ලෙස සමහර බදු යෝජනා කොපමන දුරකට ඇතුල් කරනවා ද යන්න මත පක්ෂ දෙක අතර මොන නො එකඟතාවන් පැවතුනත්, මිලියන ගනනක් මහජනතාව දරිද්‍රතාවෙන් බැහර ව තබන සමාජ වැඩසටහන් සඳහා මුදල් නොමැත යන්න හා ධනේශ්වර ක්‍රමයේ අර්බුදයට කම්කරු පන්තිය ගෙවිය යුතු ව ඇත යන්න මත ඔවුහු එකඟ වෙති.

කප්පාදු සඳහා ප්‍රකාශිත මූලධර්ය නම්, ෆෙඩරල් මහ බැංකු සභාපති බෙන් බර්නැන්කේ විසින් පලමුව නිර්මානය කෙරුනු යෙදුම වන "බදු ආදායම් ප්‍රපාතය” (fiscal cliff) යි. මැතිවරනයෙන් පසුව සිදු කිරීමට නියමිත, දේශපාලන හේතු මත තෝරාගත් විනාශකාරී ප්‍රතිවිපාක ගෙන ඒමේ විභවයකින් යුත් මෙම ක්‍රියාදාමය සඳහා මුලුමනින් ම කෘතිම කාල සීමාවක් ඉදිරිපත් කිරීමට පාලක පන්තිය උත්සාහ ගනී.

"බදු ආදායම් ප්‍රපාතය” පිලිබඳ තැතිගැන්මෙන් වෙලුනු ඉලක්කය, දීර්ග කාලයක් ඇමරිකානු දේශපාලනයේ විවාදාත්මක ප්‍රශ්න වන වෛද්‍ය රැකවරන,වෛද්‍ය ආධාර හා සමාජ සුරක්ෂනයේ කප්පාදු සාකච්ඡාව සඳහා ගත හැකිවා පමනක් නොව, ඒකාන්තයෙන් ම අවශ්‍ය හා අනිවාර්ය ඉසව්වක් ලෙස ඉදිරිපත් කිරීම ය.

14දා ධවල මන්දිර මාධ්‍ය සාකච්චාවක දී, "වසර අවසානයේ දී රැකියා, බදු හා හිඟ (අයවැය) පිලිබඳ සමහර පුලුල් තීරන ගැනීමට අපගෙන් ඉල්ලා සිටින ඉතාමත් පැහදිලි ආවෘත අන්තයකට අපි මුහුන දෙමු” යයි පවසමින් ඔබාමා මෙම මන්ත්‍රය නැවත ජප කලේ ය.

"සෞඛ්‍ය රැකවරනය අපගේ හිඟයන්හි විශාලත ම හේතු කාරකය ලෙස දිගට ම පවතින බැවින් අපගේ හිමිකම් ප්‍රතිසංස්කරනය කරන්නේ කෙසේ දැ යි ඉදිරියටත් අප බැරෑරුම්ව සිතා බැලිය යුතුයයි මම විශ්වාස කරමි” යි ඔහු තවදුරටත් පැවසී ය.

මෙම වාගාලාපය පිටුපස නිශ්චිත පන්ති අවශ්‍යතා මත පදනම් වූ උපකල්පනයන් සමූහයක් සැඟව ඇත. සෑම සමාජ ප්‍රශ්නයක දී ම මූල්‍ය ප්‍රභූවේ ධනසම්පත් හා වරප්‍රසාද අනුල්ලංඝනීය බව සැලකෙන අතර මිලියන ගනනකගේ ජීවනෝපායට අත්‍යාවශ්‍ය වන සමාජ වැඩ සටහන් වියදම්කාරී සුඛෝපභෝගී දේ ලෙස සැලකේ.

විශේෂයෙන් ම සෞඛ්‍යාරක්ෂක පිරිවැය අයවැය හිඟයේ විශාලත ම හේතුව බව පවසන්නේ, බැංකුවලට ඩොලර් ට්‍රිලියන ගනනාවක් සපයා ඇති ජනාධිපතියෙකු විසින්ය. එක්සත් ජනපදය තුල පොහොසත් ම පුද්ගලයන් 400 දෙනාට අයිති ඩොලර් ට්‍රිලියන 1.7 සමාජ හිමිකම්වල ඕනෑ ම හිඟයක් පියවීමට පමනක් නො ව අවුරුදු දෙකකට වැඩි කාලයක් සඳහා සමාජ ආරක්ෂන වියදම් සඳහා ද සම්පූර්නයෙන් ප්‍රමානවත් ය. විශාල වශයෙන් ඔබාමා පාලනයේ ප්‍රතිපත්තිවලට පින්සිදු වන්නට පසුගිය අවුරුදු තුන තුල සමාජ අසමානතාව ඉහල නැග ඇත.

සමස්ත ෆෙඩරල් අයවැයෙන් පහෙන් එකක්, ලෝකය පුරා රටවල මිනිසුන් මැරීමට හා ත්‍රස්ත කිරීමට යොදාගන්නා මිලිටරි යන්ත්‍රනයේ වියදම් මගින් කාබාසීනියා කරනු ලැබේ. "මව්බිමේ ආරක්ෂාව” හා සම්බන්ධ අයිතමයන් ද ඇතුලත් කරන්නේ නම් එක්සත් ජනපද ආන්ඩුව සෑම වසරක ම විදේශයන්හි පුද්ගලයන් ඝාතනය කිරීමේ හා රට තුල මහජනයාගේ ඔත්තු බැලීමේ හොඳ ම මාර්ගය නීර්නය කිරීම සඳහා වසරකට ඩොලර් ට්‍රිලියනයකට වඩා යොදවයි.

මේ අතර, එක්සත් ජනපද සංගත, ජර්මනියේ දල ජාතික නිෂ්පාදනයට වඩා විශාල, ඩොලර් ට්‍රිලියන 5ක මුදල් කන්දක් මත වාඩි වී සිටින අතර ඔවුහු ඒවා ආයෝජනය කිරීම ප්‍රතික්ෂේප කරති.

අති මූලික ප්‍රශ්නය නම්, සමාජ අසමානතාවය සඳහා විසඳුම් සොයන්නේ නැතිව විසඳිය හැකි ගැටලුවක් ඇමරිකානු සමාජය තුල නැති කමයි. තවමත් දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයන්, එන්ට එන්ටම අමාරුවෙන් වසන් කිරීමට උත්සාහ ගන්නේ පන්ති ගැටුම යි.

මෙම උත්සාහයේ දී තීරනාත්මක කාර්ය භාරයක් ඉටු කරන්නේ ඔබාමාගේ නැවත පත්වීමට ආ වැඩූ එම පාලනයේ වාම විවේචකයින් ය. පන්ති ප්‍රශ්න වසං කිරීමට හා අන්ත ප්‍රතිගාමී ආන්ඩුවක් සඳහා සහයෝගය යුක්ති සහගත කිරීමට, වර්ගය, ලිංගිකත්වය, වාර්ගිකත්වය හා ලිංගික දිශානතිය වැනි අනන්‍යතා දේශපාලන‍ෙය් විවිධාකාර හැඩතල හඳුන්වා ‍දෙයි.

මෙම සතියේ "බදු ආදායම් ප්‍රපාතය” පිලිබඳ සාකච්ඡාව ආරම්භ කරමින් ඔබාමා, වෘත්තීය සමිති නායකයින් කන්ඩායමක් හා ලිබරල් "වම්මුන්ගේ” නියෝජිතයන් සමග රැස්වීම් සඳහා ලක ලෑස්ති විය. ඒවා ප්‍රගතිශිලී ප්‍රතිසංස්කරන ලෙස හෝ රිපබ්ලිකානු මුරන්ඩුකම් හමුවේ කෙසේ හෝ අත්‍යාවශ්‍ය යයි ඉදිරිපත් කරන මෙම පුද්ගලයන් සමාජ ආරක්ෂාව, වෛද්‍ය ආරක්ෂාව හා වෛද්‍ය ආධාර කප්පාදු පොදු ජනතාවට තොරොම්බල් කිරීම සඳහා නැතිව ම බැරි වනු ඇත.

මිලියන ගනනාවක් පුද්ගලයන් අනාථ බවට ඇද දමන මෙම අත්තනෝමතික කප්පාදු ප්‍රතිපත්තියට එරෙහිව කම්කරු පන්තිය තමන්ගේ ම අධිෂ්ඨානශීලී ප්‍රතිපත්තියකින් ප්‍රතිචාර දැක් විය යුතු ය.

කම්කරු පන්තිය සඳහා වන ක්‍රියාමාර්ගයක් පිලිබඳ සාකච්ඡාව ඇරඹිය යුත්තේ, පවතින සමස්ත රාමුවු ම ප්‍රතික්ෂේප කිරීම සමග ය. එය, කැපිය යුත්තේ කුමක්ද යන්න නොව, සියල්ලන්ගේ ම මූලික සමාජ අයිතීන්, එනම් ඉහල ම ගුනාත්මක සෞඛ්‍ය ආරක්ෂාව, සුරක්ෂිත විශ්‍රාම ක්‍රමයක්, යහපත් අධ්‍යාපනයක් හා සාධාරන වැටුප් ගෙවන රැකියාවක් සහතික කිරීමට කල යුත්තේ කුමක් ද යන්න පිලිබඳ ප්‍රශ්නයකි.

කෙසේ නමුත් මෙම අයිතීන්, ප්‍රධාන පක්ෂ දෙකේ ප්‍රතිපත්ති සමග පමනක් නො ව ඒවා නියෝජනය කරන පාලක පන්තිය හා ඒවා ආරක්ෂා කරන සමාජ ව්‍යුහය, එනම් ධනවාදය සමග නො පෑහේ.

අතීත පරම්පරාවන්ගේ ජයග්‍රහන රැක ගැනීමට හා ජනතාවගේ සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීමට ඇති එක ම මග පන්ති අරගලය යි. සෑම රටක් තුල ම පාලක පන්තිය කම්කරු පන්තියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර ඇති අතර සිය අභිවෘද්ධිය වෙනුවෙන් ජනතාව දරිද්‍රතාවට තල්ලු කිරීමට අධිෂ්ඨාන සහගත ය. කම්කරු පන්තිය ආපසු සටන් කල යුතු ය, සටන් කරනු ඇත.

පාලක පන්තිය එයට විරුද්ධ වනු ඇතුවාක් මෙන්ම ව්‍යාජ වම්මුන් එය මැඩපැවත්වීමට උත්සාහ ගනු ඇති අතර පන්ති අරගලය යටපත් කල නොහැකි තර්කයක් සමග ක්‍රියාත්මක වේ. සමාජවාදය සමගින් ධනවාදය අහෝසි කිරීම මගින් සමාජයේ සියල්ල විප්ලවවාදීව පරිවර්තනය කිරීම හරහා මිස කම්කරු පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කල නොහැක.එහෙත් පන්ති අරගලය දේශපාලන අරගලයක් විය යුතු ය. එහි අවශ්‍යතා සඳහා සටන් කිරීම සඳහා කම්කරු පන්තියට තමන්ගේම දේශපාලන පක්ෂයක් අවශ්‍ය ය. 2012 මැතිවරන හා ඒවායේ පසු විපාක මිලියන ගනනාවක් කම්කරුවන්ගේ හා තරුනයන්ගේ සිත් තුල මෙම වැටහීම ස්ථාපිත කිරීමට උදව් කරනවා ඇත.

එහෙත් පන්ති අරගලය දේශපාලන අරගලයක් විය යුතු ය. එහි අවශ්‍යතා සඳහා සටන් කිරීම සඳහා කම්කරු පන්තියට තමන්ගේම දේශපාලන පක්ෂයක් අවශ්‍ය ය. 2012 මැතිවරන හා ඒවායේ පසු විපාක මිලියන ගනනාවක් කම්කරුවන්ගේ හා තරුනයන්ගේ සිත් තුල මෙම වැටහීම ස්ථාපිත කිරීමට උදව් කරනවා ඇත.

Share this article: