ගාසා සංහාරය නතර කරනු!

Stop the massacre in Gaza!

20 November 2012

දැන් දෙවන සතියට එලඹ ඇති ගාසා තීරයට එරෙහි ඊස්රායල් ප්‍රහාරයෙන් පිරමි, ගැහැනු හා ලමුන් ඇතුලු පලස්තීන සිවිල් වැසියන් සිය ගනනක් මියගොස් හා තුවාල ලබා ඇත. බොහෝකොටම අනාරක්ෂිත හා දරුනු ලෙස පීඩාවට පත්ව සිටින ජනතාව ගුවන්, ගොඩබිම් හා මුහුදින් එල්ල කරන අනවරත බෝම්බ ප්‍රහාරයන්ට ගොදුරුවී සිටිති. දැනටමත් ගරාවැටී තිබෙන ප්‍රදේශයේ යටිතල ව්‍යුහය සුන්බුන් බවට පත්කර ඇත.

ඉලක්ක කෙරුනු ස්ථාන අතර පාසැල්, ආන්ඩුවේ කාර්යාල, හා ජාත්‍යන්තර මාධ්‍ය නිවහනක් සහිත ගොඩනැගිල්ලක් ද විය. ගාසාහි වෙලෙන්දෙකුගේ මුලු පවුලම 18දා එල්ල කල මිසයිල් ප්‍රහාරයකින් ඝාතනයට ලක් විය. අවුරුදු එකේ සිට හත දක්වා වයස් ඛාන්ඩයන්ට අයත් ලමුන් සිව් දෙනෙක්, එක් අයෙක් අවුරුදු 83ක් වන කාන්තාවක් ද ඇතුලු ගැහැනුන් සිව් දෙනෙක් ද ඒ අතර වෙති.

වැඩි හරියක් සිවිල් වැසියන් වූ, ගාසාවේ 1,400ක් මරා දැමුනු 2008-09 වසරවල ගොඩබිම් ආක්‍රමනය යලි පනගැන්වීමේ සූදානම තුල ඊස්රායල් ආන්ඩුව, ගාසා දේශසීමාවේ යුද ටැංකි ස්ථානගතකර, 75,000ක සංචිත සෙබලුන් බලමුලු ගැන්වීමට බලය පවරා ඇත.

මෙම යුද අපරාධ ලෝකය පුරා ජනතාවගේ දෑස් හමුවේ බිහිසුනු ලෙස දිගහැරෙද්දී, ප්‍රහාරය යුක්තිසහගත කිරීම පිනිස ඊස්රායල් නායකත්වය, ඔබාමා පාලනය හා ව්‍යාපාරික මාධ්‍ය විසින් ඔසවනු ලබන්නේ "ආත්මාරක්ෂක අයිතිය” යි.

තායිලන්තයේ බැංකොක් නුවරදී ඔබාමා මේ තේමාව හඬනංවමින් 18දා මාධ්‍ය හමුවකට සහභාගී විය. "වත්මන් අර්බුදයට තුඩුදෙන සිදුවීම් වේගවත් කරනු ලැබුවේ, පෙර නොවූ විරූ තරමේ මිසයිල් සංඛ්‍යාවක් ඊස්රායල් ප්‍රදේශවල ජනාකීර්න ස්ථාන වෙත පතිතවීම බව අපි වටහාගත යුත්තෙමු. සිය දේශසීමාවන්ගෙන් පිටත සිට තම ජනතාව වෙත මිසයිල වර්ෂාවක් පතිතවනු ඉවසා සිටින රටක් මේ මිහිතලය මත තිබිය නොහැකිය. සිවිල් වැසියන් මියයාමේ විභවයකින් යුත් මිසයිල් මිනිසුන්ගේ ගෙවල්, වඩපලවල් මත පතිතවීමෙන් ආරක්ෂාවී ගැනීමට ඊස්රායලයට ඇති අයිතිය වෙනුවෙන් අපි සම්පූර්න සහයෝගය දෙන්නෙමු. අපි ඉදිරියටත් ඊස්රායලයේ ආත්මාරක්ෂක අයිතියට සහාය දෙන්නෙමු.”

එක්සත් ජනපදය හා එහි සහචර ඊස්රායලය විසින් සිදුකර ඇති සෑම අපරාධයකදීම මෙන්ම ගාසාවේ දැන් සිදුවන දෙය ද ඔතා ඇත්තේ බොරුව, නරුමත්වය හා කුහකත්වයෙනි.

ඊස්රායලය එහි අලුත්ම බෝම්බ දැමීම් සිදුකරන්නේ, "පෙර නොවූ විරූ තරමේ මිසයිල් සංඛ්‍යාවක්” සඳහා ප්‍රතිචාර වශයෙන් යයි කීම අමූලික බොරුවකි. ගාසාවේ වත්මන් ජනසංහාරයට පෙරාතු වසර පුරාම පලස්තීන වැයික්කියෙන් එල්ල වූ මිසයිලයකින් එකදු ඊස්රායල් වැසියෙක්වත් මියගියේ නැත. ඊස්රායල් ප්‍රහාරයන්ට පූර්ව දිනවලදී ලමුන් ද ඇතුලු සිවිල් වැසියන් ගනනාවක් මරාදමමින් ගාසාවට යලි යලිත් සිදුකල ඊස්රායල් කඩාවැදීම් මගින් ඉක්මන් කල රොකට් ප්‍රහාර කෙටි වැඩිවීමකින් පසුව පසුබැස ගිය බව එරට මාධ්‍ය වාර්තා කලේය.

ඊස්රායලය හා හමාස් නායකත්වය ඊජිප්තුව විසින් කපුකම් කල දිගු කාලීන සටන් විරාමයක් ගැන සාකච්ඡාවන්හි නිරතවූහ. මෙම සාකච්ඡාවන්හි අතරමැදියා ලෙස කටයුතු කල ප්‍රධාන පලස්තීනුවා, හමාස් මිලිටරි අංශයේ ප්‍රධානී අහමඩ් ජබාරිය. එකඟතාවයේ කෙටුම්පත ඔහු අතට පත්වීමෙන් පැය කිහිපයක් ගතවීමටත් මත්තෙන් ඊස්රායලයේ කුප්‍රකට "ඉලක්ක කල ඝාතන” පියවරක් අනුව නොවැම්බර් 14දා හෙල්ෆයර් මිසයිල් ප්‍රහාරයක් ඔහුට එල්ල විය.

ආරක්ෂක කුලුන්න යන මෙහෙයුමේ විවෘත ක්‍රියාවක්වූ මෙම අත්තනෝමතික ඝාතනය හිතාමතා සිදුකල ප්‍රකෝපකරනයකි. එය "ආත්මාරක්ෂාව” පිලිබඳ කාරනයක් නොවූ අතර ලෝකයේ අතිශයින්ම දුප්පත් ජනතාවකට එරෙහිව ලෝකයේ සිටින හිසේ පටන් දෙපතුලටම සන්නද්ධ ජාතියක් විසින් සිදුකල නග්න ප්‍රචන්ඩත්වයකි.

සැම අවස්ථාවකදී මෙන්ම මෙහිදී ද ඔබාමා, පීඩාවට පත්වූ අයට එරෙහිව පීඩකයාගේ ආරක්ෂාව පිනිස ඉදිරිපත් වෙයි. ඔහු, රොකට් ප්‍රහාර ඉවසා සිටින "කිසිදු රටක් මිහිතලය මත නැතැයි” යන ඊස්රායල් තන්ත්‍රයේ අතොරක් නැති කථා ගිරවෙකු මෙන් දොඩවන නමුත් ගාසා වැසියන් මත පටවා ඇති කොන්දේසි, එනම්, ඊස්රායල් ආරක්ෂක හමුදාවන්ගේ නිරන්තර ප්‍රහාරයන්ට මුහුනපෑමට බලකෙරී ඇති, කියා නිමකල නොහැකි දුක්පීඩා හා සාගින්න කඩාපාත් කරමින් පනවා ඇති සම්බාධකයන්ට මුහුනපා සිටින, ලෝකයේ ලොකුම එලිමහන් සිරකදවුරකට කොටුකර සිටින, බොහොමයක් දෙනා සිය නිවෙස්වලින් හා ගම්බිම් වලින් ප්‍රචන්ඩ ලෙස පලවාහැර ඇති මිලියන 1.7 ක් වන ජනතාව ගැන කිසිවක් කතා නොකරයි.

පලස්තීනුවන්ගේ ජීවිත හානි පිලිබඳව දක්වන නොතැකීම, විශේෂයෙන්ම එක්සත් ජනපද ආන්ඩුවේ හා මාධ්‍යයේ පාර්ශවයෙන්, තැතිගන්වන සුලු නමුත් දැන් එය මවිතයට කාරනයක් නොවේ. බෝම්බ හා මිසයිල් මගින් ගාසා වැසියන් ඝාතනය කිරීම දිගටම පැවතීමේ අන්තරායට වඩා ඊස්රායල් වරුන්ගේ ජීවිත හානි පිලිබඳ බරපතල තර්ජනයක් ගැන අනතුරු අඟවමින් ඔබාමා, ඊස්රායලය ගොඩබිම් ආක්‍රමනයක නොයෙදෙනු ඇති බවට බලාපොරොත්තු පලකරයි.

ගාසාවේ දැන් රුධිරස්නානය කෙරීගෙන යන්නේ, යන්තම් සැතපුම් 100කට නුදුරින් සිරියාව තුල අඛන්ඩ සිවිල් යුද්ධයක් එක්සත් ජනපදයේ පිටුබලය සහිතව පවතින තතු තුලය. ගාසාවේදී මෙන්ම සිරියාවේදී ද සිවිල් වැසියන්ගේ මරන පිලිබඳව මාධ්‍ය වෙතින් කිසිදු අනුකම්පාවක් පල නොවීම පෙන්නුම් කරන්නේ, පාලන තන්ත්‍ර වෙනසක් සඳහා ගෙනයන යටත් විජිත වර්ගයේ මැදිහත්වීමක් සඳහා ඔවුන් පුදකරන සේවයයි. බටහිර කිසිවෙකුත් සිවිල් වැසියන් මරාදැමීම හෝ ඊස්රායලය තුල පියාසර තහනම් කලාප හෝ මානවවාදී මංපෙත් ඇටවීම මුල්කරගෙන නෙතන්යාහු බලයෙන් පහකරන ලෙස කියා සිටින්නේ නැත. ඒ වෙනුවට අතිශයින්ම කුරිරු අපරාධ කරගෙන යාමට ටෙල් අවිව් වෙත නිදහස් වරපත්‍රයක් දී ඇත.

ගාසා සංහාරය මෙහෙයවනු ලබන්නේ එහි සිට එල්ල කරන බලපෑමෙන් තොර රොකට්ටු පිලිබඳ තර්ජනයක් පැවතීම නිසා නොවේ. ඒ වෙනුවට ඊස්රායලයේ අභිප්‍රේරනය වන්නේ තම රටට සමීප තවත් වැයික්කියක් සපයා ගැනීමයි.

ගාසාවට එල්ල කරන ප්‍රහාරයේ අරමුන, ඉරානයට එරෙහිව ඊස්රායලය මෙන්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ද මැදිහත්වන තවත් විශාල යුද්ධයකට සූදානම් වීමයි. ඉරානයට පහර දීමකදී ගාසාවෙන් පැනනැඟෙන විරෝධයක් අකර්මන්‍ය කරන අතරතුර ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ කුමන හෝ සාකච්ඡාමය විසඳුමක විභවය පීලිපැන්නවීමේ මාධ්‍යයක් ලෙස සිය අක්‍රමනකාරී පියවර ප්‍රයෝජනවත් යයි ටෙල් අවිව් ගනන් බලයි.

ඒ සමග ම, ඊස්රායලය මෙන්ම සමස්ත සියොන්වාදී ව්‍යාපෘතියම වෙලාගෙන ඇති වර්ධනය වන අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා මගින් යුද්ධය වෙත හැරීම සඳහා තල්ලුව සපයයි. පසුගිය යුද්ධය මෙන්ම මෙය ද ජනවාරියේ පැවැත්වීමට නියමිත ඊස්රායල් මැතිවරනය ආසන්නයේ දියත්කර තිබෙන බව බොහෝ දෙනෙක් හඳුනාගෙන තිබේ.

පවතින ආන්ඩුව පිටුපස මහජන සහයෝගය බලහත්කාරයෙන් පෙලගස්වා ගැනීමේ මාධ්‍යයන්, මිලිටරිවාදය මගින් සම්පාදනය කරනු ලබන බව සත්‍යයකි. කෙසේ වෙතත් ඊස්රායල් ප්‍රශ්නයේදී රටතුල සමාජ ගැටුම වෙතින් අවධානය වෙනතක හැරවීමේදී එය වඩා වැදගත් ක්‍රියාකලාපයක් ඉටුකරයි.

ඊස්රායලය අද දිනයේ මිහිපිට ඇති වඩාත්ම සමාජ අසමානාවයෙන් යුත් රටකි. මෑතක පලවූ වාර්තාවකින් පෙන්වා දෙන්නේ, ඊස්රායල් ජාතිකයින් සම්පූර්න තුනෙන් එකක් හා ලමුන්ගෙන් සියයට හතලිහක් දුගී භාවයට ඇද වැටීමේ අවදානමට මුහුනපා සිටින බවයි. අනෙක් අතට ජනගහනයේ දශලක්ෂපති හා ප්‍රකෝටිපති තුනී පැලැන්තියක් සමාජ ධනයෙන් වඩාත් විශාල පංගුවක ඒකාධිකාරය දරයි.

නෙතන්යාහු ආන්ඩුව දක්ෂිනාංශික හා නිගාමී ආර්ථික හා සමාජ පිලිවෙත් පනවද්දී, සමාජ කොන්කිරීම හා අසමානතාවය රට පුරා මහජන විරෝධතා පෙලපාලි පැනැඟීමට තුඩුදුන්නේය.

මිලිටරිවාදී හා යුදමය විකල්පය මගින් සමාජ නොසංසුන්තා යටපත් කිරීමට දරන උත්සාහය පැනනඟින්නේ එන්ටම එන්ටම ෆැසිස්ට්වාදී හා පිලිකුල් සහගත සවරූපයකිනි. එබැවින් හිටපු අගමැති ඒරියල් ෂැරෝන්ගේ පුත් ගිල්ඩ් ෂැරෝන් ජෙරුසලම් පෝස්ට් පුවත්පත් තීරුවක මෙසේ තර්ක කරයි. "අපට ගාසාවේ සමස්ත ජනාවාසයන්ම සමලා කිරීමට අවශ්‍යය. ඇමරිකානුන් හිරෝෂීමාවෙන් නතර නොවීය. ඔවුන් නාගසාකියට ද පහර දුන්නේය. ගාසාවේ විදුලි බලය, ඉන්ධන හෝ ගමන් ගන්නා වාහන නොතිබිය යුතුය.”

මෙම උඩුබුරලැම කිසිසේත් තනි සිද්ධියක් නොවීය. ඊස්රායල් අභ්‍යන්තර කටයුතු ඇමති එලි යිෂායි මාධ්‍ය වෙත පැවසුවේ මෙසේය. "අපි ගාසාව මධ්‍යකාලීන යුගයට ඇද දැමිය යුතුය. පාරවල් හා ජලය ඇතුලු සියලු යටිතල ව්‍යුහයන් විනාශ කල යුතුය.”

සියොන්වාදියෝ, පලස්තීනුවන් මිලියනයක් පමන වාර්ගික පවිත්‍රකරනයට ලක් කරමින් නාසි ප්‍රචන්ඩත්වයට එරෙහිව යුදෙව් සරනාගතයින් සඳහා බව පවසමින් ඊස්රායල් රාජ්‍යය නිර්මානය කිරීම යුක්තිසහගත කරති. අද මෙම රට තුල යමෙකුට ඇසෙන්නේ හිට්ලර්ගේ හා ගොබෙල්ස්ගේ දෝංකාරයයි.

මෙම ෆැසිස්ට්වාදී ප්‍රතිපත්ති වාඩිලාගත් ප්‍රදේශවල පලස්තීනුවන්ට පමනක් නොව ඊස්රායලය තුලම කම්කරු පන්තියට හා පීඩිතයින්ට එරෙහිව ද හරවනු ඇත. අප්‍රිකානු සංක්‍රමනිකයින්ට එරෙහි වාර්ගික ප්‍රහාර ලෙස මෙය දැනටමත් ආරම්භ වී ඇත.

වොෂින්ටනයේ පිටුබලය ඇතිව ඊස්රායල් මිලිටරිය අලුතින්ම පටන්ගත් පලස්තීන සංහාරය මත පැනනැඟී ඇති ජාත්‍යන්තර ප්‍රතිරෝධය, ඊස්රායලය තුලම පන්ති විඥානයෙන් යුත් කම්කරුවන් හා බුද්ධිමතුන් සැලකිය යුතු කොටසක් විසින් ද දරනු නිසැක ය.

අවසාන විග්‍රහයේදී, මැද පෙරදිග ලේවැකි අර්බුදයෙන් ගොඩයාමේ එකම ප්‍රගතිශීලී මාවත වැටී ඇත්තේ, මැද පෙරදිග සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා අරගලයේ පදනම මත සියොන්වාදය, අධිරාජ්‍යවාදය හා අරාබි ධනේශ්වරයට එරෙහි පොදු අරගලයක් තුල ඊස්රායල් මෙන්ම අරාබි කම්කරු පන්තියේ ඒකාබද්ධ බලමුලුගැන්වීම තුල පමනි.

බිල් වෑන් ඕකන්

Share this article: