ඊජිප්තුව තුල ඉදිරි මාවත

The way forward in Egypt

26 November 2012

ඊජිප්තු ජනපති මොහොමඩ් මුර්සිගේ ව්‍යවස්ථාමය නිවේදනය, එනම් සියලු ම නීතිමය, ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරන බලතල සන්තක කරගැනීම--කම්කරු පන්තිය ඉදිරියේ ඇති දේශපාලන ඉදිරි දර්ශනය පිලිබඳ මූලික ප‍්‍රශ්න ඉස්මත්තට ගෙන එයි.

මුස්ලිම් සහෝදරත්වයේ (එම්බී) සභාපති පසුගිය සතියේ සඳහන් කලේ, "විප්ලවය සුරක්ෂිත කිරීම හා ජාතික සමගිය හෝ ජාතික ආරක්ෂාව පවත්වා ගැනීම පිනිස ඕනෑම පියවරක් ගැනීමේ” අති විශේෂි බලතල තමන් සතු බවයි. "විප්ලවය” සුරක්ෂිත කිරීම පිලිබඳ ඔහුගේ සඳහන වංචාවකි. මුර්සිගේ පියවරවල මූලික ඉලක්කය කම්කරු පන්තිය යි. තවද ඔහු එක්සත් ජනපදය සමග සමීප සන්ධානයකින් ඊජිප්තුවේ ධනේශ්වර පාලනය සුරක්ෂිත කරගැනීමේ උත්සාහයෙන් වඩාත් දුර දිග යන ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ක‍්‍රමෝපායන් ශක්තිමත් කරමින් සිටී.

එම්බීයේ නව විධානවලට පැරැනි රාජ්‍ය යන්ත‍්‍රයේ කොටස් විරුද්ධත්වය පලකිරීමත් සමග මුර්සිගේ ක‍්‍රියාපිලිවෙත් මගින් ඊජිප්තු රාජ්‍යයේ පවතින ගැඹුරු පැලීම් එලිමහනට ගෙනවිත් තිබේ. බලයෙන් පහකල ආඥාදායක හොස්නි මුබාරක්ගේ ස්ථානය ගැනීමට මුස්ලිම් සහෝදරත්වය සමග එක් කලෙක තරග වැදුන මුහම්මඩ් අල්-බෙරාඩි, ජනාධිපතිගේ කි‍්‍රයාවන් සම්බන්ධයෙන් පලල්ව පැතිරුන ජනතා වෛරය ගසා කෑම සඳහා මුර්සි විවේචනය කලේ "නව පාරාවරයෙක්” වසයෙන් හඳුන්වමිනි. කෙසේවෙතත්, කම්කරු පන්තිය සම්බන්ධයෙන් ගත් කල ධනේශ්වර සංස්ථාපිතයේ එකදු කන්ඩායමක්වත් ඉදිරිමාවතක් සම්පාදනය කරන්නේ නැත.

මුර්සිගේ ක‍්‍රියාපිලිවෙත්, ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායයේ මූලික ඉදිරි දර්ශනය තහවුරු කරයි: එනම්, අධිරාජ්‍යවාදයෙන් නිදහස අත්කර ගැනීම ද ඇතුලු ප‍්‍රජාතන්ත‍්‍රික විප්ලවයේ කර්තව්‍යයන් සමාජවාදී විප්ලවයක් තුලින් කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමෙන් පරිබාහිරව විසඳාගත නොහැකි බවයි.

මුර්සිගේ පිලිවෙත් සැලකිය යුතු මහජන විරෝධතා පුපුරාවා හැරි අතර තහ්රිර් චතුරස‍්‍රයේ පැවැති විරෝධතා මුබාරක්ට එරෙහිව 2011 ජනවාරි මස පැවැති ආරම්භක විප්ලවවාදී අරගල සිහිපත් කලේ ය. හඬදුන් වඩාත්ම ජනප‍්‍රිය සටන්පාඨය වූයේ "හෙලනු, හෙලනු, මුර්සි-මුබාරක්” යන්නයි.

කෙසේ නමුත්, සියල්ලටමත් වඩා අත්‍යවශ්‍යව පවතින්නේ, ඊජිප්තු විප්ලවයේ මේ දක්වා අත්දැකීම් පිලිබඳ පැහැදිලි තක්සේරුවක් ඇති කර ගැනීම යි. පසුගිය වසරේ විප්ලවවාදී නැගිටීම මුබාරක් බලයෙන් පහකිරීමෙන් සාර්ථක කර ගැනිනි, එහෙත් එම නැගිටීම, ඊජිප්තු මහජනතාව මුහුන දෙන අතිමූලික ප‍්‍රශ්න එකකුදු විසඳුවේ නැත. කම්කරු පන්තියේ නායකත්වය හා ස්වාධීන ඉදිරිදර්ශනයක් නොපැවැතීම යන කරුන මුර්සි බලයට වැඩම්මවීමට ඊජිප්තු ධනේශ්වරයට ඉඩ අවකාශ සලසා දුන්නා සේ ම එහි මූලික පිලිවෙත්, එනම් කම්කරුවන් ආන්තික ලෙස සූරාකෑම, ඇමෙරිකානු අධිරාජ්‍යවාදය සමග එක්ව වැඩ කිරීම හා ආඥාදායක පාලනය පවත්වා ගැනීමට ද ඉඩ අවකාශය සලසා දුනි.

ඊජිප්තුවේ ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී පිටු බලය දෙන්නා වන එක්සත් ජනපදයේ කාර්යභාරය කේන්ද්‍රීය කාරනාව ලෙස පවතී. මුර්සිගේ ආඥා ප‍්‍රකාශයට පත්කල කාලය අහම්බයක් නොවේ. ගාසා තීරයට ඊස්රායලයේ ම්ලේච්ඡ ප‍්‍රහාරය එල්ල කිරීමේ දී ඔහුගේ භූමිකාව වෙනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ස්තුති කිරීමෙන් අනතුරුව මුර්සිගේ බලතල අත්කරගැනීම පිලිබඳ නිවේදනය එලිමහනට ආවේ ය. ගාසා තීරයේ සිවිල් වැසියන් මත රොකට් ප‍්‍රහාර වැසි වට්ටන අවස්ථාවේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ කදිම ආවතේවකරුවෙක් ලෙස මුර්සි ඉදිරියට අවේ ය. ගාසා තීරයට පනවා ඇති සම්බාධක දැඩි කිරීමත්, වොෂිංටනය හා ටෙල් අවිව් සමග ඔහුගේ සබඳතා ගැඹුරු කිරීමටත් ඔහු සපථ කලේ ය.

අවම වසයෙන් මෑත දිනයන් සඳහාවත්, ඔබාමා පාලානාධිකාරිය මුස්ලිම් සහෝදරත්වය සලකනු ලබන්නේ බසාර් අල්-අසාද් පාලනයට විරුද්ධව සිරියාව තුල ගෙන යන අධිරාජ්‍යවාදී-පිටුබලැති සිවිල් යුද්ධය හා ඉරානයට එරෙහිව යුද්ධයක් දියත් කිරීමේ සැලසුම් ද ඇතුලු මැදපෙරදිග එහි සමස්ත මූලෝපායේ ප‍්‍රමුඛ සගයෙක් ලෙසිනි.

එසේම, දැඩි කම්කරු පන්ති-විරෝධී පිලිවෙත් ක‍්‍රියාත්මක කරවා ගැනීමට මූල්‍ය ප‍්‍රභූව මුර්සි මත රැඳී සිටී. පසුගිය 22 වෙනි දින මුර්සි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ)-- මෙය දැන් ඊජිප්ත්තුවේ සිට මධ්‍යධරනී කලාපය හරහා ග‍්‍රීක කම්කරු පන්තිය ද ම්ලේච්ඡ ලෙස දරිද්‍රතාවේ ගිල්ලවමින් තිබේ-- ලබා ගත් ඩොලර් බිලියන 4.8ක නය, ඊජිප්තු කම්කරුවන්ට එරෙහිව එල්ල කිරීමට නියමිත ව්‍යසනකාරී කප්පාදු පිලිවෙත් පිලිබඳව පෙර ඇඟවුම් කරයි. 21 වෙනි දින පලමු ඉන්ධන සහනාධාර කප්පාදුවට මුර්සිගේ අනුමැතිය ලැබින.

ෆිනෑන්සියල් ටයිම්ස් පුවත්පත විසින්, ඇමරිකානු පාලක පන්තියේ තීරනාත්මක මනෝගතීන් ප‍්‍රකාශ කල "කයිරෝවේ පදනම් වූ- නිර්නාමික බටහිර විමර්ශකයෙක්” උපුටා දැක්වීය. "අභ්‍යන්තර දේශපාලන ගැටුම් කපා ගෙන යා හැකි සහ ගෝලීය බැංකු හා මූල්‍යමය ආයතන ඉල්ලා සිටින තීන්දු-- ගැනීමට හැකි කෙනෙක් ඕනෑකර තිබේ.”

මුර්සි විසින් ආඥාදායක බලතල අත්කර ගැනීම, ඊනියා-වාම කන්ඩායම්වල, එනම් ඊජිප්තු විප්ලවවාදී සමාජවාදීන් හා ඔවුන්ගේ ජාත්‍යන්තර සගයන්, එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයේ (අයිඑස්ඕ) හා බි‍්‍රතාන්‍ය සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) වැනි සංවිධානයන්හි ප‍්‍රති-විප්ලවාදී භූමිකාව නිරුවත් කර තිබේ. මුබාරක් නෙරපීමෙන් අනතුරුව බලය ඩැහගත් මිලිටරි ජුන්ටාව තවතවත් ප‍්‍රතිසංස්කරන සඳහා පීඩන යෙදිය හැකිය යන්න කියා පෑමෙන් අනතුරුව ඔවුහු විප්ලවයේ කර්තව්‍යයන් ඉෂ්ට කිරීමට ඔහු පටන් ගනු ඇතියි කියමින් මුරුසි තෝරාපත් කරගැනීමට පිටුබලය දුන්හ.

මුර්සිගේ ජයග‍්‍රහනය "මෙම ප‍්‍රතිවිප්ලවය ආපසු හරවා යැවීමේදී හා මෙම කුමන්ත‍්‍රනය පිටුපසට තල්ලු කිරීමේදී විශිෂ්ට ජයග‍්‍රහනයක්" යැයි සඳහන් කල ආර්එස්හි ප‍්‍රමුඛ නායකයෙක් වන සමෙහ් නැගිබ්ගේ වාර්තාවක් පසුගිය ජූලි මාසයේදී අයිඑස්ඕවේ සෝශලිස්ට්වර්කර්. ඕර්ග් විසින් පල කලේ ය.

එලෙසින් ම මෙම කන්ඩායම්, එක්සත් ජනපද-පිටුබලැති පාලන තන්ත‍්‍රයන් ලිබියාවේ හා සිරියාව තුල ඇටවීමේ අරමුනින් දියත් කර ඇති වෙස්වලාගත් යුද්ධ ගෙන යාමට දක්ෂිනාංශික ඉස්ලාම්වාදී බලවේග හා මැදපෙරදිග තුල එහි සාම්ප‍්‍රදායික සගයන් සමග එක්ව වොෂිංටනයේ හවුල සඳහා කවරයක් සම්පාදනය කලේ ය. මෙය, ඉරානයට එරෙහි එක්සත් ජනපදයේ ශක්‍ය යුද ආක‍්‍රමනයක් කේන්ද්‍ර කරගත් කලාපීය මිලිටරි ගිනි ඇවිලවීමක් සඳහා වේදිකාව සකසා දී ඇත.

සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජ අයිතීන් උදෙසා සමාජවාදී විප්ලවය සඳහා අරගලයෙන් පිටත මාවතක් ඇත්තේ නැත. කම්කරු පන්තිය සියලුම ධනේශ්වර බලවේගවලින් ස්වාධීනව එහි සටන සංවිධානය කල යුතු අතර ධනේශ්වර ක‍්‍රමය පෙරලා දමා රාජ්‍ය බලය අත්කර ගත යුතුය. මෙය නියත ලෙස ම බැඳී ඇත්තේ, අධිරාජ්‍යවාදය හා සමස්ථ කලාපය පුරා එහි ලේවැකි යුද ධාවනයට එරෙහිව ඊශ‍්‍රායලයේ, අරාබි ලෝකයේ හා ජාත්‍යන්තරව ම කම්කරුවන් සමග ඒකාබද්ධ වූ පොදු අරගලයක් සමග ය.

ඊජිප්තුවේ වත්මන් අරගලය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉදිරි දර්ශනය සනාථ කරයි. මුබාරක්ගේ ඇදවැටීමෙන් අනතුරුව අපි මෙසේ ලීවෙමු. "මුබාරක් පාලන තන්ත‍්‍රයේ නොනැසී පවත්නා කොටස් කම්කරුවන්ගේ ආන්ඩුවකින් පෙරලා දැමීම හා විස්ථාපනය කිරීමට සටන් වදිනු පිනිස කම්කරු පන්තිය මත පදනම් වූ, අරගලයේ මහජන සංවිධාන ගොඩනැගීම කම්කරු පන්තිය මුහුන දී සිටින කේන්ද්‍රීය කර්තව්‍යය යි. මෙම විප්ලවයේ ජයග‍්‍රහනය රැඳී ඇත්තේ, සමස්ථ මැදපෙරදිග කලාපයේත් දියුනු ධනපති රටවල්වලත් ඔවුන්ගේ පන්ති සහෝදරයින් හා සහෝදරියන් සමග ඊජිප්තු කම්කරුවන් ඒකාබද්ධ කරමින් ඊජිප්තුවෙන් පිටත එය ප‍්‍රසාරනය කිරීම මත ය.”

"එය, මුබාරක්ගේ ඇදවැටීම මගින් පූර්ව ඇඟවුම් කරන තියුනු පන්ති අරගල සඳහා ඊජිප්තුව තුලත් ජාත්‍යන්තරවත් කම්කරුවන් සන්නද්ධ කරනු ඇති ට්‍රොට්ස්කිවාදයේ ඉදිරි දර්ශනය සඳහා සටන් වදින පක්ෂ ගොඩ නැගීමට කරන අරගලය යි.”

මෙම ප‍්‍රකාශනය පලකිරීමේ පටන් ගතවුන වසර දෙකකට ආසන්න කාලය එවැනි අරගලයක් සඳහා ශක්‍යතාව මෙන්ම අවශ්‍යතාව යන කාරනා දෙකම සනාථ කර තිබේ. මුබාරක් පෙරලා දැමීම, එක්සත් ජනපදයේ සිට ඊස්රායලය දක්වාත් යුරෝපය හා ආසියාව දක්වාත් ජාත්‍යන්තර වසයෙන් කම්කරු පන්තියේ මහජන අරගලවලට උත්තේජනය සැපයීය. ඔබාමා දෙවැනි ධුර කාලය දිනා ගැනීමෙන් අනතුරුව ගාසා තීරයට, සිරියාවට හා මුලුමනින් ම ඉරානයට එරෙහිව යුද සන්නිය උත්සන්න කරන තතු යටතේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ පොදු අරගලවල අවශ්‍යතාව අතිශයින්ම පැහැදිලි වී තිබේ.

කෙසේ වෙතත්, එවැනි අරගල ජයග‍්‍රහනය කල හැක්කේ, නොනවතින විප්ලවයේ ඉදිරි දර්ශනයෙන් මග පෙන්වන පක්ෂ විසින් නායකත්වය දෙනු ලබන සමාජවාදය සඳහා කෙරෙන විප්ලවවාදී අරගල මගින් ම පමනකි. සමාජ සමානතාව උදෙසා හා මුර්සි වැනි පුද්ගලයන්ට එරෙහිව සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා අරගලය ඉස්මත්තට ගැනීමට නම් අතීත අරගලවල පාඩම් කම්කරුවන් විසින් උකහා ගෙන ඊජිප්තුවේ හා ජාත්‍යන්තර වසයෙන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීමට සටන් වැදිය යුතුය.

ජොහැන්ස් ස්ටර්න්

Share this article: