ශ්‍රී ලංකා ආන්ඩුව අගවිනිසුරුවරියට එරෙහි චෝදනා එලිදක්වයි

Sri Lankan government unveils charges against chief justice

By K. Ratnayake, 15 November 2012

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව හා ශ්‍රේෂ්ඨාධිකරනය අතර විභේදනය ගැඹුරු කරමින් නොවැම්බර් 06දා පාර්ලිමේන්තුව, අගවිනිසුරුවරිය වන ශිරානි බන්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග චෝදනා 14ක් ගෙනහැර දැක්වීය.

ආන්ඩුවේ පියවර පිටුපස ඇති දේශපාලන ගම්‍යයන් යටගැසීමේ උත්සාහයක් ලෙස නඟා ඇති චෝදනා අගවිනිසුරුවරිය විසින් සිදුකලා යයි කියන මූල්‍ය අවභාවිතාවන් හා පහල අධිකරනයේ විනිසුරුවන්ට අඩන්තේට්ටම් කිරීම පිලිබඳවය. බන්ඩාරනායක චෝදනා “අසත්‍ය” යයි ප්‍රතික්ෂේප කල අතර “නීතියට අනුකූලව” තමන් අධිකරන කටයුතුවල දිගටම නිරතවන බව අවධාරනය කලාය.

දෝෂාභියෝගයයේ කොකා ගැස්සූ සැබෑ හේතුව වූයේ, පලමුව පලාත් සභා විසින් අනුමත නොකරන්නේ නම් ආන්ඩුවේ දිවිනැඟුම සංවර්ධන පනත ව්‍යවස්ථා විරෝධී වන්නේ යයි බන්ඩාරනායකගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරන විනිශ්චය මඬුල්ලක් දුන් තින්දුවයි. මෙම පනත මගින් දෙමල බහුතරයක් සහිත උතුරු හා නැගෙනහිර පලාත්වලට සීමිත ස්වයං පාලනයක් ලබාදුන් 13වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පලාත් සභාවලට පවරන ලද සමහර ආර්ථික බලතල පැහැර ගැනීමක් සිදුවෙයි.

ආන්ඩුව උත්සාහ කරන්නේ මෙම බලතල ජනාධිපතිගේ සොහොයුරෙක් වන ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ වෙත පැවරීමටයි. ජනාධිපතිගේ තවත් සොහොයුරෙක් වන පාර්ලිමේන්තුවේ කතානායක චමල් රාජපක්ෂ සත් දෙනෙක් පාලක සභාගයෙන් ද හතරක් විපක්ෂයෙන් ද වශයෙන් චෝදනා විභාග කිරීම සඳහා සාමාජික‍යින් 11ගෙන් යුත් තේරීම් කමිටුවක් පත්කිරීමට නිල වශයෙන් පියවර ගත්තේය. ක්‍රියාවලියේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය සලකුනු කරමින්, බහුතරය දෝෂාභියෝගය සඳහා වන බව සහතික කෙරෙන පරිදි කතානායකවරයා තේරීම් කමිටුවේ සංයුතිය තීරනය කලේය. විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය, දෙමල ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුන “කනස්සල්ල” පල කරමින් “අධිකරනයට ඇගිලි ගසන්නේ” යයි ආන්ඩුවට චෝදනා නැගූහ. එහෙත් මෙම සියලු පක්ෂ තේරීම් කමිටුවට මන්ත්‍රීන් නම්කල අතර ආන්ඩුවේ දඩයමට නිල විශ්වාසනීයත්වයක් ලබා දුන්හ.

එසේම ආන්ඩුව දිවිනැඟුම පනත ඉදිරියට ගෙනයයි. අධිකරන තීන්දුවෙන් පසුව රාජපක්ෂ පලාත් සභා අටක අනුමැතිය සඳහා පනත ඉදිරිපත් කලේය. පාලක පක්ෂයේ බහුරයට පින්සිදුවන්නට ඔහු ඒවායේ අනුමැතිය ලබාගත් නමුත් ජනාධිපති විසින් පත්කරන ලද උතුරු පලතේ මිලිටරි ආන්ඩුකාරයාට පලාත් සභාවට ආදේශකයක් ලෙස කටයුතු කල හැකිය යන ආන්ඩුවේ ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. බලයට පත්වූ ආන්ඩු බෙදුම්වාදී එල්ටීටීඊයට විරුද්ධව දිග්ගැස්සුනු වර්ගවාදී යුද්ධයක් ගෙනගිය උතුරේ පලාත් සභා මැතිවරනය පැවැත්වීම ප්‍රතික්ෂේප කර තිබුනි.

ව්‍යවස්ථාවේ වගන්තියක් යටතේ “නීතිමය ආවරන” ලබන බැවින් ජනාධිපතිගේ කටයුතු ප්‍රශ්නයට භාජනය කිරීමට බලයක් නැති බවට ආන්ඩුව කල අවධාරනය ද ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ප්‍රතික්ෂේප කලේය. එහෙත්, එක් වගන්තියක් ජනමත විමසුමකට ඉදිරිපත් කල යුතු යයි කියා සිටිමින් පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත කල හැකි බව එසැනින්ම තීරනය කල අධිකරනය ආන්ඩුව සඳහා “ක්‍රියාත්මක කලහැකි” විසඳුමක් සම්පාදනය කලේය.

මුහුන බේරාගැනීමේ උපාමාරුවක යෙදෙමින් බැසිල් රාජපක්ෂ, ආන්ඩුව අධිකරනයේ තීරනයට ගරුකරන බව කියා සිටියේය. කෙසේ වුව ද එවන් නිවේදන වලට වටිනාමක් නැත. මක්නිසා ද යත්, ආන්ඩුව එහි අත්තනෝමතික කටයුතු පිලිබඳව කුප්‍රකට බැවිනි.

දෝෂාභියෝග යෝජනාව ඉස්මතු කරන ආකාරයට, ආර්ථික බලතල සිය සහෝදරයා වෙත පැවරීමට හා උතුරේ ඡන්දයකින් තේරී පත් නොවුන මිලිටරි ආන්ඩුකාරයෙකුගේ පාලනය නීත්‍යානුකූල කිරීමට ජනාධිපති ගන්නා උත්සාහයට අධිකරනය පොල්ල හරස්කිරීම පිලිබඳව ආන්ඩුව කෝපාවිෂ්ඨව සිටියි.

පසුගිය සතියේ තවත් ශ්‍රේෂ්ඨාධිකරන විනිශ්චය මඬුල්ලක්, 2013 අයවැය ප්‍රතිපාදන පන‍තෙහි එක් වගන්තියකින් මුදල් ඇමතිවරයා එනම් ජනාධිපති අතට බලය පැවරීම මගින් “රාජ්‍ය මූල්‍යයේ සම්පූර්න පාලනය නීත්‍යානුකූලව අයත් වන්නේ පාර්ලිමේන්තුවටය යන්න උල්ලංඟනය කෙරෙන්නේ” යයි තීන්දුවක් දුන්නේය.

රටේ ව්‍යවස්ථාව මගහැර යාමට ආන්ඩුව දරන උත්සාහයේ පලමු පියවර මෙය නොවේ. සිවිල් යුද්ධය පැවති අවධියේදී ආන්ඩුව වඩ වඩාත් පොලිස් රාජ්‍ය ක්‍රමවේදයන් උපයෝගීකර ගත්තේය. ජනාධිපති වටකරගෙන සිටින මිලිටරි දේශපාලන කල්ලිය ව්‍යවස්ථාව හා අධිකරනය විවෘතවම හෑල්ලුවට ලක් කරමින් පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවකට නොවැඩි දෙයක් බවට පත්කලහ.

අධිකරනය සමග ගැඹුරුවන ගැටුම, පාලක පන්තියේම සමහර කොටස් රාජපක්ෂගේ අත්තනෝමතික පාලනය කෙරෙහි දක්වන විරුද්ධත්වය පිලිඹිඹු කරයි. ඔවුන් උත්සුක වන්නේ, සාමාන්‍ය වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් පිලිබඳව නොව, ජනාධිපති කල්ලිය විසින් තමන් කොන්කිරීම හා එහි ප්‍රතිපත්ති සිය ආර්ථික ආසක්තයන් කෙරෙහි ඇති කරන බලපැම පිලිබඳවත්ය.

ලන්ඩන්හි ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ මෑතක පලවූ ලිපියක මෙසේ සටහන් විය. “කල්ලි සංග්‍රහය හා අල්ලස ආයෝජකයින් වඩ වඩාත් කනස්සල්ලට පත්කරන අතර පෙනීයන පරිදි කොටස් මිල අවභාවිතය පිලිබඳ පරීක්ෂන වැලැක්වීමට (රාජපක්ෂ) පාලනය විසින් කල බලපෑම නිසා අගෝස්තුවේදී රටේ ප්‍රධාන මූල්‍ය නියාමකයාගේ ඉල්ලා අස්වීම දැනටමත් රතු එලි දල්වා ඇත.”

මහා ව්‍යාපාරිකයින්ගේ නොසන්සුංකම පිලිඹිඹු කරමින් බටහිර අරමුදල් කලමනාකරුවෙක් පුවත්පතට පැවසුවේ “ජනාධිපතිගේ හා ඔහුගේ සහෝදරයින්ගේ අයුතු බල පරිහරන ප්‍රවනතා නතර කිරීමට සමත්වන්නේ නම් පමනක් ශ්‍රී ලංකාවට ඉමහත් ශක්‍යතාවයන් පවතින්නේය,” යනුවෙනි.

බොහෝ පෞද්ගලික මාධ්‍ය ආයතන ද අගවිනිසුරුවරියට එරෙහි ආන්ඩුවේ පියවර විචේචනයට ලක්කර ඇත. විශ්‍රාමික විනිසුරුවරුන් ද ඇතුලු ශ්‍රී ලංකාවේ නීතිඥ සංඟමය දෝෂාභියෝගයට විරෝධය පලකර එය ඉවත්කරගන්නා ලෙස රාජපක්ෂගෙන් හා කථානායකගෙන් ඉල්ලා සිටියහ. දෝෂාභියෝග මෝසම “යලි සලකාබලන” ලෙස මහානායක හිමිවරුන් සිව්දෙනා රාජපක්ෂගෙන් කල ඉල්ලීම පාලක පැලැන්තිය අතර පවතින කනස්සල්ල පිලිබඳ තවත් සලකුනකි.

පාලක හවුලේ සාමාජිකයින් වන ලංකා සමසමාජ පක්ෂය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය ද දෝෂාභියෝග යෝජනාවෙන් ඈත්ව සිටියි. සමසමාජ පක්ෂය පලමුව මෙම පියවරට ඒඑකඟත්වය පල කල ද පසුව දෝෂාභියෝගය අධිකරනයට ඇඟිලි ගැසීමක් බව පවසමින් ම මන්ත්‍රීවරුන්ට සිය අත්සන් ඉවත්කර ගන්නා ලෙස දැනුම් දී ඇත. කොමියුනිස්ට් පක්ෂය ප්‍රකාශ කලේ, අධිකරනය හා ජනාධිපති අතර ආරවුල තම පක්ෂය ද විරුද්ධ වන විධායක ජනාධිපති ක්‍රමයේ නිමැවුමක් බවය.

එවන් ප්‍රකාශ තරයේම කුහක ඒවාය. දෙපක්ෂයම ආන්ඩුවේ වර්ගවාදී යුද්ධයට පූර්න සහාය දැක්වූ අතර එහි යුද අපරාධ ද ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන් ද ආරක්ෂා කර තිබේ. සමසමාජය හා කොමියුනිස්ට් පක්ෂය යන සංවිධාන දෙකම දේශපාලන සංස්ථාපිතයට මුලුමනින්ම කරබදුවී සිටින අතර ‍ව්‍යාපාරික පැලැන්තියේ අවශ්‍යතාවන් ගැන ඉතා සංවේදීය.

එසේම එක්සත් ජාතික පක්ෂය නායකත්වය දරන හා දෙමල සන්ධානය, නව සමසමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පක්ෂය හා තවත් නොයෙකුත් කන්ඩායම් ඇතුලත් විපක්ෂ පෙරමුන “අධිකරනයේ ස්වාධීනත්වය” ආරක්ෂා කරමින් නිකුත්කල ප්‍රකාශයක “දේශපාලන හේතු මත අධිකරනයේ කිසිදු සාමාජිකයෙකුට එරෙහි දඩයමකට විරුද්ධ” වන බව පවසා තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ කඩතුරාව යටතේ මෙම සියලු පක්ෂ පාලක පන්තියේ නොසංසුන් කොටස් පිටුපස පෙලගැසෙමින් සිටිති.

යථාර්තය නම්, ආන්ඩුවේ ඒකාධිපති පියවර අවසන් වශයෙන් එල්ල වී ඇත්තේ කම්කරු පන්තිය වෙත වීමයි. ජනාධිපති රාජපක්ෂ යුද්ධය අවධියේ වර්ධය කල පොලිස් රාජ්‍ය යාන්ත්‍රනය සිය ආන්ඩුව ක්‍රියාවට නඟනු ලබන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනවා ඇති කප්පාදු න්‍යායපත්‍රයට වැඩකරන ජනතාව කෙරෙන් පලවන ඕනෑම විරුද්ධත්වයක් මැඬීම සඳහා මුදාහැරීමට නොපැකිලෙනු ඇත.

Share this article: