ශ්‍රී ලංකාවේ ආන්ඩුව අග්‍රවිනිශ්චයකාරිනියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානම්වේ

Sri Lankan government moves to impeach chief justice

By K. Ratnayake, 6 November 2012

පාලක සභාගය එහි මන්ත්‍රීන්ගේ අත්සන් සහිත මෝසමක් 01දා කථානායක චමල් රාජපක්ෂ වෙත බාරදෙමින් අග්‍රවිනිශ්චයකාරිනී ෂිරානි බන්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පියවර ගනිමින් සිටියි. කිසිදු චෝදනාවක් තවමත් ප්‍රකාශයට පත් නොකිරීම පිලිබඳ කාරනය එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය සලකුනු කරයි.

පසුගිය 31දා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති සියලු සභාග පක්ෂවල රැස්වීමකදී ආන්ඩුව මෙම තීන්දුවට එලඹුනි. ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරයෙකුට එරෙහිව කටයුතු කිරීමට ව්‍යවස්ථාවෙන් අවශ්‍ය කෙරෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හෝ මන්ත්‍රීන් 75දෙනෙකුටත් වඩා වැඩි, පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 117 දෙනෙක් මෝසමට අත්සන් තැබූහ.

ප්‍රිමා ෆාසි හෙවත් බැලූ බැල්මට පෙනෙන කරුනු මත විභාගයක් පැවැත්වීමට නම් කථානායකවරයා, බහුතරයක් ආන්ඩුව නියෝජනය කරන, හත් දෙනෙකුට නොඅඩු මන්ත්‍රීන් සංඛ්‍යාවකගෙන් සැදුම්ලත් ‍තේරීම් කමිටුවක් කැඳවුම් කල යුතුය. ජනාධිපතිවරයාගේ සහෝදරයා වන කථානායක දැනටමත් මෝසම පිලිගෙන ඇත. මේ සතිය තුල තේරීම් කමිටුවක් පත්කල යුතු යයි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව ඔහු නිවේදනය කලේය. චෝදනා "ඔප්පු වුවහොත්” පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් විනිශ්චයකාරිනිය ඉවත් කල හැකිය.

මෝසම කථානායක වෙත භාරදීමෙන් පසුව කැබිනට් ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, බන්ඩාරනායකගේ "පෞද්ගලික හා නිල තත්වයන් අනුව ඇගේ හැසිරීම” මත ඇයට චෝදනා ඉදිරිපත් කර ඇති බව මාධ්‍ය වෙත පැවසුව ද විස්තර හෙලි නොකලාය. ආන්ඩුවේ මන්ත්‍රීන් "පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යය උල්ලංඝනය කිරීමට” උත්සාහ දරන්නේ යයි ශ්‍රේෂ්ඨාධිකරනයට චෝදනා කර තිබේ.

සැබෑව නම් මෙය, ව්‍යවස්ථාව හා නීති පද්ධතිය උල්ලංඝනය කරන රාජපක්ෂට ශ්‍රේෂ්ඨාධිකරනය හරස්වීම නිසා එය පාලනය කිරීමට අන්ඩුව දරන උත්සාහයක් බවය. පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් සලකන කල එය රබර් මුද්‍රාවකට නොවැඩි දෙයක් බවට හැරවීම සඳහා ජනාධිපති, 1978 ව්‍යවස්ථාව යටතේ සිය විධායක බලතල යොදාගෙන ඇත.

පසුගිය සතියේ දෝෂාභියෝගයට අත්සන් තැබීමට පෙලගැසුනු මන්ත්‍රීන් එහි කුමන චෝදනා අඩංගු වන්නේ ද යන්න පවා දැන සිටියේ නැත. සන්ඩේ ටයිම්ස් පත්‍රය මෙසේ වාර්තා කලේය. "අගවිනිසුරුවරියට දෝෂාභියෝගය ගෙන ඒමට නියමිත යෝජනා පිලිබඳව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් කල කරුනු පැහැදිලි කිරීම ඇසීමට ආන්ඩුවේ මන්ත්‍රීන් තනි තනිවත් කන්ඬායම් වශයෙනුත් පැමිනියහ. චෝදනා ලැයිස්තුව බැලීම සඳහා එය ඔවුන් අතට පත්කලේ නැත.”

මාස ගනනක් තිස්සේ අගවිනිසුරුවරිය හා ආන්ඩුව අතර ගැටුමක් මෝරා යමින් තිබුනේවී නමුත් බන්ඩාරනායකට දෝෂාභියෝගය ගෙන ඒමට ක්ෂනික හේතුව වූයේ, ආන්ඩුවේ දිවිනැගුම සංවර්ධන පනත පලමුව පලාත් සභා විසින් අනුමත කලේ නැත්නම් ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරනය දුන් තීන්දුවයි. මෙම පනත මගින් 13වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පලාත් සභාවලට ලබා දුන් සමහර ආර්ථික බලතල ආපසු ගැනීමක් සිදුවනු ඇත.

පසුගිය සතියේ බන්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරන මඬුල්ලක්, පනතේ ව්‍යවස්ථානුකූල භාවය ට අදාලව ගොනුකල නඩු 15ක නිගමන ප්‍රකාශයට පත් කලේය. ව්‍යවස්ථාවට පටහැනි බවට ගොනුකල නඩු 4ක් ද එයට පක්ෂව ආන්ඩුව ‍නඩු 11ක් ද ගොනුකර තිබුනි. පනතක් පාර්ලිමේන්තු නියෝග පත්‍රයට ඇතුල් කලාට පසුව එහි ව්‍යවස්ථානුකූල භාවය තීරනය කිරීමේ බලය ‍ශ්‍රේෂ්ඨාධිකරනයට නොමැති බවට ආන්ඩුවේ නීතිඥයෝ තර්ක කලහ. මෙම නඩු පිලිබඳ අධිකරනයේ තීරනය ජනාධිපති හා කථානායක වෙත බාරදී තිබුන ද ප්‍රසිද්ධියට පත්කොට තිබුනේ නැත.

නොවැම්බර් 12දා ශ්‍රේෂ්ඨාධිකරනය තවත් තීරනාත්මක විනිශ්චයක් දීමට නියමිත ය. ඒ උතුරු පලාතේ මිලිටරි ආන්ඩුකාරයාට දිවිනැඟුම සංවර්ධන පනත අනුමත කිරීමට බලය තිබේ ද යන ප්‍රශ්නය පිලිබඳවයි. මෙම පලාත 2009 රටේ සිවිල් යුද්ධය අවසාන වීමෙන් පසුවත් පවතින්නේ මිලිටරි අත්අඩංඟුවේය. මිලිටරි ආන්ඩුකාරවරයා පනතට අත්සන් තැබීම ආන්ඩුවට අවශ්‍යව තිබුනි.

ජනාධිපති හා අධිකරනය අතර ඇතිව තිබෙන ගැටුමට, කම්කරු පන්තියේ හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සමග මොනම සම්බන්ධයක්වත් නැත. එය මහා ව්‍යාපාරිකයේ ස්ථරයන් කොන්කර, බලය ජනාධිපති කල්ලියක අතෙහි තබාගනිමින් ගෙනයන, රාජපක්ෂගේ ඒකාධිපති ක්‍රමෝපායන් කෙරෙහි පැනනැඟී තිබෙන රටේ පාලක පැලැන්තියේ කොටස් වල ගැඹුරු කනස්සල්ලේ පිලිබිඹුවක් පමනි.

දිවිනැඟුම සංවර්ධන පනත සම්මත වුව‍හොත්, ජනාධිපතිගේ සහෝදර ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂගේ වියදම් සඳහා පසුගිය අයවැයෙන් වෙන්කර තිබුනු රුපියල් බිලියන 89 මෙවර බිලියන 169 (ඇඩො. බිලියන 1.3 ) දක්වා ඉහල යනු ඇත. මේ අනුව ලබන වසරේ ආන්ඩුවේ වියදමෙන් සියයට 45ක පාලනය රාජපක්ෂ සහෝදරයන් අතට පත්වනු ඇත.

අනෙකුත් ශ්‍රේෂ්ඨාධිකරන විනිශ්චයකරුවන් ද සමග එක්ව බන්ඩාරනායක, රාජපක්ෂගේ 18වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පිටුබලය දී ඇත. එමගින් ජනාධිපති ධුරය දැරිය හැකි වාර දෙකේ සීමාව ඉවත් කරන ලද අතර අග්‍රවිනිශ්චයකරු ද ඇතුලු රජයේ ප්‍රමුඛ නිලධාරීන් පත්කිරීමට ජනාධිපති වෙත පුලුල් බලතල ලබාදුන්නේය.

අගවිනිසුරුවරිය මිලිටරි විනිශ්චය මන්ඬල රටේ අධිකරන පද්ධතියේ කොටසක් ලෙස පිලිගැනීමට ද සහාය දුන්නාය. හිටපු හමුදාපති හා රාජපක්ෂගේ ප්‍රධාන ජනාධිපතිවරන තරගකරුවා වූ සරත් ෆොන්සේකා, ගොතන ලද චෝදනා යට‍තේ වරදකරුකොට සිරගත කරන ලද්දේ මිලිටරි විනිශ්චය මඬුල්ලක් විසිනි.

මහා ව්‍යාපාරිකයේ කොටස් ශ්‍රේෂ්ඨාධිකරනයේ මෑත ආස්ථානය කෙරෙහි සහයෝගය ඇඟවුම් කර ඇත. බිස්නස් ටයිම්ස්හි නම සඳහන් නොකල ලේඛකයෙක් "පරම අත්තනෝමතිකත්වය සිය ග්‍රහනය, නිදහසේ ඉතිරිව ඇති ආයතන, එනම් අධිකරනය, දක්වා පුලුල් කරමින් සිටියි. සාධාරනය හා නීත්‍යානුකූල පාලනයෙන් තොරව ව්‍යාපාර පමනක් නොව, සමාජයේ සාමාජිකයින් අතර සිදුවන අනෙකුත් සියලු අන්තර්ක්‍රියාකාරිත්වයන් පවත්වාගෙන යාම ද දුෂ්කර වනු ඇත.”

බිස්නස් ටයිම්ස් සමීක්ෂනය, "මෙය (අධිකරනය සමඟ ගැටුම) ඇඟට ගුන නැති වර්ධනයක් බව සියයට 94ක් කියා ඇත. තවත් සියයට 92 පැවසුවේ, අර්බුදය ව්‍යාපාර හා ආයෝජනය කෙරේ ද බලපාන” බව යයි සඳහන් කලේය.

පාලක පැලැන්තියේ කොටස්වල සාංකාව පලකරමින් අයිලන්ඩ් කතුවැකියක් මෙසේ ලිවීය. "බලයෙන් කරටියටම මත්වී සිටින වත්මන් ආන්ඩුව කරන්නේ කුමක්දැයි නොදනී. සියල්ල තලා දමමින් එය ඉදිරියට ඇදෙයි.” ආන්ඩුවේ කටයුතු "දේශපාලනිකව නුවනක්කාර” නොවන බවට එය අනතුරු ඇඟවීය. ඩේලි මිරර් කතුවැකිය, දෝෂාභියෝග මෝසම සනකුනු කරන්නේ "ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරුදායක අදියරක්” බව ප්‍රකාශ කලේය.

එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුන යන විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෝෂාභියෝගයේ විරුද්ධවාදින් ලෙස පෙනි සිටිති. ප්‍රජාතන්ත්‍රීය අයිතීන්හි ආරක්ෂකයින් නොව ඒවාට පහර දෙන්නන් ලෙස දෙපක්ෂයටම දිගු වාර්තාවක් ඇත.

"අපක්ෂපාතී පරීක්ෂනයකට ඉඩ නොතැබිම පිනිස” තමන් පාර්ලිමේන්තු තේරීම් කමිටුවට සහභාගී වන බව එජාපය කියා සිටියි. එවැනි පියවරක් නින්දිත පරීක්ෂනයක් සඳහා විශ්වාසනීයත්වයක් ලබාදෙනවා පමනි. ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මාධ්‍ය වෙත පැවසුවේ, සිය පක්ෂය ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම පිනිස "ජනතා ව්‍යාපාරයක්” දියත් කරන බවය.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සඳහා තබන පියවර, ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහිව සූදානම් කෙරෙමින් ඇති පුලුල් ප්‍රහාරයන් පිලිබඳව කම්කරු පන්තියට කෙරෙන අනතුරු ඇඟවීමකි. 08දා ඉදිරිපත් කිරීමට නියමිත ඊලඟ අයවැය ලේඛනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟවී ඇති නව කප්පාදු පියවර නිවේදනය කරනු ඇත. සිවිල් යුද්ධය පැවති අවධියේ වර්ධනය කරන ලද පොලිස් රාජ්‍ය ක්‍රමවේදයන් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ කුමන හෝ විරුද්ධත්වයක් මැඬීම සඳහා යොදාගැනීමට උත්සාහ දරනු ඇත.

පාලක පන්තියේ මෙම කන්ඬායමික ගැටුමේදී පැති ගැනීම මගින් කම්කරු පන්තියට සිය ප්‍රජාතන්ත්‍ර අයිතීන් රැකගත නොහැකි අතර එය කල හැක්කේ, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නඟන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයේ පදනම මත තමන්ගේම ස්වාධීන දේශපාලන ව්‍යාපාරය ගොඩනැඟීමෙන් පමනි.

Share this article: