ශ්‍රී ලංකාව: ගුරු විරෝධය යටපත් කිරීමට වෘත්තීය සමිති ආන්ඩුවෙන් සාකච්ඡා ඉල්ලති

By Kapila Fernando, 2 November 2012

ලංකා ගුරු සංගමය (ලංගුස) හා විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස) ඇතුලු ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති 15 ක් කැඳවූ මෙම පාගමනට ගුරුවරු 2000 ක් පමන සහභාගී වූහ. සමිතිවල මූලික ඉල්ලීම් වුයේ 2008 දී යෝජිත අතුරු වැටුප් යෝජනාව හිඟ වැටුප් සහිතව කි‍්‍රයාත්මක කිරීම, දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 6 ක් අධ්‍යාපන වියදම්වලට වෙන් කිරීම හා අධ්‍යාපනය පුද්ගලීකරනය, දේශපාලනීයකරනය හා මිලිටරීකරනය නතර කිරීම මුල් කරගත් ඉල්ලීම් හයකි.

ගුරු පාගමනේ අවස්ථාවක්

ආන්ඩුවේ මර්දන හස්තය පෙන්නුම් කරමින් ගුරු පාගමන පැවැත්වූ රාජගිරියේ සිට බත්තරමුල්ලේ පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා මහ මග දෙපස කඳුලු ගෑස් විදිනවලින් සන්නද්ධ කැරලි මර්දන භටයන් ද ඇතුලු පොලිස් භටයන් රඳවා සිටි අතර ජල ප‍්‍රහාරක රක් රථ සූදානමේ තබා තිබුනි.

පාගමන අවසානයේ සමිති 15 වේ නායකයන් අධ්‍යාපන ඇමති බන්දුල ගුනවර්ධන සමග සාකච්ඡාවකට රිංගා ගැනීමට උත්සහා කලත් ඔහු ඔවුන් මග හැරියේ ය. සමිති නායකයන්ට සිදුවූයේ ඉල්ලීම් අඩංගු ලිපියක් අමාත්‍යාංශ ලේකම්ට භාර දී අපසු හැරී ඒමටයි.

සමිති නිලධරය ඇමති හා සාකච්ඡාවකට අරඇන්දේ ගුරුවරුන්ගේ මොනම ඉල්ලීමක්වත් දීමට ආන්ඩුවට නො හැකි බව ඔහු පුන පුනා ප‍්‍රකාශ කර තිබියදී ය. ලොව සෑම රටකම පාලක ආන්ඩුවල මෙන්ම රාජපක්ෂ ආන්ඩුවේ ද ප‍්‍රතිපත්තිය වී ඇත්තේ ගැඹුරුවන ආර්ථික අර්බූදයේ බර කම්කරු පන්තිය මත පැටවීමයි. ඒවායේ ඉලක්කය ලෙස පවතින්නේ සුභසාධන වැඩපිලිවෙලවල් ද නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය සඳහා ද වියදම් කප්පාදුව හා ඒවා ලාභ ගරන ව්‍යාපාරිකයන්ට වෙන් කර දීමයි. අධ්‍යාපන පුද්ගලීකරනය මෙම වැඩපිලිවෙලේම කොටසකි.

ගුරු අයිතීන් - එමෙන්ම කම්කරු පන්තියේ සෑම කොටසකම ඉල්ලීම් - දිනා ගැනීම ධනපති ආන්ඩුවේ ප‍්‍රතිපත්ති පරාජය කිරීමේ දේශපාලන අරගලයක් බවට පත්ව තිබේ. ගුරු සමිති එම දේශපලාන අරගලයට ඉඳුරාම විරුද්ධ ය. අනිකුත් ගුරු සමිතිවල ද එම විරුද්ධත්වය පෙන්නුම් කරමින් ලංගුසේස නිලධර කල්ලියක් සමාජවාදී සමානතා පක්ෂයේ ගුරු කන්ඩායම වැදගත් දේශපාලන ක‍්‍රියාමාර්ගයක් - ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තියේ පුලුල් අරගලයක් සංවිධානය කිරීම සමාජවාදී පිලිවෙත්වලට හා කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවකට සටන් කිරීම, ගුරු ක‍්‍රියාකාරී කමිටු ගොඩනැගීම - ඉදිරිපත් කරමින් නිකුත් කල පත‍්‍රිකාවක් බෙදීම වැලැක්වීමට තැත් කලහ.

පාගමනින් පසු රැස්වූ ගුරුවරුන් ඇමතූ සමිති නායකයෝ වාචාල කථා දෙසා බෑහ. සමස්ථ ලංකා එක්සත් ගුරු සංගමයේ ලේකම් යලේවෙල පඤාසේකර භික්ෂූව "අපි සංවිධානය කෙරුවාටත් වැඩියෙන් ගුරුවරු අද ඇවිල්ලා තියෙනවා. දැන් ඇමති බය වෙලා ඉන්නේ” යයි ප‍්‍රකාශ කලේ ය. "උද්ඝෝෂන නැත්තනම් දැන් අපට වෙන්නේ මේ වගේ දැවැන්ත පාගමන් කිරීමට” යයි ලංගුස ලේකම් ජෝසප් ස්ටාලින් ඔවුන් කැඳවුම් කල සීමිත විරෝධතා පාගමන උත්කර්ෂයට නැංවුවේ ය. "සංවිධානය කෙරුවාටත් වැඩියෙන් ගුරුවරු පැමිනීම” හා "දැවැන්ත පාගමනක්” පිලිබඳ මේ කථා බොරු පූච්චානම් ය. දෙලක්ෂයකට අධික ලංකාවේ ගුරුවරුන් අතරින් විරෝධතාවයට සම්බන්ධ වූයේ සියයට එකක් පමන සංඛ්‍යාවකි. පාසල් පැවැත්වෙන දිනයක සමිති නායකයන් මෙම විරෝධතාවය කැඳවුයේ එය හැකි තරම් සීමා කර දැමීමට ය. පසුගිය පාවාදීම් මාලාව නිසා ම ගුරුවරු අති විශාල සංඛ්‍යාවක් මෙම සමිති අත් හැර ගොසිනි.

කැරලි මර්දන පොලීසිය සීරුවෙන්

ගුනවර්ධන සමග සාකච්ඡාවක් අසාර්ථක වූ තැන සමිති නායකයෝ ගුරුවරුන් මුලා කිරීමට තව උගුලක් ඇටවීමට සූදානම පෙන්නුම් කලහ. ස්ටැලින් හා ජයසිංහ දෙදෙනාම යලි යලිත් "මේ ඇමති (ගුනවර්ධන) නොවන කැබිනට් ඇමතිවරයෙක් හෝ ලේකම්වරයෙක් සමග අපි කැමතියි සාකච්ඡා කරන්න” යයි ප‍්‍රකාශ කලේ ය.

උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානයක සරසවි ආචාර්යවරුන්ගේ ඉල්ලීම් නො දෙන බවට සහතික කර කියා සිටිය දී සරසවි ආචාර්ය සංගමය ආර්ථික කටයුතු ඇමති බැසිල් රාජපක්ෂ හා භාන්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර සමග සාකච්ඡාවලට ගියේ ඔවුන් නම් හොඳටම විශ්වාස බව ප‍්‍රකාශ කරමිනි. ගාල්ලේ සිට කොලඹ දක්වා දින පහක පාගමනකින් පසු ආචාර්ය සංගමයේ නායකයෝ කිසිදු ඉල්ලීමක් දිනා නොගෙන බැසිල් රාජපක්ෂ සමග සම්මුතියකින් මාස තුනක් ඇදී ගිය සරසවි ගුරුවරුන්ගේ අරගලය පාවා දුන්හ. ආචාර්ය වර්ජනය පාවා දීමට ලංගුස හා ලංගුසේස දැක්වූ දායකත්වයට ප‍්‍රතිඋපකාරයක් වශයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ නායකයෝ කීපදෙනෙක් ද බංකොලොත් ගුරු සංගම්වල සහායට පැමින සිටියේ ය. ගුරුවරුන් ඇමතූ විආසස මාධ්‍ය ප‍්‍රකාශක මහීම් මෙන්ඩිස් සරසවි අරගලය පාවා දීම යුක්ති සහගත කලේ ය.

විරෝධතා පාගමන හා සිය ඉල්ලීම් පිලිබඳව අදහස් දක්වමින් විරෝධතා පාගමනට සම්බන්ධ වූ කොලඹ බොරුල්ලේ එක් ගුරුවරියක් "රාජ්‍ය අංශයේ පහලම වැටුප් තියෙන කට්ටියක් දැන් පාසල් ගුරුවරු. මම අවුරුදු 31 ක් දැන් ගුරු වෘත්තියේ නමුත් මගේ මූලික පඩිය තාමත් 26,000 යි. අපේ වැටුප් ප‍්‍රශ්නය විතරක් නෙමේ හැමදේම රටේ වෙනස් වෙන්න ඕනා. අපිට දරුවන්ට උගන්වන්න බෑ. ඇමති පුතාලා මිනිස්සුන්ට ගහනවා නමුත් උසාවියෙන් ගෞරව ඇතිව පිටවෙලා යනවා. ලමයි අහනවා ඉගෙන ගත්තට වැඩක් නෑ නේ කියලා, රටේ පිලිගැනීම තියෙන්නේ ඉගෙන ගත්තු අයට නෙමේ කියලා. රටක අධ්‍යාපනයට ප‍්‍රමුඛ තැනක් දෙන්න ඕනා නමුත් හැම දෙයක්ම වැරදි විදිහට වෙන්නේ. පැහැදිලිව ම ආචාර්ය වර්ජනයට එකතු වුන පක්ෂ මේවට විකල්පයක් නියෝජනය කරන්නේ නෑ.”

කලුතර සිට පැමිනි එක් ගුරුවරයෙක් "මම පාසලේ ගුරුවරු කීපදෙනෙක් එක් කරන් ආවා. මේ පෙලපාලි ගියාට ඉල්ලීම් දිනා ගන්න ලැබෙන එකක් නෑ. ආචාර්වරුන්ට මොනම ඉල්ලීමක්වත් දිනා ගන්න බැරි වුනා. අද සියලු කම්කරු පන්තිය එකතු වෙලා සටන් කරන්න ඕනා.”

යක්කල සිට පැමිනි තවත් ගුරුවරයෙක් "වෘත්තීය සමිති නායකයන්ට තමයි මේ පෙලපාලිවලින් වාසි තියෙන්නේ. ආන්ඩුවේ ලොකු ලොක්කෝ එක්ක සාකච්ඡා පවත්වනවා. රූපවාහිනියට මූන දාගන්න පුලුවන්. හිතවතුන්ගේ මාරුවීම් හදා ගන්න පුලුවන්, මේ දේවලට තමා අද සමිති නායකයෝ ඉන්නේ”.

Share this article: