එක්සත් ජනපද මැතිවරනයට තව සති තුනයි: වැඩකරන ජනතාව මුහුන දෙන ප්‍රශ්න

Three weeks to the US elections: The issues facing working people

By Patrick Martin, 15 October 2012

නොවැම්බර් 6දා ජනාධිපතිවරනයට තවත් සති තුනක් තිබිය දී, මැතිවරන විද්‍යාලයේ ප්‍රතිඵල තීන්දු කිරිමට ඉඩ ඇති දුසිම් භාගයක ප්‍රාන්තවල මත විමසුම් කීපයකට අනුව, ජනාධිපති බරක් ඔබාමා හා ඔහුගේ ප්‍රතිවාදී මිට් රොම්නි අතර තරඟය කරට කර පවතින අතර ඔබාමා පසුබෑමක් සහිතව නමුත් ඉදිරියෙන් සිටියි.

මැතිවරනයේ සමීපකම අන්තර් සම්බන්ධිත සන්තතීන් දෙකක් පිලබිඹු කර යි. ජනගහනයෙන් අතිවිශාල බහුතරය වන කම්කරු පන්තිය, සංගත පාලිත දේශපාලන පක්ෂවලින් හා ඒවායේ කෝටිපති අපේක්ෂකයන් දෙදෙනාගෙන් වඩ වඩාත් හුදුකලා වෙමින් සිටින අතර එකෙකුට වඩා අනිකා තෝරා ගැනීමට හේතු දකින්නේ අඩුවෙනුත් අඩුවෙනි.

ඒ අතර ම, කෑදරකමට එරෙහිව ප්‍ර‍වේසම ලෙස දල වශයෙන් ගුනාංගිකරනය කල හැකි මාවත් ඔස්සේ පාලක ප්‍රභූව බෙදී ගොසිනි. රොම්නිට සහාය දක්වන කන්ඩායම්වලට අවශ්‍යවන්නේ මූල්‍ය කතිපයාධිකාරය සඳහා මුළුමනින් ම ස්වයං-අභිවෘද්ධියේ පැහැදිලි වැඩසටහනකි. "සාධාරනත්වය ” හා "සමාන කැපවීම” මාවාපෑමෙන් තොරව, පතුලෙන් නැගෙන පාලනය කල නොහැකි සමාජ විරෝධතා ව්‍යාපාරයකට ධනේශ්වර පද්ධතිය මුහුන දෙනු ඇතැ යි බියපත් ඔබාමාගේ ආධාරකරුවන් වඩා ප්‍ර‍ෙව්සම් සහගත ය.

2012 මැතිවරනයේ ඉතාමත් අපූර්ව දෙය නම් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට වත් අවුරුදු හතරකටත් වඩා පෙර දී පිපිරුනු ආර්ථික අර්බුදයට බැරෑරුම්ව අවධානය යොමු කල නොහැකිව තිබීමයි.

අර්බුදය නිර්මානය කිරීමෙහිලා තමා ද ප්‍රමුඛ නියෝජිතයෙකු වන මූල්‍ය පරපුට්ටන්ගේ කේන්ද්‍රීය කාර්යභාරය පිලිනොගනිමින්ම රොම්නි, දශලක්ෂ සංඛ්‍යාවකගේ තත්වය එන්ට එන්ටම නරක අතට හැරවීම ගැන ඔබාමාට බැනවදි යි. ආර්ථික සුවපත්වීම සිදුවෙමින් තිබේ යයි ප්‍රකාශ කරමින් ඔබාමා වැඩකරන ජනතාවගේ දුර්දශාව කෙරෙහි නොතැකීම ප්‍රදර්ශනය කර යි.

එක දු පක්ෂයක්වත් අර්බුදය සඳහා විශ්ලේෂනයක් හෝ එයට ගොදුරුවූවන්ට, එනම් රැකියා විරහිත හෝ ඌන සේවා නියුක්ත කම්කරුවන් මිලියන 23කට, දරිද්‍රතාවේ ජීවත්වන දස දහස් සංඛ්‍යාවකට, වාර්තාගත මට්ටමේ නිවාස අත්පත්කර ගැනීම් හා ශුභසාධන කපා දැමීමට සහනයක් සැපයීමට, ප්‍රතිපත්තියක් හෝ ඉදිරිපත් නොකර යි. අවුරුදු හතරකට පෙර මූල්‍ය උනුවීම නිර්මානය කිරීම සඳහා වගකිව යුතු බැංකුකරුවන්ගෙන් හා සමපේක්ෂකයන්ගෙන් කිසිවෙකුට එරෙහිව අධිකරන ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ඓතිහාසික ඉදිරිදර්ශනයක් සැපයීම සඳහා යමෙක්, 1929 වෝල් වීදයේ බිඳවැටීම ගැන කිසි ම සඳහනක් නොමැතිව 1932 ජනාධිපතිවරන ව්‍යාපාරය ගෙන ගිය බව සිහියට නගාගත යුතුය.

මෝටර් රථ කර්මාන්තයට ඇපදීම හා රැකියා දශලක්ෂයක් "රැකගැනීම” ගැන වර්නනා කල ඔබාමාගේ 13දා ගුවන් විදුලි කතාව තුල මෙම අසාර්ථකත්වය අවධාරනය කෙරුනි. “ අපි ඩෙට්‍රෝයිට් බංකොලොත්භාවයට ඇද වැටීමට ඉඩදීම ප්‍රතික්ෂේප කලෙමු. අපි ඇමරිකන් කම්කරුවන් හා ඇමරිකානු දක්ෂතාව මත ඔට්ටු ඇල්ලුවෙමු. අවුරුදු තුනකට පසු මෙම ඔට්ටු විශාල වශයෙන් ප්‍රතිඵල පෙන්වමින් තිබේ” යයි ඔබාමා පැවසී ය.

ඔටෝ කම්කරුවන් තියනු ලෙස සූරාකෑම හා වැටුප් හා ප්‍රතිලාභ දරුනු ලෙස කප්පාදු කිරීම, එනම් වැටුප් සියයට 50කින් කපා දැමුනු අළුතින් බඟවා ගත් කම්කරුවන්ට මේ දෙක ම අදාල වූ අතර විශ්‍රාමික කම්කරුවන්ගේ සෞඛ්‍ය හා විශ්‍රාම ප්‍රතිලාභ කැපීම මත ඇපදීම පාදක වී ය යන කරුන මෙහි දී මුළුමනින් ම නොසැලකා හැරේ.

ධනේශ්වර පක්ෂ දෙකේ ඡන්ද ව්‍යාපාර හා ඇමරිකානු ජනගහනයේ අතිමහත් බහුතරයේ අවශ්‍යතාවන් හා උත්සුකයන් අතර අසම්බන්ධය කොතරම් විශාල ද යත්, සංගත පාලිත මාධ්‍ය අංශවල සමහර කොටස් පවා ද්විපක්ෂ දේශපාලනය අපකීර්තියට පත්වන බවට සැක සංකා පල කිරීමට පටන්ගෙන ඇත.

නිව් යෝක් ටයිම්ස් පත්‍රය එවනි සැකසංකා හඬනංවමින් එකිනෙකට වෙනස් අදහස් දැක්වීම් තුනකට නොඅඩු ගනනක් එහි 14දා මුද්‍රනයේ පල කලේ ය. අපේක්ෂකයන් දෙදෙනා අතර සංගත-ගැති "ආර්ථික සම්මුතිය” ගැන සඳහන් කල "ඔබාමාට ඡන්දය දෙනු” යන ශීර්ෂයෙන් යුතු තීරු ලිපියක් එහි ඇතුලත් විය.

"රොම්නි සියයට 25ක ඉහල සංගත බදු රේට්ටුවක් බලාපොරොත්තු වෙයි. ඔබාමා සියයට 28ක් යෝජනා කරයි. සම්ප්‍රදායික ආයෝජකයන් සඳහා ප්‍රාග්ධන -ලාභ බදු අහෝසි කිරීමට හා ඉහල උපයන්නන් සඳහා සියයට 15ක මට්ටමේ අනුපාතයක් තබා ගැනීමට රොම්නිට අවශ්‍ය ය. ඔබාමාට එය සියයට 20 දක්වා වැඩි කිරීමට අවශ්‍ය ය. ඉහලම ආදායම්ලාභීන්ගෙන් බදු අයකිරීම පිලිබඳව ඔවුහු වෙනස් අනුපාත යෝජනා කරති. එහෙත් බොහෝ ඇමරිකානුවන් විශේෂත්වයම වරදක් යයි වරදවා වටහා ගැනීමටඉඩ ඇත.”

"ඔබ ඡන්දය දෙන්නේ කුමන දශලක්ෂපතියාට ද” යන හිසින් යුත් කතුවැකියට විරුද්ධ පැත්තේ කොලමක පක්ෂ දෙකේ සහජ සමාජ ස්වභාවය සටහන් කෙරිනි. "අපට රිපබ්ලිකානුවන් හෝ ඩිමොක්‍රටිකයන් තෝරා ගත හැක. අපට ගතානුගතික ප්‍රතිපත්ති හෝ ප්‍රගතිශීලී ඒවා තෝරා ගත හැක.කෙසේ නමුත්, බොහෝ මැතිවරනවල දී වැදගත් යමක් පිලිබඳව අපට අදහස් දැක්වීමේ අවස්ථාවක් ලැබන්නේ නැත: අපි පාලනය කෙරෙන්නේ පොහොසතුන් විසින් ද නැද්ද.”

එක්සත් ජනපද ආන්ඩුවේ ඉහල තනතුරුවල අරක්ගන්නා අයගේ සමාජ ආර්ථික තරාතිරම පිලිබඳ අධ්‍යයනයක් සාරාංශ කරමින් තීරුව මෙසේ සටහන් කලේ ය: "දශලක්ෂපතියන් දේශපාලන පක්ෂයක් නම් එම පක්ෂය ඇමරිකානු පවුල්වලින් දල වශයෙන් සියයට 3කින් සමන්විත වනු ඇත. එහෙත් සෙනේට් සභාවේ බහුතරය, පාර්ලිමේන්තුවේ බහුතරය, ශ්‍රේෂ්ඨාධිකරනයේ බහුතරය හා ධවල මන්දිරයේ පුද්ගලයෙකු ඔවුන්ට හිමිවනවා ඇත.”

"කම්කරු පන්තියේ ඇමරිකානුවන් දේශපාලන පක්ෂයක් වූයේ නම්” එම පක්ෂයේ ව්‍යවස්ථාදයකයින් "කොංග්‍රස් මන්ඩලයේ ආසනවලින් සියයට 2කට වඩා කවදාවත් උසුලනු නැතැ” යි විස්තර කථිකයා නිගමනය කර යි.

"සියයට එකේ ස්වයං විනාශය” නම් තුන්වැනි තීරු ලිපිය ප්‍රමානය ඉක්මවා නොයා යුතු යයි සුපිරි පොහොසතුන්ට කෙරෙන ඍජු අනතුරු ඇඟවීමක් අඩංගුකර ගනියි. පාලක ප්‍රභූවේ කෑදරකම හා තමන් ම සන්තෝෂවීම අවසානයේ දී ලාභ පද්ධතිය මහජනතාවගේ දැනුවත් භාවය තුල අපකීර්තියට පත්කරනු ඇතැයි අනතුරු අඟවමින් තොම්සන් රොයිටර්ස් කතෘ ක්‍රිස්ටියා ෆ්‍රීලෑන්ඩ් විද්‍යාත්මක සමාජවාදයේ ආරම්භකයාගෙන් උපුටා දැක්වීමට තරම් දුර ගියා ය:

“ධනවාදය එහි ම විනාශයේ බීජ අන්තර්ගතකර ගනියි යනුවෙන් කාල් මාක්ස් අනාවැකි පලකල අනාගතය යි ඒ. එයයි ඇමරිකාව අද මුහුන දෙන අනතුර. සියයට එක අන් සියල්ලන්ගෙන් ඉවතට තල්ලුවීම හා එම පරතරය තවදුරටත් වැඩිකරන ආර්ථික, දේශපාලනික හා සමාජ න්‍යාය පත්‍රයක් හඹායාම මගින් අවසානයේදී, ඇමරිකාව පොහොසත් කල හා එහි සියයට එකට පලමු තැන වැජඹීමට ඉඩහල විවෘත පද්ධතිය විනාශකරනු ඇත.”

එක්සත් ජනපදයේ ප්‍රධාන පුවත්පත් එවැනි ලිපි පලකිරීම තුලින් සාක්ෂි දරන්නේ, මැතිවරනයෙන් පසුව ක්‍රියාවට නැඟීමට සූදානම්කර ඇති දේ පිලිබඳව පාලක කවයන්හි අසහනයයි. ඊ ලඟ ජනාධිපති හා ඊ ලඟ කොංග්‍රසය ඩිමොක්‍රෙටික් නැත්නම් රිපබ්ලිකන් හෝ ඒ දෙකෙහි යම් එකතුවක් හෝ වේවා, එයට මූල්‍ය කතිපයාධිකාරය විසින් පැහදිලිව ම අන කරන ලද පැවරුම් තිබේ.

දේශීය ප්‍රතිපත්තියේ කේන්ද්‍රීය කර්තව්‍යය වනුයේ, බැංකුකරුවන්ට හා මූල්‍ය සමපේක්ෂකයන්ට ඇපදීම සඳහා එක්සත් ජනපද භාන්ඩාගාරය කොල්ලකෑමෙන් ද ආර්ථික අවපාතය මගින් ජනිත කල මුල්‍ය අර්බුදය ද වැඩකරන ගේ වියදමෙන් පියවා ගැනීම පිනිස වෛද්‍ය රැකවරන, වෛද්‍ය ආධාර හා සමාජ ආරක්ෂාව වැනි හිමිකම් වැඩසටහන් කපාදැමීම යි.

විදේශ ප්‍රතිපත්තියේදී, චීනය හා රුසියාව වැනි එදිරිවාදීන්ට එරෙහිව තෙල්, ස්වභාවික ගෑස් හා අනෙකුත් අමුද්‍රව්‍ය ඇතුලු ප්‍රධාන සම්පත්වල පාලනය සියතට ගැනීමට උත්සාහ කරන ඇමරිකානු අධිරාජ්‍යවාදය මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ එහි ආක්‍රමනකාරී හා හමුදාමය මැදිහත්වීම පෙරට ගෙන යා යුතු ය. සිරියාව තුල මිලිටරි මැදිහත්වීම හා ඉරානය සමග යුද්ධය යන දෙක ම න්‍යාය පත්‍රයට ඇතුලත්ය.

මෙම දේශීය හා විදේශීය ප්‍රතිපත්ති ආරම්භකත්වයන් එකක් වත් සමග ඔබාමා හා රොම්නි අතර සැලකිය යුතු වෙනස්කම් නොමැත. ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් අතර ගැටුම උපායික මිස ප්‍රතිපත්තිමය ස්වභාවයක් නොගනියි.

පෙනීයන පරිදි රජයේ ආධාර මත යැපෙන ඇමරිකානු ජනගහනයේ "සියයට 47 ” පිලිබඳව රොම්නිගේ නිගා දෙන යොමුව ගැන සඳහන් කිරීමට, තේරුම් ගත නොහැකි ලෙස පලමු විවාදයේ දී ඔබාමා අසමත්වීමෙන් පසු, උප ජනාධිපති අපේක්ෂක ජෝශප් බිඩෙන් රිපබ්ලිකානු උප ජනාධිපති අපේක්ෂක පෝල් රයන් සමග ඔක්තෝබර් 11 පැවති ඔහුගේ විවාදයේ දී එම කරුන නැවත නැවතත් මතු කලේ ය.

එහෙත් ඩිමොක්‍රටිකයන් මෙන්ම මාධ්‍ය ද රොම්නිගේ සඳහනෙහි ඉතාමත් වැදගත් කොටස වන මහජනතාවට ආහාර, නිවාස හා සෞඛ්‍ය රැකවරනය සඳහා හිමිකම් ඇත යන මහජන විශ්වාසය හෙලාදැකීම කෙරෙහි අවධානය යොමු කර නැත. ඒ මන්ද යත්, ජීවිතයේ මෙම මූලික අවශ්‍යතාවන්ට මහජනතාවට අයිතියක් නැතැ යි යන්න ගැන ඔබාමා හා ඩිමොක්‍රටිකයන් රොම්නි හා රිපබ්ලිකානුවන් සමග එකඟ වන බැවිනි.

වැඩකරන ජනතාව මුහුන දෙන කේන්ද්‍රීය කාරනය වන්නේ ඩිමොක්‍රටික් පක්ෂ‍යේ ප්‍රතිගාමී ප්‍රතිපත්ති නොතකා රොම්නිට හා රිපබ්ලිකානුවන්ට වඩා එය "අඩු නපුර” නියෝජනය කර යි යනුවෙන් වෘත්තීය සමිති හා ඒවායේ ලිබරල් හා ව්‍යාජ වාම සහචරයින් ප්‍රචාරය කරන මත ප්‍රතික්ෂේප කිරීම යි. ඔබාමා නියෝජනය කරන්නේ "අඩු නපුර” නො ව, සමාජ ප්‍රතිගාමිත්වයේ, මිලිටරිවාදයේ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරයේ විකල්ප ක්‍රියාමාර්ගය යි.

කම්කරු පන්තිය ඉදිරියේ ඇති තෝරා ගැනීම ඔබාමාට එරෙහිව රොම්නි නොව, ධනේශ්වර දේශපාලන පද්ධතියට තමන් දිගටම යටත් කර තැබීම නැත්නම් වැඩකරන ජනතාවගේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරය යන දෙකෙන් එකකි. මහා ව්‍යාපාරයන්ගේ පක්ෂ දෙකෙන් කැඩී වෙන්වීම සඳහා ද කම්කරු පන්තියේ ස්වාධීන ජනතා දේශපාලන ව්‍යාපාරයක් සඳහා ද සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය හා 2012 මැතිවරන‍යේදී ජනාධිපති තනතුර සඳහා සටන් වදින ජෙරී වයිට් හා උප ජනාධිපති තනතුර සඳහා සටන් වදින පිලිස් ෂෙරර් පමනි.

Share this article: