රොම්නිගේ සියයට 47 වීඩියෝ පටය හා සමාජ ප්‍රතිසංස්කරනයන්ට එරෙහි ද්වි පාර්ශවීය ප්‍රහාරය

Romney’s “47 percent” video and the bipartisan assault on social reform

25 September 2012

සිය අනුචර ව්‍යාපාරික බලකාරයෙකු වන බොකා රැටන්ගේ මන්දිරයේදී තම අනුගාමිකයින් අමතා මිට් රොම්නි, ඇමරිකානුන්ගෙන් සියයට 47ක් සෞඛ්‍ය පහසුකම්, ආහාර, නිවාස හා ඔබට නම්කල හැකි ඕනෑම දෙයකට හිමිකම් ඇත්තවුන් යයි අදහන පින්බත් කන්නවුන් බව පැවසූ කල ඔහු හුදෙක් රිපබ්ලිකන් පක්ෂයේ දෘෂ්ටිය ප්‍රකට කලා පමනක් නොවේ.

රහසින් පටිගත කල ඔහුගේ ප්‍රකාශය අඩංගු එම වීඩියෝව පසුගිය සතියේ අන්තර්ජාලයෙහි පල විය. මාධ්‍යවල එය පුලුල්ව ප්‍රචාරය කල අතර රට පුරා මිලියන ගනනකගේ කම්පාවට හා කෝපයට හේතු විය. කෙසේ වුව ද ජනාධිපති ඔබාමා හා උප ජනාධිපති බිඩෙන්ගේ සිට ලිබරල් මාධ්‍ය පන්ඩිතයින් දක්වා වූ ඩිමොක්‍රටිකයින් මේ පිලිබඳව දැක්වූ මන්දෝත්සාහී හා නොතකන සුලු ප්‍රතිචාරය පැහැදිලි කරන්නේ රොම්නි කතාකර ඇත්තේ සමස්ත පාලක පන්තිය වෙනුවෙන්ම බවය.

රොම්නි ජනතාව බෙදන, ජ්‍යෙෂ්ඨයින්ට මඬගසන, නිපුනයින්ට ගරු නොකරන බවට කරන ඔවුන්ගේ සියලු විවේචන තුල ඩිමොක්‍රටිකයෝ මූලික ප්‍රශ්නය මඟහැරීමට ප්‍රවේශම් වෙති. එනම් ජනතාවට ආහාර, සෞඛ්‍ය පහසුකම් හා හිසට වහලක් සඳහා අයිතියක් නැතැයි රොම්නි කරන අවධාරනයයි.

පසුව තම අදහස් ආරක්ෂා කල රොම්නි තවත් ඉදිරියට ගොස් තිබේ. ඇමරිකාවට “ධනය යලි බෙදාහැරීම” පිලිබඳ මතිය ආගන්තුක බව කියන ඔහු, “එක්තරා මට්ටමකින්” ධනය යලි බෙදාහැරිය යුතු යයි එවකට ඉලිනොයිස්හි සෙනේට් සභිකයෙකුව සිටියදී ඔබාමා කල කතාවක වීඩියෝව ගැන සඳහන් කරයි.

තමන් වසර 14කට පෙර දැක්වූ අදහස් වලින් ඈත්වීමට මංමුලා සහගත උත්සාහයක යෙදෙමින් ඔබාමා, සමාජ හිමිකම් හෙලාදකින රොම්නි පරම වශයෙන්ම අනුමත කරයි. වර්ජිනියාවේ පැවති මැතිවරන ප්‍රචාරයකදී ඔහු මෙසේ පැවසීය. “මෙරටේ සාර්ථකත්වයට යමෙකු හිමිකම් පාන්නේ යයි කිසිවෙකුත් විශ්වාස නොකරයි. තමන්ටම උදව්කර ගැනීම ප්‍රතික්ෂේප කරන මිනිසුන්ට ආන්ඩුව උදව්කල යුතු යයි අපි විශ්වාස නොකරමු.”

කම්කරු හා දුගී මිනිසුන් සඳහා වන සමාජ වැඩසටහන් වලට පහරදීම පිනිස රොම්නි ෆ්ලොරිඩාහි බොකා රැටන්ගේ ප්‍රදේශය තෝරාගැනීම නියමෙට ගැලපෙන්නේය. මෙම නගරය එක්සත් ජනපදයේ බෙහෙවින්ම සුඛෝපභෝගී ආරක්ෂිත ප්‍රජාවන් ජීවත්වන මධ්‍යස්ථාන දහයෙන් තුනකට උරුමකම් කියයි. මියාමි හෙරල්ඩ් පුවත්පත මෙසේ සටහන් කරයි. සමහර බෙහෙවින්ම තක්කඩි ව්‍යාපාරිකයින්ට සෙවන දෙන නගරය ගැන සඳහන් කරමින් එය, එක්සත් ජනපදයේ සුරැකුම් හා හුවමාරු කොමිසමේ හිටපු සභාපති බොකා රැටන්ගෙන් උපුටා දක්වයි. “ජලයේ සිටිනවාට වඩා ගොඩබිමේ මිනී මොරුන් සිටින ෆ්ලොරිඩාවේ ඇති එකම වෙරලබඩ නගරය මෙයයි”

එහෙත් ඔබාමා ඊට කිසිසේත් නොඅඩු කාලයක් එවන් වාතාවරනයන් වෙනුවෙන් වැය කරයි. පසුගිය 23දා නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය, වැසූ දොරවල් පිටුපස සිය අනුචර වංශාධිපතියන්ට කථාකරන විට රොම්නි වඩා සෘජු ලෙස කතා කරන අතර ඔබාමා වඩා ප්‍රවේශම් සහගත යයි ලිවීය. ඔහු “නිශ්චිත කන්ඬායම් වලට කතාකරන ආකාරය ගැන හොඳින් සිතා බලයි.” ඔහුගේ ප්‍රසිද්ධ කතාවලදී යොදාගන්නා ව්‍යාජ ජනාවතාවාදී කයිවාරු වැනි දේ මගින් සිය ධනවත් අනුගාමිකයන් නොරිදවීමට ඔහු වගබලා ගනියි.

රොම්නිගේ කාන්දුවූ ප්‍රකාශ, වත්මන් මැතිවරන යටින් දිවෙන සැබෑ න්‍යායපත්‍රය හෙලිදරව් කර තිබේ. ඔවුන් අතර ඇති උපායාත්මක මතභේද කවරක් වුවත් පක්ෂ දෙකම, සමාජ ආරක්ෂනය, සෞඛ්‍ය ආරක්ෂන හා පහසුකම් වලින් පටන්ගෙන 20වන සියවසේ සියලු සමාජ ප්‍රතිසංස්කරන අතුගා දැමීමට කැපවී සිටිති. මෙසේ සමාජ ප්‍රතිසංස්කරනයන් කෙරෙහි දක්වන විවෘත සතුරුකම පෙන්නුම් කරන්නේ, පසුගිය වසර 40 තිස්සේ ධනේශ්වරය දකුනට මාරුවී ඇති තරමයි.

ධනය යලි බෙදාහැරීම, 20වන සියවසේ වැඩි කාලයක් පුරා එක්සත් ජනපදයේ දේශීය ප්‍රතිපත්තියේ වැදගත් උපාංඟයක් විය. මෙය තම හදව‍ෙත් උත්කෘෂ්ඨ භාවය නිසා පාලක පන්තිය මහජනතාව වෙත පුදන ලද ආශීර්වාදයක් පිලිබඳ කාරනාවක් නොවේ. ධනපතීන්ගේ ද ආන්ඩුවල ද බොහෝ විට කුරිරු හා දැඩි ප්‍රතිරෝධය හමුවේ කම්කරු පන්තිය විසින් කරනලද දැවැන්ත අරගලයකින් තොරව කිසිදු ප්‍රතිසංස්කරනයක් ලබාදී නැත.

සමාජ විප්ලවය මගහැර ගැනීමේ අවශ්‍යතාවය මත සමහර සහන පිරිනැමිය යුතු බව අදහස් කල හා මහා ව්‍යාපාරිකයින්ගේ ධනය හා ආධිපත්‍යය තුලට කිසිදු කඩාවැදීමකට විරුද්ධවූ කොටස් වශයෙන් තියුනු ලෙස බෙදී ගිය පාලක පන්තිය වෙතින්, 20 සියවසේ සමාජ ජයග්‍රහන උදුරා ගැනීමට සිදුව තිබුනි.

වසර සියයකට පෙරාතුව ප්‍රගතිශීලී පක්ෂය, ව්‍යාපාර හා බැංකු හසුරුවා ගනිමින් සියල්ලන්ගේම මූලික ජීවන අවශ්‍යතා සහිතික කිරීමට ආන්ඩුව වග බලාගත යුතු යයි කියා සිටින මැතිවරන ප්‍රකාශයක් නිකුත් කලේය. බැංකු හා සංගතවල “අදෘෂ්‍යමාන ආන්ඩුව” හා “ව්‍යාපාරික පද්ධතිය යටතේ සිදුවන ඉමහත් ධන සමුච්ඡයවීම” එම පක්ෂය විසින් හෙලාදුටුවේය. තියඩෝර් රූස්වෙල්ට් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ අතර පසුව රිපබ්ලිකානු ජනාධිපති විය.

මෙය සමාජවාදී හෝ විප්ලවවාදී කඳවුරක් නොවීය. එය වනාහි ඉසුරුමත් අවධියේ හොර වංශාධිපතීන්ගේ හා භාරකාර සංවිධානවල දූෂිත ආධිපත්‍යය කෙරෙහි පලවූ මහජන වෛරය තුල හිස එසවූ කම්කරු පන්ති ව්‍යාපාරයක පීඩනය යටතේ මතුවී ආ ධනේශ්වර ප්‍රතිසංස්කරන ව්‍යාපාරයකි. නිර්බාධිත ඒකාධිකාරයන්ගේ පාලනය සමාජයට තර්ජනයක් බවට පුලුල් වැටහීමක්, ධනපති පන්තියේම දිගුකාලීන ආසක්තයන්ට අනතුරක් බවට පාලක පන්තියේම කොටස් අතර පවා, වැටහීමක් තිබුනි.

ධනවාදයේ අසාර්ථකත්වය හා සමාජවාදයේ අවශ්‍යතාව, කම්කරු පන්තිය තුල පමනක් නොව, මධ්‍යම පන්තික කොටස් හා බුද්ධිමතුන් තුල පවා ගැඹුරින්ම දැනී තිබුනි. 20වන සියවසේ මුල් දශකය තුල ඇමරිකානු ධනවාදය පිලිබඳව බලගතු හෙලිදරව් කිරීම් සහිත ප්‍රකාශන පල කෙරිනි. ෆ්‍රෑන්ක් නොරිස්ගේ ද ඔක්ටෝපස් (බූවල්ලා), අප්ටන් සින්ක්ලෙයාර්ගේ ද ජන්ගල් (වනාන්තරය), අයිඩා ටාබෙල්ගේ ද හිස්ටරි ඔෆ් ද ස්ටෑන්ඩර්ඩ් ඔයිල් කම්පැනි (ස්ටෑන්ඩර්ඩ් තෙල් සමාගමේ ඉතිහාසය) ඉන් සමහරකි.

1913දී 16 සංශෝධනය සම්මත කරන ලදී. ඒ අනුව ධනවතුන්ට ඉහල බදු පැනවීම මගින් විශේෂයෙන්ම ධනය යලි බෙදාහැරීම සඳහා සකස් කල ප්‍රගතිශීලී ආදායම් බදු ක්‍රමයක් හඳුන්වා දෙන ලදී.

මහා අවපාතයට දෙර විවෘත කරමින් වෝල් වීදිය බිඳවැටුනු අවධිය වන විට දශක ගනනාවක් පැවති සමාජ ප්‍රතිසංස්කරන සඳහා වූ උද්ඝෝෂන හරහා ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට්ගේ නව ගිවිසුම සකස් කිරීමේ මූලික අංඟ සූත්‍රගතකොට තිබුනි. නැඟී එමින් තිබුනු කම්කරු පන්ති අරගල හා සමාජ විප්ලවයේ තර්ජනය හමුවේ ඔහු තම ප්‍රතිසංස්කරන වැඩසටහන දියත් කලේය.

රූස්වෙල්ට් 1944 ජනවාරියේ තම රාජ්‍ය තත්ව වාර්තාව ඉදිරිපත් කරමින් “ආර්ථික ආරක්ෂාව හා නිදහසින් ‍ෙතාරව සැබෑ පුද්ගල විමුක්තියක් පැවතිය නොහැකි” බව පැවසූ අතර “අයිතීන් පිලිබඳ දෙවන ප්‍රඥප්තියක්” යෝජනා කලේය. සෑම ඇමරිකානුවෙකුටම රැකියාවක්, යහපත් ආදායමක්, නිවාසයක්, සෞඛ්‍ය පහසුකම් හා සුරක්ෂිත විශ්‍රාම ගැනීමක් ද හොඳ අධ්‍යාපනයක් ද ආන්ඩුව විසින් සහතික කල යුතු යයි ඔහු යෝජනා කලේය.

රූස්වෙල්ට්ගේ “අයිතීන් පිලිබඳ දෙවන ප්‍රඥප්තිය” බොහෝකොටම නොතකා හරින ලද අතර දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයෙන් පසුව අතහැර දමන ලදී. එහි උච්ඡතම අවධිය වූ පශ්චාත් දෙවන ලෝක යුද්ධ උත්පාත සමයේදී පවා ඇමරිකානු ධනවාදයට සිය අරමුනු ඉටුකරගත නොහැකි විය.

සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය හා වැටුප් මුල්කරගත් කාර්මික වැඩවර්ජන රැල්ලක් සමග නාඟරික කැරලිකාරිත්වයකින් ආරම්භවූ 1960 ගනන්වල මහජන අරගල, ප්‍රධානකොටම ආහාර මුද්දර, සෞඛ්‍ය රක්ෂනය හා සෞඛ්‍ය පහසුකම්වල ආකෘතිය ගත් සමාජ ප්‍රතිසංස්කරනයේ දෙවැනි වටයට මුලපිරීය. දැන් පෙනී ගියේ, ජනතාවගේ ජීවිත‍ෙයහි මූලික අවශ්‍යතාවන් සඳහා ඔවුන්ට “හිමිකම්” ඇතැයි යන ප්‍රශ්නය විසඳුනු බවකි.

එහෙත් ධනේශ්වරයේ සමාජ ප්‍රතිසංස්කරන පිලිබඳ පොරොන්දු හා යථාර්තය අතර නිතරම දැවැන්ත හිඩැසක් පැවතුනි. මක්නිසා ද යත් එවන් සියලු පියවර මුල්බැස තිබුනේ ධනපති දේපල හා ලාභය ආරක්ෂා කිරීම තුල බැවිනි. එබැවින් වත්මන් ධනේශ්වරය තමන්ගේම අතීත ප්‍රතිසංස්කරන ප්‍රතිපත්ති යටත්වීමකට සමාන යයි සැලකීමේ කාරනය, ඇමරිකානු ධනවාදයේ හා එහි දේශපාලන පද්ධතියේ දිරාපත්වීමට දැක්වෙන ප්‍රතිචාරයකි. එම දිරාපත්වීමේ ප්‍රධාන මං සලකුනු වන්නේ, සමාජ අසමානතාවේ දැවැන්ත පුලුල්වීම හා එක්සත් ජනපද ආර්ථිකය තුල මූල්‍ය පරපුටුභාවයේ වැඩෙන ක්‍රියාකලාපයයි.

පසුගිය සියවසේ දෙවන ගෝලීය බිඳවැටීම හමුවේ වත්මන් ඩිමොක්‍රටික් පාලනයට ඉදිරිපත් කිරීම සඳහා නව “ගිවිසුමක්” ඇත්තේ නැත. ඔබාමා කිසිදු අව්‍යාජ සමාජ ප්‍රතිසංස්කරනයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කර නැත. කිසියම්ම හෝ සමාජ ප්‍රගමනයක ආකෘතියක් කෙරෙහි දරුනු ප්‍රතිරෝධයක් දැක්වීමට බලකෙරෙන පද්ධතියක් පවතින්නේ ප්‍රගාඪ අර්බුදයකය. පාලක පන්තිය හා එහි දේශපාලන නියෝජිතයින් තමන්ගේම අතීත ප්‍රතිසංස්කරන ප්‍රතිපත්ති අතහැර දමනතාක් දුරට, තමන්ගේම පාලනය ගෙනයාම සදහා ඔවුන් පදනම්ව සිටින සමාජ ස්ථරයන් එන්ට එන්ටම පටුවී යයි.

මෙම තත්වය, ශිෂ්ඨ ජීවිතයක ජනතා අවශ්‍යතා පිලිබඳ හිමිකම ආරක්ෂා කරන එකම විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයක කොන්දේසි යටතේ, දැවැන්ත සමාජ කලබැගෑනි සඳහා වේදිකාව සකසයි.

සමාජවාදී සමානතා පක්ෂය, රැකියාවක්, ආර්ථික ආරක්ෂාව, අධ්‍යාපනය, නිවාස, ආහාර, යහපත් විශ්‍රාම ක්‍රමයක් හා ජීවිතය සඳහා අවශ්‍ය මූලික සියල්ල සඳහා ජනතාවට ඇති සමාජ අයිතිය සඳහා කොන්දේසි විරහිතව ප්‍රතිඥා දෙයි. එහෙත් මෙම අයිතීන් සඳහා සටන තවදුරටත් ධනේශ්වර දේශපාලනයේ හා ද්වි පක්ෂ ක්‍රමයේ ආකෘතිය තුල ගෙනයා නොහැකිය. එය පාලක පන්තියේ නොපවතින “ප්‍රතිසංස්කරන” කඳවුරක් හඹා යාම පිලිබඳ කාරනයක් නොවේ.

මෙම අයිතීන් සඳහා සටන් කල හැක්කේත් ඒවා රැකගත හැක්කේත්, රටේ ද ලෝකයේම ද ආර්ථික හා දේශපාලන ජීවිතය මත ආඥාදායකත්වයක් පවත්වාගෙන යන නූතන මූල්‍ය වංශාධිපතිත්වයට එරෙහි අශමනීය අරගලයක් තුලින් පමනකි.

බැරී ග්‍රේ

Share this article: