එක්සත් ජනපදය ඉරානයට එරෙහිව ආර්ථික යුද්ධයක් ගෙනයයි

US wages economic war on Iran

6 October 2012

ඔබාමා පාලනාධිකාරය, ඉරානයට එරෙහි ප‍්‍රහාරයක් සඳහා වන සූදානම තුල ඇමරිකානු මිලිටරි බලමුලු තරකිරීම අඛන්ඩව ඉදිරියට ගෙන යන තතු තුල පවා, එරට මත පනවනු ලැබ ඇති සම්බාධක තන්ත‍්‍රය මගින් සිදු කෙරෙමින් පවතින සමාජ ව්‍යසනය මගින්, එම පාලනාධිකාරයේ විදේශ පිලිවෙතෙහි සාපරාධී ස්වභාවය එලිදරව් කෙරී තිබේ. එක්සත් ජනපදය සහ එහි සගයන් ඉරානයට එරෙහිව දැනටමත් ආර්ථික යුද්ධයක් ගෙන යමින් සිටින අතර එය අති උද්ධමනයක්, ශීඝ‍්‍රයෙන් ඉහල නගින විරැකියා තත්වයක් හා මිලියන සංඛ්‍යාත වැඩ කරන ජනතාව මත දැවැන්ත දුෂ්කරතා නිර්මානය කරයි.

ඉරානයේ මුදල් ඒකකය වන රියාල්හි අගය පසුගිය සතිය තුල දී සියයට 40කින් පහල වැටුනේ, මූලික ද්‍රව්‍ය ඇතුලු, භාන්ඩවල මිලගනන් පිම්මේ ඉහල දමමනි. යන්තම් දින දෙකක් තුල දී, එනම් ඔක්තෝබර් 1 හා 2 දිනවල, රියාල් මුදල පිලිබඳ සංත‍්‍රාසයක් පැතිර යන තතු යටතේ, එහි අගය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 25කට වැඩි ප‍්‍රමානයකින් කඩා වැටුනි. පසුගිය වසරේ අග සිට මේ දක්වා, එය සියයට 80කට වැඩි ප‍්‍රතිශතයකින් අවප‍්‍රමාන වී තිබේ.

ඊයේ, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන්, ඔහුගේ පිටුබලය ලද දරුනු ආර්ථික සම්බාධක හේතු කොටගෙන "පොදු මහජනතාව මත ඇති වී තිබෙන සැලකිය යුතු බලපෑම” පිලිබඳ අවධානය යොමු කලේය. "භාන්ඩ හා බල ශක්ති මිල ගනන්වල ඉහල යාම, විරැකියා අනුපාතයේ නැගීම, ඖෂධ ඇතුලු අවශ්‍ය භාන්ඩවල හිඟකම” එයට ඇතුලත් විය. පිලිකා, හෘද රෝග හා ශ්වසන රෝග ආදියට ප‍්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ නැතිකම අනවශ්‍ය රෝගාපීඩාවන්ට හා මරනයන්ට නොවැලැක්විය හැකි ලෙසම තුඩු දෙනු ඇත.

කිරි, පාන්, සහල්, යෝගට් හා එලවලු වැනි මූලික ආහාර ද්‍රව්‍යවල මිල ගනන් මේ වසරේ ආරම්භයේ පටන් මේ දක්වා අඩු ගනනේ දෙගුනයක් දක්වා වැඩී තිබේ. මාංශවල මිල ගනන් බොහෝ කම්කරු පන්තික පවුල්වලට දැරිය නොහැකි මට්ටමට ඉහල නැග ඇත. "ආහාර, ප‍්‍රවාහනය, සෑම දෙයක්ම වැඩි වෙලා. මිනිස්සු කනස්සල්ලෙන් ඉන්නෙ අද ගැන විතරක් නෙවි, ඔවුන් හෙට ගැනත් කරදර වෙනවා. මිනිස්සු ආර්ථිකය ගැන හොදටම බයවෙලා.” මෑත පෙරදිග පිලිවෙත පිලිබඳ වොෂිංටන් ආයතනයේ මෙධී ඛලාජ් මාධ්‍යවලට පැවසීය.

යන්තම් සඟවා ගත් පී‍්‍රතියකින් මෙම පුවත්වලට ප‍්‍රතිචාර දක්වා ඇති, ඔබාමා පාලනාධිකාරය, ව්‍යසනකාරී ආර්ථික තත්වය සම්බන්ධයෙන් ටෙහෙරාන් පාලනයට බැන වදිමින් එරට තුල අභ්‍යන්තර විරුද්ධත්වයක් ඇවිලවීමට ප‍්‍රයත්න දරා ඇත. "ඉරාන රාජ්‍යය ඔවුන්ගේ අභ්‍යන්තර තත්වයේ සෑම අංශයක්ම පරිපාලනය කර ඇත්තේ භයංකර ලෙසය,” යනුවෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකා වික්ටොර්යා නුලාන්ඩ් වාර්තාකරුවන්ට පැවසුවාය.

කෙසේවෙතත්, ඔබාමා පාලනාධිකාරය ඉරාන ආර්ථිකය බිඳදැමීම සඳහා පියවර ගෙන ඇත යන කාරනය පැහැදිලිය. එක්සත් ජනපදය හා යුරෝපා සංගමය විසින් ඒකපාර්ශ්විකව පනවනු ලැබ ඇති දන්ඩන සම්බාධක, මේ වසරේ දී ඉරානයේ විදේශ ආදායමෙන් සියයට 80ක් වන තෙල් අපනයන හරි අඩක් දක්වා හකුලුවා තිබේ. එක්සත් ජනපදය හා යුරෝපා සංගමය, එලඹෙන සතිවල දී අමතර දන්ඩන පියවර සූදානම් කරන අතර ඒවා ඉරානයේ බල ශක්ති අපනයන, ජාත්‍යන්තර මූල්‍ය සැපයුම්වලට පවත්නා එහි ප‍්‍රවිෂ්ටයන්, ආන්ඩුවේ ආදායම් සහ සාමාන්‍ය වැඩ කරන ජනතාවගේ ජීවන මට්ටම් මත තව දුරටත් බලපානු ඇත.

එක්සත් ජනපද මැර කි‍්‍රයාදාමය සඳහා හොරනෑවක් ලෙස ගෙනයන සිය කි‍්‍රයාකලාපය අවධාරනය කරමින්, මාධ්‍ය මෑතම ආර්ථික පුවත්වලට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, ඉරාන ජනතාව මුහුන දෙන දුෂ්කරතා පිලිබඳ මුලුමනින්ම නොතැකීමකිනි. ඉරානය දුර්වල කරන සම්බාධක, එරට න්‍යෂ්ටික වැඩසටහන් නතර කරන ලෙස වොෂිංටනය කරන ඉල්ලීම්වලට යටත් වීමට ටෙහෙරානයට බල කරන විදේශ පිලිවෙතේ යුක්තියුක්ත අංගයක් ලෙස සලකනු ලැබේ. විවිධාකාර පන්ඩිතයන්ට පවතින එකම ගැටලුව නම්, ඉරානයට එරෙහිව යුද්ධයක් දියත් කිරීමෙන් මෙපිට එක්සත් ජනපදයේ ඉලක්කයන් ජයගත හැකි ද නැද්ද යන වගයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් ඔබාමා පාලනාධිකාරය කරන චෝදනාවලින් විහිදෙන්නේ කුහකත්වයේ හා නරුමත්වයේ දුගඳයි. ඉරානය න්‍යෂ්ටික අවියක් තැනීමක හෝ එවැන්නක් තැනීමේ උත්සාහයක යෙදී සිටින බවට එක්සත් ජනපදය කිසිදු සාක්ෂ්‍යයක් ඉදිරිපත් කොට නැත. සත්තකින්ම, ඉරානය න්‍යෂ්ටික අවි පැතිරීම වැලැක්වීමේ ගිවිසුමට අත්සන් කර ඇති අතර සිය න්‍යෂ්ටික වැඩපොලවල් ජාත්‍යන්තර පරීක්ෂකයන්ට විවෘත කර තිබේ. එහෙත් මැද පෙරදිග ඇමරිකාවේ ප‍්‍රධාන සගයා වන ඊස්රායලය එසේ කිරීම ප‍්‍රතික්ෂේප කරන අතර එය සතුව විශාල, නවීන න්‍යෂ්ටික අවි ගබඩාවක් පවතී.

එපමනක් නොව, ඊස්රායලය සහ එක්සත් ජනපදය යලියලිත් ආක‍්‍රමන යුද්ධ දියත් කර ඇති අතර ඉරානයට පහර දෙන බවට විවෘතවම තර්ජනය ද කරයි. මෙලෙස ගැටුම් උත්සන්න කිරීමෙහිලා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මූලික එල්ලය වන්නේ, මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ බල ශක්ති සම්පත්වලින් පොහොසත් කලාප මත්තෙහි සිය මූලෝපායික ආධිපත්‍යය තහවුරු කරගැනීමයි.

ඔබාමා පාලනාධිකාරයේ යුද සැලසුම්වලට විරුද්ධ වන අතරම, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ටෙහෙරානයේ ප‍්‍රතිගාමී පූජකතන්ත‍්‍රයට හෝ ඉරාන ධනේශ්වරයේ කිසිදු කන්ඩායමකට මොන යම් හෝ දේශපාලන සහයෝගයක් දීම ප‍්‍රතික්ෂේප කරයි. ජාත්‍යන්තර සම්බාධකවලට ජනාධිපති මහමුද් අහමදින්ජාද්ගේ ප‍්‍රතිචාරය වී ඇත්තේ, එහි පරිපූර්න බර කම්කරු පන්තිය හා ගම්බද ජනතාව මත හෙලීමයි. ඔහුගේ ආන්ඩුව අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල සහනාධාර අහෝසි කොට මූල්‍ය දීමනා මගින් ඒවා විස්ථාපනය කර තිබේ. එම දීමනාවල අගය ශීඝ‍්‍රයෙන් වාෂ්ප වෙමින් පවතී.

නිල වසයෙන්, විරැකියාව සියයට 12ක් වන නමුත්, විවිධ විශ්ලේෂකයන්ට අනුව, සැබෑ සංඛ්‍යාව එමෙන් දෙගුනයක් හෝ තුන්ගුනයක් වේ. පසුගිය වසරේ දී 500,000 සිට 800,000 දක්වා වූ ඉරාන වැසියන් සංඛ්‍යාවකට සිය රැකියා අහිමි වූ බවට තක්සේරු කෙරෙයි. ඉරාන මෝටර් රථ කර්මාන්තයේ නිෂ්පාදනය පසුගිය මාස හය තුල දී සියයට 30කින් කඩා වැටී තිබේ.

කම්කරුවන් හා වෘත්තීය සාංගමිකයන් 10,000ක් විසින් යවන ලද පෙත්සමක් ගැන ඇසෝෂියේටඞ් ප්‍රෙස් වාර්තා කලේය. එහි කොටසක් මෙසේ ප‍්‍රකාශ කලේය: "මේ වසරේ දී කම්කරුවන්ගේ වැටුප් වැඩි වී ඇත්තේ සියයට 13කින් පමනක් වන තතු යටතේ, පසුගිය වසර තිස්සේ මිල ගනන්වල දැවැන්ත ඉහල නැගීම් අඛන්ඩව රිදවමින් තිබේ. . . . මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට සිය මාසික නිවාස වියදම් දැරිය නොහැකිය.”

මේ සතියේ දී ටෙහෙරානයේ කඩවීදිවල පැනනැගි, මෙම පුලුල්ව පැතිරුනු අසන්තෘප්තිය, තමන්ගේම දේශපාලන අරමුනු සඳහා ගසාකෑමට පාලක ප‍්‍රභූවේ විවිධ ප‍්‍රතිවාදී කන්ඩායම් නිසැකවම උත්සාහ දරති. තන්ත‍්‍ර වෙනසක් සඳහා ලීවරයක් ලෙස ටෙහෙරානයේ ඉහල මධ්‍යම පන්තීන් මත බොහෝ සෙයින් පාදක වූ ඊනියා හරිත ව්‍යාපාරයට එය පිටුබලය දුන් 2009 දී කල දෙය ම යලිත් කිරීමට වොෂිංටනය ප‍්‍රයත්න දරනු ඇත.

මේ එකක් වත් ඉරානයට එරෙහි ආක‍්‍රමනික යුද්ධයක් සඳහා එක්සත් ජනපද සූදානම නතර කොට නැත. ආර්ථිකය බකල් කරන ජාත්‍යන්තර සම්බාධකවලට දශකයක් තිස්සේ මුහුන දුන්, ඉරාකය සම්බන්ධයෙන් මෙන්ම, ඉරානය මත පනවනු ලැබ ඇති සම්බාධක තන්ත‍්‍රයේ එල්ලය වන්නේ ද, ප‍්‍රහාරයකට යන සූදානම තුල රට දේශපාලනිකව හා ආර්ථිකව දුර්වල කිරීමයි. එක්සත් ජනපදය, පර්සියානු ගල්ෆ් ප‍්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ දැවැන්ත ජාත්‍යන්තර යුද අභ්‍යාසයක් සිදු කරා පමනි. මේ මස අග එය ඊස්රායලය සමග මිසයිල නාශක පද්ධති අත්හදා බලනු පිනිස සැලසුම් කෙරුනු ඒකාබද්ධ යුද අභ්‍යාස පවත්වනු ඇත. මෙම අභ්‍යාස "ආරක්ෂක” පියවර නොව ඒවායේ අභිප‍්‍රාය වන්නේ, ඇමරිකානු ප‍්‍රහාරයක ප‍්‍රතිඵලයක් ලෙස සිදු විය හැකි ඕනෑම ඉරාන ප‍්‍රතිප‍්‍රහාරයකට මුහුන දීමේ එක්සත් ජනපදයේ හා එහි මිලිටරි සගයන්ගේ හැකියාව ශක්තිමත් කිරීමයි.

ඉරානයට එරෙහි යුද්ධයක් ඉරානයේ කම්කරු පන්තිය මත පමනක් නොව කලාපය හා ලෝකය පුරා ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක ජනිත කරනු ඇත. මෙම යුද ප‍්‍රයත්නය නතර කිරීමට සමත් එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලය මග පදනම්ව අධිරාජ්‍යවාදයට එරෙහිව ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගනු පිනිස, එක්සත් ජනපදයේ හා යුරෝපයේ කම්කරුවෝ මැද පෙරදිග හා ලොව වටා සිය පන්ති සහෝදරසහෝදරියන් මග ඒකාබද්ධ විය යුත්තාහ.

පීටර් සිමන්ඩ්ස්

Share this article: