අංක දෙක රාත්‍රියේ එක්සත් ජනපද විවාදය

US debate night number two

16 October 2012

අද රාත්‍රියේ ජනාධිපති බරක් ඔබාමා හා ඔහුගේ රිපබ්ලිකානු ප්‍රතිවාදියා වන මිට් රොම්නි අතර ජාතිකව විකාශනය වන රූපවාහිනී විවාදය, මේ මස මුලදී පැවති පලමුවැන්නට වඩා නොඅඩු ලෙසින් වේදිකා රංඟනයක් වනු ඇත. කිසිවක් බැරෑරුම් ලෙස හෝ අව්‍යාජව සාකච්ඡා නොකරනු ඇත.

නොවැම්බර් 06 මැතිවරනයෙන් ඉක්බිතිව දිනන්නේ කුමන අපේක්ෂකයා ද යන්න නොතකා, සූදානම් කෙරෙන සැබෑ ප්‍රතිපත්ති ඉස්මතු නොවනු ඇත. ඒ වෙනුවට ඇමරිකානු දේශපාලනයේ සාමාන්‍ය පීලිපැනීම් හා නොතකා හැරීම් ඉස්මතු වනු ඇත. සියලු දෙනාම මිලියනපතියන් හා විවිධ ව්‍යාපාරික හා රාජ්‍ය අවශ්‍යතාවන් නියෝජනය කරන විවාද පූර්ව පසුබිම් කථිකයින්, ඇමරිකාව වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන තරඟකාරී "ඉදිරිදර්ශන” දෙක අතර තියුනු ලෙස නිර්නයවූ තේරීමක් ඡන්දදායකයින්‍ට ඇතැයි කියා සිටිනු දැකගත හැකිය.

පලමු විවාදයේදී ඔබාමාගේ කාලකන්නි හැසිරීමෙන් පසුව දෙවන වටයේදී හොඳ තරඟයක් දුන්නා හෝ නොදුන්නා හෝ එහි පවතිනු ඇත්තේ සුලු වැදගත් කමක් පමනි. "ජයග්‍රාහකයා” හා "පරාජිතයා” වීමට නියමිතව ඇත්තේ කවුරුන් ද යන්න තවමත් තීරනය වූ බවක් නොපෙනෙන අතර එම තේරීම බොහෝකොටම තර්ක විතර්කයන්හි හෝ නරඹන ජනතාවගේ තීන්දුවට වඩා ව්‍යාපාරික-මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ කැමැත්ත වනු ඇත.

පලමු ජනාධිපති විවාදය හා පසුගිය සතියේ උප ජනාධිපති විවාද‍ය මෙන්ම සමස්තයක් ලෙස මැතිවරන ව්‍යාපාරයම නිරීක්ෂනය කිරීමේදී කිසිවෙකුටත් එක්සත් ජනපදය මහා අවපාතයෙන් පසුව එලඹි නරකම ආර්ථික අර්බුදයේ පස්වන වසරට ලඟාවී ඇතැයි කිසේත්ම අනුමාන කල නොහැක. මහජන විරැකියාව, වාර්තාගත නිවාස අත්පත්කරගැනීම්, අත්‍යවශ්‍ය සේවා කපාහැරීම් හෝ දුප්පත්කම වැඩී යාම, සාගින්න හා සමාජ අනාරක්ෂිත භාවය පිලිබඳව කිසිදු සඳහනක් නොවූ තරම්ය.

වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් හා මූලික සමාජ වැඩසටහන් මත මැතිවරනයෙන් පසුව ප්‍රහාර උත්සන්න කිරීම පිනිස තමන් සතු ඒකාබද්ධ සැලසුම් පිලිබඳව අපේක්ෂකයින් දෙදෙනාම නිසොල්මන්ව සිටින අතර ඇමරිකානු "මධ්‍යම පන්තියට” සිය කැපවීම පිලිබඳව කියාපාති.

ඔබාමා පාලනයේ ද සහාය ඇතිව පක්ෂ දෙකේම සෙනේට් සභිකයින් වැසූ දොරවල් පිටුපස සිට පශ්චාත් මැතිවරන අවධියේ බංකොලොත් කොන්ග්‍රසය වෙනුවෙන් අයවැය ගිවිසුමක් කෙටුම්පත් කරන්නේ ද යන්න පිලිබඳව ඡන්ද දායකයින් කී දෙනෙක් සැලකිලිමත් වන්නේ ද? සෞඛ්‍ය සේවා හා අනෙකුත් හිමිකම් වැඩසටහන් මෙන්ම ව්‍යාපාරයන්ගේ හා ධනවතුන්ගේ බදු කපාහැරීම් මීට ඇතුලත් වන්නේය. නොඑසේනම් ඔබාමා, දිගු කලක් රැකියාවක් නැතිව සිටින අයගේ විරැකියා සහන කැපීමට රිපබ්ලිකානුවන් සමග වැඩකර ඇති බව හා ඒ සියල්ල නව වසරේදී මුලුමනින්ම අහෝසි කිරීමට සූදානම් වන බව දන්නේ ද?

සියවසකට ආසන්න කාලයක් තුල සිදුවූ දැවැන්තම ආර්ථික කඩාවැටීමෙන් සිව් වසරක් ඉක්බිත්තෙහි කිසිදු අව්‍යාජ සමාජ ප්‍රතිසංස්කරනයක් ක්‍රියාත්මක කර නොතිබීම අසාමාන්‍ය තත්වයකි. එක කාරනයක් පමක් වුවත් ඔබාමා පාලනය නියෝජනය කරන්නේ කුමන සමාජ අවශ්‍යතාවන් ද යන්න හෙලිදරව් කරයි. එනම්, 2008 සැප්තැම්බරයේ බිඳ වැටීමට පෙරාතුව පැවතියාට වඩා අද කොටස් වෙලඳපොල ඉහල නැඟ තිබේ. සමස්තයක් වශයෙන් රට වඩාත් දුගී භාවයට පත්ව තිබියදී ධනවතුන් තවත් ධනවත්වී ඇත. මෙසේ සිදුවිය හැක්කේ කෙසේ ද?

2009 ජනවාරියේදී බලයට පත්වූ තැන් පටන් ඔබාමා ගෙන තිබෙන සෑම පියවරකම අරමුන වී ඇත්තේ පෞද්ගලික බැංකුවල තත්වය නඟාසිටුවීමයි. ෆෙඩරල් මහ බැංකුවේ හිටපු සභාපති වන ඔබාමාගේ භාන්ඩාගාර ලේකම්ගේ සිට ඔහුගේ ධවල මන්දිර කාර්ය මන්ඩල ප්‍රධානීන් තිදෙනා ද වැටුප් හා සහන කැපීම හා තොග පිටින් දොට්ට දැමීම් ක්‍රියාවට නඟන ලද මෝටර් රථ කාර්යසාධක බලකායේ නායකයින් ද දක්වා වූ සිය නියෝජියින් මගින් ඔබාමා පාලනය මෙම මෙහෙයුම අධීක්ෂනය කලේය.

මූල්‍ය අධිකාරීන් හා සමපේක්ෂකයින්ට මිස අන් කවරෙකුටවත් වාසි නොසැලසූ ඩොලර් ට්‍රිලියන ගනනක් මහජන අරමුදල් බැංකු වලට පොම්ප කරන ලදී. එක්සත් ජනපදයේ ද ලෝකය පුරා ද නොගිනිය හැකි තරම් මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපායන්ගේ වියදමෙන් මූල්‍ය උනුවී යාමට තුඩු දුන් වගකීම් විරහිත හා නීති විරෝධී කටයුතුවල යෙදීම ගැන වගකිවයුතු කිසිදු ප්‍රමුඛ බැංකුකරුවෙකු නීතිය හමුවට පමුනුවා නැත.

ධවල මන්දිරය හා කොන්ග්‍රසය පාලනය කරන්නේ කුමන පක්ෂයක් ද යන්න නොතකා මැතිවරනයෙන් පසුව දැකගත හැකිවනු ඇති මෙම පරාවක්‍රය පැහැදිලිය.

* මීලඟ පාලනය තවත් ප්‍රධාන යුද්ධයකට හෝ යුද්ධ ගනනාවකට පැටලෙනු ඇත. එක්සත් ජනපදය මූලිකත්වය ගන්නා යුද්ධයක අනෙක් පාර්ශවයන් වන්නේ, මෙක්සිකෝව ද ඇතුලු අනෙකුත් රටවල් පසුබිමේ සිටින අතර සිරියාව, ඉරානය, චීනය හා රුසියාවයි. මෑතක දී පලවූ වාර්තා, ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරයක සැලසුම් වැඩිදියුනු අදියරකට පැමින ති‍බෙන බව පෙන්නුම් කරයි. ඉරානය "පර්ල් වරාය” වර්ගයේ පරිගනක නිර්මිත ප්‍රහාරයක් සැලසුම් කරන බවට චෝදනා නඟමින් ආරක්ෂක ලේකම් ලියොන් පැනෙට්ටා කල උමතු සහගත කතාවෙන් මෙය සලකුනු කලේය.

* ඉතිරිව තිබෙන මූලික සමාජ වැඩසටහන් තියුනු ලෙස කපා හැර ප්‍රතිව්‍යුහගත කෙරෙනු ඇත. සෞඛ්‍ය පහසුකම්, සෞඛ්‍ය ආරක්ෂනය, සමාජ ආරක්ෂාව හා ආහාර මුද්දර ඊට අන්තර්ගත වනු ඇත. මෙම ප්‍රහාරයන්ගේ අප්‍රකාශිත අරමුන වනු ඇත්තේ, සෞඛ්‍ය සේවය, විශ්‍රාම සහන වැනි දේ සඳහා වියදම් පහත හෙලීමට හැකිවන පරිදි කම්කරු පන්තික ඇමරිකානුවන්ගේ ජීවිත අපේක්ෂාව අවම කිරීමය.

* සැප්තැම්බර් 11 පසුව ක්‍රියාත්මක වන හා ඔබාමා යට‍ෙත් උත්සන්න කෙරුනු ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි ප්‍රහාර හා පොලිස් බලතල තව තවත් පුලුල් කෙරෙනු ඇත. අයිතීන් පිලිබඳ ප්‍රඥප්තිය කටගෑ ලිපියක් සේ පවතිනු ඇත.

වැඩකරන ජනතාව හමුවේ ඇති සැබෑ ප්‍රශ්නය කවරේ ද? එය ඇමරිකානු ධනවාදයේ මෙම අපේක්ෂකයින් දෙදෙනාගෙන් පත්කර ගන්නේ කවුරුන් ද යන්න නොවේ. රිපබ්ලිකානු ජයග්‍රහනයක ප්‍රතිවිපාක පිලිබඳ වටහාගත හැකි කනස්සල්ලක් පවතින අතර ඩිමොක්‍රටිකයින් පිම්බීම සඳහා සෑම මැතිවරනයකදීම එලියට ගන්නා "නපුරු දෙකෙන් අඩු නපුර” යන උද්ඝෝෂන පාඨය උගුලකි. සමාජ ප්‍රතිගාමිත්වයේ ද යුද්ධයේ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට පහර දීමේ ද මහා ව්‍යාපාරිකයේ දෙපක්ෂයම විසින් සහාය දෙන පාලක පන්තියේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීම පිනිස එමගින් එයට හැකියාව ලබාදෙයි.

ඔබාමා යලි පත්කර ගැනීමට දෙන සිය සහයෝගය යුක්තිසහගත කිරීම පිනිස ලිබරල් වාම අනුචරයින් විසින් වගා කරන තර්කයන්ට මනා උදාහරනයකි, ද නේෂන් සඟරාව. නේෂන් වෙබ් අඩවියේ පලකල වීඩියෝ පට ඉල්ලීමකින් හා එහි සංස්කාරක කැට්‍රිනා වැන්ඩෙල් හියුවෙල් ඔබාමාගේ යලි පත්වීම "ප්‍රගතිශීලී” මාවතේ “පලමු වැදගත් පියවර” ලෙසට කල සඳහනකින් යුක්ත විය. ඇය එසේ කීවේ මෙ‍ය ද පිලිගනිමිනි. "දුප්පත්කමේ විනාශකාරී සංඛ්‍යා” හා "විදේශ ප්‍රතිපත්ති‍යේ මිලටරීකරනය” අපේක්ෂකයින් දෙදෙනාගේම මැතිවරන ව්‍යාපාර‍ය තුලින් "අතුරුදහන්ව තිබීම” ඔබාමාගේ "මතභේදකාරී” නිල කාලය “ආර්ථික ප්‍රකෘතියක් පිලිබඳ ප්‍රමානයෙන් හා යෙදුම් වලින්” දුර්වර්නවී තිබේ. (කියවන්න-"වෝල් වීදිය සඳහා ට්‍රිලියන ගනනක් හා ජනතාව සඳහා මොකුත්ම නැත” හා "ජාතික ආරක්ෂක රාජ්‍යය ද සමග සිවිල් නිදහස ඛාදනය වීම” එනම් හබෙයාස් කෝපුස් නීතිය ඉරා දැමීම, නීති විරෝධී ඝාතන, දේශීය ඔත්තු බැලීම් පුලුල් වීම)

සැබෑ ප්‍රශ්නය වන්නේ, කම්කරු පන්තිය ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරන ක්‍රමයෙන් හා ද්වි පක්ෂ ක්‍රමයෙන් බිඳී වෙන්වීමේ අවශ්‍යතාවය හා සමස්ත ව්‍යාපාරික හා දේශපාලන සංස්ථාපිතයට එරෙහිව ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීමයි. එහි තේරුම කම්කරුවන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කරන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැඟීම හා ලාභය සඳහා නොව සමාජ අවශ්‍යතා මත පදනම්වූ ආර්ථික ජීවිතයේ පෙරලිකාරී ප්‍රතිව්‍යුහකරනයකි. ඒ තුලින් සමාජ සමානතාවය සාක්ෂාත් කිරීමයි.

සමාජවාදී සමානතා පක්ෂයත් එහි ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් හා උප ජනාධිපති අපේක්ෂක ෆිලිස් ස්කරර් විසින් උරදී සිටින සටන එයයි. සසප මේ මාසයේ අවසන් දිනවල හා ලබන මාසයේ මුල ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරුවන් හා තරුනයින්ගේ තීරනාත්මක අත්දැකීම් උකහා ගැනීම රැස්වීම් සංවිධානය කරයි.

ඔබාමා පාලනය හා ද්වි පක්ෂ ක්‍රමය පිලිබඳ ශේෂ පත්‍රයක් සකසා ගැනීම, එක්සත් ජනපදයේ නිල මැතිවරන ව්‍යාපාර‍ෙය් සමාජ හා දේශපාලන ගතිකය විභාග කිරීම, සසප උද්ඝෝෂනයේ අත්දැකීම් සමාලෝචනය කිරීම හා මෙම වර්ධනයන් ධනේශ්වර ලෝක ආර්ථික අර්බුදයේ සන්දර්භය තුල තැබීම හා ආසියාවේ, අප්‍රිකාවේ, මැද පෙරදිග, යුරෝපයේ හා ඇමරිකාව තුලම ද පන්ති අරගලය යලි හිස එසවීම මෙයට ඇතුලත්ය.

කම්කරුවන්ගෙන් තරුනයින්ගෙන් හා ශිෂ්‍යයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙම රැස්වීම්වලට සම්බන්ධ වීම සඳහා සූදානම් වන ලෙස හා සසපයට බැඳීමට තීරනය ගන්නා ලෙසයි.

බැරී ග්‍රේ

Share this article: