බෙන්ගාසි ප්‍රහාරය පිලිබඳ නොමඟ යවන සුලු විවාද

The diversionary debate over the Benghazi attack

12 October 2012

නැගෙනහිර ලිබියානු නගරයක් වන බෙන්ගාසිහි එක්සත් ජනපද තානාපති හා සීඅයිඒ කාර්යාල වෙත එල්ල වූ ප්‍රහාරයේ දී තානාපති ජේ. ක්‍රිස්ටෝපර් ස්ටීවන්ස් හා තවත් ඇමරිකානුවන් තිදෙනෙකු මිය යාමෙන් පසුව එම සිද්ධිය එක්සත් ජනපද මැතිවරනයේ වාදයට තුඩුදෙන මාතෘකාවක් වී තිබේ.

ලිබියාව තුල එක්සත් ජනපද සේවක පිරිස සඳහා ප්‍රමානවත් ආරක්ෂාවක් සැපයීමට අසමත්වීම ගැන ඔබාමා පාලනයට චෝදනා කිරීමට රිපබ්ලිකානුවන් උත්සාහ ගැනීමත් සමග සැප්තැම්බර් 11දා ප්‍රහාරය පිලිබඳ 10දා කොන්ග්‍රස් මන්ඩල විභාගය පක්ෂග්‍රාහී උනුසුම් වචන හුවමාරුවලින් සලකුනු විය. තානාපති කාර්යාලයේ ආරක්ෂක වියදම් කප්පාදු කිරීම සඳහා ඔවුන් විසින් ම යෝජනා ගෙන ඒමෙන් පසුව රිපබ්ලිකානුවන් "ශෝඛාන්තයක් දේශපාලනීකරනය” කිරීමට උත්සාහ දරන බවට ඩිමොක්‍රටිකයන් ප්‍රතිප්‍රහාර එල්ල කලහ.

මුලින් එම සිද්ධිය, ඉස්ලාම් විරෝධී වීඩියෝ පටයට එරෙහි කලාපයේ පුලුල් පෙලපාලිවලින් ප්‍රකුපිත ස්වයංසිද්ධ ප්‍රහාරයක් ලෙස විස්තර කිරීම, අල් කයිඩා ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් වසන් කිරීමට සමාන යයි රිපබ්ලිකානුවෝ චෝදනා කලහ. පැවතුන තොරතුරු මත ආරම්භක වාර්තා පදනම් වූ අතර තමන් වෙත "සම්පූර්න පින්තූරයක්” ලැබුන වහා ම එය නිවැරදි කල බව අවධාරනය කරමින් 10දා රාත්‍රියේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක දී ජනාධිපති ඔබාමා මෙම තර්කය ප්‍රතික්ෂේප කලේ ය.

ට්‍රිපොලියේ ඇමරිකානු තානාපති කාර්යාලයේ හිටපු ප්‍රධානී හා මුලින් එහි සේවයේ නියුතුව සි‍ට පසුව ඉවත් කර ගත් සාමාජිකයන් 16දෙනෙකුගේ හමුදා අරක්ෂක කන්ඩායමේ අනදෙන නිලධාරී යන දෙදෙනා ම එම අනු කන්ඩායම එහි රැඳවිය යුතු යයි ඉල්ලා සිටි නමුත් රාජ්‍ය දෙපාර්තමේන්තුව එය යටපත් කල බවට සාක්ෂි දුන්හ.

මෙම විවාදයේ කැපී පෙනෙන දෙය නම් හිතාමතා ම මූලික දේශපාලන ප්‍රශ්න මග හැරීම යි. ලිබියානු තන්ත්‍රය පෙරලීමේ එක්සත් ජනපද-නේටෝ යුද්ධයේ ජයග්‍රහනය සලකුනු කල එහි හිටපු රාජ්‍ය නායක මුවම්මර් ගඩාෆිගේ කුරිරු ඝාතනයෙන් ආසන්න වශයෙන් වසරකට පසුව ලිබියාවේ තත්වය කුමක් ද? මිනිස් ජීවිත ආරක්ෂා කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා යයි පවසමින් ගෙන ගිය යුද්ධය අල්කයිඩාවට සම්බන්ධ මිලීෂියාවන්ට නිදැල්ලේ ක්‍රියාකිරීමට හැකි තත්වයක් නිර්මානය කලේ කෙසේ ද?

ලිබියා‍ෙව් එක්සත් ජනපද මධ්‍යස්ථාන තුල මිලිටරී ආරක්ෂාව අතහැර දැමීමට අවශ්‍ය වූයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට පමනක් නො‍ෙව්. තානපති ස්ටීවන්සන්ට ද එය අවශ්‍ය විය. එක්සත් ජනපද යුද්ධය ලිබියානු ජනතාව නිදහස් කර ඇති අතර උතුරු අප්‍රිකාවේ නව "ප්‍රජාතන්ත්‍රවාදයක්” නිර්මානය කර ඇතැ යි යන බොරුව දෙගොල්ලම ප්‍රචාරය කරමින් සිටියහ.

අත්තනෝමතික ලෙස ගඩාෆි ඝාතනය කිරීමෙන් වසරකට පසු ලිබියාවේ පවතින සැබෑ තත්වය නම් ක්‍රියාකාරී ආන්ඩුවක් නොමැති කම හා රටේ වැඩි ප්‍ර‍ෙද්ශයක පාලනය සන්නද්ධ මිලීෂියා කන්ඩායම් සිය ගනනක් අත පවතින, සිවිල් යුද්ධයකට ලංවෙමින් ඇති ව්‍යාකූල එකකි. නිල කවයන් තුල එන්ට එන්ටම ලිබියාව විස්තර කෙරෙන්නේ "අසාර්ථක රාජ්‍යයක්” හා "ඊලඟ ඇෆ්ගනිස්තානය” ලෙස ය.

දීර්ගකාලීන සීඅයිඒ ඔත්තුකරුවෙක් වූ සැප්තැම්බර් 12දා තේරී පත්වූ අගමැති මුස්තෆා අබු ෂාගූර් බලයෙන් පහකිරීමේ අර්ථය වන්නේ, කොල්ලකෑම් හා තනතුරු බෙදාගැනීම සඳහා ප්‍රාදේශීය කන්ඩායම් අතර පවතින කටුක ගැටුම් මගින් බලරහිත තන්ත්‍රය අබ්බගාත කර ඇති බවත් මාසයක කාලයක් ඇතුලත ආන්ඩු නායකයන් හතර දෙනෙකු එහි සිට ඇති බව යි.

මේ අතර, බානි වලිඩ්හි තත්වය, "විමුක්තියෙන්” වසරකට පසු ලිබියාවේ තත්වය පිලිබඳ පැහදිලි ම සලකුනයි. මිලීෂියා භටයන් දහස් ගනනකින් බොහෝ දෙනා මිසරාටා නගරයෙන් පැමින සිටින අතර ඔවුන් ආහාර, ඖෂධ හෝ වෙනත් සැපයුම් ඇනහිටුවා තිබේ. ඔවුහු එහි නිවැසියන්ට ඇතුලට ඒමට හෝ පිටවීමට ඉඩදීම ප්‍රතික්ෂේප කර 70,000ක් පමන වෙසෙන බානි වලිඩ් නගරය වටලාගෙන සිටිති. ඔවුන් නගරයට රොකට් හා යුද ටැංකි ප්‍රහාර එල්ල කරන අතර, වෛද්‍යවරුන්ට හා ප්‍රාදේශීය රෝහල් වාර්තාවන්ට අනුව පැහදිලිව පෙනෙන පරිදි නේවාසික අසල්වාසීන්ට එරෙහිව ගෑස් අඩංගු ෂෙල් වෙඩි යොදා ගෙන ඇත. "කැරලිකරුවන්” යයි මුලින් හඳුන්වන ලද මිලිෂියාවන් අතට පත්ව ඇති අවට කුඩා ගම්මාන කොල්ලකා ගිනිබත්කොට ඇත.

බෝම්බ දැමීමෙන් ලමයෙකු ඇතුලුව අඩු ම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් ඇති අතර සමහරෙක් බරපතල තුවාල සහිතව සුදුසු වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව මියයාමේ අනතුරට ලක්ව සිටිති.

පසුගිය වසරේ ගඩාෆි දඩයම් කිරීම හා ඝාතනය කිරීමට සම්බන්ධ වූ හිටපු "කැරලිකරුවෙකු” මරා දැමීමට චෝදනා ලැබූ පුද්ගලයන් භාරදීමට බානී වලිඩ්හි ප්‍රාදේශීය නායකයන් අසමත් වුවහොත්, හමුදා බලය යෙදීමට අවසරය දී ඇති පොදු ජාතික කොංග්‍රසයේ නිල අනුමැතිය සහිතව මෙම ම්ලේච්ඡ ක්‍රියා සිදුකරනු ලබයි.

එක දිගට බෝම්බ හෙලීමෙන් පසු නේටෝ හා එහි බලකාර මිලීෂියාවන් අතට පත්වුන අවසාන ලිබියානු නගරවලින් එකක් වූයේ බානි වලිඩ් ය. එක්සත් ජනපදයේ අනුග්‍රහය ලත් හමුදා එහි පුරවැසියන් සිය ගනනක් වටකර සිරගත කරන ලදී.

දෛනිකව වධ හිංසාවන්ට ලක් කරන ඇස්තමේන්තු ගත රැඳවියන් 9,000ක් බොහෝ අවස්ථාවන්හි දී අවුරුද්දකට හෝ ඊට වැඩි කාලයක් ලිබියාවේ තාවකාලික හිරගෙවල්වල රඳවාගෙන සිටිනු ලැබේ. මෑත දී බන්ධනාගාර අධ්‍යයනය පිලිබඳ ජාත්‍යන්තර කේන්ද්‍රය, චෝදනා හෝ නඩුවිභාග නොමැතිව රඳවා ගෙන සිටින සිරකරුවන් වැඩිම (සියයට 89) රට ලෙස ලිබියාව නම්කර තිබේ. ආසන්න වශයෙන් ඔවුන්ගෙන් සියයට 15ක් විදේශිකයන් ය. ඉන් වැඩි ම සංඛ්‍යාව ඔවුන්ගේ සමේ පැහය නිසා කොටු කර ගත් උප-සහාරානු සංක්‍රමනික කම්කරුවන් ය.

ගඩාෆි තන්ත්‍රයට විරුද්ධත්වය දක්වා තිබූ මානව හිමිකම් පිලිබඳ ලිබියානු නිරීක්ෂනායතනය මෑත දී මෙසේ ප්‍රකාශ කලේ ය: "ලිබියාව තුල මානව හිමිකම් පිලිබඳ දැන් තත්වය හිටපු ඒකාධිපති මුවම්මර් ගඩාෆි යටතේ තත්වයට වඩා අන්ති ම නරක ය.”

මෙම බියකරු සිද්ධි දාම‍ෙය්දී, වොෂින්ටනයේ "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධ‍ෙය්දී” නායකයන් දඩයමට ලක්වූ අල්කයිඩාවට සම්බන්ධ ලිබියානු සටන් කන්ඩායම් තුල සිය මූලයන් සහිත බොහෝ ඉස්ලාමීය මිලිෂියාවන්, බෙන්ගාසි හා වෙනත් තැන්වල බලගතු කෙරුම්කාරයින් ලෙස ඉස්මතු ව ඇත.

මෙය අහම්බයක් නොවේ. ලිබියානු පාලන තන්ත්‍ර වෙනසක් සඳහා දියත්වූ එක්සත් ජනපද-නේටෝ යුද්ධය තුල දී වොෂින්ටනය නිශ්චිතව ම මෙම බලවේග සන්නද්ධ කර ඔවුන්ට අනුග්‍රහය දැක්වී ය. මෙම යුද්ධය මෙහෙය වන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිනම් මානව හිතවාදය විසින් නොවේ. ඊට විපරීතව මැද පෙරදිග දැවන්ත බලශක්ති සම්පත් මත එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය සඳහා තල්ලුව මගිනි. පහලින් ක්‍රියාත්මක වන අවංක ජනතා විප්ලවවාදී ව්‍යාපාරයක් නොමැති තත්වයක් තුල ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ භාරකරුවන් ලෙස නරුම ලෙස පෙනීසිටිමින් වොෂින්ටනය, අවස්ථාවාදී ලෙස තමන්ගේ අරමුනු සඳහා ඉස්ලාමීය බලවේග යොදා ගත්තේය.

මොස්කව්හි අනුග්‍රහය ලත් ආන්ඩුවට හා සෝවියට් හමුදාවන්ට එරෙහිව යුද්ධය තුල දී අල්කයිඩා හා ඒ සමාන බලවේගයන්ට වොෂින්ටනය අනුග්‍රහය දැක් වූ ඇෆ්ගනිස්තානය තුලදී මෙන්ම ලිබියානු මැදිහත්වීමේ "ප්‍රතිඵල” නෙලාගැනීම ද එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දැන් බෙන්ගාසි වලින් අරඹා ඇත.

තානාපති මරාදැමූ අය "නීතිය ඉදිරියට” ගෙන ඒමට ජනාධිපතිගේ පොරොන්දුව සාක්ෂාත් කිරීම මගින්, පලමුව ත්‍රස්තවාදීන් ලෙස දඩයම් කෙරුනු හා දෙවනුව විමුක්ති සටන්කාමීන් ලෙස ප්‍රශංසා කෙරුනු ලිබියානු ඉස්ලාම්වාදීන් සමග ගනුදෙනුව සම්පූර්න කිරීමට ඔබාමා පාලනය මත යෙදෙන දේශපාලන පීඩනය නැගෙමින් පවතී. ඩ්‍රෝන් මිසයිල් ප්‍රහාර හෝ බෙන්ගාසි මත විශේෂ හමුදා කඩාපැනීම්වල ස්වභාවය ගත යුතු මෙම ක්‍රියාන්විතය, ලිබියාව කැබලි වී යාමේ අනතුර උග්‍ර කරනු ඇති අතර එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නිමක් නැති ගෝලීය යුද්ධයේ තවත් පෙරමුනක් විවෘතකරනු ඇත.

බෙන්ගාසි ප්‍රහාරයේ මෙම දේශපාලන මූලයන් සාකච්ඡා කිරීමට ඩිමොක්‍රටිකයන්ට නැත්නම් රිපබ්ලිකානුවන්ට කිසිම කැමැත්තක් ඇත්තේ නැත. සිරියාවේ බෂාර් අල්-අසාද් පෙරලා දැමීමේ නිකායික සිවිල් යුද්ධයේදී ද ඒ සමාන ඉස්ලාමීය මිලීෂියා හමුදාවන්ට සහාය දැක්වීම මගින් පක්ෂ දෙක ම වඩාත් බියකරු මට්ටමකින් ලිබියානු සැහසිකම නැවත කිරීමට උත්සාහ දරමින් සිටී. සැබවින් ම, මෙම යුද්ධ‍ෙය් ප්‍රහාරක භටයින් ලෙස ලිබියානු මිලීෂියා භටයින් 3,500ක් සිරියාවට යවනු ලැබ ඇතැයි ගනන් බලා තිබේ.

එක ම පක්ෂයක්වත් අවධානය යොමු නොකරන බෙන්ගාසි සිද්ධියේ සැබෑ පාඩම නම්, ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ ප්‍රෝඩාව හා ලිබියානු "විප්ලවයේ” නියම ස්වභාවය ද එක්සත් ජනපද‍ෙය් හා ජාත්‍යන්තරව සුලුධනේශ්වර ව්‍යාජ වමේ පුලුල් ස්ථර විසින් උද්‍යෝගීමත්ව වැලඳ ගැනුනු වොෂින්ටනයේ "මානවවාදී” මැදිහත්වීම ද හෙලිදරව්වීම යි.

බිල් වෑන් ඕකන්

Share this article: