යුරෝපා සංගමයේ කප්පාදු පිලිවෙත් ග්‍රීසිය තුල මර්දනයට තල්ලුව දෙයි

EU austerity drives repression in Greece

13 October 2012

යුරෝපය පුරා වැඩ කරන ජනතාවගේ සමාජ අයිතීන්ට හා ජීවන හා සේවා තත්වයන්ට එරෙහි සිය ප්‍රහාර උත්සන්න කිරීම යුරෝපා සංගමයේ අභිප්‍රාය බව, අඟහරුවාදා ග්‍රීසියට කල සිය හදිසි සංචාරය තුල දී, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්, පැහැදිලි කලාය.

කැරලි මර්දන පොලිස් භටයන් 7,000කගේ ආරක්ෂාව යටතේ, මර්කෙල් ග්‍රීක අගමැති අන්තෝනිස් සමාරාස් සමග පැවැත්වෙන හමුවකට සහභාගි වනු පිනිස මහජනයා මුලුමනින්ම ඉවත් කර තිබුනු වීදි ඔස්සේ ඉගිල ගියාය. ඇයගේ අරමුන වූයේ, සමාරාස් යුරෝපා සංගමය විසින් නියම කරන ලද දරුනු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමේ දී පසුබැසීමක් නොකරන බව සහතික කරගැනීමයි. මර්කෙල් ඊලඟට මුනු ගැසුනේ, ග්‍රීක කම්කරුවන් මත කඩාපාත් කෙරෙන සාගිනි වැටුප් මත පදනම් වෙමින් ඉක්මනින් හා පහසුවෙන් සිය මඩි තරකරගැනීමට බලාපොරොත්තුව සිටින තෝරාගත් ව්‍යවසායකයන් කන්ඩායමකි.

එදිනම, පාලක සමාජවාදී පක්ෂයෙන්, දක්ෂිනාංශික ජනප්‍රිය බහුතරයක් සඳහා වූ සංගමයෙන් සහ මධ්‍යම-දක්ෂිනාංශික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයෙන් සමන්විත සර්ව-පාක්ෂික සන්ධානයක් ප්‍රන්ස ජාතික මන්ත්‍රී මන්ඩලය තුල දී, මර්කෙල් හිටපු ප්‍රන්ස ජනාධිපති නිකොලාස් සාර්කොසි සමග සාකච්ඡා කොට එකඟව තිබූ මූල්‍ය ගිවිසුම සඳහා ඡන්දය දුනි. සාර්කොසිගේ පසුප්‍රාප්තික ප්‍රන්සුවා හොලන්දේ පසුගිය මැයි මස මැතිවරනයෙන් ජයගත්තේ, බොහෝ සෙයින්, එම මූල්‍ය ගිවිසුම යලි සාකච්ඡා කිරීමට පොරොන්දු වීම මගින් වුවත්, කොමාවක් වත් වෙනස් නොකොට එය සම්මත කරන ලදි. එය රැඩිකල් සමාජ කප්පාදු මගින් සිය අයවැය හිඟය අඩු කිරීමේ වගකීමට ප්‍රන්සය බඳවා ගනී.

ග්‍රීසිය 2010 දී ඇප දී ගලවා ගැනීමේ වැඩපිලිවෙල සඳහා ඉල්ලුම් කල අවස්ථාවේ පටන් එය සමස්ත යුරෝපය සඳහා ම නිදර්ශනයක් බවට පත්ව ඇත. තුන් කට්ටුවේ (යුරෝපා සංගමයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ යුරෝපා මහ බැංකුවේ) නියමය යටතේ අනුප්‍රාප්තික ග්‍රීක ආන්ඩු විසින් පටවන ලද වැටුප් කප්පාදු, මහා පරිමාන දොට්ට දැමීම් සහ සමාජ සුබසාධන වැඩපිලිවෙලවල් විනාශ කිරීම සෙසු සෑම යුරෝපා රටක් සඳහා ම අච්චුවක් ලෙස සේවය කරයි.

මෙම පිලිවෙත, ග්‍රීක නය වාර්තාගත ඉහල අගයන්ට තල්ලු කරමින්, ජනගහනයේ පුලුල් ස්තර දරිද්‍රතාවට හා විරැකියාවට ඇද දමමින්, ග්‍රීසිය එහි ඉතිහාසයේ පැවති ගැඹුරුතම ආර්ථික පසුබැස්මට තල්ලු කර ඇති නමුදු, එය දැන් තව දුරටත් උත්සන්න කිරීමටත් මූල්‍ය ගිවිසුම හරහා සමස්ත යුරෝපය දක්වා ම පුලුල් කිරීමටත් නියමිතය.

කප්පාදු ව්‍යාපාරය සෑම පියවරක දී ම එහි ප්‍රකාශිත ඉලක්කයන්ට -- රාජ්‍ය නය අඩු කිරීම සහ යුරෝ කලාපයේ සංසක්තය පවත්වා ගෙනයාම -- වල කපයි. කෙසේවෙතත්, එය දෙවන අප්‍රකාශිත න්‍යාය පත්‍රයකට පහසුකම් සලසයි. යුරෝපා ධනේශ්වරය, යුරෝපා සංගමය සහ යුරෝපා ආන්ඩු හරහා ක්‍රියාත්මක වෙමින්, යුරෝපීය කම්කරුවන්ගේ ජීවන මට්ටම් චීනයේ ෆොක්ස්කොන් කම්කරුවන්ගේ හා දකුනු අප්‍රිකාවේ පතල් කම්කරුවන්ගේ ජීවන මට්ටම් දක්වා පහලට ඇද දමන තෙක් නතර නොවනු ඇත.

දැන් පවා, අර්බුදය මධ්‍යයේ, සමාජයේ මුදුනත ධන සම්පත් අශික්ෂිත මට්ට්මවලින් සමුච්චිත වෙමින් තිබේ. ස්විස් බැංකු ගිනුම්වල බිලියන ගනන් සාමුහිකව තැන්පත් කර ඇති ග්‍රීක මිලියනපතියන්ට එරෙහිව කිසිදු පියවරක් ගෙන නැත්තේ, ඔවුන්ගේ සාපරාධී ක්‍රියාකාරකම් පිලිබඳ තොරතුරු වසර දෙකක් තිස්සේ ග්‍රීසියේ මුදල් ඇමති අත තිබිය දී පවාය. කම්කරුවන් ක්‍රමානුකූලව කොල්ලකෑමට ලක් කෙරෙද්දී, යුරෝපීය ඇප දී ගලවා ගැනීමේ අරමුදල්වලින් ලැබෙන යුරෝ බිලියන ගනන් කෙලින්ම බැංකුවලට ද ඒවා වෙතින් ධනවතුන්ගේ සේප්පුවලට ද ගලා යයි.

ග්‍රීසිය සමාජ අයිතීන්ට එරෙහි ප්‍රහාරවල පමනක් නොව කම්කරු පන්තියට එරෙහි දේශපාලන ප්‍රහාරවල ද පෙරමුනේ ම සිටී.

කම්කරු පන්තියේ ප්‍රතිරෝධය පාලනය කොට තබාගනු වස්, ආන්ඩුව මේ වන තෙක් වෘත්තීය සමිති සහ රැඩිකල් වමේ සන්ධානය (සිරිසා) වැනි ව්‍යාජ-වාම සංවිධාන මත බොහෝ සෙයින් වාරු වී තිබුනි. කම්කරුවන්ගේ විරුද්ධත්වය වාෂ්ප දර දමනු පිනිස වෘත්තීය සමිති සීමිත විරෝධතා සංවිධාන කර ඇත්තේ, ඔවුන් ආන්ඩුව සමග වැඩ කරමින් යුරෝපා සංගමය ප්‍රතිසංස්කරනය කල හැකි බවටත් කම්කරු පන්තික-හිතැති පිලිවෙත් ක්‍රියාවට දැමීම පිනිස එය නම්මා ගත හැකි බවටත් මිථ්‍යාවන් වපුරන අතරතුරය.

කෙසේවෙතත්, මෙම විධික්‍රමවල ආනුභාවය වියැකෙමින් පවතී. සිරිසා නායක ඇලෙක්සිස් ට්සිප්රාස් පසුගිය ජූනි මැතිවරනයේ දී පොරොන්දු වූයේ, ඔහු අලුතෙන් තේරී පත් වූ ප්‍රන්ස ජනාධිපති සමග එක්ව, යුරෝපා සංගමයේ ගමන් මාවත වෙනස් කරන බවටයි. මේ සතියේ දී පැරීසියේ දී මූල්‍ය ගිවිසුම සම්මත කිරීම මගින් ප්‍රදර්ශනය වූ පරිදි, මෙම ඉදිරිදර්ශනය පරිපූර්න මායාවකි.

දැන් ග්‍රීක ධනේශ්වරය 1930 ගනන්වල දී යුරෝපයේ පාලක පන්තිය විසින් යොදාගැනුනු විධික්‍රම දෙසට හැරෙමින් සිටී: එනම්, ෆැසිස්ට් ත්‍රස්තය සහ ආඥාදායක පාලනය දෙසටය. ඔවුහු කම්කරු පන්තිය බියැගැන්වීම හා මර්දනය පිනිස වඩාත්ම පසුගාමී සමාජ ස්තර බලමුලු ගන්වමින් සිටී.

ච්රිසා අව්ගි (ස්වර්නමය අරුනෝදය) නමැති ෆැසිස්ට් පක්ෂයට එරෙහිව විරෝධතා දැක්වූ අය පොලීසිය විසින් වධබන්ධනයට ලක් කරනු ලැබීම ජාත්‍යන්තර පරිමානව කම්කරුවන් වෙත කෙරෙන අනතුරු ඇඟවීමකි. ඇතැන්ස් නුවර බන්ධනාගාර තුල සිදු වී ඇති දේවල් මතකයට නංවන්නේ, අබු ග්‍රේබ් කඳවුරේ වධබන්ධන සහ 1960 ගනන්වල හා 1970 ගනන්වල ග්‍රීසියේ, ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ ෆැසිස්ට් ආඥාදායකත්ව යටතේ දී යුරෝපය තුල අවසානයට දක්නට ලැබුනු අපරාධයන්ය.

මෑත මාසවල දී, රාජ්‍ය හමුදා, ආගාමිකයන්ට හා ආන්ඩුවේ වාමාංශික විරුද්ධවාදීන්ට එරෙහි ස්වර්නමය අරුනෝදය ව්‍යාපාරයේ ප්‍රහාර සඳහා දේශපාලන ආවරනය සම්පාදනය කරමින්, එම සංවිධානය ගොඩනැගීමට වැඩ කර ඇත. ග්‍රීක පොලීසියේ විශාල ප්‍රතිශතයක් මෙම ෆැසිස්ට් පක්ෂයේ සාමාජිකයන් හෝ ආධාරකරුවන් වන බව ඉතා ප්‍රසිද්ධ කරුනකි.

මේ සියල්ල යුරෝපා සංගමයේ නියෝජිතයන් විසින් නිහඬව ඉවසනු ලැබේ. මේ සතියේ පැවති මර්කෙල්-විරෝධී උද්ඝෝෂනවල දී සමහර විරෝධතාකරුවන් ස්වස්තික ලෙලවීම ගැන ජර්මානු මාධ්‍ය උත්සුකතාව පලකරමින් ප්‍රතිචාර දක්වන නමුත්, එය ග්‍රීසිය තුල ෆැසිස්ට්වාදීන්ගේ ක්‍රියාකාරකම් ගැන මුනිවත රකී. ඒ සියලු යුරෝපා ආන්ඩු කම්කරු පන්තියේ ප්‍රතිරෝධය බලාත්කාරයෙන් මැඩලීමට සූදානම් වන බැවිනි. ජර්මනියේ දී, ෆෙඩරල් ව්‍යවස්ථාදායක අධිකරනය මෑත දී පූර්ව නඩු තීන්දුවක් පසෙකට දමා ජර්මානු හමුදාවට රට තුල මැදිහත්වීමට දැන් අවසර දී තිබේ.

යුරෝපය තුල බලාත්කාරයෙන් ක්‍රියාවට දැමෙන සමාජ ව්‍යසනය ප්‍රජාතන්ත්‍රවාදය සමග ගැලපෙන්නේ නැත. පන්ති සතුරුකම් වඩවඩා උත්සන්න වෙත්ම, පාලක ප්‍රභූන්ට ආඥාදායක පාලන රූපාකාරයන්ගේ පිහිට සෙවීමට වඩවඩා බල කෙරෙයි. ග්‍රීසියේ ආගාමිකයන් වධහිංසනයන්ට ලක් කිරීමෙන් ආරම්භ වූ ව්‍යාපාරය කෙටි කලක දී දේශපාලන විරුද්ධවාදීන් වධබන්ධනයට ලක් කිරීම දක්වා පුලුල් කෙරී ඇති අතර අනාගතයේ දී සමස්ත යුරෝපීය කම්කරු පන්තියට එරෙහිව ම එල්ල කෙරෙනු ඇත.

සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම, යුරෝපා සංගමයේ ආයතනවලට හා එහි ප්‍රතිවිප්ලවවාදී පිලිවෙත්වලට එරෙහි අරගලය සමග අවියෝජනීයව බැඳී පවතී. 1930 ගනන්වල දී මෙන් ම, යුරෝපය හමුවේ තියුනු විකල්පයන් පවතී: එක්කො සිය ධනය සුරක්ෂිත කරගැනීමේ තම ප්‍රයත්නය තුල දී පාලක ප්‍රභූව යුද්ධය හා ආඥාදායකත්වය තුලට මහාද්වීපය ඇද දමයි, නැතහොත් කම්කරු පන්තිය බලය සියතට ගෙන බැංකුවල හා මහ ව්‍යාපාරිකයන්ගේ යුරෝපා සංගමය යුරෝපා සමාජවාදී සමූහාන්ඩු සංගමයකින් විස්ථාපනය කරනු ඇත.

අන් සියල්ලටමත් වඩා මෙය ඉල්ලා සිටින්නේ, කම්කරුවන් හා තරුනයන්, ඔවුන් යුරෝපා සංගමයේ ආයතනවලට හා ධනේශ්වර රාජ්‍යයට යටත් කිරීමට උත්සාහ කරන හා එමගින් ස්වර්නමය අරුනෝදය වැනි ෆැසිස්ට් ප්‍රවනතාවන්ගේ වර්ධනයට මාවත විවෘත කරන, වෘත්තීය සමිතිවලින් හා ව්‍යාජ-වාම පක්ෂවලින් බිඳීමයි. එවන් ක්‍රියාමාර්ගයක් සාක්ෂාත් කරගැනීම කල හැකි වන්නේ, කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක සහ කම්කරු පන්තියේ ජාත්‍යන්තර පක්ෂය ලෙස හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීමේ පදනම මත පමනි.

ක්‍රිස්ටෝප් ඩ්‍රයර්

Share this article: