ජාමුඅ-ලෝකබැංකු රැස්වීමේදී ගැටුම් ඉස්මත්තට එයි

Conflicts come to the surface at IMF-World Bank meeting

17 October 2012

2008 සැප්තැම්බර් ව්‍යසනයෙන් ඉක්බිති ගෝලීය මුල්‍ය අර්බුදය ආරම්භයේ දී ප‍්‍රධාන ධනවාදී බලයන්ගේ ජාත්‍යන්තර රැස්වීම් අවම වසයෙන් මතු පිටින් යම් ප‍්‍රමානයක ඒකමතික ස්වභාවයක් පෙන්නුම් කල හ. කඩා වැටීමක් වැලැක්වීම සදහා මුල්‍ය පද්ධතිය තුලට දැවැන්ත ප‍්‍රමානයක් මුදල් පොම්ප කල යුතුයයි සියල්ලෝම එකඟ වූ හ.

සමපේක්ෂන කි‍්‍රයාකාරකම් මගින් අර්බුදය ජනිත කල බැංකු හා මුල්‍ය ආයතනවලට එරහිව පියවර ගනු නො ලැබුනි. ඇත්ත වසයෙන් ම සිදු වුයේ ඇප දී ගලවා ලීම සඳහා ඩොලර් ටි‍්‍රලියන ගනන් මුදල් යෙදවීමෙන් ඔවුන්ට ත්‍යාග ප‍්‍රධානය කිරීම ය.

ගෝලීය ව්‍යසනයක් ඇතිවීම වැලැක්වීම සඳහා එබඳු පියවරක් අත්‍යාවශ්‍ය බවට ප‍්‍රකාශයන් ඊට අනුරූපව කරනු ලැබී ය. 1930 ගනන්වල පාඩම් උගෙන තිබෙන බව රාජ්‍ය නායකයෝ ප‍්‍රකාස කල හ. එම යුගයේ ගැටුම් කරා ආපසු නොයන බවත් මහා අවපාතයේ අත්දැකීම් පුනර්කරනය නොවීම සහතික කිරීමට පියවර ගනු ලබන බවත් ඔව්හු කී හ.

අද එය බෙහෙවින් ම වෙනස් පින්තූරයකි. ලෝක ආර්ථිකය වඩා ගැඹුරු අවපාතයක් තුලට ලුහුටා යමින් තිබෙන අතර, ජාත්‍යන්තර මුල්‍ය වෙලඳපොලවල්වලට මුක්කුව දීම සඳහා ලොව පුරා මධ්‍යම බැංකු වඩ වඩා කැපවන නිසා නව අර්බුදයක් සඳහා කොන්දේසි නිර්මානය කෙරෙමින් තිබේ.

වසර හතරක් පමන යම් ප‍්‍රමානයකට සැඟවී තිබුන යටින් පවතින ගැටුම් හා සතුරුකම් එලිමහනට පැමින ඇත. 1944 බ්‍රෙටන්වුඩ් සම්මුතිය යටතේ මෙම ආයතන පිහිටුවීමෙන් පසුව නිසැකව ම, වඩාත් කර්කෂම එක වූ පසුගිය සතියේ ටෝකියෝ හි පැවති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමේ දී ඒවා ප‍්‍රදර්ශනය වූ හ.

නැගෙනහිර චීනයේ සෙන්කකු/දියාඔයු දුපත් සම්බන්ධ ආරවුල විසින් අවුලුවන ලද ජපානයට එරෙහිව වර්ධනය වන විරුද්ධත්වය පෙන්නුම් කිරීම සඳහා රැස්වීමට සහභාගී නොවීමට චීන බැංකු නිලධාරීන් තීරනය කල විට සතියේ ඉතිරි කාලය සඳහා ඔවුහු තානය සැකසු හ.

සාකච්ඡාවලට දෙදිනක් තිබිය දී ජාමුඅ කලමනාකාර අධ්‍යක්ෂ කි‍්‍රස්ටින් ලගාර්ඩ් සහ ජර්මන් මුදල් ඇමති වොල්ෆ්ගන් ශෝබල් අතර කප්පාදු වැඩපිලිවෙලවල් කි‍්‍රයාවට දැමීමේ කාල පරාසය පිලිබඳව අරෝවක් ඇති විය. යුරෝපයේ බිඳ වැටීමක් ස්වකීය මුල්‍ය පද්ධතීන් කෙරෙහි බලපෑමක් ඇතිකරනු ඇතැයි එක්සත් ජනපදයට හා බි‍්‍රතාන්‍යයට පවතින භීතිය පිලිබිඹු කරමින් නය ගෙවීමට ගී‍්‍රසියට හා සෙසු රටවලට වැඩිකාලයක් දියයුතුයයි ලගාඩ් කල ප‍්‍රකාශය තමන්ගේ බැංකු නය ගෙවීම පැහර හරිනු ඇතැයි හා එමගින් යුරෝ කලාපය වඩාත් ගැඹුරු අර්බුදයකට ඇදදමනු ඇතැයි භීතියෙන් පසුවන ජර්මානුවන්ගේ කෝපය අවුලුවාලීය.

එම ආරවුල යටගැසූවත් බ‍්‍රසීලයේ මුදල් ඇමති ගියදු මාන්ටිග විසින් එක්සත් ජනපද ඩොලරයේ අගය පහත හෙලීම ඇමරිකාවේ මූල්‍ය පිලිවෙත "මූල්‍ය යුද්ධය” ප‍්‍රවර්ධනය කරන "ආත්මාර්ථකාමී” එකක් ලෙස හෙලා දැකීමත් සමග "ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ” පිලිවෙත ගැන එක්සත් ජනපදය හා බ‍්‍රසීලය එසැනින්ම ගැටුනේ ය.

බෙදීම්වලට යටින් පවතින හේතුව ජාමුඅහි වර්ල්ඩ් ඉකොනොමික් අවුට් ලුක් (ලෝක ආර්ථික ඉදිරි දැක්ම) තුල ලෝක ආර්ථික වර්ධනය පිලිබඳ ප‍්‍රක්ෂේපනයන් මගින් එලිදරව් කෙරී ඇත. 2013 ලෝක ආර්ථික වර්ධනය පිලිබඳ පෙර දැක්ම මාස තුනකට ඉහතදී තක්සේරු කල සියයට 3.9 සිට සියයට 3.6 දක්වා කැපීය.

සමස්ත දර්ශකයට වඩා වැදගත් වන්නේ ප‍්‍රධාන ආර්ථිකයන් පිලිබඳ තක්සේරු කිරීම් ය. වර්ධිත රටවල ආර්ථික වර්ධනය සියට 2.0 ලෙස පසුගිය අපේ‍්‍රල් මාසයේ ජාමුඅ කල පෙර දැකීම සියයට 1.5 ක් ලෙස සංශෝධනය කලේ ය. 2012 සිදුවූ සියයට 0.4 ආර්ථික හැකිලීමෙන් පසුව ඉදිරි වසරේ යුරෝ කලාපයේ අපේක්ෂිත ආර්ථික වර්ධනය සියට 0.2 කි. යුරෝපයේ ශක්තිමත් ම ආර්ථිකය ලෙස සැලකෙන ජර්මන් ආර්ථිකයේ පවා අපේක්ෂිත වර්ධනය මෙම වසරේ හා 2013 දී සියයට 0.9 කි.

අර්බුදය මුලින් ම පුපුරා ගිය විට සංවර්ධිත ආර්ථිකයන් අවපාතයකට නොවුනත්, සැලකිය යුතු පසු බැස්මකට මුහුන දෙනු ඇතැයි හඳුනා ගනු ලැබී ය. නමුත් බලාපොරොත්තු රඳවා ගත් අතර චීනය, ඉන්දියාව හා සෙසු මතුවෙමින් තිබෙන වෙලඳපොලවල් වලින් ලෝක ආර්ථිකය වර්ධනයක් අත්කර ගනු ඇතැයි මුල්‍ය සහ සෙසු මාධ්‍යයන් විසින් අතොරක් නැතිව එම බලාපොරොත්තුව අලුත් කෙරුනි. "වෙන්කිරීමේ” සන්තතිය එනම් මෙම රටවල ආර්ථිකයන් සංවර්ධිත රටවල ආර්ථිකයන් මත අඩුවෙන් රඳා පැවතීම එම රටවලට ගෝලීය ධනවාදයේ නව මධ්‍යස්ථාන බවට පත් වීමේ හැකියාව ඇති කරනු ඇතැයි කියනු ලැබීය.

අර්බුදයේ ඓතිහාසික ඇඟවීම් වහංගු කිරීම සඳහා නිර්මානය කරන ලද මෙම ප‍්‍රබන්ධය මුලුමනින් ම දැන් බිඳ වැටී ඇත.

චීනයේ හා ඉන්දියාවේ මෑත වසරවල දී ඇති වූ වේගවත් වර්ධනය ස්වාධීන ප‍්‍රපංචයක් නොවේ. එය අතොරක් නැතිව ලාබ ශ‍්‍රම මුලාශ‍්‍රයන් සෙවීම තුල දී සිය මෙහෙයුම් පිටට ගෙන යාමට උත්සාහ කල අන්තර්ජාතික සංගත විසින් කල ආයෝජනවල ප‍්‍රතිපලය කි. ගෝලීය වර්ධනය සඳහා නව වේදිකාවක් සම්පාදනය කිරීමට ප‍්‍රතිකූලව ඊනියා "නැගී එන” ආර්ථිකයන් රඳාසිටියේ ප‍්‍රධාන ආර්ථිකයන්ගේ වෙලඳ පොලවල් මත ය.

චීන ආන්ඩුවේ උත්තේජක පියවරයන් හා ප‍්‍රධාන දේපල සහ යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට රාජ්‍ය බැංකු විසින් දැවැන්ත ප‍්‍රමානයෙන් නය සැපයීම මගින් තල්ලුව ලැබූ චීනය තුල ආයෝජන උත්පාතය විසින් කෙටි කාලයකට "වෙන් කිරීමේ” මිත්‍යාව පවත්වාගෙන ගියේ ය. එය දැන් කෙලවරකට පැමින තිබෙන අතර චීන ආර්ථිකය පසු බැස්මකට අවතීර්න වී ඇත. යුරෝපයේ (චීනයේ විශාලතම වෙලඳ පොල) අර්බුදය මගින් අපනය වලට තද පහරක් වැදී තිබේ. 2008-2009 අර්බුදය ඉක්මවා යාමක් නොවේ නම්, ඒ හා සමාන බරපතල තත්වයකට මුහුන දීමට සිදුවනු ඇතැයි චීන ආයතන අනතුරු අඟවා තිබේ.

ලෝකයේ 12 වන විශාලතම ආර්ථිකය වන ඕස්ටේ‍්‍රලියාව මේ සන්තතිය සම්බන්ධයෙන් බැරෝ මීටරයකි. චීන "උත්පාතයේ” ප‍්‍රතිපලයක් ලෙස 2010-2011 දී රටේ ප‍්‍රධාන අපනයනය වන යපස් මිල ඉහල නැගුන විට ගෝලීය ආර්ථික පසු බැස්මෙන් රට අත් මිදීමේ කොන්දේසි නිර්මානය වනු ඇතැයි උදම් ඇනී ය. පසු ගිය මාස කිහිපය තුල තත්වය නාටකාකාරව වෙනස් වී තිබේ. 1930 ගනන් වල මෙන් බරපතල තත්වයකට ආන්ඩුවේ මුල්‍ය තත්වය මුහුන දෙනු ඇතැයි අවම වසයෙන් එක් ආර්ථික විද්‍යාඥයෙක් අනතුරු ඇඟවී ය.

ගෝලීය ආර්ථිකය අවපාතයකට තල්ලු වන විට ලෝකයේ ප‍්‍රධාන මධ්‍යම බැංකුවල - එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසර්ව්, යුරෝපා මධ්‍යම බැංකුව සහ ජපන් බැංකුව - කි‍්‍රයාවන් නව මූල්‍ය අර්බුදයකට කොදේසි සකසමින් තිබේ.

ඔවුන්ගේ අති-ලාබ නය සැපයීම මගින් යථා ආර්ථික වර්ධනයක් ඇති කිරීමට කිසිවක් නොකරන නමුදු මූල්‍ය කොටස් වෙලඳ පොලවල් තුල බුබුලක් නිර්මානය වෙමින් තිබේ. වෙනත් ආකාරයකින් කීවොත්, 2008 මූල්‍ය දියවීමට තුඩු දුන් කොන්දේසි යලි නිර්මානය කෙරෙමින් තිබේ. එහෙත්, මධ්‍යම බැංකුමත් කේන්ද්‍රීය පාර්ශ්වයන් ලෙස මැදිහත් වී සිටින නිසා ඇඟවීම් වඩා බරපතල ය. බැඳුම්කර වෙලඳ පොලවල්වල කඩා වැටීමක් හා පොලී අනුපාතවල ඉහලයාමක් රාජ්‍ය මුල්‍ය කටයුතුවල වලංගු භාවය ප‍්‍රශ්නයට බඳුන් කරමින් දැවැන්ත ප‍්‍රාග්ධන අලාබයක් අත් දකිනු ඇත.

අර්බුදය ආරම්භ වී වසර හතරකට පසුව ශේෂ පත‍්‍රයක් සකස් කර ගැනීම අත්‍යවශ්‍යය වේ. ජාමුඅ-ලෝක බැංකු රැස්වීම ඉතා පැහැදිලිව එලිදරව් කල ආකාරයට ගෝලීය ප‍්‍රභූවට විසඳුමක් නැතිවා පමනක් නොව: ඔව්හු වඩාත් දැවැන්ත ව්‍යසනයන් සුදානම් කරමින් සිටිති.

බැංකු, මුල්‍ය ආයතන සහ ප‍්‍රධාන සංගත පවරාගැනීමෙන් හා ඒවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ මහජන අයිතියට නතු කිරීමෙන් ආරම්භ කර, සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් මත පදනම් වූ කම්කරුවන්ගේ ආන්ඩුවක් තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තරව ඒකාබද්ධ වූ දේශපාලන අරගලයක් සඳහා තමන්ගේ ම ස්වාධීන කි‍්‍රයාමාර්ගයක් අතැතිව කම්කරු පන්තිය මෙම අර්බුදයට මැදිහත් විය යුතුය.

නික් බීම්ස්

Share this article: