එක්සත් ජනපදයේ ජනපතිවරන විවාදවලින් අනතුරුව: කම්කරු පන්තිය මුහුන දෙන දේශපාලනික ප්‍රශ්න

After the US presidential debates: The political issues facing the working class

24 October 2012

එක්සත් ජනපද මැතිවරන දිනයට තව ඇත්තේ සති දෙකකට වඩා අඩු කාලයකි. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ උද්ඝෝෂනයන් සමස්ත මැතිවරන ක්‍රියාවලියේම වංචනික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය එලිදරව් කර තිබේ. අර්ථභාරී දේශපාලන වෙනස්කම් නැති අපේක්ෂකයන් දෙදෙනෙකු අතරින් තෝරා ගැනීමක් අවසානයේ දී ඇමරිකානු ජනතාව ඉදිරියේ තබා ඇත.

ජනාධිපති බැරක් ඔබාමා සහ ඔහුගේ රිපබ්ලිකන් ප්‍රතිවාදියා මිට් රොම්නි අතර සඳුදා (22) සවස පැවති අවසාන විවාදයේ දී එය ප්‍රදර්ශනයට තබා තිබුනි. මාෆියා නායකයෝ දෙන්නෙක් මෙන් අපේක්ෂකයෝ දෙදෙනාම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විදේශීය උත්සුකතාවයන් ආරක්ෂා කිරීමට ඔවුන්ගේ ඇති දෘඪ කැපවීම ප්‍රකාශ කලෝය. ලෝකය පුරා සිටින, ඇමරිකානු පාලක පන්තියේ සතුරන් "විනාස කිරීම” සඳහා කොකා ගැස්සීමේ අපේක්ෂාව කෙරෙහි ඔවුන් සතුටින් සිටින බවක් ඇතැම් අවස්ථාවල දී දකින්නට ලැබුනි.

"නරක එවුන් හඹායාම ......ඔවුන් මැරීම, පින්තූර‍ෙයන් ඔවුන් මකා දැමීම" ඔහුගේ "මුලෝපාය" බව රොම්නි කීවේය. ලිබියාවේ දී ලුහුබැඳ ගොස් ගඩාෆි මරාදැමීම මගින් "වැඩේ කෙලවර කල" බවට ඔබාමා කාහලනාද කලේය. සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් ගේ "දින නියම වී" ඇතැයි ද ඔහු ප්‍රකාශ කලේය.

ඉරාන "ආර්ථිකය කුඩුපට්ටම් වී" ඇතැයි ඔබාමා කයිවාරු ගැසූ අතර "දුර්වල කිරීමේ සම්බාධකවල" විනාසකාරී බලපෑම උත්ප්‍රාසයෙන් යුතුව කථා කලේ ය. ඉරාකයේ දී මෙන් දසලක්ෂ සංඛ්‍යාත ජනයා පීඩාවට පත් කරන ආර්ථික පියවරයන් සමග බෝම්බ සහ මිසයිල් ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරන අතර දැඩි පියවර ගන්නා බවට දෙ‍දෙනාම පොරොන්දු වූ හ. "කාලය නික්මෙමින් තිබෙන" බවට ජනාධිපති අනතුරු ඇඟ වුයේ ය.

"මේ රටට හා අපේ මිත්‍රයන්ට තර්ජනයක් වන මිනිසුන් හඹායාම සඳහා එම තාක්ෂනය යොදා ගැනීමට" ජනාධිපතිට අයිතියක් ඇතැයි ප්‍රකාශ කරමින් ඔබාමා නියමුවන් රහිත යානා යොදා ගනිමින් කෙරෙන ආන්ඩුවේ ඝාතනවලට ඔහු "මුලුමනින් ම සහයෝගය දෙන" බව රොම්නි කීවේ ය.

නව යටත් විජිත වාඩිලා ගැනීම්වලට හා මැදපෙරදිග හා මධ්‍යම ආසියාව තුල යුද්ධවලට විරෝධය පාන්නන් සහමුලින් ම විනාශ කිරීමේ දී ඔහුගේ පුර්වගාමියා වූ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ඉක්මවා යන ද්විපාර්ශවීය සහයෝගයක් පවතින බව ඔහු අවධාරනය කලේය. අධිකරනමය පරීක්ෂා කිරීමක මවා පැමකින් පවා තොරව එක්සත් ජනපද පුරවැසියන් ද ඇතුලුව ඕනෑම කෙනෙකු ඝාතනය කිරීමට ජනාධිපතිට අයිතිය ඇතැයි ඔබාමා ප්‍රකාශකර තිබේ. නියමුවන් රහිත ගුවන් ප්‍රහාර සඳහා සෑම සතියක දී ම ඉලක්ක පුද්ගලිකව තේරීම මගින් ඔහු එය පෙන්නුම්කර තිබේ.

පුර්ව ජනාධිපතිවරන අවසන් විවාදය මැද දී එවන් ප්‍රකාශ කිරීම එක්සත් ජනපද රාජ්‍ය හා මාධ්‍ය තුල ප්‍රජාතන්ත්‍රවාදී සංවේදීතාවන් නැතිබවට දෙස්දෙයි.

විදේශ පිලිවෙත සම්බන්දයෙන් සැබෑවක් වන දෙය එයාකාරයෙන් ම දේශීය පිලිවෙත සම්බන්දයෙන් ද සැබෑවක්වේ. මැතිවරන, සංගත හා මූල්‍ය ප්‍රභූව විසින් තෝරා ගත් දෙදෙනෙක් අතර තරගයකි.

මහා අවපාතයෙන් පසුව දැන් එලැඹ ඇති නරක ම ආර්ථික අර්බුදය සම්බන්දයෙන් වගකිව යුතු මූල්‍ය කතිපයාධිපතියෙකුගේ පරපුටුවාදය සමග ඔහුගේ පුද්ගලික ඉතිහාසය බද්ධ වී ඇති පුද්ගලයෙකු වන රොම්නි එක්පසෙකින් සිටී. තම සිව් වසරක පාලන කාලය තුල බැංකු ඇප දී ගලවා ගැනීම, සංගතවල ලාබ ඉහල දැමීම හා කම්කරු පන්තියේ රැකියා සහ ජීවන කොන්දේසිවලට ප්‍රහාරයක් එල්ල කරන ඔබාමා අනෙක් පසින් සිටී.

විදේශයන්හි යුද්ධය තීව්‍ර කිරීම හා රට තුල කම්කරු පන්තියට ප්‍රහාර එල්ල කිරීම ඇතුලු මැතිවරනයෙන් පසු මෙම අපේක්ෂකයන්ගේ සැබෑ සැලසුම් ඇමරිකානු මහ ජනතාවගෙන් සඟවනු ලැබ තිබේ. තියුනු අවවාදයක් කල යුතුය: කවුරු බලයට ආවත් පාලක පන්තිය එහි මිලිටරිවාදයේ හා සමාජ ප්‍රතිගාමිත්වයේ පිලිවෙත දැවැන්තව සුදානම් කරමින් සිටී.

මැතිවරනයෙන් පසුව පාලක පන්තිය රුසියාව හෝ චීනය සමග ගැටුමකට වේගයෙන් තල්ලු කරන යුද්ධයකට සූදානම් වෙමින් සිරියාවට හා ඉරානයට විරුද්ධ උද්ඝෝෂනය තීව්‍ර කරනු ඇත. සෞඛ්‍යය හා සමාජ ආරක්ෂනය වැනි මුලික සමාජ වැඩ පිලිවෙලවල් කප්පාදු කරනු ඇත.

එක්සත් ජනපදය තුල දැවැන්ත සමාජ අරගල මතුවන විට බලය සහිතව රාජ්‍යය ඊට ප්‍රතිචාර දක්වද්දී ඉතිරිව පවතින ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ජනේලයෙන් පිටතට විසිකරනු ඇත. ඇමරිකානු පාලක පන්තියේ විදේශ විරුද්ධවාදීන් ඉල්ලක්ක කිරීම පමනක් නොව දේශීය විරුද්ධවාදීන් ට එරෙහිව ද ඝාතනයේ භාෂාව යොදා ගැනීමට ගත වනු ඇත්තේ තව කොපමන කලක් ද?

මැතිවරනයේ ප්‍රතිපල හැසිරවීමේ දී පාලක ප්‍රභූවට නිශ්චිත තෝරා ගැනීමක් තිබේ. උපායාත්මක උත්සුකයන් ඇත. අපේක්ෂකයෝ විවිධ වාගාලාප උපයෝගී කර ගනිමින් විවිධ දේශපාලන බලවේග මත යැපෙති.

ඩිමොක්‍රටික් පක්ෂය, විශේෂයෙන් ම, තමන්ගේම ආත්මාර්ථකාමී උත්සුකයන් මගින් මෙහෙය වෙන හා කම්කරු පන්තියට දැඩිව හතුරු උදාසීන "ලිබරල්" හා "වාම" ඉහල මධ්‍යම පන්තික සමාජ ස්තරයකට කැඳවුම් කරයි. එහි භුමිකාව වන්නේ අද දින බෙහෙවින් ම දුෂ්කර කටයුත්තක් වන ඔබාමා ආන්ඩුවේ ප්‍රතිගාමී පිලිවෙත්වලට "ප්‍රගතිශීලී" ඔපයක් දීම හා ධනවාදී ද්වි-පක්ෂ ක්‍රමයට "ප්‍රජාතන්ත්‍රවාදී" ආවරනයක් සැපයීම වේ.

විදේශ පිලිවෙත ගැන විවාදය මහා ව්‍යාපාරික අපේක්ෂකයන්ගේ සාරභූත එකමතිකභාවය එලිදරව් කලානම්, ඔබාමා සහ රොම්නි නේසන්, ඉන්ටර්නැෂනලිස්ට් සෝෂලිස්ට් ඔර්ගනයිසේෂන් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ කක්ෂය තුල සිටින සමස්ත ලිබරල් හා ව්‍යාජ වාම දේශපාලන ප්‍රවනතාවයන්ගේ ක්‍රියා මාර්ගයන්ගෙන් රොම්නි සහ ඔබාමා වෙන්වන්නේ ඉතා සුලුවසයෙන් බව ද ප්‍රදර්ශනය විය.

සඳුදා විවාදය ගැන ස්වකීය ආවරනයේ දී ඔබාමා යලි තෝරා පත් කිරීම සදහා උද්ඝෝෂනය කරන නේෂන් සඟරාව රොම්නිගෙන් තමන්ගේ අපේක්ෂකයා වෙන් වන්නේ මඳ වසයෙන් බව සටහන් කලේ ය. "ඔහු සහ රොම්නි එකඟ බව ඡන්ද දායකයන්ට කීමට ඔබාමා කැමති බව පෙනෙන්නට තිබේ". එය කිසිසේත් ම ඔබාමාට උදව්කාරක නොවනු ඇත" යි විදේශ කටයුතු පිලිබඳව සඟරාවේ ප්‍රධාන අටුවාකරු රොබර්ටේ ඩ්රේෆුස් කනස්සල්ල පල කලේ ය.

නේෂන් හි ප්‍රධාන දේශපාලන අටුවාකරුවා වන ජෝන් නිකොලොස් ඊට වඩා වෙනස් නැත. "ජාත්‍යන්තර ප්‍රශ්න කෙරෙහි ඔබාමාගේ ප්‍රවිෂ්ටයට, රොම්නි යලි යලිත් එකඟ වී" යයි නිකොලස් ප්‍රීතියෙන් ඉපිලුනේය.

සඳුදා ප්‍රදර්ශනය කෙරුන ඒකමතිකභාවය ග්‍රහනය කර ගැනීමට නිකොලොස් සහ සමාගම අසමත්වීම ඔවුන්ගේ ම දේශපාලන භූමිකාව පිලිබඳ බරපතල එලිදරව්වීමකි. ඇමරිකානු දේශපාලනය තුල නව සහ ප්‍රගතිශීලි කාලපරිච්චේදයක පෙර ගමන්කරු ලෙස සලකනු ලබන ඔවුන්ගේ "පරිවර්තනීය අපේක්ෂකයා" ඇත්ත වසයෙන් ම ඔහුගේ පුර්වගාමියා සහ අනුප්‍රාප්තිකයා වීමේ ශක්‍යතාවය සහිත තැනැත්තාගේ පිලිවෙතට අනුකූල වන පිලිවෙතක් ක්‍රියාවට දමා තිබේ.

මෙම මැතිවරන ඇමරිකානු ධනවාදය පිරිහීමේ ඓයිතිහාසික හා දිග්ගැස්සුන සන්තතියක කුලුගැන්වීම ය. සමාජ අසමානතාවය දැවැන්තව වර්ධනයවීමත්, දූෂිත මුල්‍ය කතිපයාධිපත්‍යයක පැනනැගීමත් දේශපාලන උපකරන වඩවඩා ජනගහනයේ පුලුල් ස්ථරවලින් ඉවත්ව තිබේ.

බොරු වඩාත් අප්‍රසන්න හා නිර්ලජ්ජිතය. වාගාලාප වෙහෙසකර හා හරසුන් ය. මැතිවරන සන්තතියේ සෑම අංගයක් ම-සංගත මුදල් ආධිපත්‍යය දැරීම, කලින් සැලසුම් කරන ලද විවාද, මාධ්‍ය උපාමරු- සමස්ත දේශපාලන පද්ධතියේ ම කුනු වූ ස්වභාවයට සාක්ෂි දරයි.

මෙය කොපමන කලක් කරගෙන යා හැකි ද? ඇමරිකානු දේශපාලනයේ පිලිකුල් සහගත ස්වභාවය එහි ආන්තික දුබලකම හා එය පදනම් වී සිටින ධනවාදී පද්ධතියේ දුබලකම පෙන්නුම් කරයි.

ඇමරිකානු මැතිවරනවලට පසුබිමින් පවතින්නේ දකුනු අප්‍රිකාවේ සිට යුරෝපය දක්වාත්, ඇමරිකා එක්සත් ජනපදය දක්වාමත් දැනටමත් පුපුරන සුලු පන්ති අරගල පැන නැගීමට පටන් ගෙන ඇති ගෝලීය ආර්ථික අර්බුද යයි. නමුත්, පවතින දේශපාලන පද්ධතියේ රාමුව තුල ඇමරිකානු මහ ජනතාවගේ උත්සුකතාවයන් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයන් නැත.

වැදගත් හා හදිසි කර්තව්‍යය වන්නේ පන්ති අරගලයේ වෛෂයික වර්ධනයට දැනුවත් ප්‍රකාශනයක් සම්පාදනය කරන නව දේශපාලන නායකත්වයක් ගොඩ නැගීමයි. ධනපති ක්‍රමය බිඳවැටී ඇත යන අවබෝධයෙන් ආරම්භ කෙරෙන නව දේශපාලන පක්ෂයක් කම්කරු පන්තියට අවශ්‍යය.

කම්කරු පන්තියට ස්වකීය අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ දේශපාලන බලය සහ ආර්ථික ජීවිතය සමාජවාදී ලෙස ප්‍රති සංවිධානය කිරීම සඳහා එහි ස්වාධීන බලමු ගැන්වී ගැනීමේ අරගලයක් තුල පමනි.

කම්කරුවෝ හා තරුන ජනයා ප්‍රධාන තීරනයකට මුහුන දෙති. නමුත් එය ඔබාමා සහ රොම්නි අතර හරසුන් තෝරා ගැනීමක් නොවේ.එය සමාජවාදය සදහා ක්‍රියාශීලි අරගලයට උරදීමට ගනු ලබන තීන්දුවයි. පාලක පන්තිය හා එහි දේශපාලන පද්ධතිය විසින් ඉදිරිපත් කරනු ලබන ආකාරයේ දේශපාලනික තෝරා ගැනීම්වලට චෝදනා කිරීමට සීමා නොවිය යුතු ය. විකල්පයට සම්බන්දවී හා එය ගොඩනැගීම; එනම් සමාජවාදී සමානතා පක්ෂය ගොඩ නැගීම අත්‍යවශ්‍යය.

ජෝසප් කිෂෝර්

Share this article: