ශී‍්‍ර ලංකාවේ සසප සාමාජික ඩී.එන්. වික‍්‍රමරත්න අභාවප‍්‍රාප්ත වේ

By Socialist Equality Party (Sri Lanka), 9 October 2012

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශී‍්‍ර ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජික ඩී.එන්. වික‍්‍රමරත්න සහෝදරයා පසුගිය ඉරිදා අලුයම ශී‍්‍ර ජයවර්ධනපුර මහ රෝහලේ දී අභාවප‍්‍රාප්ත විය. ඔහු අවුරුදු 90 ඉක්මවා ඇති තම මව, බිරිඳ දන්තා, දියනියන් තිදෙනා සහ මුනුබුරුමිනිබිරියන් තිදෙනා හැර දා ගියේය. ඔහුගේ අකල් මරනය පක්ෂයට දැවැන්ත පාඩුවකි.

ඔහුගේ නමේ මුලකුරු වන ඩී.එන් යන නාමයෙන් ඔහු පක්ෂ සහෝදරවරු මෙන්ම ඔහුගේ මිතුරන් හා ප‍්‍රදේශවාසීන් අතර ද ප‍්‍රසිද්ධ ය. සසප විසින් සංවිධානය කරනු ලැබූ ප‍්‍රසිද්ධ රැස්වීම්වලට ගිය ඕනෑම කෙනෙකුට එහි ඇති පක්ෂ සාහිත්‍යය මේසය භාරව නිරන්තරයෙන්ම පාහේ සිටි ඩී.එන්. අමතක නොවනු ඇත. සාහිත්‍යය මේසය අසලට එන නවකයකුට හෝ නව ප‍්‍රකාශන සොයන පැරනි සහෝදරයකුට හෝ එහි ඇති ඒ හෝ පතපොත කියවීමේ වැදගත්කම ඔහු අවධාරනය කරනු ඇත. සිය මව් බස වන සිංහල භාෂාවට අමතරව ඉංගී‍්‍රසි බස ගැන ද සැලකිය යුතු දැනුමක් තිබූ ඔහුට එය සිය පක්ෂ වැඩකටයුතුවල දී මනා පිටුබලයක් විය.

ඔහු වාසය කල, කොලඹ සිට කිලෝමීටර් 70ක් පමන දුරින් යටියන්තොට නගරයට ආසන්නව පිහිටි තැලිගම, ගම්බද ගොවි ජනතාව සහ දෙමල හා සිංහල කතා කරන තේ හා රබර් වතු කම්කරුවන් ජීවත් වන මිශ‍්‍ර ජනගහනයකින් යුක්ත ප‍්‍රදේශයකි. කම්කරු පන්තිය පවුල් පසුබිමකින් පැමිනි ඩී.එන්. ප‍්‍රදේශයේ දුෂ්කර ජීවන කොන්දේසි ගැන හො‍ඳින් දැන සිටියේය. ඔහුගේ පියා විදුලි බල මන්ඩලයේ කම්කරුවෙකි. ප‍්‍රදේශයේ විරැකියාව පුලුල්ව පැතිර තිබුනු අතර මූලික ජීවන පහසුකම් පැවතියේ ඉතා අඩු මට්ටමකය.

පසුගිය පෙබරවාරියේ දී ඔහු 62 වන වියට එලඹි අතර ඒ මාසයේ දී ම ඔහු කිරීට ධමනි රෝගයෙන් පෙලෙන බව හඳුනා ගති. මාර්තු මාසයේ දී ජයවර්ධනපුර රෝහලේ දී ම ඔහුට කිරීට ධමනියේ බයිපාස් ශල්‍ය කර්මයක් සිදු කෙරුනි. සිය රෝගී තත්වය හේතුකොටගෙන සති ගනනාවක් තිස්සේ කි‍්‍රයාකාරී දේශපාලන කටයුතුවලින් ඈත්ව සිටීමට සිදුවීම ගැන ඔහු දුකින් පසුවිය.

ශල්‍ය කර්මයෙන් සුව වූ ඔහු යලිත් වරක් පසුගිය සැප්තැම්බර් මස පැවති පලාත් සභා මැතිවරනයේ දී කෑගල්ල දිස්ති‍්‍රක්කයට තරඟ වදිමින් සසප ගෙන ගිය මැතිවරන උද්ඝෝෂනයට උද්යෝගිමත්ව එක්විය. වැඩ කරන ජනතාව මුහුන දෙන දැවෙන ප‍්‍රශ්න විසඳාගත හැකි වන්නේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා ගෙන යන අරගලය මගින් පමනක් බවට ඔහු ඒත්තු ගෙන සිටියේය.

කනගාටුදායක ලෙස ඔහුට වැඩෙහි යෙදීමට හැකි වූයේ ටික කලකි. උනක් වැලඳීම නිසා යලිත් රෝහල්ගත වීමට ඔහුට සිදුවිය. සතියක් පමන ප‍්‍රතිකාර ගැනීමෙන් පසුව ඩී.එන්. සිය පවුලේ සාමාජිකයන්ට දුරකතනයෙන් දන්වා සිටියේ දැන් තමන් සුව වෙමින් සිටින බවයි. කෙසේවෙතත්, මස්ථිස්කයේ රුධිර නාලයක් හිරවීමෙන් හටගත් දරුනු ආඝාතයකට ගොදුරු වූ ඔහු එම තත්වයෙන් ගොඩ ආවේ නැත.

1980 ගනන් අග සිට සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) සමග සමීප සබඳතා පැවැති ඩී.එන්. 1990 දී දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ (යූඇන්පී) ආන්ඩුවේ ජනඝාතකවලින් ගම්බද තරුනයන් ආරක්ෂා කිරීමට පක්ෂය ගෙන ගිය අරගලය තුල දී එයට බැඳුනි.

එය වනාහි තියුනු දේශපාලන කලබගෑනි සහිත කාල පරිච්ඡේදයකි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය 1987 දී ශී‍්‍ර ලංකා මිලිටරියට එරෙහි සිය ප‍්‍රහාර උත්සන්න කර තිබුනි. ආන්ඩුවට එරෙහි කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ විරුද්ධත්වය වැඩෙමින් පැවතුනි. ඉන්දියානු ආන්ඩුව, එල්ටීටීඊය නිරායුධ කිරීමට ඉන්දියානු හමුදාව එවීමටත් දෙමල ප‍්‍රභූවට සුලු සහන දීමටත් ඉන්දු-ලංකා ගිවිසුම සංවිධානය කරමින්, වටලනු ලැබ තිබූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ආන්ඩුව ගලවාගැනීමට ඉදිරිපත් විය.

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධව සිංහල ස්වෝත්තමවාදී උද්ඝෝෂනය උත්සන්න කරමින් සිය දේශපාලන විරුද්ධවාදීන්ට හා කම්කරුවන්ට එරෙහිව ෆැසිස්ට් ප‍්‍රහාර එල්ල කලේ කම්කරු පන්තියට මුහුන දෙනු පිනිස යූඇන්පී ආන්ඩුවට සහාය දෙමිනි. ජවිපෙ විකොස සාමාජිකයන් තිදෙනෙකු ඝාතනය කොට තිබුනි.

රාජ්‍ය මර්දනයට හා ජවිපෙ මැර ප‍්‍රහාරවලට එරෙහිව සංයුක්ත කි‍්‍රයාවන් සඳහා සියලු කම්කරු පන්තික පක්ෂවල එක්සත් පෙරමුනක් සඳහා විකොස බලගතු ජාත්‍යන්තර උද්ඝෝෂනයක් දියත් කලේය. ජවිපෙ සමග පෙම් කෙලියක යෙදීමෙන් අනතුරුව, හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාසගේ නායකත්වයෙන් යුක්ත ඊලඟ යූඇන්පී ආන්ඩුව, එය මර්දනය කිරීමටත් 60,000ක් පමන ගම්බද තරුනයන් ඝාතනයටත් හැරී ගති.

මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේ දී, සිංහල හා දෙමල භාෂාවෙන් පල වූ විකොස පුවත්පත් වන කම්කරු මාවත සහ තොලිලාලර් පාතෙයි හමුදාවේ සහ එයට අනුබද්ධිත ඝාතක කල්ලිවල තරුන ඝාතන එලිදරව් කරමින් ගම්බද දුගීන් ආරක්ෂා කරන ලෙස කම්කරු පන්තියට කැඳවුම් කලේය. මෙම අපරාධ එලිදරව් කරනු පිනිස ඒවාට ගොදුරු වූ තරුනයන් ජීවත් වූ ගම්මාන හා නිවාස ප‍්‍රදේශවල විකොස සාමාජිකයන් සංචාරය කලේ, පොලීසියේ පමනක් නොව, ලංකා සමසමාජ පක්ෂයේ (ලසසප), ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ (කොප) හා වෘත්තීය සමිතිවල ද සතුරුකම් මධ්‍යයේ ය. ඩී.එන්. ජීවත් වූ ප‍්‍රදේශය පිහිටි සබරගමුව පලාතේ ජනතාව මෙම භයංකර අපරාධවලට මුහුන දී තිබුනි.

1930 ගනන්වල සිට ප‍්‍රදේශය තුල විශාල ආනුභාවයක් තිබුනු වමේ පක්ෂයක් ලෙස දකින ලද, ලසසපට ඩී.එන්. මුල දී සහයෝගය දුන්නේය. ලසසප, දෙවන ලෝක යුද සමයේ දී සිය ජාතිකවාදී කි‍්‍රයාමාර්ගයෙන් බිඳී ඉන්දියාවේ බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) පිහිටු වූ අතර බීඑල්පීඅයි ට්‍රොට්ස්කිවාදී හතර වන ජාත්‍යන්තරයේ ධජය යටතේ යුද්ධයට හා අධිරාජ්‍යවාදයට එරෙහිව වතු කම්කරුවන් හා ගම්බද තරුනයන් බලමුලුගැන්වීමට සප‍්‍රතිපත්තික අරගලයක් ගෙන ගොස් තිබුනි. කෙසේවෙතත්, බීඑල්පීඅයි 1950 දී ලසසප තුලට දියකර හරින ලද අතර දශක ගනනාවක දේශපාලන පරිහානියකින් පසුව ලසසප අවසානයේ 1964 දී ධනේශ්වර සභාග ආන්ඩුවකට එක්විය.

ඒ වන විට 21 වන වියෙහි සිටි ඩීඑන් 1971 දී, ගම්බද රැකියා විරහිත තරුනයන් ආකර්ෂනය කරගත්, කැස්ත්‍රෝවාදයේ, මාඕවාදයේ හා සිංහල ස්වෝත්තමවාදයේ මිශ‍්‍රනයක් වූ දේශපාලන කි‍්‍රයාමාර්ගයක් අනුව ගිය ජවිපෙ කැරැල්ල මැඩීම නිරීක්ෂනය කලේය. එහෙත් ඔහු එම පක්ෂයට එක් වූයේ නැත. මෙම කාල පරිච්ඡේදයේ දී ඔහු තමන්ට ලසසප ලබාදුන් රැකියාව ප‍්‍රතික්ෂේප කලේ, එවන් අතයට කි‍්‍රයා පිලිකෙව් කරමිනි.

1980 ගනන් අග දී කම්කරු මාවත කියවීම ඇරඹූ ඔහු තවත් සමීප සහෝදරවරු දෙදෙනෙකු සමග පක්ෂයේ ප‍්‍රසිද්ධ රැස්වීම්වලට සහභාගි වනු පිනිස කොලඹට පැමිනියේය. ඩීඑන් පක්ෂයට බැඳීමෙන් පසුව ඉක්මනින්ම, ප‍්‍රදේශය තුල, විශේෂයෙන් ම ශී‍්‍ර ලංකාවේ කම්කරු පන්තියේ වඩාත්ම පරිපීඩිත කෙටස වන දෙමල කතා කරන වතු කම්කරුවන් අතර, විකොස සහ සසප උද්ඝෝෂනවල පෙරමුනේ සිටියේය.

ඩීඑන් ඇතුලු විකොස සාමාජිකයන් ප‍්‍රදේශයේ වතු කම්කරුවන් හා දුගී ගොවීන් අතර පක්ෂය ගොඩනැගීමේ සිය දේශපාලන අරගලය ගෙන ගියේ යූඇන්පියේ මෙන්ම ලංකා කම්කරු කොංග‍්‍රසයේ (සීඩබ්ලිව්සී) ද මැර තර්ජනයනට මුහුන දෙමිනි. 1991 දී යූඇන්පී ප‍්‍රාදේශීය දේශපාලන බලවතෙකු ලැවන් වතුයායේ තරුනයන් තම දේශපාලනයට බලාත්කාරයෙන් සම්බන්ධ කරගනු පිනිස ඔවුන් බියගැන්වීමට මැර කල්ලි මෙහෙයවමින් සිදු කල මැදිහත්වීම සිය පුවත්පත් හරහා හෙලිදරව් කරමින් ඔවුන් ආරක්ෂා කිරීමට විකොස උද්ඝෝෂනය කලේය. එහි දී එම මැර කල්ලිවල ප‍්‍රහාර විකොස සහෝදරවරුන් වෙත ද එල්ල වූ කල විකොස ප‍්‍රතිචාර දැක්වූයේ මැර ප‍්‍රහාරවලට එරෙහිව තමන් ආරක්ෂා කරන ලෙස ඉල්ලමින් ප‍්‍රදේශයේ වතු කම්කරුවන් හා ගොවීන් අතර සිය උද්ඝෝෂනය තියුනු කරමිනි.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කිරීම ඩී.එන්. ඉතා සාදරයෙන් පිලිගත්තේය. එය වනාහි ගෝලීය වර්ධනයන් පිලිබඳ අවබෝධය හා මාක්ස්වාදී විශ්ලේෂනය ගැඹුරු කරන ප‍්‍රධාන මූලිකත්වයක් ලෙස ඔහු පිලිගත්තේය. වතුකරයේ වර්ධනයන් ගැන ලියන ලිපි සඳහා ඔහු තොරතුරු හා ප‍්‍රවෘත්ති සපයා දුනි.

පක්ෂ විනය ගැන ඔහුට තිබූ විශ්වාසය සම්බන්ධයෙන් ඩී.එන්. විශේෂයෙන් මතක් කල යුතුය. ඔහු පක්ෂ සහෝදරවරුන්ට හා නායකත්වයට ගරු කලේය. නායකයන් ඇතුලු පක්ෂ සාමාජිකයන්ගේ ආරක්ෂාව ගැන ඔහු උත්සුක විය. ඔහු දෘඩතර හා සප‍්‍රතිපත්තික වූවා සේම ආචාරශීලී, මිත‍්‍රශීලී හා ඉවසිලිවන්ත ද වූ ඔහු සිය නිවසට පැමිනෙන හා එහි නතර වන සහෝදරවරුන්ට සැලකීමට උනන්දු විය. කිරීට ධමනි රෝගය සොයා ගන්නා තෙක් සෞඛ්‍ය සම්පන්නව හා කි‍්‍රයාශීලිව සිට ඩීඑන් අන් අයගේ සෞඛ්‍යය ගැන නිරතුරුවම උත්සුක විය.

ඔහු පක්ෂ සාහිත්‍යය කියවීමට හා පක්ෂ රැස්වීම්වලට, විශේෂයෙන් මැයි දින රැලිවලට, සහභාගි වීමට, සිය දියනියන් හා බෑනාවරු උනන්දු කලේය. ඔවුන් අතර ඔහු ආදරයට හා අතිශය ගෞරවයට පාත‍්‍ර විය.

පසුගිය දශක දෙක තුල ඔහු සටන් වැදි ප‍්‍රතිපත්ති සනාථ වී තිබේ. වැඩ කරන ජනතාව මුහුන දෙන දැවෙන ප‍්‍රශ්න -- ජීවන මට්ටම්වලට, නිදහස් අධ්‍යාපනයට, සුභසාධන සේවාවන්ට හා මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාර -- ජයගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය හරහා පමනක් යන්න වඩවඩා කම්කරුවන් හා තරුනයන් අවබෝධ කරගනිමින් සිටින අයුරු අපි අත්දකිමු. ඩී.එන්. වික‍්‍රමරත්න සහෝදරයා පිලිබඳ අපගේ මතකය දිගුකල් පවතිනු ඇත.

Share this article: