ශී‍්‍ර ලංකාව: ගුරු අයිතීන් දිනීමට සමාජවාදී කි‍්‍රයා මාර්ගයක්

By SEP Teachers faction (Sri Lanka), 24 October 2012

අද ගුරු විරෝධතා කි‍්‍රයාවක් පැවැත් වෙන්නේ ශී‍්‍ර ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව වැඩ කරන ජනතාවගේ ජීවන කොන්දේසිවලට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ට අඛන්ඩව ප‍්‍රහාර එල්ල කරන්නා වූත් එහි කොටසක් ලෙස අධ්‍යාපන අංශයේ කප්පාදුව උග‍්‍ර කරන්නා වූත් තත්වයක ය.

ලංකා ගුරු සංගමය (ලංගුස) ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස) හා තවත් ගුරු හා විදුහල්පති සංගම් 15ක් අද කොලඹ රාජගිරියේ සිට අධ්‍යාපන අමාත්‍යංශය දක්වා විරෝධතා පා ගමනක් සංවිධානය කර ඇත. ගුරු සමිතිවල ඉල්ලීම් ලෙස දක්වා ඇත්තේ 2008 අතුරු වැටුප් යෝජනාව හිඟ වැටුප් සහිතව කි‍්‍රයාත්මක කිරීම, දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 6කට සමාන මුදලක් අධ්‍යාපන වියදම්වලට වෙන් කිරීම හා අධ්‍යාපනය පුද්ගලීකරනය, දේශපාලනීයකරනය හා මිලිටරීකරනය නතර කිරීම යනාදියයි.

තමන්ගේ ජීවන තත්වයන් රැක ගැනීමට හා වැඩිදියුනු කර ගැනීමට සරිලන වැටුප් වැඩිවීමක් ලබා ගැනීමත් අධ්‍යාපන කප්පාදුව නතර කිරීමත් සඳහා ගුරුවරුන් අතර ඇත්තේ දැවෙන උවමනාවකි. ගුරු වෘත්තීය සමිති මෙම විරෝධතාව කැඳවා ඇත්තේ ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව ගුරුවරුන් අතර කැකෑරෙන විරුද්ධත්වය වාෂ්ප කර දැමීමට සහ ගුරු අයිතීන් සඳහා අව්‍යාජ දේශපාලන අරගලයක් වර්ධනය වීම වැලැක්වීමට ය.

ආන්ඩුවේ ප‍්‍රහාරවල මූලය වන්නේ ධනවාදයේ ගෝලීය අර්බුදය ලංකාව තුල ද පැසෙමින් පැවතීමයි. රාජපක්ෂ පාලනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නියෝග කි‍්‍රයාවට දමමින් මේ අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමට කි‍්‍රයා කරයි. ගුරුවරුන්ට ද තම අයිතීන් දිනා ගත හැක්කේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව පුලූල් දේශපාලන අරගලයක් සංවිධානය කිරීමෙනි: එම දේශපාලන අරගලය කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට ද සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දැමීමට ද කරන සටනක් ලෙස වර්ධනය කල යුතුය.

ලංගුසේසයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, අධ්‍යාපන උප ඇමති විජිතමුනි ද සොයිසා සමග ගුරු සමිති සිය ඉල්ලීම් සඳහා ඔක්කෝබර් 18දා පැවැත්වූ සාකච්ඡා බිඳ වැටුනු බව පවසා ඇත. ලංගුස සහ ලංගුසේස මුල්වී සීමිත විරෝධතාවක් සංවිධානය කර ඇත්තේ ආන්ඩුවට තවත් බලපෑම් දැමීමකින් ඉල්ලීම් දිනාගත හැකිය යන මිථ්‍යාවේ ගුරුවරුන් ගිල්වා තැබීමට යි.

2013 සඳහා ආන්ඩුවේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම නොවැම්බර් 8දාට යෙදී ඇති තතු තුල ජවිපෙට සම්බන්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ද තැන් තැන්වල විරෝධතා සංවිධානය කිරීමට මේ දිනවල කි‍්‍රයා කරගෙන යයි. වෙනවෙනම විරෝධතා පැවැත්වූවත් වෘත්තීය සමිතිවල ඒකාබද්ධ ප‍්‍රයත්නය ආන්ඩුවට එරෙහිව දේශපාලන අරගලයක් සංවිධානය කිරීම වැලැක්වීමයි.

පසුගිය දා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මාස තුනකටත් වඩා දිග්ගැස්සුනු සරසවි ගුරුවරුන්ගේ වර්ජනය පාවාදීමෙන් ගුරුවරු ඇතුලූ කම්කරු පන්තිය උගත යුතු වැදගත් පාඩම් රැසකි. ලංගුස, ලංගුසේස ඇතුලූ ගුරු සමිති ද දක්ෂිනාංශික එජාපය හා ව්‍යාජ වම්මු ද එකරැලට එක්වීගෙන එම වර්ජනය පාවාදීමට සම්මාදම් වූහ. සරසවි ආචාර්ය සංගමය ද අනෙකුත් සමිති සංවිධාන ද ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකට තරයේම විරුද්ධ වීමේ ප‍්‍රතිඵලය එම පාවාදීමයි.

2008 අතුරු වැටුප් යෝජනාව හිඟ වැටුප් සහිතව කි‍්‍රයාත්මක කිරීම ගුරු සමිතිවල එක ඉල්ලීමකි. මෙම යෝජනාව අඩංගු කැබිනට් පති‍්‍රකාව වෘත්තීය සමිතිවලට තොරොම්බල් කිරීමට ආන්ඩුව ලබාදුන් හිස්චෙක්පතකි. ගුරු වැටුප් පිලිබඳ ඉල්ලීම 2008 යෝජනාවලට කොටුකිරීම වැටුප් සඳහා අව්‍යාජ අරගලයකට සමිතිවල විරුද්ධත්වය පෙන්නුම් කරයි. ගුරුවරුන් කල යුත්තේ 2008 සිට මේ දක්වාත් ජීවන වියදම පිම්මේ ඉහල යාමෙන් උග‍්‍ර වී ඇති වැටුප් ඛාදනය ගනන් ගනිමින් තමන්ට සරිලන වැටුප් වැඩිවීමක් ලබාගැනීමට සටන් කිරීමයි.

2007 සහ 2008 ගුරුවරුන් දසදහස් ගනනින් සහභාගි වූ වර්ජන සමිති නිලධරයන් මගින් පාවා දෙනු ලැබුවේ ආන්ඩුවේ පොරොන්දුවලට මුවාවීගෙන ය. වර්ගවාදී යුද්ධය උත්සන්න කරමින් පැවති තත්වයේ දී එක් සාකච්ඡාවක දී "තමුසෙලා කියන්නේ යුද්ධය නතර කරලා වැටුප් වැඩි කරන්න දැ”යි රාජපක්ෂ තර්ජනාත්මකව පැවසූ විට සමිති නායකයන් කලේ යුද්ධයට කරබදු වී, කටඋත්තර නැතිව පසුබැසීමයි.

ගතවුනු අවුරුදු හතරේ ම සමිති නායකයන් වන ජයසිංහ හා ජෝශප් ස්ටැලින් කලේ ගල් පැලෙන වාචාල කතා ආන්ඩුව විවේචනය කිරීමේ සෙයියාවෙන් ඇදබාමින් ගුරුවරුන්ගේ අරගලයක් වර්ධනය කිරීමට වල කැපීමය.

ගුරු සමිති සියයට 6කින් අධ්‍යාපන වියදම් වැඩි කිරීම සඳහා ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ද ඒ සඳහා සටන් කිරීමේ කිසිදු බැ?රුම් උවමනාවෙන් නො වේ. මෙවර අයවැයෙන් ද යුද්ධ කාලයටත් වඩා ආරක්ෂක වියදම් ඉහල දමා ඇති ආන්ඩුව අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වෙන්කර ඇත්තේ වැඩිවන උද්ධමනයට හා පසුගිය අවුරුදුවල කප්පාදුවලට අලගුතැබීමටවත් ප‍්‍රමානවත් නැති මුදලකි. ආන්ඩුව හැරී සිටින්නේ අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුලූ සුබ සාධන සේවා කපා ඒවා ලංකාවේ ධනපතියන්ගේ හා ජාත්‍යන්තර ආයෝජකයන්ගේ සූරාකෑම සඳහා විවෘත කෙරෙන පුද්ගලීකරනයට යි.

මේ ප‍්‍රහාරය ජාත්‍යන්තරව හැම රටකම ආන්ඩු විසින් උසිගන්වනු ලැබ ඇත. පසුගිය මාසයේ ඇමරිකාවේ චිකාගෝ නුවර ගුරුවරු දසදහස් සංඛ්‍යාවක් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව සති තුනක පමන කාලයක් අධිෂ්ඨාන සහගත අරගලයක යෙදුනි. චිකාගෝ ගුරු සංගමය එය නතර කර පාවාදුන්නේ ආන්ඩුවේ වැඩ පිලිවෙල පිලිගනිමිනි.

ලංකාවේ සිය ගනනක් පාසල් දැනටමත් වසා දමා ඇත. සිසුන් අතර මන්දපෝෂනය වැඩිවෙමින් පවතියි. අධ්‍යාපනයට අවශ්‍ය නිසි පහසුකම් නැති කම හා ගුරු හිඟය උග‍්‍රවෙමින් පවතී. අධ්‍යාපනය දිගට ගෙන යාමට නො හැකිව සිසුන් පාසල් අත්හැර යාම වැඩිවෙමින් පවතී. ලාභ ගරන ධනපති පන්තිය ලොව කොතැනක වත් අධ්‍යාපන වියදම් කප්පාදුව හෝ පුද්ගලීකරනය නතර කරන්නේ නැත.

නිදහස් අධ්‍යාපනය වලදැමීම රාජපක්ෂ ආන්ඩුව කම්කරුවන්ගේ, ගම්බද හා නගරබද දුගීන්ගේ සහ තරුනයන්ගේ අයිතීන්ට එල්ල කරන සමස්ත ප‍්‍රහාරයක කොටසකි.

අප ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය දැවෙන ඉල්ලීම් සඳහා අරගලය තමන් අතට ගන්නා ලෙසයි. වෘත්තීය සමිතිවලින් නිදහස්ව තමන්ගේම කි‍්‍රයාකාරී කමිටු ගොඩනගන ලෙස ද සිසුන්ගේ හා දෙමව්පියන්ගේ සහයෝගය එම කමිටු තුල ගොනුකර ගනිමින් සිය අරගලය වර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස ද අපි ඉල්ලමු. මෙම අරගලය අවශේෂ කම්කරුවන්ගේ ද ජාත්‍යන්තර කම්කරු පන්තියේ ද සහාය දිනා ගැනීමට යොමු කල යුතුව ඇත.

ගුනාත්මකව ඉහල අධ්‍යාපනයක් තහවුරු කිරීමට අවශ්‍ය බිලියනසංඛ්‍යාත වියදම් වෙන්කිරීම කල හැක්කේ ලාභ ගරන ධනපති මහ ව්‍යාපාර, බැංකු, වතු, කම්කරු පාලනයකට නතුකෙරෙන සමාජවාදී පිලිවෙත් කි‍්‍රයාවට දැමීමට කරන අරගලයක් තුලය.

වැටුප් හා අවශේෂ ඉල්ලීම් දිනාගැනීම සඳහා කරන අරගලය සමාජවාදී පිලිවෙත් කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා කරන අරගලයකට බද්ධ කල යුතු බව අප කියා සිටින්නේ මේ නිසා ය.

සමාජවාදී සමානතා පක්ෂයත් (සසප) හා එහි තරුන සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ සංවිධානයත් මෙම කි‍්‍රයාමාර්ගය ඔබ වෙත ඉදිරිපත් කරයි. අප ඉල්ලා සිටින්නේ මෙම අරගලයට එක්වන ලෙස යි.

Share this article: