විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය සන්ධිස්ථානයකට පැමිනෙයි

By Kapila Fernando, 12 September 2012

කම්කරු කොමසාරිස්ගේ මැදිහත්වීමෙන් සිදු කල හැකි අනිවාර්ය බේරුම්කරනයක් මගින් වර්ජනයේ යෙදී සිටින ආචාර්යවරුන් දඩයමට ලක් කිරීමට රාජපක්ෂ ආන්ඩුව තීරනය කිරීමත් සමග විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය තීරනාත්මක දේශපාලන ප‍්‍රශ්න මතු කෙරී ඇති සන්ධිස්ථානයකට පැමින තිබේ. ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ආන්ඩුව නිකුත් කල ප්‍රෝඩාකාරී කැබිනට් පත‍්‍රිකාව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (විආසස) විසින් ප‍්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ආන්ඩුව මෙම ප‍්‍රහාරය දියත් කර ඇත.

පසුගිය 29 දා ඉදිරිපත් වූ කැබිනට් පත‍්‍රිකාව වනාහි, "ශ‍්‍රී ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රයක්” බවට පත් කිරීම සඳහා දැනටමත් ආන්ඩුව විසින් ප‍්‍රකාශිත වැඩපිලිවෙල තුල ආචාර්යවරුන්ගේ මෙම ගැටලු ඇතුලත් කෙරී ඇති බවට ප‍්‍රකාශ කෙරෙන හිස් හා වියුක්ත ලියවිල්ලක් විය.

සියයට 20 වැටුප් වැඩිවීමක්, අධ්‍යාපනය සඳහා දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6 ක් වෙන් කිරීම, පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවට රජයේ විශ්ව විද්‍යාල නගා සිටුවීම හා විශ්ව විද්‍යාල දේශපාලනීකරනය නතර කිරීම වැනි ඉල්ලීම් මත විආසස විසින් ජූලි මස 4 වන දින ආරම්භ කරන ලද මෙම වර්ජනයට 4,000 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී සිටිති.

ආන්ඩුවේ ස්වේච්ඡා බේරුම්කරන යෝජනාව විආසස විසින් ප‍්‍රතික්ෂේප කර ඇති තතු යටතේ මෙය අනිවාර්ය බේරුම්කරනයකට යොමු කිරීමේ තර්ජනය පවතී. එවන් අනිවාර්ය බේරුම්කරනයක් ප‍්‍රතික්ෂේප කොට දිගටම වර්ජනයේ යෙදුනහොත් රැකියා හැර ගියා සේ සලකා රැකියාවලින් නෙරපා දැමීමේ අනතුරට දැන් ආචාර්යවරු මුහුන දී සිටිති.

ආචාර්යවරුන්ගේ වැටුප් ඉල්ලීම් සම්බන්ධවත් සමස්ත අධ්‍යාපනය සම්බන්ධවත් අවශේෂ කම්කරු පීඩිත ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න පිලිබඳවත් ආන්ඩුවේ ස්ථාවරය කුමක් දැයි ඉතා පැහැදිලි ය.

විශ්වවිද්‍යාලයන්හි ඌන පහසුකම් වලට හා පුද්ගලීකරනයට එරෙහිව පැන නැගි සිසු අරගල මර්දනය කිරීම සඳහා නව නීති පැනවූ ආන්ඩුව, ශිෂ්‍ය සංගම් තහනම් කොට ශිෂ්‍යයන් පන්ති තහනමට ලක් කරමින් ඔවුන්ගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් මත බරපතල ප‍්‍රහාර මාලාවක් එල්ල කලේය. නවක සිසුන්ගේ මොල සේදීම සඳහා නායකත්ව පුහුනුවක් නමින් සති තුනක මිලිටරි පුහුනුවක් ආරම්භ කෙරුනු අතර සරසවි ආරක්ෂක අංශ ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කෙරින.

මාස දෙකකටත් අධික කාලයක් පුරා ඇදී යන ආචාර්ය වර්ජනය බිඳ දැමීම සඳහා පසුගිය මස 21 දා විශ්ව විද්‍යාල වසා දැමූ ආන්ඩුව කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කිරීමෙන් දින කිහිපයකට පසුව යලි විවෘත කල බව නිවේදනය කලේ ය. ආචාර්යවරුන්ගේ ඉල්ලීම් විසඳා සරසවි යලි ආරම්භ කරන ලෙස ඉල්ලූ ශිෂ්‍ය විරෝධතා දෙකකට පොලීසිය පසුගිය සතියේ ජල, කඳුලු ගෑස් හා බැටන් ප‍්‍රහාර එල්ල කලේ ය.

ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහල දැමීමට එරෙහිව අරගලයට පිවිසි ධීවරයන්ට ද ඊනියා විශ‍්‍රාම වැටුප් යෝජනාවට එරෙහිව සටනට පිවිසි නිදහස් වෙලඳ කලාප කම්කරුවන්ට ද ආන්ඩුව ප‍්‍රතිචාර දැක්වූයේ පොලීසිය යොදවා වෙඩි තබා දෙදෙනෙකු මරා දමමිනි.

ආචාර්යවරුන් දඩයම් කිරීමේ අරමුනින් ඔවුන්ගේ අරගලය රට අස්ථාවර කිරීමේ විදේශ කුමන්ත‍්‍රනයක් යයි ආන්ඩුව යලි යලිත් ප‍්‍රකාශ කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය දා මාධ්‍යයට ප‍්‍රකාශ කලේ "වැටුප් පිලිබඳව සලකා බැලීමට නම් පලමුව විආසස වර්ජනය නවතා දැමිය යුතු” බවයි. මෙවන් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරයන් අතොරක් නැතිව එල්ල කරන ගමන්ම ජනාධිපති රාජපක්ෂ පසුගිය දා කටමැත දෙඩුවේ පොදු රාජ්‍ය මන්ඩලීය පාර්ලිමේන්තු රැස්වීම් කොලඹ දී පැවැත්වෙන අතරතුර දී ආචාර්ය වර්ජනයක් පැවතීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජීවමාන සලකුනක් බව පවසමිනි.

මේ අතර උසස් අධ්‍යාපන ඇමති දිසානායක කියා සිටියේ දජානියෙන් සියයට 6 ක් අධ්‍යාපනයට වෙන් කිරීම රාජ්‍ය ආදායම දජානියෙන් සියයට 14 ක් වන රටක සිදු කල නොහැකි බවයි.

ආන්ඩුව පසුගිය වසරවල දී සිදු කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග අනුව රාජ්‍ය වියදම් කප්පාදු කිරීමේ කොටසක් ලෙස සමාජ සුබසාධන කපා හරමින්, පාරිභෝගික භාන්ඩ මත බදු පනවමින් කප්පාදු පිලිවෙත් වේගවත් කිරීමයි. අධ්‍යාපන වියදම් 2005 දී සියයට 2.8 සිට 2010 දී 1.9 දක්වා කප්පාදු කර තිබේ. සමස්ත රාජ්‍ය වියදමින් සියයට 55 ක් පමන ප‍්‍රතිශතයක් වෙන් වන්නේ දේශීය හා විදේශීය බැංකුවලින් ලබා ගත් නය සඳහා පොලී ගෙවීමට හා දැවැන්ත හමුදාවක් නඩත්තු කිරීම සඳහා ය.

2008 සිට ගැඹුරු වෙමින් අවපාතයක් දෙසට ගමන් කරන ලෝක ආර්ථිකය හමුවේ ආන්ඩුවේ අර්බූදය තවත් උග‍්‍ර වෙමින් පවතී. අධ්‍යාපනය, සෞඛ්‍යය හා අනෙකූත් සමාජ සුබසාධන දැවැන්තව කපා දමමින් මෙම ලෝක ආර්ථික අර්බුදයේ බර තමා මත පැටවීමට එරෙහිව අරගලයට අවතීර්න වන කම්කරුවන්, ගොවියන් හා තරුනයන් මැඩීම සඳහා ලොව පුරා අනෙකුත් පාලක පන්තීන් මෙන්ම රාජපක්ෂ තන්ත‍්‍රය ද පොලිස් මිලිටරි ක‍්‍රම උපයෝගී කර ගනිමින් සිටී.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ආරම්භයේ දී සිටම එක දිගට කියා සිටියේ අධ්‍යාපනය ඇතුලු අනෙකුත් සමාජ අයිතීන් හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් තහවුරු කර ගැනීම සඳහා ධනේශ්වර ආන්ඩුවටත් මෙම ප‍්‍රහාරයන්ගේ මූලය වන ධනේශ්වර පද්ධතියටත් එරෙහි දේශපාලනික ප‍්‍රතිප‍්‍රහාරයක් සඳහා කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගන්වා ගත යුතු බවයි. එවන් ව්‍යාපාරයක් ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙලක් මත පාදකව පීඩිත ගොවීන් ඇතුලු අවශේෂ පීඩිතයන් බලමුලු ගන්වා ගනිමින් කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා සටන් වැදිය යුතුය. ගුනාත්මක අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය බිලියන සංඛ්‍යාත මුදල් වෙන් කර ගත හැකි වන්නේ එවන් ආන්ඩුවක් යටතේ මහා පරිමාන වතු, බැංකු සහ ෆැක්ටරි කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කිරීමෙන් පමනකි.

මී ට විපරීතව විආසස කියා සිටින්නේ "ශී‍්‍ර ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රය” බවට පත් කිරීම ඇතුලු ආන්ඩුවේ ඊනියා සංවර්ධන ක‍්‍රියාවලියට ඔවුන් දායක කර ගන්නා ලෙසයි. "ශී‍්‍ර ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රය” බවට පත් කිරීමේ සැබෑ එල්ලය වන්නේ රජයේ විශ්වවිද්‍යාල වලපල්ලට යැවීම සඳහා අධ්‍යාපන වියදම් අඛන්ඩව කප්පාදු කිරීමත් අධ්‍යාපනය ආයෝජකයන්ගේ ලාභ ගරන කර්මාන්තයක් බවට පත් කොට ධනවත් ප‍්‍රභූ අතලොස්සකට අධ්‍යාපන අවස්ථා සීමා කිරීමත් ය. ආන්ඩුවේ ඊනියා සංවර්ධනය සමග ආචාර්යවරුන් හා සිසුන් ගැට ගැසීමේ විආසස ප‍්‍රයත්නයෙන් ඔවුන් ගැලවී ගත යුතු ය.

අධ්‍යාපනයට එරෙහි ප‍්‍රහාරය සමස්ත කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාරයේ කොටසක් වන අතර අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් අව්‍යාජව සටන් වදින්නේ නම් ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව සටන් වදින අවශේෂ කම්කරුවන් සහ පීඩිතයන් සමග එක්ව ඉහත සමාජවාදී වැඩපිලිවෙලට සටන් වැදිය යුතුය. ආචාර්යවරුන් වෙනම වෘත්තීය කාන්ඩයකට ඇතුලත් කර වැටුප් ගැටලු විසඳන ලෙස විආසස කරන යෝජනාව යලි යලිත් පෙන්නුම් කරන්නේ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් සඳහා කම්කරු පන්තියේ ඒකාබද්ධතාව සඳහා එය දක්වන බලගතු විරුද්ධත්වයයි.

ඉල්ලීම් දිනා මිස වර්ජනය නවතා නො දමන බවට දේවසිරි ඇතුලු විආසස නායකයින් ගේ ප‍්‍රකාශ තිබිය දී ම තම ඉදිරි දර්ශනය යටතේ දැන් විආසසට ඇත්තේ එක් විකල්පයක් පමනකි. එනම් මෙම කැබිනට් පති‍්‍රකාව හෝ ඊට වඩා "යහපත්” වෙනත් ව්‍යාජ පොරොන්දුවක් කඩතුරාව කර ගනිමින් වර්ජනය අත්හැර සටන පාවා දීමයි.

තම අරගලය ආන්ඩුවට එරෙහි අරගලයක් නොවන බව ප‍්‍රකාශ කර සිටින විආසස එය මහජනයාගේ අරගලයක් බවට පත් කිරීම සඳහා තම පාලන කාලය තුල දී අධ්‍යාපනයට දරුනු ප‍්‍රහාර එල්ල කර ඇති දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය, රාජපක්ෂ බලයට ගෙන ආ ජනතා විමුක්ති පෙරමුන හා ව්‍යාජ වාම පක්ෂ සමගත්, කම්කරු පන්තියේ මෙවැනි ම අරගල පාවාදීම සම්බන්ධ දීර්ඝ වාර්තාවන් සහිත වෘත්තීය සමිති නිලධරය සමගත් පෙල ගැසෙමින් අධ්‍යාපනයේ අර්බූදය මෙම බංකොලොත් පක්ෂ හා සමිති නිලධරයට ගසා කෑමට ඉඩ හැර දී තිබේ.

ආන්ඩු සන්ධානයේ සිටින ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයට අයත් ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ හා ලංකා සම සමාජ පක්ෂයට අයත් ලංකා කම්කරු සම්මේලනයේ නායකයින්ගේ සහභාගිත්වයෙන් ලබන 13 දා මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේ දී පැවැත්වෙන රාජ්‍ය, පුද්ගලික හා අර්ධ රාජ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තිය සමිති 40 ක ඒකාබද්ධ සමුලුව මෙහි නවතම පෙල ගැසීමයි.

නිදහස් අධ්‍යාපන අයිතිය ඇතුලු අනෙකුත් අයිතීන් තහවුරු කර ගැනීම සඳහා ආචාර්යවරුන්, සිසුන් හා අවශේෂ කම්කරු පීඩිතයන් මෙම වෘත්තීය සමිති සහ පෙරමුනු වලින් බිඳී වෙන් වී ඉහත සඳහන් කල සමාජවාදී පිලිවෙත් මත කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා සටන් වැදිය යුතු ය.

Share this article: